වාද කරන්නට පෙර ප්‍රකෘති සිහිය ඇති කරගැනීම වැදගත්ය

March 25, 2012
Publication:
Answering Gamini Viyangoda and Jayatilaka Kammallaweera, who accused him of labelling them and of defending the Rajapaksa regime, Ivan restates his thesis: after losing socialism they adopted the ethnic crisis as their cause and lost their judgement when the LTTE fell, as he once feared a coup under Wijeweera's spell before 1971. He rejects Viyangoda's claim that he attacked individuals for twenty years and turned to 'the system' only to protect Rajapaksa, noting that his 'Chaura Rajya' series on reforming the predatory state ran in Ravaya in 2002, before 'Chaura Rajina' (2006), and listing earlier articles on system change. He recalls the Kaha Pati (yellow ribbon) campaign of 2000, the all-party talks on his reform draft in Parliament in 2001, and the 2006 Kobbekaduwa round table, and argues that reform must come by consensus, as Mandela achieved.

රාවයේ 25 වැනි සංවත්සරය මුල් කොටගෙන අලුත් දේශපාලන සංවාදයක් ඇතිවී තිබීම එම සංවත්සරය විසින් ඇති කර තිබෙන යහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එකතැනක පල්වෙමින් තිබුණු දේශපාලන සංවාදය වඩා ඉහළ අධියරයකට ගෙනයමින් දේශපාල චින්තනයේ නිම්වළලු පුළුල් කිරීමට මෙම වාද විවාද හේතුවේ නම් රාවය සංවත්සරයෙන් අපේක්ෂා කළ එක අරමුණක් ඉටුවූවා ලෙස සැලකිය හැකිය.

රාවයේ සංවත්සරය ගැන ගාමිණී වියන්ගොඩ ලියන ලද විවේචනය හා තවත් කිහිපදෙනකු කෙරෙන් පළවී තිබුණු විරෝධතා පාදක කොටගනිමින් මා ලියන ලද ප්‍රතිවිවේචනයට ගාමිණී වියන්ගොඩට අතිරේකව ජයතිලක කම්මැල්ලවීර විසින් ද ලියන ලද පිළිතුරු ලිපි දෙකක් පසුගිය රාවයේ පළවිය. මෙම ලිපිය ඔවුන්ට දෙන පිළිතුරකි. එහිදී විශේෂ වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ ගාමිණී වියන්ගොඩගේ පිළිතුරය. ජයතිලක කම්මැල්ලවීරගේ පිළිතුර සැලකිල්ලට ගෙන ඇත්තේ සාමාන්‍ය වශයෙන් පමණය.

ලේබල් ගැසීම

මේ දෙදෙනා විසින්ම මා වෙත දමා ගසා තිබෙන චෝදනාවකින් මාගේ පිළිතුරු ලිපිය ආරම්භ කරන්නට කැමැත්තෙමි. මා එම ලිපියෙන් දේශප්‍රේමීන් කරන්නා සේ ඔවුන් වෙත ලේබල් ඇලවීමක් කර තිබෙන බව හා ඒ තුළ මහා උසිගැන්වීමක් තිබෙන බවද ඔවුන්ගේ මතය වී තිබේ. වියන්ගොඩ එම තත්ත්වය විග්‍රහ කර තිබෙන්නේ ඔවුන්ගේ වර්තමාන කැරැට්ටුව පෙන්වාදී මෙම විනාශකාරීන්ගෙන් පරෙස්සම් වන ලෙස පාලක පක්ෂයට කරන අනතුරු ඇඟවීමක් වශයෙනි. දෙදෙනාම මා ඔවුන්ට ලේබල් ඇලවීමක් කර තිබෙන බවට මට චෝදනා කරමින් හා ආඩපාලි කියමින් ඔවුන් බිහිසුණු හා අශීලාචාර දෙයක් ලෙස සලකන ඒ දේ මට එරෙහිවද යොදා ගනී. ඔවුන් මගේ පිටේ අලවන ලේබලයට අනුව මා රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කරන රාජපක්ෂ වාදියෙකි. මා අතින් ඔවුන්ට ලේබල් ඇලවීමක් සිදුවී ඇතැ”යි කියන්නේ නම් හා එය ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වේයැ”යි ඔවුන් තර්ක කරන්නේ නම් ඔවුන්ගේ ලේබල් ඇලවීමද කොයි මොහොතක හෝ මගේ ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවට මටද තර්ක කළ හැකිය.

අපි කැමති වුවත් නැතත් ප්‍රසිද්ධියේ අදහස් පළකරන්නන් එසේ කරන්නේ තමන් විසින්ම තමන්ගේ පිටේ අලවාගත් ලේබලයක් ද ඇතිවය. ඒ ලේබලයේ අර්ථය විවිධ අය විවිධාකාරවලට තේරුම් ගැනීමේ හෝ විස්තර කිරීමේ හැකියාවක් ඇතත් ඒ පිළිබඳ පිටේ තිබෙන ලේබලය. අනුන් විසින් අලවන ලද්දක් නොව තමන් විසින්ම අලවා ගන්නා ලද්දකි.

