ජිනීවා අර්බුදය-

April 1, 2012
Publication:
Sri Lanka was right to oppose the US resolution at the Human Rights Council, Ivan writes, but its campaign damaged the country's name — ending with Minister Mervyn Silva's boast that he had Poddala Jayantha beaten and would punish others who went to Geneva. He warns against the view that the balance of power is shifting to China, arguing that India, soon larger and younger and closer to Western values, matters more to a country that lives 'in India's mouth'. National sovereignty is relative: as a UN member bound by the ICCPR, Sri Lanka cannot treat the Council's action as unlawful. The war was fought within a civilised framework, but the Foreign Ministry lost the propaganda war, letting support fall from 32 votes in 2009 to 15 in 2012. The best course is to go beyond the resolution with a national programme to rebuild the state.

ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඇමරිකාව ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධවීම නිවැරදිය. එහෙත් එම විරෝධතා ව්‍යාපාරය රටේ ගෞරවයට හේතුවන ආකාරයට ඉදිරියට ගෙනයෑමට ආණ්ඩුව සමත් නොවීයැ”යි කිව හැකිය. ශ්‍රී ලංකාවේ හොඳ නම විශාල ප්‍රමාණයකට කෙලෙසීම එය ඇති කරන ලද අවසාන ප්‍රතිඵලය වීයැ”යි කිව හැකිය. මෙම උණුසුම් විවාදය ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් කරන ලද ප්‍රකාශකයා බවට පත්වූයේ ඇමති මර්වින් සිල්වාය. පෝද්දල ජයන්තට ලංකාව අතහැර පලායන්නට හේතුවූ පහරදීම කරවන ලද්දේ තමා විසින් බවටත් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් ගිය අන් අයටත් තමා දඬුවම් කරන බවටත් ඔහු මුළු ලෝකයටම ඇසෙන ලෙස කරන ලද ප්‍රකාශය ලෝක ජනතාව තුළ ඇති කළ හැඟීම කිසිසේත් රටේ යහපතට හේතුවිය නොහැකිය. එම ප්‍රකාශය ආශ්‍රයෙන් ඔවුන්ට ශ්‍රී ලංකාවට පෙනෙන්නට ඇත්තේ අශීලාචාර දේශයක් ලෙසය.

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන ප්‍රශ්නයක් ලෙස මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මතුවී තිබුණු අවස්ථාවක ශ්‍රී ලංකාවේ පිරිසක් එහි ගොස් එල්ල වී තිබුණු චෝදනා සනාථ කරන සාක්ෂිකරුවන් ලෙස ක්‍රියාකිරීම හොඳ හෝ හරි දෙයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් මෙම මහා අවුල ගොඩනැගී වර්ධනය වී තිබුණේ එවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත නොහැකි ආකාරයටය. එහිදී එවැනි අය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමහර රූපවාහිනී ආයතන පවත්වාගෙන ගිය වෛරය කුළුගන්වන ප්‍රතිපත්තිය සාධාරණ නොවනවා සේ ම එම ක්‍රියාවලිය ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වූ අවස්ථාවේදීද එය අසන පුද්ගලයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති කරන හැඟීම යහපත් විය නොහැකිය.

සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නට යන්නේ කුමන ප්‍රතිපත්තියක්ද යන්න දැන් ඉතිරි වී තිබෙන වැදගත්ම හා තීරණාත්මක ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. යෝජනාව පරාජය වූ වහාම ආණ්ඩුවේ නායකයන් දක්වන ලද ප්‍රතික්‍රියා ආවේගකාරී වුවද මේ වනවිට එම තත්ත්වයෙන් අත්මිදෙමින් යථා ලෝකයට එමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. සන්සුන්ව හා හොඳින් කරුණු සලකා බැලීමෙන් තොරව හැඟීම්බරව හා ආවේගයන් මත ක්‍රියාකරන තැනකට ගියහොත් විශාල විනාශයක් ඇතිවීමට ඉඩක් තිබෙන බව අප අමතක නොකළ යුතුය. මෙම අවුල නිසි ලෙස කළමනාකරණය කිරීමට අසමත්වෙතොත් කිසියම් මොහොතක විශාල ලේ වැගිරීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා සේ ම ප්‍රභාකරන් කෙනකු නැතිව පවා රට දෙකඩ වන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. මෙම අවුලේදී ශ්‍රී ලංකාව ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකරන්නට අසමත්වෙතොත් ශ්‍රී ලංකාවට හැප්පෙන්නට සිදුවනු ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග නොව, කලාපීය බලවතා වනවාට අතිරේකව, මහ බලවතකුගේ තත්ත්වයට වර්ධනය වෙමින් සිටින, ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා ලෙස සැලකිය හැකි, ඉන්දියාව සමගය.

