දෙමළ ජනයාට සිදුවූ අයුක්තිය එල්ටීටීඊය සේ ම භාෂණ විග්‍රහ කරන්නේ ද දෙමළ සංහාරයක් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ලෙසය. ඔහු ඒ වැඩපිළිවෙල හිට්ලර් යුදෙව්වන්ට එරෙහිවද, රුවන්ඩාවේ ටුට්සි ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ ජන සංහාර වැඩපිළිවෙලට සමාන කරයි. ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක දෙවැනි විමුක්ති අරගලයේ කැපී පෙනෙන ආධාරකරුවකුව සිට ජවිපෙ අතහැර එල්ටීටීඊ විමුක්ති අරගලයේ ප්‍රසිද්ධ ආධාරකරුවකු වීමෙන් පසු භාෂණ ලියන එකම ලිපියකින්වත් එල්ටීටීඊය ගැන කෙරෙන විවේචනයක් මා දැක නැත. භාෂණම කියන ආකාරයට භාෂණගේ රාජ්‍ය විරෝධී හා හමුදා විරෝධී මූලධාර්මික ආස්ථානයට පිටුබල දෙන සදාචාර ශක්තිය ලැබී ඇත්තේ දකුණේ කැරලිකාර පරම්පරාවේ ජීවන මූලදර්ශනයෙනි. දකුණේ බඩවැටි, ළඳු ලැහැබ් තුළ, කඳු ගසා පිළිස්සූ දිළිඳු සිංහල මිතුරන්ගේ මැකී නොයන අඳුරු මතකය තුළය.
විමුක්තියේ නාමයෙන් සාහසික ලෙස ප්‍රතිවාදීන් මැරිල්ල කරළියට ගෙනාවේද, එසේ මියගිය දකුණේ සිංහල මිතුරන් විසින්ම බව භාෂණට මතක නැත. භාෂණ මැරිල්ලේදී විරුද්ධ වන්නේ ආරක්ෂක හමුදා කරන ප්‍රතිමැරිල්ලට පමණය. විමුක්තියේ නාමයෙන් විමුක්තිකාමීන් කරන මැරිල්ලට ඔහු පක්ෂපාතය. භාෂණගේ දකුණේ පැරණි සිංහල විමුක්තිකාමී මිතුරන්ට ඔහුගේ උතුරේ මිතුරන්ට මෙන් කාලතුවක්කු, යුද ටැංකි, මල්ටි බැරල් රොකට් විදිනයන් (MBRL) වැනි බර ආයුධ හෝ නවීන ගණයෙහිලා සැලකිය හැකි සැහැල්ලු අවි නොතිබුණේය. ඔවුන්ගේ ලොකුම ආයුධය වී තිබුණේ තුවක්කු හෝ පිස්තෝලය. ඒ සරල ආයුධවලින් පවා තෝරාගත් විරුද්ධවාදීන් ඝාතනය කරමින් මුළු රටම භීතියෙන් සසල කළේය. එකල තුණ්ඩු කෑලිවලින් දෙන නියෝග පිළිපදින තත්ත්වයක් රටේ ගොඩනැගී තිබුණා පමණක් නොව, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මුළුමනින් බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකට ද රට පත්ව තිබුණි.