මෙම ලේඛකයන් දෙදෙනාම වඩා දුෂ්කර හා බිහිසුණු වටාපිටාවක් පැවති කාලයේදීත් තමන් දරන අදහස් පාලක පක්ෂයේ උදහසට හේතුවිය හැකි බව දැන දැනමත් එම අදහස් නිර්භීත ලෙස පළකරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. එහිදී ඔවුන්ට මරණ තර්ජනවලට මුහුණදෙන්නට සිදුවූයේ නැතත්, ඔවුන් පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය නිර්භීත විය. ඔවුන් තමන් දේශපාලන වශයෙන් ඉන්නේ කොතැනද යන්න වසන් නොකළේය. එවැනි නිර්භීතයන් දෙදෙනකු තමන්ට ලේබල් අලවනවා කියමින් ආඩපාලි කියන තත්ත්වයකට පත්වීම ඔවුන්ගේ පෞරුෂයට නොගැළපෙන්නේය.

මේ දෙදෙනාගේ කෝපයට හේතුවී තිබෙන මාගේ ලිපියෙන් මා විග්‍රහ කරන්නට උත්සාහ කළේ ඔවුන්ගේ සමහර දේශපාලන අදහස් හා ආවේගයන් කෙරෙහි බලපා තිබෙන විශේෂ මනෝභාවයක් ගැනය. එම මනෝභාවය කෙරෙහි බලපා තිබෙන හේතූන් ගැනය. ඒ ආශ්‍රයෙන් මා ගොඩනගන ප්‍රවාදය මාගේ එම ලිපියේ අත්තිවාරම ලෙස සැලකිය හැකිය. එහෙත් මේ දෙදෙනාම මාගේ එම ප්‍රවාදයට අත තබන්නේ නැත. එය බොරු කරන්නේද නැත. ඒ වෙනුවට කරන්නේ මට පහරදීම හා මා විවේචනයට ලක්කිරීමය. ඇත්තටම ඔවුන් පළමුව කළයුතුව තිබුණේ මාගේ එම ප්‍රවාදය බොරු කිරීමය. මට එරෙහිව කරන පහරදීම්වලට හා විවේචනයන්ට යායුතුව තිබුණේ ඉන්පසුවය.

ඔවුන්ගේ කෝපයට හේතුවී ඇතත් මා එම ප්‍රවාදය මගින් ඔවුන් නින්දාවට ලක්කිරීමක් කර නැත. මා කර තිබෙන්නේ ඔවුන්ගේ දේශපාලන ආවේගයන් බලපා තිබෙන විශේෂ මනෝභාවය පෙන්වාදෙමින් ඒ කෙරෙහි බලපා තිබෙන හේතු විස්තර කිරීම හා විග්‍රහ කිරීමය.

මානසික භ්‍රාන්තිය

මා එම විග්‍රහයේදී ඔවුන් හඳුන්වා ඇත්තේ විශේෂ දක්ෂතා ඇති නුවණැත්තන් ලෙසය. ඔවුන් හිටපු මාක්ස්වාදීන් බව කියන අතර මාක්ස්වාදය අතනෑරම ප්‍රජාතන්ත්‍රවාදීන් බවට පත්වී තිබෙන බව කීමෙන් මා අදහස් කළේ බුද්ධිමත් පාඨකයන්ට ඔවුන්ගේ දර්ශනය තුළ ලොකු අවුලක් ඇති බව පෙන්වාදීමටය. ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනය කරනවාට පක්ෂ වුවත් එල්ටීටීඊ කැරැල්ල මර්දනය කරනවාට තරයේ විරුද්ධ වූ බව කීමෙන්ද මා අදහස් කළේ ආචාර ධර්ම අර්ථයෙන් ගත්විටද ඔවුන් ලොකු අවුලක ඉන්නා බව සංකේතාත්මක අර්ථයෙන් පෙන්වාදීම සඳහාය. සමාජවාදය ඔවුන්ගේ තුරුල්ලේ හදා වඩා ගත් පළමු දරුවා විය. එම දරුවාගේ අකල් මරණයෙන් පසුව ඔවුන් ඊළඟට හදාවඩා ගත් දරුවා වූයේ ශ්‍රී ලංකාවේ ජනවර්ග අර්බුදයයි. පළමු දරුවාගේ අකල් මරණය හේතු කොටගෙන දෙවැනි දරුවා කෙරෙහි තිබෙන ආත්මීය බැඳීම තීව්‍ර කිරීමට හේතුවී තිබුණි. එය ඔවුන්ගේ ජීවිතය බවට පත්ව තිබුණේ එම දරුවාය. ඒ නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ විට එය ඔවුන්ට පෙනුණේ තමන්ට එරෙහිව කරන යුද්ධයක් ලෙසය. එම යුද්ධය ඔවුන්ගේ මහත් කෝපයට හේතුවී තිබුණද යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය වනු ඇතැ”යි ඔවුන් විශ්වාස නොකළේය. එහෙත් එසේ වූ විට තමන් භක්තියෙන් අදහන තමන්ගේ දෙවියන් තමන් ඉදිරිපිටම මරා දැමූ අවස්ථාවකදී එම දෙවියන් ඇදහූ සැදැහවතුන් තුළ ඇතිවන භ්‍රාන්තියට සමාන භ්‍රාන්තියක් ඔවුන් තුළද ඇතිවිය. මට පෙන්වාදීමට අවශ්‍ය වූයේ එම විශේෂ මනෝභාවය ඔවුන් දරන දේශපාලන අදහස් හා ආවේගයන් කෙරෙහි බලපා තිබෙන ආකාරයයි. ඒ නිසා සාධාරණව හා තර්කානුකූලව දේවල් දැකීමේ හැකියාව ඔවුන්ට අහිමි කර තිබෙන ආකාරය පෙන්වාදීමය.

ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට වෙනස් නුවණැත්තන් පිරිසක් වීම හේතු කොටගෙන යුද්ධය අනුමත නොකළද යුද්ධය ඇති කරන්නට යන අවසාන ප්‍රතිඵලය ඔවුන් කල්තියා දැක්මට සමත්විය යුතුව තිබුණේය. ඔවුන් යුද්ධය පැවති කාලයේ කියන ලද හා ලියන ලද දේවල් දෙස ආපසු හැරී බැලුවහොත් සන්සුන්ව හා තර්කානුකූලව කරුණු තේරුම් ගැනීමේ හැකියාව ඔවුන් අහිමි කරගෙන තිබුණු ප්‍රමාණය තේරුම් ගත හැකිය. ආරක්ෂක හමුදා කිලිනොච්චියට පැමිණීමෙන් පසු කිලිනොච්චිය අල්ලා ගැනීමට කිසියම් කාලයක් ගත වූයේය. එය යුද විරෝධීන්ගේ විවාදයට හේතුවී තිබුණු ජනප්‍රිය මාතෘකාවක් විය. ගාමිණී වියන්ගොඩද සිය කොලමෙන් කිලිනොච්චියේ සටන ගැන ලීවේය. ඔහු හමුදා ප්‍රකාශකයන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් කියා තිබුණේ ආරක්ෂක හමුදාවන්ට කිලිනොච්චිය අල්ලා ගැනීමට හැකිවේ නම් ඒ සඳහා තවත් බොහෝ කලක් ගතවිය හැකි බවය. අවාසනාවකට මෙන් ආරක්ෂක හමුදා කිලිනොච්චිය අල්ලා ගත්තේ කිලිනොච්චිය ගැන ඔහු ලියන ලද කොලම සහිත පුවත්පත පිටවූ දිනයේදීමය.

යුද්ධයේ අවසානයෙන් පසුව පවත්වන ලද ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන බව ප්‍රකාශ වූ විට එය වියන්ගොඩගේ බලවත් විමතියට සේ ම විරෝධයට ද හේතුවිය. ඔහු එය සලකන ලද්දේ ඉතාමත් භයානක නොකළ යුතු වැරැද්දක් ලෙසය. ඒ සමග කෙටි දින කිහිපයකින් අංශක 180ක පිනුමක් ගැසුවේය. ඉන්පසු ඔහු ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ උද්යෝගිමත් ආධාරකරුවකු වූවා පමණක් නොව ඔහු ලබන පහසු ජයග්‍රහණයක් ගැන සිහින දකින්නකු බවටද පත්වූයේය. මැතිවරණ පරාජයෙන් පසුත් ඔහු එය දැක්කේ මොන මොන හේතු නිසා හෝ මහජනයා විසින් දෙන ලද තීරණයක් ලෙස නොව පරිගණක මගඩියක් ලෙසය.

මෙම නුවණැත්තන් පිරිස ප්‍රකෘති සිහියෙන් ක්‍රියාකරන පිරිසක් වී නම් ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට වැරදිය නොහැකිය. මේ හා සමාන මනෝභාවයක් ගැන මටද අත්දැකීමක් ඇත්තේය. 71 කැරැල්ලට පෙර කොයි මොහොතක හෝ ඇතිවන හමුදා ආණ්ඩුවක් හා ඒ නිසා ඉන්දුනීසියාවේ මෙන් ඇතිවන මහා ජනසංහාරයක් පිළිබඳ බිහිසුණු චිත්‍රයක් විජේවීර විසින් අප තුළ මවා තිබුණි. ඉදිවෙමින් තිබුණු බෙන්තොට හෝටලය පවා ඔහු අපට හඳුන්වා දී තිබුණේ ඇමරිකන් හමුදා බලකොටුවක් ලෙසය. අපි ඒ කාලයේ නින්දට ගියේද ඇතිවන හමුදා ආණ්ඩුවක් පිළිබඳ ඇති කරගත් මහත් බියකින් යුතුවය. අපට හැම දෙයක්ම පෙනුණේ විකෘති ස්වරූපයකිනි. වියන්ගොඩ හා කම්මැල්ලවීර සිටින මානසික තත්ත්වයද ඊට සමානය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙස විවේචනාත්මකව බලනවාට මා විරුද්ධවන්නේ නැත. මටද ඔහු ගැන විවේචනයක් ඇත්තේය. ඔහුද මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළින් බිහිවූ නායකයෙකි. සමහර වෙනස්කම් තිබියදීත් ඔහුගේ මූලික ගති ලක්ෂණ පූර්වගාමීන්ට සමානය. එහෙත් වියන්ගොඩ ජීවත් වන මනෝභාවය තුළ ඔහුට හැම දෙයක්ම පෙනෙන්නේ, දේවල්වල තරමට නොව ඊට වඩා ලොකුවටය. හාල්මැස්සා පෙනෙන්නේ බෝල්ලකු ලෙසය. බෝල්ලා පෙනෙන්නේ බලයකු ලෙසය. බලයා පෙනෙන්නේ කෙළවල්ලකු ලෙසය. ඒ මගින් දේවල් ඒවාහි යථා ස්වභාවයෙන් දැකීමට තිබෙන හැකියාව නැති කරගෙන ඇතැ”යි කිව හැකිය. රාවයේ 25 වැනි සංවත්සරය ඔවුන්ගේ විරෝධයට හා කෝපයට හේතුවූයේ එම විශේෂ මනෝභාවය නිසාය යන්නය මගේ මතය විය. මගේ එම ප්‍රවාදය කථිකාමය ප්‍රබන්ධයක් ලෙස වියන්ගොඩ හඳුන්වා ඇතත්, මා එම ප්‍රවාදය ගොඩනැගීම සඳහා යොදාගන්නා තර්කය ඔහු බොරු නොකරනවා පමණක් නොව, අඩුම වශයෙන් ඊට අත තබන තැනකටවත් යන්නේ නැත. ඒ මගින්ද ඔහු කර තිබෙන්නේ මගේ ප්‍රවාදය ඔහු විසින්ද තහවුරු කිරීමය.