චීනය හා ඉන්දියාව

වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සකස් වී තිබෙන්නේ ලෝක බලතුලනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලකඳවුරේ අවාසියටත්, චීනය ප්‍රමුඛ විකල්ප බලකඳවුරක වාසියටත් හේතුවන ලෙස වෙනස්වෙමින් තිබෙන්නේය කියන දර්ශනය මත පිහිටාය. ඒ නිසා ශ්‍රී ලංකාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලකඳවුර සමග සමීප සහයෝගයක් පවත්වාගෙන යෑම අවශ්‍ය නැතැ”යි කියන මතවාදය ආණ්ඩුවට සමීප සමහර න්‍යායවාදීන් විසින් රාජපක්ෂ ආණ්ඩුවට ගිල්වා තිබෙන විශේෂ මතවාදයක් ලෙසද සැලකිය හැකිය. විප්ලවකාරී පෙනුමකින් යුතු මෙම ප්‍රවේශයේ කිසියම් ඇත්තක් තිබෙනවා වුවත් එය මුළු එකක් වශයෙන් ගත්විට නිවැරදි ප්‍රවේශයක් ලෙස සැලකිය නොහැකිය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලකඳවුරේ ගරාහැලීමක් ඇතිවී තිබෙන්නේය කියන කාරණය සත්‍යයක් වුවත් බලතුලනයේ වෙනස ශීඝ්‍රගාමී වේගයකින් සිදුවන්නක් ලෙස සැලකිය නොහැකිය. අනෙක් අතට එම ප්‍රවේශය තුළ නැගී එන එකම විකල්ප බලවතා ලෙස අවධාරණය කර ඇත්තේ චීනය පමණය. එහිදී ඉන්දියාවට ලැබෙන වැදගත්කම නිසි ලෙස සැලකිල්ලට ගෙන නැත.

දැන් තිබෙන තත්ත්වයන් තුළ චීනය ඉතා බලවත් බව සැබෑය. ඉන්දියාව සිටින්නේද මහා බලවතකුගේ තත්ත්වය වේගයෙන් අත්පත් කරගනිමින් සිටින තත්ත්වයකය. චීනය හා ඉන්දියාව අතර තරගයේදී ක්‍රමයෙන් චීනය අබිබවා යා හැකි වාසිදායක තත්ත්වයක් ඉන්දියාව හිමිකර ගනිමින් සිටින්නේයැ”යිද කිව හැකිය. වර්තමානයේ වැඩිම ජනගහනයක් සහිත රට චීනය වුවත්, ඉදිරි දශක තුන තුළ චීනය අබිබවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට බවට පත්වන්නේය. අනෙක් අතට ඉදිරි දශක දෙක අවසානයේ චීනය මහලු රටක් බවට පත්වන විට ඉන්දියාව වැඩිම තරුණ ජනගහනයක් සහිත රට බවට පත්වන්නේය. චීනය සිය අතිරික්තයන් ඇමරිකාව හා බටහිර ලෝකයේ ආයෝජනය කර තිබෙන තත්ත්වයක් තුළ බටහිර ලෝකයේ ඇතිවන කඩා වැටීමක් චීනය කෙරෙහිද විනාශකාරී ලෙස බලපාන්නේය. චීනය ප්‍රධාන කොට විදේශ වෙළෙඳපොළ සඳහා භාණ්ඩ නිපදවන රටක් ලෙස ක්‍රියාකරන විට ඉන්දියාව තවමත් ප්‍රධාන කොට භාණ්ඩ නිපදවන්නේ විදේශ වෙළෙඳපොළ සඳහා නොව දේශීය වෙළෙඳපොළ සඳහාය. ඒ නිසා ලෝකයේ ඇතිවන ආර්ථික කඩාවැටීමකදී අල්ලාගෙන සිටීමේ වැඩි හැකියාවක් ඉන්දියාවට ඇත්තේය. ඉන්දියාවට තිබෙන්නේ ඕනෑම අභ්‍යන්තර අර්බුදයකට මුහුණදීමේ හැකියාව ඇති නම්‍යශීලී හා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකි. එහෙත් චීනයට තිබෙන්නේ බලහත්කාරය මත පදනම් වූ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයකි. චීනයේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන තරමට එරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීමට දක්වන උනන්දුවේ ප්‍රමාණයද ඉහළ යනු ඇත්තේය. ඒ නිසා කොයි මොහොතේ හෝ ඒ රටේ ඇතිවිය හැකි දේශපාලන නොසන්සුන්කම් චීනයේ ස්ථාවරභාවය බිඳ දමන සාධකයක් ලෙස ක්‍රියාකළ හැකිය. ඉතාම වැදගත් දේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට තිබෙන ලෝක ආධිපත්‍යයේ බිඳ වැටීමක් ඇති වෙතොත් ඔවුන්ගේ සහයෝගය ලැබෙනු ඇත්තේද චීනයට නොව ඉන්දියාවටය. ඊට හේතුව ඉන්දියාව සලකන වටිනාකම් බටහිර ලෝකය සලකන වටිනාකම්වලට සමාන නිසාය. මෙම අර්බුදය කළමනාකරණයේදී ශ්‍රී ලංකාව දක්වා තිබෙන අසමත්භාවය කෙරෙහි ලෝක බලතුලනයේ ඇතිවිය හැකි වෙනස්කම් තුළ ඉන්දියාවට හිමි තත්ත්වය නිවැරදි ලෙස තේරුම් ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වීමද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ.

