පාර්ලිමේන්තුවද? අධිකරණයද?

October 29, 2026
Publication:
The question of which is supreme has come up again. Ivan goes back to the last time — the restraining order the Supreme Court issued against the speaker over an impeachment motion against the chief justice — and then to the school admission circular, where the National Education Commission's scheme never reached the court at all and something else was put before it instead.

විඩා ප්‍රමුඛ අධිකරණය ද නැති නම් පාර්ලිමේන්තුවද යන ප්‍රශ්නය නැවත වරක් මතුවී තිබේ. මීට පෙර එම ප්‍රශ්නය ප්‍රබල ලෙස මතුවූයේ අගවිනිසුරුට එරෙහිව එජාප හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝගයකට අදාළව කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද වාරණ නියෝගයක් ආශ්‍රයෙන් පැන නැගුණු අර්බුදයේදීය.

එදා පාර්ලිමේන්තුවට එරෙහිව වාරණ නියෝගයක් පැනවීමේ කතාව සැකෙවින් සලකා බැලීම වැදගත්ය. අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එජාප හා ජවිපෙ තීරණය කරගෙන තිබුණු අවස්ථාවක අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන්නට යන දෝෂාභියෝගය විභාගයට ගැනීමට තේරීම් කාරක සභාවක් පත් කොට එම කාරක සභාව හමුවට අගවිනිසුරුවරයා කැඳවන්නේ නම්, ඒ මගින් අධිකරණයේ උත්තරීතරභාවය කෙළෙසීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බව ප්‍රකාශ කරමින් ඒ ක්‍රියාවලිය වළකන වාරණ නියෝගයක් ඉල්ලා නීතිඥවරුන් තුන් කට්ටුවක් වෙන් වෙන්ව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළේය. පෙත්සම්කාර නීතිඥයන් තිදෙනාටම අගවිනිසුරුට ඉතාමත් සමීප නීතිඥයන් වූ අතර, මෙම පෙත්සම් තුනම විමර්ශනයට ගැනීමේ ක්‍රියාවලිය පුදුම උපදවන සුළු වේගයකින් සිදුවිය. මෙම පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන් බවට පත් කොට තිබුණේ නීතිපති, පාර්ලිමේන්තු ලේකම්, කතානායක හා ජනාධිපති ලේකම්ය. පෙත්සම් තුන විභාගයට ගැනුණේ ප්‍රියන්ත පෙරේරා, (විශ්‍රාම ලබා වර්තමානයේ රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස ක්‍රියා කරන) ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, හෙක්ටර් එස්. යාපා (දැන් විශ්‍රාම ලබා සිටින) යන විනිශ්චය මණ්ඩලය ඉදිරියේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ෆයිස් මුස්තාපා හා විජේදාස රාජපක්ෂ යන ජනාධිපති නීතිඥයින්ය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයාගේ විරෝධයකින් තොරව විනිශ්චය මණ්ඩලය වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් දෙන ලද අතර, එම නියෝගය පාර්ලිමේන්තුව තුළ මහත් කැළඹීමක් ඇති කිරීමට හේතුවිය.

අධිකරණයට පාර්ලිමේන්තුවේ කෙරෛන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්විය හැකිද යන ප්‍රශ්නය ගැන ඒ අර්බුද පැවති අවස්ථාවේදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඒ.එම්.එම්.බී. කුලතුංග මහතා කදිම විග්‍රහයක් ඉදිරිපත් කළේ ය.

ඔහුට අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමේ බලයක් අධිකරණයට නැත. ““අප අනුගමනය කරන්නේ එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායය. අපේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සකස් කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ අයිතිවාසිකම් පනත හෙවත් ඊසකක දෙ ඍසටයඑි යන ප්‍රකාශය පදනම් කොටගෙන. එම ප්‍රකාශනයේ ඇති 9 වැනි වගන්තිය ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ තුන්වැනි වගන්තිය ලෙස යොදාගෙන තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ කරනු ලබන කතා වාද විවාද හා වෙනත් ක්‍රියාවලියන් (ඡරදජැැාසබටි) පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණයට හෝ වෙනත් කිසිම ආයතනයකට ප්‍රශ්න කළ නොහැකියි.