චෞර රැජින හා චෞර රාජ්‍යය

මාගේ ප්‍රවාදය බිඳ දැමීමකින් තොරව ඔහු මට එරෙහිව ගොඩනගන ප්‍රතිප්‍රවාදය ගැන දැන් සලකා බැලිය හැකිය. ඔහුට අනුව මා හැමදාමත් අරගල කර ඇත්තේ ක්‍රමයට එරෙහිව නොව පුද්ගලයාට එරෙහිවය. ඔහු ඒ සඳහා වන නාම ලැයිස්තුවක්ද ඉදිරිපත් කරයි. ඔහුට අනුව අවුරුදු 25න් අවුරුදු 20ක් පමණ කාලයක් තිස්සේ “පවත්නා ක්‍රමය හා පුද්ගලයා නමැති සාධක දෙක අතර අනුපාතය තුළ වික්ටර් අයිවන් සිටියේ පුද්ගල සාධකය පැත්තේය.” වික්ටර් අයිවන්ගේ මෙම ප්‍රතිපත්තිය වෙනස්වන්නේ මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුවය. ඔහු එය හඳුන්වා ඇත්තේ අංශක 180ක කරණම වශයෙනි. “එදා පුද්ගලයන්ට එරෙහිව යෑම සඳහා පවතින ක්‍රමය පිළිගන්නට තල්ලු කළ වික්ටර් අයිවන් අද පුද්ගලයකු ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමය ආලින්දයට කැඳවා” තිබෙන බව ඔහු කියයි. ඔහු එම තර්කය සනාථ කිරීම සඳහා ලොකුම සාක්ෂිය බවට පත්කර ගන්නේ මා විසින් ලියා පළකර තිබෙන “චෞර රැජින” හා “චෞර රාජ්‍යය” යන පොත් දෙකේ නම් දෙක හා ඒ පොත් දෙක පළකර තිබෙන අනුපිළිවෙළය. ඔහු එම කාරණා දෙක මත පදනම් වී ඒ මත විශාල බඩපිනුම් ගැසීමක්ද කරන්නේය.

ඔහු පළමුවරට චෞර රැජින පිළිබඳව තමන්ගේ අදහස් පළකරන්නටද එය අවස්ථාවක් කරගන්නේය. මෙම පොත පළවී අවුරුදු හයකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මොනම හේතුවක් නිසා හෝ මේ මොහොත දක්වා ඔහු එම පොත ගැන ප්‍රසිද්ධියේ කතා කර නැත. එය එසේ වූවේ ඇයිද කියා ඔහු කියන්නේද නැත. මම ඔහු ඇසුරු කර ඇත්තෙමි. ඔහු සමග වාද විවාද කර ඇත්තෙමි. එහෙත් මීට පෙර කිසිදවසක ඒ මතය ඔහුගෙන් මට අසන්නට ලැබී නැත. එම පොත ලියා පළකිරීමෙන් මා වැරදි මතයක් සමාජගත කිරීමක් කළේ නම් ඔහු ඒ බව රටට කිවයුතුව තිබුණේය.

ඔහු මෙසේ කියයි.

“කුඩා ළමයකු සේ කෝපයෙන් පුපුරමින්, ද්වේශයෙන් දැවෙමින් එක් ගැහැනියක වෛශ්‍යාවකයැ”යි ලිවීම සඳහා මළගිය පිරිසකගේ සාක්ෂි පවා තමාගේ සහායට කැඳවමින් ආවේගකාරීව “චෞර රැජින” ලියූ වික්ටර් අයිවන්, එහි දෙවැනි කොටස වශයෙන්, “චෞර රාජ්‍යය (හෝ චෞර අධිරාජ්‍යයා) ලියනු වෙනුවට, චෞර රාජ්‍යයක් ගැන ලිවීමට පෙළඹීම කොකා ඉගිල්ලුනු මොහොතයි.”

ඒ සමග ඔහු මෙසේද කියයි.

“එය වික්ටර් අයිවන්ගේ වර්තමාන දේශපාලනයේ අපූරු කතා වස්තුවයි. රැජිනක් ගැන අතිශය පුද්ගලවාදීව ලියූ ඔහු 2005න් පසුව රජකු ගැන නොලියා රාජ්‍යයක් ගැන හෙවත් ක්‍රමයක් ගැන ලියන්නට පෙළඹෙන්නේ රජකු ආරක්ෂා කිරීම පිණිස මිස රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීම සඳහා නොවේ.” පොත් දෙකේ නම් දෙක හා එය පළවූ අනුපිළිවෙල මත පිහිටා කරන එම බඩ පිනුම් ගැසීමෙන් පසු ඔහු අවසාන වශයෙන් කියන්නේ “මා කූට ප්‍රයෝගකාරයකු” බවය.

මේ පොත් දෙක ආශ්‍රයෙන් ඔහු මා පිළිබඳව ගොඩනගන ප්‍රවාදයෙන් පෙනෙන්නේද ඔහු ප්‍රකෘති සිහිය අහිමි කරගත් නුවණැත්තකු බවය. එක්කෝ තමන්ද හොඳින් දන්නා කරුණු ඔහුට අමතක වී තිබේ. නැතිනම් ඕනෑකමින් ඒවා අමතක කර තිබේ. එවැනි මනෝභාවයක් ප්‍රබන්ධ කතාකරුවකුට හොඳ විය හැකි වුවත් දේශපාලන විචාරකයකු හොඳ නැත.