අවසානයේ භාෂණගේ දකුණේ සිංහල මිතුරන්ගේ කුරිරු කැරැල්ල පරාජය කෙරුණේ එම කැරැල්ල විසින් මුදාහරින ලද කෘෘරත්වය ඉක්මවා ගිය කෘෘරත්වයක් මුදාහැරීමෙනි. ඉතාමත් ප්‍රාථමික ආයුධවලින් කෙරුණු එම කැරැල්ල මර්දනය කිරීමේදී පවා විශාල ජීවිත විනාශයක් සිදුවිය. එහිදී මියගියවුන්ගේ ගණන පිළිබඳව පළකෙරෙන විවිධ ඇස්තමේන්තු පවතී. ඒ ගණන පනස්දාහක් වුවත්, එය විශාල ගණනකි. ජවිපෙ අතහැර භාෂණ තෝරාගන්නා ඊළඟ විමුක්ති ව්‍යාපාරය ඔහුගේ දකුණේ සිංහල සගයන් මෙන් ප්‍රාථමික අවි ආයුධවලින් නොව බර හා නවීන සැහැල්ලු අවි ආයුධවලින් සටන් කරන ව්‍යාපාරයකි. ඔහුගේ උතුරේ සගයන් ද, දකුණේ සගයන් සේ ම අනුකම්පාවිරහිතව මිනිසුන් මැරුවේය. විරුද්ධ ජනවර්ගවල මිනිසුන් පමණක් නොව, සිය ජනවර්ගයේම මිනිසුන් ද දහස් ගණනක් ඝාතනය කළේය. දෙමළ ජනයා සිය ජාතික නායකයන් ලෙස පිළිගත් ප්‍රමුඛ සියලු නායකයන් මරා දැම්මේය.
තමන්ට එරෙහිව අවි අතට ගෙන සටන් කරන සෙබළුන් පමණක් නොව, නිරායුධ මිනිසුන් ද එකවිට සිය ගණනින් මරා දැම්මේය. ප්‍රාථමික අවි ආයුධ පමණක් ඇතිව භාෂණගේ දකුණේ සිංහල විමුක්ති සගයන් බලහත්කාරී ආකාරයෙන් අනියම් ලෙස අවුරුදු දෙකකට ආසන්න කාලයක් දකුණ පාලනය කරන විට ඔහු ඊළඟ වාරයේදී තෝරාගන්නා උතුරේ සගයන් නවීන අවි ආයුධ ඇතිව බලහත්කාරයෙන් දශක දෙකකට වැඩි කාලයක් උතුර පාලනය කළේය. කවර ප්‍රචණ්ඩ කැරැල්ලක් හෝ පරාජය කිරීමට කැරැල්ල මගින් මුදාහැරෙන ප්‍රචණ්ඩ බලය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ බලයක් අවශ්‍ය වන්නේය. එහිදී සිදුවන ජීවිත හානියේ ප්‍රමාණය කෙරෙහි ප්‍රතිපක්ෂ දෙක තරගකාරී ලෙස මුදාහැරෙන ප්‍රචණ්ඩ බලයන්ගේ ප්‍රමාණය බලපායි. ප්‍රභාකරන් සටන් කළේ දුනු ඊතලවලින් නම්, දියුණුවෙන් ඊට ටිකක් වැඩි අවි ආයුධ මිස නවීන අවිආයුධ අවශ්‍යවන්නේ නැත. හිට්ලර් අතින් ඝාතනයට ලක්වූයේ හිට්ලර්ගේ පාලනයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන යුදෙව් ජාතිකයන් නොව, නිරායුධ තමන්ගේ පාඩුවේ ජීවත් වූ යුදෙව් ජාතිකයන්ය.
දකුණේ කැරලි දෙකේදීම කැරලිකරුවන්ගේ ජාතිය සිංහල වුවත්, ඒ කැරලි දෙක මර්දනය කරන ලදි. එම කැරලි දෙකද ප්‍රතිප්‍රචණ්ඩ බලයක් මගින් මර්දනය නොකොට සාකච්ඡා මගින් විසඳුමක් ඇති කරගැනීමට හැකිවී නම් එය වඩා යහපත් බවට සැකයක් නැත. දෙවැනි කැරැල්ලේදී මරා දැමුණු භාෂණගේ දකුණේ සිංහල තරුණයන්ට ද සාධාරණ දුක්ගැනවිලි තිබුණේය. දුක්ගැනවිලි තිබුණු පමණින් එවැනි පිරිසකට ප්‍රචණ්ඩ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයන්නට ඉඩ හැර නිකම්ම බලා සිටින ක්‍රමයක් තිබිය නොහැකිය. දකුණේ දෙවැනි කැරැල්ල පරාජය කිරීමේදී විශාල ප්‍රමාණයකගේ ලේ හැලුණේය. එය පරාජය නොකොට කළ හැකිව තිබුණු දේ කුමක්ද? භාෂණගේ දකුණේ සටන් සගයන් ජයගත්තේ නම් ඔවුන් අතින් මරණයට පත්වන අයගේ සංඛ්‍යාව කොතරම් විය හැකිද? සාධාරණ දුක්ගැනවිලි තිබුණද එම දුක්ගැනවිලි විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය මනුෂ්‍යයන් ඝාතනය කරන ප්‍රචණ්ඩ වැඩපිළිවෙලක් ඉදිරියට ගැනීම නොවන බව තේරුම් ගැනීමට ඇති නොහැකියාව භාෂණගේ ලෝකයේ ලාංකික වීරයන් දෙදෙනා වන විජේවීරටත්, ප්‍රභාකරන්ටත් ආවේණික ලොකුම සීමාසහිතකම වීයැ”යි කිව හැකිය.