ඉදිමිය යුත්තේ තරම දැනගෙනය

ඉන් අදහස්වන්නේ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවට හැමදාමත් ආධාර කළ චීනය අතහැර ඉන්දියාවට සමීප වියයුතු බව නොවේ. චීනය සමග තිබෙන හිතවත්කම් අත්නොහරින අතර ඉන්දියාවට ලැබිය යුතුව තිබෙන වැදගත්කම තේරුම් ගනිමින් ඉන්දු-ලංකා සම්බන්ධතා වැඩි වැඩියෙන් තර කරගත යුතුව තිබෙන බවය. අපට රටක් වශයෙන් ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ චීන කටේ නොව ඉන්දියානු කටේය. අනෙක් අතට දකුණු ඉන්දියාවට කෙරෙන් ඉතාමත් සංවේදී ජන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජීවත් වන බවද අප අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ පිහිටීමද ශ්‍රී ලංකාවේ අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ ප්‍රධාන මුහුදු මාර්ගයක් පාලනය කළ හැකි උපාය මාර්ගික වැදගත්කමක් ඇති මර්මස්ථානයකය. ලෝක බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් ලැබී තිබෙන්නේ ඒ නිසාය. රටවල් අතර කැරෙන භාණ්ඩ ප්‍රවාහනයේදී තාමත් ප්‍රධාන වන්නේ මුහුදෙන් නැව් මගින් කැරෙන ප්‍රවාහනයයි. අපේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස් වී තිබෙන්නේද එම සාධකය හොඳින් සැලකිල්ලට ගැනීමෙන් තොරවය.

රටක් වශයෙන් අප මොනම බලවතකු ඉදිරියේවත් දීන විය යුතු නැතත්, අප ඉදිමිය යුත්තේ අපේ තරමට ගැළපෙන ලෙසය. අප අපේ තරමට නොගැළපෙන තරමට ඉදිමෙන්නට ගියහොත් තමන්ගේ තරමට නොගැළපෙන තරමට ඉදිමෙන්නට ගිය ගෙම්බාට වූ දේ අපටද විය හැකිය. ප්‍රභාකරන් පරාජය කිරීමට හැකිවූ පමණකින් ලෝක බලවතුන් පරාජය කිරීමේ හැකියාවක් අපට නැත.

ස්වාධිපත්‍යය හා ඊට තිබෙන සීමා

ජාතික ස්වාධිපත්‍යය (National Sovereignity) අප වැදගත් කොට සැලකිය යුතු දේශපාලන සංකල්පයකි. ජාතික ස්වාධිපත්‍යය යන්නෙන් අදහස්වන්නේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් ක්‍රියාකිරීමට රාජ්‍යයකට ඇති ස්වාධිපත්‍යයයි. රටේ ස්වෛරී බව ඉන් අදහස් වේ. එය කිසිම විදේශ අධිකාරී බලයකට යටත් නොවී තමන්ට රුචි පරිදි සිය දේශපාලන, සමාජ නීති සම්පාදනය, සමාජ සංවිධානය, ආණ්ඩු ක්‍රමය, ආර්ථික සංවර්ධනය, විදේශ වෙළෙඳාම, විදේශ සම්බන්ධතා ආදී සෑම ක්ෂේත්‍රයකම තමන්ට මැනවැ”යි සිතන අන්දමට ක්‍රියාකිරීමට ජාතික රාජ්‍යයකට තිබෙන අයිතිය ජාතික ස්වාධිපත්‍යය ලෙස සැලකිය හැකිය.