ඒ අනුව එදා පාර්ලිමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු තහනම නීති විරෝධී නියෝගයක් ලෙස සැලකිය හැකිය. ඒ බව කතානායකවරයා ද සිය තීන්දුවෙන් තහවුරු කළේය.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත්ම දේ වනුයේ එදා පාර්ලිමේන්තුව එක හඬින් මෙම නීති විරෝධී නියෝගයට එරෙහිව නැගී සිටියත්, සිදුවූ ඒ වරදට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළේය. නියෝගය පනවන ලද විනිසුරුවරුන් ඒ දේ කළේ සත්භාවයෙන් නොව තමන්ට හිතවත් අධිකරණ නායකයා ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය. එය තමන්ට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ අවස්ථාවක් විය. එවැනි වරදක් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි උත්තරීතර ආයතනයක් නොකළ යුතුව තිබුණි. එම වැරදි තීන්දුව දෙන ලද විනිසුරුවරුන්ට එරෙහිව ද දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බව කේ.එන්. චොක්සි මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියද එවැන්නක් තබා අඩුම වශයෙන් එම විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා අවවාද කිරීමක්වත් සිදු නොකෙරිණ. සුපුරුදු පරිදි වරද කුණුවෙමින් තිබෙන්නට ඉඩ හැරිණ.

වර්තමාන අර්බුදය කෙරෙහි පාදක වී ඇත්තේ පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා යොදා ගත් චක්‍රලේඛයට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයකි. එම චක්‍රලේඛවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන සමාන අවස්ථා පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කෙරෙන බව ප්‍රකාශ කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට චක්‍රලේඛයක් සකස් කර එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ලේකම්වරයාට නියෝග කළේය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ක්‍රමයක් සකස් කිරීමේ වගකීම ජාතික අධ්‍යාපන කොමිසමට බාර කෙරිණ. ජාතික අධ්‍යාපන කොමිසම එහිදී මිනිස් මොළවලින් නිපදවිය හැකි හොඳම හා සාධාරණ ක්‍රමයක් නිර්දේශ කළේය. එහෙත් පුදුමයකට මෙන් අධ්‍යාපන කොමිසම සකස් කළ චක්‍රලේඛය අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නැත. ඒ වෙනුවට ඊට වෙනස් ක්‍රමවේදයක් සකස් කොට එය අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ විස්තරාත්මක මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන ලද්දේ එහිදීය. එය විෂමතා තීව්‍ර කරන හා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය වඩා අවුල් ජාලයකට තල්ලු කරන ක්‍රමයක් විය. එය අධ්‍යාපනඥයින්ගේ දැඩි විවේචනයට හේතුවූ අතර, එම නිර්දේශ ක්‍රියාවට නැගුවහොත් ඇතිවිය හැකි විනාශකාරී ඵල ද ඔවුහු පෙන්වා දුන්හ.

මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනුණේ ඉන්පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පිළිබඳව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඉතාමත් හොඳ විශ්ලේෂණයක යෙදුණේය. පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනුණේ ඉන් අනතුරුවය. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ වෙනුවට වඩා හොඳ නව ක්‍රමයක් ඇති කරන තෙක් එවැනි ක්‍රමයක් වහා ඇති කළ නොහැකි බැවින් ඇතැම් සංශෝධන සහිතව පැරණි ක්‍රමවේදයම එළඹෙන වසර සඳහා පමණක් යොදා ගැනීමට එහිදී තීරණය විය. පාර්ලිමේන්තුවේ ඇති කරගත් තීරණය කැබිනට් මණ්ඩලය ද අනුමත කළේය.