රැජිනට දෙන සංඥාව

ඔහු එම පොත් දෙක ආශ්‍රයෙන් සිය ප්‍රවාදය ගොඩනැගීම සඳහා යොදාගෙන ඇති කරුණු මුළුමනින් සාවද්‍යය. එය විග්‍රහ කරන්නට පෙර චෞර රැජින පිළිබඳව ඔහු කෙටියෙන් කරන විග්‍රහය ගැනද කියන්නට දෙයක් ඇත්තේය. ඔහු එයින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමට උත්සාහ කරන බව පෙනේ. ඔහු ඒ මගින් මට පහර දෙන අතර තමාගේ අනාගත දේශපාලනයට ප්‍රයෝජනවත් විය හැකි රැජිනට මිහිරි සංඥාවක් ලබාදීමටද එය අවස්ථාවක් කර ගනී. ලසන්ත වික්‍රමතුංගද ඇයට ළංවීම සඳහා මේ පොත පාවිච්චි කළේය. ඒ ගැන වන මගේ අදහස ඔහු ජීවතුන් අතර සිටියදීම ප්‍රසිද්ධියේ පළකර ඇත්තෙමි.

චෞර රැජින කෘතියට ඇතුළත් ලිපිවලින් වැඩි හරියක් ඇය තනතුරේ සිටියදීම ලියා පළ කරන ලද ඒවා විය. පුවත්පතේ කලින් පළ නොවූ දේවල් තිබුණේ පුංචි ප්‍රමාණයක් පමණය. චෞර රැජින පොත එළිදක්වන්නට වසර තුනකට පමණ පෙර “චෞර රාජ්‍යය” නමින් මා විසින් ලියන ලද ලිපි පෙළක්ද රාවයේ පළවිය. එය පුද්ගලයා ගැන වෙනුවට දේශපාලන ක්‍රමය ගැන ලියන ලද විවරණයක් විය. චෞර රැජින පොත පළකරන ලද්දේ 2006 සැප්තැම්බර්වලදීය. “චෞර රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම” යන තේමාව යටතේ මා විසින් ලියන ලද එම ලිපි පෙළ රාවයේ පළවූයේ 2002 ජූලි මාසයේදීය. ලිපියේ පළමු කොටස ජූලි 13 වැනිදාත්, දෙවැනි කොටස ජූලි 20 වැනිදාත්, තුන්වැනි කොටස ජූලි 27 වැනිදාත් පළවිය. 2010 පළවන චෞර රාජ්‍යය එම ලිපි පෙළේ එන දර්ශනය මත පිහිටා වඩා විස්තරාත්මකව හා විධිමත් ලෙස ලියන ලද කෘතියක් වේයැ”යි කිව හැකිය. චන්ද්‍රිකාගේ ධුර කාලය අවසන් වන කාලවකවානුව වනවිට පොත් දෙකක් සඳහා වන සැලසුම් හා ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මා ළඟ තිබුණි. එකක් චෞර රැජින සඳහාය. අනෙක චෞර රාජ්‍යය සඳහාය. ඒ දෙකෙන් චෞර රැජින පළමුව පළකරන තැනකට යන්නට සිදුවූයේ අධිකරණය විසින් දෙන ලද තීන්දුවක් නිසා 2006 අවසානයේදී වෙනුවට 2005 අවසානයේදී ඇයට ධුරය අහිමිවීම නිසා හා එහි රශ්මිය නිවී යන්නට පෙර පොත කරළියට ගන්නට මට අවශ්‍ය වූ නිසාය.

චෞර රැජින පොත ලියන විට පවා මා ක්‍රමය මුළුමනින් අමතක කළේ නැත. එහි පෙරවදන ආරම්භ කර තිබෙන්නේ මෙසේය.

“මා ජීවත් වන ශ්‍රී ලංකා රාජ්‍ය මට පෙනෙනුයේ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ලෙස නොව චෞර රාජ්‍යයක් ලෙසය. එම රාජ්‍යයේ රාජ්‍ය නායකයන්ද අඩු වැඩි වශයෙන් චෞර ගති ලක්ෂණවලින් හෙබිය.”

චෞර රැජින පොත කියවන්නන් තුළ පිළිකුලක් ඇතිවන්නේ රැජින ගැන පමණක් නොවේ. දේශපාලන ක්‍රමය ගැනද පිළිකුලක් ඇතිවේ. පොත ගැන පළවූ විචාර ගණනාවකද ඒ ගැන සඳහන් වී තිබුණි.

දේශපාලන ක්‍රමය

“චෞර රාජ්‍යය” රටේ පවතින දේශපාලන ක්‍රමය අළලා කරන ලද ගැඹුරු අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන අතවැසියකුවීමට අවශ්‍ය නම් මා කළ යුතුව තිබුණේ එවැනි දුෂ්කර ආයාසයක යෙදීම නොව ජනාධිපතිවරයා හා ඔහුගේ පාලනය ප්‍රශංසාවට ලක් කරන ආකාරයේ සරල පොතක් ලිවීමය. රටේ පවතින දේශපාලන ක්‍රමය චෞර ක්‍රමයක් බව කියන විට එය බලපාන්නේ හිටපු නායකයන් සඳහා පමණක් නොවේ. එය තනතුරේ සිටින නායකයා කෙරෙහිද බලපායි.