රටක ජාතික ස්වාධිපත්‍යය සාපේක්ෂ දෙයක් වනවා මිස නිරපේක්ෂ දෙයක් වන්නේ නැත. ලෝකය සමන්විත වන්නේ එක ජාතික රාජ්‍යයකින් නොව රටවල් සිය ගණනකින් සමන්විත ජාතික රාජ්‍යයන් සමූහයකිනි. පුද්ගලයාගේ නිදහස සීමා කිරීම කෙරෙහි සමූහය බලපාන ආකාරයටම ජාතික රාජ්‍යයක ස්වාධිපත්‍යයේ සීමා කෙරෙහි ජාතික රාජ්‍යයන්ගේ සමූහය බලපායි. ශ්‍රී ලංකාව ස්වාධිපත්‍යය සහිත රටක් වනවා සේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් එය කිසියම් විශාල ප්‍රමාණයකට සිය ස්වාධිපත්‍යය අහිමි කරගත් රටක්ද වන්නේය. මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ තත්ත්වයක් නොව සියලු ජාතික රාජ්‍යයන්ට ආවේණික පොදු තත්ත්වයකි. අපට අපේ රටේ කටයුතු අපට මනාප ලෙස පවත්වාගෙන යෑමේ අයිතියක් ඇතත්, ඒ කටයුතු කරගෙන යෑමේදී අප ආරක්ෂා කරගත යුතු ගුණධර්ම පිළිබඳව අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික ස්වාධීන රටක් වශයෙන් ඇති කරගෙන තිබෙන එකඟතා පිළිපැදීමටද අන්තර්ජාතික නීතිය අනුව නෛතිකව බැඳී සිටිමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සර්වතෝභද්‍ර නැත. එය සියලු සාමාජිකයන් සඳහා එක සමානව ක්‍රියා නොකළ අවස්ථා පවතී. එය බලවත් රටවල් සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියකුත්, බලවත් නොවන රටවල් සම්බන්ධයෙන් ඊට වෙනස් ප්‍රතිපත්තියකුත් අනුගමනය කළ කොතෙකුත් අවස්ථා පවතී. එහෙත් එවැනි වැරදි තිබුණු පමණින් එය සතු අධිකාරි බලය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අපට නැත. එක්සත් ජාතීන් සංවිධානයෙන් ඉවත් වී තනිව ජීවත්වීමේ හැකියාවක්ද අපට නැත. ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවී තිබෙන අර්බුදය ගැන සලකා බැලීමේදී එම යථාර්ථයන්ද අප සැලකිල්ලට ගත යුතුය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංගමය සමග ඇති කරගෙන තිබෙන විවිධ ගිවිසුම් අතරින් ඉතා වැදගත් හා බලවත්ම ගිවිසුම ලෙස සැලකිය හැක්කේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියයි. එය සාමාජික රටක් මහජන අයිතීන් සම්බන්ධයෙන් පවත්වාගෙන යායුතු ප්‍රතිපත්තීන්ට අදාළ සම්මුතියක් ලෙස සැලකිය හැකිය.