ආදි ශිෂ්‍ය සංගම් කිහිපයක් අධිකරණය ඉදිරියට ගියේ එම තීරණයට එරෙහිවය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ අධිකරණ තීන්දුවක් වෙනස් කිරීමේ බලය කැබිනට් මණ්ඩලයට නැති බවය. එහෙත් එහිදී අගවිනිසුරුවරයා තමා මීට පෙර දුන් තීන්දුවේ වෙනස්කම් ඇති කළේය. දෙමාපියන්ගේ උගත්කමට හා තරාතිරමට ලකුණු දීමේ ක්‍රමය ඉවත් කිරීමට ඔහු ඉඩ දුන්නේය. එහෙත් ළදරු ශිෂ්‍යයන්ගේ හැකියාව මැනීම පිළිබඳව ඉදිරිපත් කරන ලද නිර්දේශ මුළුමණින් වෙනස් කළ බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තුවට යන්නට කුසලතා අවශ්‍ය නැතත්, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේදී කුසලතා සැලකිල්ලට ගැනීම අවශ්‍ය බව ඔහු කීවේය. 1 වැනි ශ්‍රේණියට අයදුම් කරන ළදරුවන්ගේ කුසලතා පරීක්ෂා කරන්නට යන්නේ කෙසේද යන්න නොපැහැදිලිය.

ආදි ශිෂ්‍යයන් පිරිසක් විසින් පවරනු ලැබූ විභාගවෙමින් තිබූ නඩු විභාගය එදිනම පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්විය. ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් ගන්නා ලද තීරණය අභියෝගයට ලක් කරමින් අධ්‍යාපන ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවීමට ගන්නා ලද ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වහාම පියවර ගන්නා ලෙස විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. තමා නොකළ ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම මගින් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සම ලේකම් ජයසිරි ඉත්තෑපාන මහතා වරප්‍රසාද කඩකිරීමක් කර ඇති බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට විරුද්ධව වරප්‍රසාද ප්‍රශ්නයක් ද මතු කළේය. ඔහු එහිදී නඩු පවරනු ලැබූ ආදි ශිෂ්‍ය සංගම්වල ක්‍රියා කලාපය ද විවේචනයට ලක් කළේය. නීතිඥ මනෝහර ද සිල්වා මහතා “ඩීල්” එකක් දමා ඇති බව ද ඔහු කියා සිටියේය. එයින් රනිල් වික්‍රමසිංහ මහතා ඇත්තටම අදහස් කළේ කුමක්ද? පටු වුවමනාවන් සඳහා මෙම ආදි ශිෂ්‍ය සංගම් අධිකරණය සමග එකට කල්ලි ගැසී ක්‍රියා කරන බවද? එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජයසිරි ඉත්තෑපාන මහතා කලවැද්දෙකු ලෙස ද හැඳින්වීය. ඒ යෙදුම රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙකුට පාවිච්චි කිරීමට සුදුසු යෙදුමක් ලෙස සැලකිය නොහැකිය.

අධ්‍යාපන ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවීම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පටහැනි බැවින් ඒ බව පාර්ලිමේන්තු ලේකම්වරිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරිවරයාට දැනුම් දෙන ලෙස ද වික්‍රමසිංහ මහතා කතානායකගෙන් ඉල්ලා සිටියේය.

මේ ගැන කතානායක කරන්නට යන්නේ කුමක්ද යන්නත් නැවත අධිකරණය දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්නත් පැහැදිලි නැත. පාර්ලිමේන්තුව අධිකරණය හා අධ්‍යාපනය පමණක් නොව, මුළු රටම තිබෙන්නේ අවුල් ජාලාවකය. මේ අවුල ක්ෂණික අවුලක් නොව ඓතිහාසික අවුලකි. සමස්ත ආයතන ක්‍රමයම මජර ගලන ක්‍රමයට කුණුවී තිබේ. ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට මේ අවුලෙන් රට ගොඩ ගැනීමට හැකියාවක් නැත. දිගින් දිගට මතුවන මේ හැම අර්බුදයකින්ම පෙන්වා දෙන්නේ ඉදිරියට යෑමට අවශ්‍ය නම්, ව්‍යුහමය වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බවයි. •