පහත පළවනුයේ එම පොතේ පෙරවදනින් උපුටාගත් මේ විවාදයටද වලංගු ජේදයකි.

“මෙම කෘතිය ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හා එම ක්‍රමයේ දැති රෝද කැරකෙන සුවිශේෂ ස්වරූපයට අළලා ලියන ලද්දකි. මෙම කෘතිය එකවිට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ගැන කරන ලද අධ්‍යයනයක් ලෙසද, එම ක්‍රමය ගැන ලියන ලද විග්‍රහයක් හා හෙළිදරව්වක් ලෙසද, ක්‍රමයේ උත්පත්තිය හා විකාශය අළලා ලියන ලද ඉතිහාස කෘතියක් ලෙසද සැලකිය හැකිය.

“ශ්‍රී ලංකාවේ තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් සඳහා දැක්විය හැකි හොඳම හා සම්භාව්‍ය ආකෘතිය නොව තිබිය හැකි නරකම හා අශීලාචාරම ආකෘතියයි. එය අභිමානවත් හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, ලෝකයේ තිබෙන ලස්සනම රටක් බොරුව, තක්කඩිකම, අසාධාරණය, අත්තනෝමතික බව හා වංචාව රජ කරන අවලස්සන රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ. මෙම කෘතියට චෞර රාජ්‍යය යන නම ලබාදී ඇත්තේ චෞර බව මෙම දේශපාලන ක්‍රමයට ආවේණික ප්‍රමුඛ හා නිත්‍ය ලක්ෂණයක් වන නිසාය.

“මෙම පොත කියවීමෙන් සාමාන්‍ය පාඨකයන් තුළ පමණක් නොව, මෙම ක්‍රමය පවත්වාගෙන යන දේශපාලකයන් තුළද පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව බලවත් ලැජ්ජාවක් හා පිළිකුලක් ඇතිවේ නම් මේ පොත ලිවීමෙන් මා අපේක්ෂා කළ එක් අභිලාෂයක් ඉටුවීයැ”යි සිතා මට සතුටුවිය හැකිය. මෙම දූෂිත හා පීඩාකාරී දේශපාලන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේද ඒ ගැන සමාජය තුළ උතුරා යන පිළිකුලක් හා ලැජ්ජාවක් ඇතිවේ නම් පමණය.”

රටේ දේශපාලන ක්‍රමය විග්‍රහ කැරෙන “චෞර රාජ්‍යය” පළකිරීමෙන් පසුව දේශපාලන ක්‍රමය හා ජනවර්ග අර්බුදය එකට ගෙන ඒ දෙකේ පරිණාමය විග්‍රහ කරන අතර එම අර්බුදය ජයගැනීම සඳහා තෝරාගත හැකි විකල්ප මාර්ගයක් විස්තර කරන තවත් පොතක් “ලංකාව හා ගලවා ගැනීම” යන මාතෘකාව යටතේ ලියා පළ කරන ලදි.

මා දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ගැන කතා කරන්නට පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ පාලනය ඇතිවීමෙන් පසුවයැ”යි කියන වංක හා නොහොබිනා කතාව බොරු කරන තවත් ලේඛනගත සාක්ෂි කිහිපයක් මෙසේය. පහත දැක්වෙන සියලු ලිපි රාවයේ පළවූ ලිපි වන අතර ඒ සියල්ල දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමේ අවශ්‍යතාව අළලා ලියන ලද ලිපි ලෙසද සැලකිය හැකිය. ඒ සියල්ල මහින්ද රාජපක්ෂ කෙනකු බලයට එන්නට පෙර ලියන ලද ලිපි විය.

1. රටේ කාලකණ්ණිකම හා නිදහස, 2004 පෙබරවාරි 01

2. විනාශය කරා යන රටක්, කතුවැකිය. 2004 පෙබරවාරි 24

3. දේශපාලන අවස්ථාවාදයේ පැති දෙකක්, 2004 මාර්තු 07

4. විය හැකි දේ හා විය යුතු දේ 2004 මාර්තු 21

5. විධායක ජනාධිපති ක්‍රමයේ ඊළඟ දඟර නැටුම 2004 සැප්තැම්බර් 10

6. විමල් වීරවංශගේ බිබික්කම් රාජ්‍යයේ බිඳවැටීම 2005 මාර්තු 13

ප්‍රතිසංවිධානය

දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් සඳහා වන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළද ඔහු දකින්නේ රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වංචනික අරමුණෙන් යුතුව පාවිච්චි කරමින් තිබෙන ට්‍රොජන් අශ්වයකු බවය. මෙය මගින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව පළමුවරට කරළියට ගන්නා ලද වැඩසටහනක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? මීට සමාන වැඩසටහනක් චන්ද්‍රිකා පාලන යුගයේදී රාවය ඉදිරියට ගනු ලැබීය. වියන්ගොඩට ඉතිහාසය අමතක වී තිබෙන තරම පුදුමසහගතය.

වයඹ ඡන්ද කොල්ලයෙන් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සඳහා වෙනත් බහුජන සංවිධාන ගණනාවකගේද ආධාර ඇතිව රාවය කහපටි ව්‍යාපාරයක් කරළියට ගන්නේ 2000 සැප්තැම්බර්වලදීය. සැප්තැම්බර් 11 වැනි දින මරදානේ එල්පින්ස්ටන් ශාලාවේ පැවති සමාරම්භක උළෙල පවත්වනු ලැබුවේ ආණ්ඩුව වෙනුවෙන් ඇමති මහින්ද රාජපක්ෂ මහතාද, එජාප වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මහතාද සහභාගි කරවා ගනිමිනි.