ඒ මගින් එම සාමාජික රටේ ජනයාට

ජීවිතයට ඇති අයිතිය

වහල්භාවයෙන් මිදීමට ඇති අයිතිය

නීතිය ඉදිරියේ සමානවීමේ අයිතිය

අධිකරණය ඉදිරියේ පෙනීසිටීමේ අයිතිය

රැස්වීම් හා සමාගම් පැවැත්වීමේ අයිතිය

ගමන් කිරීමේ අයිතිය

පුද්ගලිකත්වය රැකීමේ අයිතිය

අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමේ අයිතිය

අදහස් පළකිරීමේ අයිතිය

යන අයිතීන්වලට ඇති අයිතිය සහතික කරයි. මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මකවිය යුත්තේ සමාජ සාමය යන සංකල්පයේ සීමාවන්ට යටත්වය. යුද්ධයක් වැනි අවස්ථාවකදී මෙම අයිතිවාසිකම් තාවකාලිකව සීමා කිරීමේ බලය මෙම සම්මුතියට අනුව රජයන්ට ලබාදී තිබේ. එහෙත් අන් අවස්ථාවලදී රජයක් පාලන බලය පවත්වාගෙන යා යුත්තේ එම අයිතිවාසිකම් ආරක්ෂා කරන හා ඒවාට ගරු කැරෙන ආකාරයටය. එය යහපාලනයක් සලකා ලබාදී තිබෙන නීතිමය බැඳීමක් ඇති මූලධර්ම ලෙස සැලකිය හැකිය. නීතිමය බැඳීමක් ඇති මෙම ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන අතර ඊට අදාළ ප්‍රොටකෝලයටද අත්සන් තබා තිබෙන්නේය.

මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මකවන්නේ එම ගිවිසුම යටතේය. මෙම ගිවිසුම එකිනෙක රාජ්‍යයන් අත්සන් තබා ඇති සන්ධානයක් වන නිසා අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි පරීක්ෂා කිරීමේ, විභාග කිරීමේ හා රාජ්‍ය පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පුනරීක්ෂණය කිරීමේ බලය එම කවුන්සිලය සතුය. කොටින්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට හා ඊට අදාළ ප්‍රොටකෝලයට අත්සන් තබා එහි පාර්ශ්වයක් වන රාජ්‍යයන් අධීක්ෂණය කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලය සතුය. ඒ ගණයට වැටෙන රාජ්‍යයන්හි පුරවැසියන් හෝ වෙනත් රාජ්‍යයක් කිසියම් රාජ්‍යයකට එරෙහිව ඉදිරිපත් කරන පෙත්සම් හෝ පැමිණිලි පරීක්ෂා කිරීමේ හා විභාග කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒ සියලු ක්‍රියාමාර්ගවලින්ද ප්‍රයෝජනයක් නොලැබෙන අවස්ථාවල එම රාජ්‍යයන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවලට හෝ මහා සභාවට වාර්තා කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලය සතුය.

එයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ දේ යුක්තිසහගත නොවන බවට තර්ක කිරීමට ඉඩක් ඇතත් එය නීති විරෝධී නොවන බවය.

තමන්ගේ වැරදි තේරුම් ගැනීමේ වැදගත්කම

එල්ටීටීඊය වැනි ලෝකයේ පළමු පෙළේ ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අතින් මුළුමනින් පරාජයට පත්වීම ලෝක බලවතුන්ගේ විස්මයට හේතුවීම අස්වාභාවික නැත. එල්ටීටීඊය ලැබූ පරාජය එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවද අන්දමන්ද කිරීමට හේතුවී තිබුණි. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව හා ආරක්ෂක හමුදා කෙරෙහි සැකයෙන් බලන තත්ත්වයක් ජාත්‍යන්තර තලයේ ඇතිවීමද අස්වාභාවික නැත. ශ්‍රී ලංකා ආණ්ඩුව හා ආරක්ෂක හමුදා එම යුද්ධය ජයගෙන තිබුණේ පිළිගත හැකි ශිෂ්ටසම්පන්න රාමුවකය. කවර මට්ටමකින්වත් එය එල්ටීටීඊය පරාජය කිරීමේ අරමුණින් ඉවතට ගොස් දෙමළ ජනතාවගෙන් පළිගැනීමේ අරමුණින් කැරෙන යුද්ධයක් බවට පත්වී තිබුණේ නැත. යුද හමුදාව අතින්ද යුද්ධයේදී වැරදි සිදුවී තිබුණා වුවද යුද්ධයේ පරිමාවේ විශාලත්වය අනුව ගත්විට සිදුවී තිබුණු වැරදිවල පරිමාව විශාල නොවීය. ඉතාම වැදගත් දේ යුද්ධයේ අවසාන අදියර ඇමරිකාව විසින් චන්ද්‍රිකා තාක්ෂණය මගින් අධීක්ෂණයට ලක්කර තිබීමය.