ඇමරිකාවේ කල්ලන්ටද වඩා සාධාරණ හා වඩා ලොකු දුක්ගැනවිලි තිබුණේය. එහෙත් සිය ප්‍රතිපක්ෂය මරා දැමීම මගින් එම දුක්ගැනවිලි ජයගන්නට ඔවුහු කල්පනා නොකළෝය. සිය නායකයා වූ ලුතර් කිං මරාදැමීමෙන් පසුව ඔවුහු එවැනි මාර්ගයක් ඔවුන් තෝරා නොගත්තෝය. එහෙත් විජේවීර සේ ම ප්‍රභාකරන් ද තෝරාගත්තේ ප්‍රතිපක්ෂ ඝාතනය කොට බියගැන්වීම මගින් සිය දුක්ගැනවිලිවලට විසඳුම් සොයන සාහසික දේශපාලන මාවතකි. අවසානයේ විජේවීරගේ එම ව්‍යාපාරය අතින් කිසියම් විශාල පිරිසක් ඝාතනයට ලක්වීමෙන් නොනැවතී විජේවීර ඇතුළු ඔහුගේ දේශපාලන අනුගාමිකයෝ විශාල පිරිසක් ද ඝාතනයට ලක්වූහ. දැන් ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ව්‍යාපාරය අසුවී තිබෙන්නේ ද එම විසම චක්‍රයටය. දකුණේ දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු එම කැරැල්ලේ ඊළඟ උරුමකරුවෝ ඝාතන දේශපාලනය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එකතු වූහ.
දැන් ඔවුන් කිසිවකු මරන්නේ නැතිවා සේ ම ඔවුන්ගේ ප්‍රතිපක්ෂ ඔවුන්ව මරන්නේ ද නැත. භාෂණ වැනි අය ඒ පාඩම චාල්ස් ඇන්තනි වැනි අයට කියාදීමට උත්සාහ කළ යුතුය. එසේ වෙතොත්, මනුෂ්‍ය ඝාතනයෙන් තොරව අයිතිවාසිකම් සඳහා සටන් කරන දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් දෙමළ ජනතාව අතරින් මතුකර ගැනීමට හැකිවනු ඇත්තේය. අවසාන වශයෙන් භාෂණ තමන්ගේ විශ්ලේෂණාත්මක හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාථමික අවි ආයුධ ඇතිව සටන් කළ විජේවීරගේ දින 730 කැරැල්ල පරාජය කිරීමේදී මරණයට පත්වූ සංඛ්‍යාව (දෙපැත්තෙන්ම) සමග නවීන අවි ආයුධ ඇතිව කෙරුණු ප්‍රභාකරන්ගේ දින 1095 කැරැල්ල (සිව්වැනි ඊලාම් යුද්ධය) පරාජය කිරීමේදී මරණයට පත්වී තිබෙන සංඛ්‍යාව (දෙපැත්තේම) සසඳන්නේ නම් වර්ග සංහාරයක් ගැන කියන කතාවේ යථාර්ථය හොඳින් තේරුම් ගැනීමට ඔහු සමත් වනවා ඇත.
Editors Note
Charles Anthony, named at the end, was Prabhakaran’s eldest son and commanded the LTTE unit
bearing his name. MBRL, restored in the text, stands for multi-barrel rocket launcher.