කහපටි උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් කිරීමෙන් පසුව දේශපාලන ක්‍රමයේ ප්‍රතිසංවිධානයක් සඳහා යෝජනාවලියක් ප්‍රකාශයට පත් කරන ලද අතර එම යෝජනා සාකච්ඡාවට ලක් කැරෙන සර්වපාක්ෂික සාකච්ඡාවක් 2001 මාර්තු 27 වැනි දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2දී පවත්වන ලදි. ඊට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන නියෝජිතයන් තිදෙනෙක්ද, මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් මහතාද, වතු කම්කරු කොංග්‍රසය වෙනුවෙන් ආර්. යෝගරාජන් මහතාද, එජාප වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය යන මහතුන්ද ජවිපෙ වෙනුවෙන් නන්දන ගුණතිලක හා ජිනදාස කිතුල්ගොඩ යන මහතුන්ද, දෙමළ එක්සත් පෙරමුණ වෙනුවෙන් ආනන්ද සංගරී හා මාවෙයි සේනාධිරාජා මහතාද ටෙලෝ සංවිධානය වෙනුවෙන් ඒ. අඩෙයිකුලනාදන් මහතාද, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් එස්. විනයාගමූර්ති මහතාද සහභාගි විය. ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංවිධානයක් සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සකස් කරන ලද්දේ මා විසිනි. සම්පූර්ණ කෙටුම්පත රාවයේ පළ කරන ලදි. විධායක ජනාධිපති ක්‍රමය ඉදිරියට ගෙනයන්නේ නම් ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්ත්වය නැති කළ යුතු බවටත්, රාජ්‍ය ආරක්ෂාව හා ආගම් යන විෂයන් හැර වෙනත් ඇමති ධුර තමන් වෙත හිමිකර ගැනීමට ජනාධිපතිට තිබෙන බලය නැති කළයුතු බවටත්, වසරක කාලය සම්පූර්ණවීමෙන් පසුව තමන් කැමති ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබෙන බලයද අහෝසි කළ යුතු බවටත්, බරපතළ වැරදි කරන ජනාධිපතිවරයකුට එරෙහිව පාවිච්චි කළ හැකි දෝෂාභියෝග ප්‍රතිපාදනය විධිමත් කළයුතු බවටත්, මැතිවරණ කොට්ඨාස ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් ඇති වන ලෙස මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවටත්, මැතිවරණ අරමුදල් හා වියදම්වල පාරදෘශ්‍යභාවය සහතික කරන නව නීති ඇති කළයුතු බවටත් එහිදී සියලු පක්ෂවල නියෝජිතයන් එකඟ විය. එය පිටස්තර පිරිසක් විසින් සර්වපාක්ෂික සාකච්ඡාවක් පවත්වන ලද පළමු අවස්ථාව විය.

ඉතාම වැදගත් තවත් අත්හදා බැලීමක් 2006 ජූනි 17 වැනි දිනදීද සිදුකරන ලදි. එය අප්‍රසිද්ධියේ සිදුකරන ලද දෙයක් විය. විවිධ අංශවලින් තෝරාගත් පුද්ගලයන් 51 දෙනකු ඒ දිනයේ උදේ 9.30 සිට සවස 6 පමණ වන තෙක් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේ වටමේස ශාලාවේදී රැස්වී රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ ප්‍රතිසංස්කරණ දිනාගැනීමට ඉඩක් තිබේද නැද්ද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කරන ලදි. මෙම සාකච්ඡාව ආරම්භයේදීම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර තිබුණු කෙටුම්පතට ඇතුළත් නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශයේ විශ්‍රාමලත් නිලධාරියකු වන ආර්.එම්.බී. සේනානායක මහතා කතා කරමින් කියා සිටියේ මෙම දේශපාලන ක්‍රමය තුළ ප්‍රතිසංස්කරණ සඳහා කිසිම ඉඩක් නැතැ”යි කියන අදහස පිළිගැනීම සුදුසු නැති බවය. එසේ වුවහොත් සියලුදෙනා එළියට ආ නොහැකි අගාධයක හිරවෙන බවද කියා සිටියේය. සාකච්ඡාවට සහභාගි වූ සියලුදෙනාගේ නම් මට මතක නැත. එම ලැයිස්තුව කාර්යාලය සතුව තිබේයැ”යි විශ්වාස කරමි. මට මතක තිබෙන ආකාරයට ඊට සහභාගි වූවන් අතර ආචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය විශ්වලිංගම්, සුසිල් සිරිවර්ධන, ශිරාල් ලක්තිලක, එල්මෝ පෙරේරා, ආචාර්ය ෆයිස් උල් රහුමාන් යන අයද එහි සිටියේය. ඉන්පසු 1977න් පසුව 17 වන සංශෝධනය දක්වා නීතිගත කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ එහි සාකච්ඡාවට ලක්විය. සවස සභාව විසුරුවා හරින්නට පෙර මෙම දේශපාලන ක්‍රමය තුළ ප්‍රතිසංස්කරණවලට ඉඩක් තිබේද නැද්ද යන ප්‍රශ්නය ගැන ඡන්ද විමසීමක් පවත්වන ලදි. පුදුමයට මෙන් ආර්.එම්.බී. සේනානායකද ඇතුළුව සියලුදෙනාගේ පොදු මතය වූයේ මහජන යහපතට හේතුවන කිසිදු ප්‍රතිසංස්කරණයකට මෙම දේශපාලන ක්‍රමය තුළ ඉඩක් නැති බවය. මෙම සාකච්ඡාව පිළිබඳව මා විසින් ලියන ලද ලිපියක් “විනාශයේ මුව විට සිටින ශ්‍රී ලංකාව බේරාගැනීම” යන මාතෘකාව යටතේ 2006 සැප්තැම්බර් 10 වන දින රාවයේ පළවිය.