එල්ටීටීඊයට එරෙහිව සාර්ථක යුද්ධ ව්‍යාපාරයක නිරත වී එය පරාජය කිරීමට ආණ්ඩුව සමත් වී තිබුණද යුද්ධය අවසන්වීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් එල්ලවිය හැකිව තිබූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොතිබුණේය. යුද්ධය අවසන් කිරීමෙන් පසුව සිදුවූ හානි ගැන ගණන් බලා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කිරීම අත්‍යවශ්‍ය දෙයක් වුවද ඒ දේ කිරීමට පවා ආණ්ඩුව අසමත්ව තිබුණි.

නූතන ලෝකයේ ඕනෑම යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර තලයේ ප්‍රශ්න මතුවීම ස්වාභාවිකය. විශේෂයෙන්ම එල්ටීටීඊයට හිතවත් ඉතාමත් ශක්තිමත් හා ක්‍රියාකාරී දෙමළ ඩයස් පෝරාවක් තිබීම හේතු කොටගෙන ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න මතුවීම අසාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය. එම අනතුර කල්තියා තේරුම් ගනිමින් ඊට සාර්ථක ලෙස මුහුණදීම සඳහා කාර්යක්ෂම හා ප්‍රායෝගික ප්‍රචාරණ වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට ආණ්ඩුව අපොහොසත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රශ්න මතුවීමද අස්වාභාවික දෙයක් නොවන අතර ඔවුන් මතු කරන ප්‍රශ්නවලට කෝපයෙන් හා ආවේගයෙන් නොව එය ජගත් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ආයතන ක්‍රමය බව අමතක නොකරමින් නිසි ගෞරවයකින් යුතුව, රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් තර්කානුකූල හා විධිමත් ලෙස පිළිතුරු දෙන තැනකට අප යායුතුව තිබුණේය. එහෙත් අප කළේ හරියටම එහි පරස්පර දේය.

යුද්ධයෙන් පසු එල්ටීටීඊයට පක්ෂපාත ඩයස්පෝරාව හා ඇතැම් බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරන තැනකට ගියද ශ්‍රී ලංකාව කෙරෙහි අනුකම්පාවෙන් බලන විශාල ප්‍රජාවක් ලෝකයේ සිටියේය. 2009 වසරේදී මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමක් ඉල්ලා සිටි අවස්ථාවේදී එම කමිටුවේ සාමාජික රටවල් 47 අතුරින් 32ක්ම (68%)ක් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් විය. ඒ වනවිට ශ්‍රී ලංකාවට පක්ෂපාතව ගොඩනැගී තිබූ ජාත්‍යන්තර වටාපිටාව ආරක්ෂා කරගනිමින් තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව අසමත් විය. ඔවුන්ට තවදුරටත් නොකඩවා කරුණු පහදාදෙමින් ශ්‍රී ලංකාවට ඇති පක්ෂපාත බව ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට සිදුවූයේ ලැබූ එම ජයග්‍රහණයෙන් පසුව ඒ සඳහා කරන සටන අතහැර නැවත 2012දී ඇමරිකන් යෝජනාව ඉදිරිපත්වූ පසුව නැවත එම සටන ආරම්භ කිරීමය. ඒ වනවිට අශ්වයා ඉස්තාලයෙන් පිටවී සිටියේය.

ඇමරිකන් යෝජනාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූයේ එක ඡන්දයකින්ය කියන අදහස නිවැරදි නැත. යෝජනාවට පක්ෂව 24ක් පාවිච්චි කරන විට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබුණේ 15ක් පමණය. සාමාජික රටවල් 8ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය. 2009 සිට 2012 වනවිට ශ්‍රී ලංකාව අහිමි කරගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 17කි. ශ්‍රී ලංකාවට පක්ෂපාත කඳවුරේ විශාල ඛාදනයක් සිදුවී තිබෙන බව හා අපට තිබූ වාසිදායක තත්ත්වය රැකගන්නට අප අසමත්ව තිබෙන බව ඉන් පෙනීයයි.