ගතයුතු මග

මේ සියලු කරුණුවලින් පෙනීයන්නේ රටේ ඉදිරි ගමන සඳහා රටේ තිබෙන දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් අත්‍යවශ්‍යවේයැ”යි කියන අදහස රාත්‍රී සුව නින්දකදී පහළ වූ සුන්දර සිහිනයක් නොවන බවය. එසේම එය මහින්ද රාජපක්ෂ පාලනය පහළවීමෙන් පසුව ඇතිකර ගන්නා ලද්දක්ද නොවන බවය. ශාස්ත්‍රීය මට්ටමෙන් කරන අධ්‍යයනයන්ගෙන්ද, යුක්තිය සඳහා කැරෙන විවිධ සටන්වලින්ද, වාද විවාද හා සාකච්ඡා මගින් ඇතිකර ගන්නා ලද ස්ථිරසාර හා තර්කානුකූල මතයක් වන බවය.

මෙම නුවණැත්තන් දෙදෙනා විසින් මහත් ආස්වාදයෙන් කරනු ලබන සරල, ක්ෂණික දේශපාලන සටන් මටද හුරු පුරුදුය. මා ඒවාට වර්තමානයේ දායකවන්නේ නැතත් ඔවුන් එවැනි සටන් කරනවාට මා විරුද්ධ නැත. ඔවුන්ට එතරම් හුරු පුරුදු නැති නිශ්චිත ඉලක්කයක් ඇතිව කරන දිග්ගැසුණු ලොකු සටනක්ද මා කර ඇත්තෙමි. ඒ හැම එකකින්ම උගත යුතු පාඩම් ඉගෙන ගෙන ඇත්තේයැ”යිද සිතමි. සරල ක්ෂණික දේශපාලන සටන් තිබීම වරදක් නැතත්, එවැනි සටන්වලින් ශ්‍රී ලංකාව ගලවාගත නොහැකිය යන්න මගේ විශ්වාසයයි. රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමයෙන් රට නිදහස් කරගැනීමේ ඓතිහාසික මොහොතක එළැඹ තිබෙන්නේ දැන්ය. රටේ සන්නද්ධ කැරලි තිබෙන අවස්ථාවක රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කළ නොහැකිය. දැන් දේශපාලන ක්‍රමය තිබෙන්නේද එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තරමට ජරාජීර්ණ වූ තත්ත්වයකය. ක්‍රමයේ දූෂිත බව, අක්‍රමවත් බව හා පීඩාකාරී බව මහජනයාට හොඳින් පෙනෙන ත්තත්වයක් ඇතිවී තිබෙන්නේද දැන්ය. මහපාරේ කැරෙන අරගලවලින් දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කළ නොහැකිය. දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා දේශපාලන නායකයන් දැනුවත් කිරීම, එකඟ කරවා ගැනීම හා පොළොඹවා ගැනීම අවශ්‍යවන්නා සේ ම මහජනයා දැනුවත් කිරීම, මහජනයා එකඟ කරවා ගැනීම හා පොළඹවා ගැනීමද වැදගත්ය. මෙම අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ දකුණු අප්‍රිකානු අර්බුදය ජයගැනීමට මැන්ඩෙලා යොදාගත් විධි ක්‍රමයට සමාන විධි ක්‍රමයකිනි. කිසිවෙක් පරාජය කිරීමෙන් තොරව හා කිසිවෙක් බැහැර කිරීමෙන් තොරව සියලුදෙනාට ජයග්‍රහණ ලැබෙන ආකාරයට පොදු සම්මුතියක් ඇතිකර ගන්නා ක්‍රියාමාර්ගයකිනි. රාවයේ 25 වැනි සංවත්සර වැඩසටහන වැනි පුළුල් අරමුණක් ඇතිව ක්‍රියාවට නගන ලද සංකේතාත්මක වැදගත්කමක් ඇති ආරම්භක පියවරක් වීයැ”යි කිව හැකිය.

වියන්ගොඩ සිය ලිපියෙන් මතුකර තිබෙන ප්‍රශ්න දෙකකට මේ ලිපියෙන් පිළිතුරු දී නැත. වික්ටර් අයිවන්ගේ අදහස් හා රාවය සෙසු කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ අදහස් එක සමාන නොවන නිසා 25 වන සංවත්සරයේ ප්‍රවේශය රාවයේ ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිද යන ප්‍රශ්නය ඔහු මතුකර තිබුණි. එම ප්‍රශ්නයට මා පිළිතුරු දෙනවාට වඩා රාවයේ අයම පිළිතුරු දීම හෝ ඔවුන්ගෙන් එය දැනගැනීම සුදුසුයැ”යි සිතමි. ඔහු මතුකර තිබූ ඊළඟ ප්‍රශ්නය කෙටි වාර්තා චිත්‍රපටයට අදාළය. එයට දෙන පිළිතුරක් සඳහා පෙළ උපුටා දැක්වීමක් කළ යුතු නිසා එය වෙනත් ලිපියකින් කතා කිරීම සුදුසුයැ”යි සිතමි. ඒ හැරුණු කොට ඔහු නගන ලද අන් සියලු ප්‍රශ්නවලට මා පිළිතුරු දී ඇතැ”යි සිතමි.