මෙම ඛේදජනක තත්ත්වයට ප්‍රධාන හේතුව යුද්ධයෙන් පසුව ඊළඟට එළැඹුණු ජාත්‍යන්තර තලයේ සිදුවන ප්‍රචාරක යුද්ධයට නිසි ඉදිරි දර්ශනයක් හෝ සංවිධාන වැඩපිළිවෙළක් ඇතිව මුහුණදීමට ශ්‍රී ලංකාව අසමත්වීමය. ඒ තත්ත්වයට පොදුවේ ආණ්ඩුවත් විශේෂ වශයෙන් විදේශීය ඇමතිවරයා හා විදේශ අමාත්‍යාංශයත් වගකිව යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කැරෙන වාද විවාද ශීලාචාර තත්ත්වයක තබාගැනීමේ ප්‍රධාන වගකීම තිබුණේ විදේශ අමාත්‍යාංශයටය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සීමිතකම් තිබියදීත් එය ජගත් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ආයතන ක්‍රමය බව තේරුම් ගනිමින් ඒ සමග කැරෙන වාද විවාද ඊට ගැළපෙන තත්ත්වයක තබාගැනීමේ වගකීම තිබුණේද එයටය. එහෙත් විදේශ ඇමති හා අමාත්‍යාංශය පනින රිලවුන්ට ඉනිමං බඳින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් මෙම අවුල උග්‍ර කළා මිස අවුල ලිහන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. ආරක්ෂක අමාත්‍යාංශය යුද්ධයේදී තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් හොඳින් ඉටුකිරීමට සමත් විය. එහෙත් ඉන්පසු එළැඹෙන ජාත්‍යන්තර ප්‍රචාරණ යුද්ධයේදී විදේශ අමාත්‍යාංශය ඔවුන් සතු යුතුකම් හා වගකීම් ඉටුකිරීමට අසමත් විය. ඒ නිසා එල්ටීටීඊයට එරෙහිව කැරෙන යුද්ධයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් ප්‍රභාකරන් නැතිව ඊළඟට කරන ලද ප්‍රචාරක යුද්ධයෙන් ශ්‍රී ලංකාව, එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාවට පරාජයවීයැ”යි කිව හැකිය.

දැන් කළයුත්තේ කුමක්ද?

තේරුම් ගත යුතුව තිබෙන වැදගත්ම දේ වනුයේ ශ්‍රී ලංකාවට අදාළව ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකන් වන්නේ 23 වන දින දක්වා පමණක් වන බවය. දැන් එය තවදුරටත් ඇමරිකන් නොවන අතර එය සැලකියයුත්තේ යූඑන් යෝජනාවක් වශයෙනි.

මේ අර්බුදයේදී අපට තෝරාගත හැකි මාර්ග තුනක් තිබෙන්නේය.

1. යෝජනාව නොපිළිගැනීම හෝ නොසලකා ක්‍රියාකිරීම

2. යෝජනාව ක්‍රියාත්මක කිරීම

3. යෝජනාවට සීමා නොවී යෝජනාවෙන් ඔබ්බට ගිය පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

පළමු ක්‍රියාමාර්ගය ස්වයං විනාශකාරීය. එය දිවි නහ ගැනීමට සමානය. ප්‍රභාකරන් කෙනකු නැතිව පවා ලේ වැගිරීම් ඇතිවී රට බෙදී යන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

දෙවැනි ක්‍රියාමාර්ගය වරදක් නැත. නිර්මාණශීලීබවෙන් තොරය. හිතට නොඑකඟව බලකිරීම් නිසා කරන දෙයක් ලෙස පෙනීයා හැකිය.

තුන්වැනි ක්‍රියාමාර්ගය රටට අලුත් හොඳ හා ශක්තිමත් ප්‍රතිරූපයක් ලබාදීමට හේතුවේ. ප්‍රශ්නයේ වැදගත් එක කොණක් අල්ලාගෙන පිළියම් යොදනවා වෙනුවට සමස්ත ප්‍රශ්නය මුළු එකක් වශයෙන් ගෙන විසඳුම් ලබාදෙන නිර්මාණාත්මක ක්‍රියාමාර්ගයකි. එයම යෝජනාවට අදාළ කාරණාද සැලකිල්ලට ගන්නාමුත් ඊට පමණක් සීමා නොවේ. ජනවාර්ගික අර්බුදයටද පමණක් සීමා නොවී එම අර්බුදය හා දේශපාලන ක්‍රමය යන දෙකම එකට ගෙන විසඳුම් ලබාදෙන ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කැරෙන වැඩසටහනකි. එහෙත් එවැනි වැඩසටහනක් ආණ්ඩුවට පමණක් කළ නොහැකිය. කිසිවෙක් බැහැර නොකොට සියලුදෙනා එම වැඩපිළිවෙළේ හිමිකරුවන් බවට පත් කරගත යුතුය.

තෝරාගැනීමට තිබෙන හොඳම ක්‍රියාමාර්ගය තුන්වැනි ක්‍රියාමාර්ගය ලෙස සැලකිය හැකිය.