ප්‍රඥාවෙන් ප්‍රශ්න බේරාගමු

May 17, 2009
Publication:

අප රටක් වශයෙන් සිටින්නේ තීරණාත්මක තැනකය. එල්ටීටීඊය ආරක්ෂක පවුරක් කරගෙන සිටින සිවිල් ජනයාට බරපතළ හානියක් ඇති නොවන ලෙස එම ජනතාව අතර සැඟවී සිටින එල්ටීටීඊ නායකයන් හා කාර්යධරයන් යටත් කරගැනීම හෝ විනාශ කිරීම සිදුවන්නේ කෙසේද යන සංකීර්ණ ප්‍රශ්න කෙරෙහි ලෝක අවධානය යොමුවී තිබේ. ඒ ගැන ලෝක මට්ටමෙන් කෙරෙන වාද විවාද ඇති අතර, ලෝකයේ පවතින එම උද්වේගකර වාතාවරණය මැද ශ්‍රී ලංකාව ඒ සඳහා වන තමන්ගේම වැඩපිළිවෙලක් ක්‍රියාවට නගමින් පවතී. රටේ වර්තමානය කෙරෙහි සේ ම අනාගතය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපෑ හැකි ජාතික වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නය කෙරෙහි රටක් වශයෙන් අපට පොදු ඒකමතිකභාවයක් තිබිය යුතුය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අවි බිම තබා යටත් වන ලෙස ලෝක ප්‍රජාව එල්ටීටීඊයෙන් ඉල්ලා සිටියත්, ඔවුන් යටත් වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිවිල් ජනතාව ආරක්ෂක පළිහක් බවට පත්කරගනිමින් සටන් කරන තැනකට ගියේය.

ජාත්‍යන්තර ප්‍රජාවට මෙම සංකීර්ණ ප්‍රශ්නයට දියහැකි සාධාරණ හා ප්‍රායෝගික විසඳුමක් නැතත්, එල්ටීටීඊයට එරෙහිව කෙරෙන හමුදා මෙහෙයුම් නිසා සිවිල් ජනයාට වන හානි ගැන ඔවුන් අතර කණස්සල්ලක් පවතී. දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව පමණක් නොව යුරෝපා රටවල ජීවත් වන දෙමළ ජනතාව ද ශ්‍රී ලංකාවට එරෙහිව උද්වේගකර උද්ඝෝෂණවල ද නිරත වන තත්ත්වයක් ගොඩනැගී පවතී. එල්ටීටීඊය ඉල්ලා සිටින ආකාරයට වෙනම රාජ්‍යයක් හෝ කොන්ෆෙඩරේෂණයක තත්ත්වයක් ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකාවට නැත. එය වැරදි සහ අසාධාරණ ඉල්ලීමකි. අනෙක් අතට එල්ටීටීඊය තම හිතුවක්කාර අරමුණ දිනාගැනීම සඳහා ආයුධ අතට ගෙන සටන් කරන තැනකට තල්ලු වී සිටියා පමණක් නොව, ඒ අරගල තුළ යුද බලපරාක්‍රමයක් ගොඩනගා ගනිමින් තමන්ගේ බලහත්කාරී පාලනයක් පවත්වාගෙන යන තත්ත්වයක් ද ඇති කරගෙන තිබුණේය. මෙම තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගතහැකිව තිබුණු එකම විකල්පය එල්ටීටීඊයේ ඊලාම් අරගලයට එරෙහිව යුද්ධ කරන තැනකට යමින් ඔවුන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින භූමිය මුදාගැනීමය.

සිය රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීමේ අයිතිය හැම රාජ්‍යයකටම ඇත්තේය. අවසානයේ අවුරුදු 25කට පසුව පළමුවරට එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කොට ඔවුන් අල්ලාගෙන සිටි භූමිය මුළුමනින් නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් විය. ඒ සඳහා කෙරෙන යුද්ධය තුළ මිනිසුන් මිය ගියේය. තුවාල ලැබුවේය. අවතැන්වූයේය. මේ හැමදෙයක්ම කවර යුද්ධයකදී වුවද සිදුවන අනිවාර්ය දේවල් වන අතර, එහෙත් සිදුවී තිබෙන හානි කරන්නට සිදුවී තිබුණු යුද්ධයේ විශාලත්වය සමග ගත්විට පිළිගත හැකි මට්ටමක පැවති බව ද පෙනේ. මේ මොහොතේ ලෝක ප්‍රජාවගේ වගකීම ශ්‍රී ලංකාවට අවහිර කිරීම නොව, දැන් තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට උපරිම ලෙස ආධාර කිරීමය. ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීම මගින් ශ්‍රී ලංකාව තමන්ගේ රටට පමණක් නොව, ලෝකයටද අතිවිශාල සේවයක් කර තිබෙන බව ලෝක ප්‍රජාව අමතක නොකළ යුතුය.

යුද්ධය අවසානයේදී ගොඩනැගී තිබෙන මානුෂික ප්‍රශ්නය ශ්‍රී ලංකාවට තනිව විසඳාගත නොහැකිය. ඊට ලෝක ප්‍රජාව ආධාර කළ යුතුය. අපිට මේ මොහොතේ ජාත්‍යන්තර ආධාර අවශ්‍ය බව තේරුම් ගනිමින් ශ්‍රී ලංකාව ද ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වරයකින් කතා කිරීමට වග බලාගත යුතුය. ඒ සමග මෙම මහා අර්බුදය කෙරෙහි බලපා තිබෙන ජනවර්ග ප්‍රශ්නයක් ද ඇති බව හා දෙමළ ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදිය යුතු බව ද අප අමතක නොකළ යුතුය. දෙමළ ජනයා ද සන්සුන්ව කරුණු සලකා බලන තැනකට ආ යුතුය. සිංහල නායකයන්ගෙන් දෙමළ ජනයාට වැරදි සිදුවී තිබේ. එහෙත් ඒ වැරදිවලට ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය සාහසික බව ඔවුන් ද තේරුම් ගත යුතුය. අයුක්තියක් සිදුවූ පමණකින් එම අයුක්තිය විසඳා ගැනීම සඳහා ආයුධ අතට ගෙන වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන පිළිවෙතක් යුක්තිසහගත විය නොහැකිය.

අනෙක් අතට වෙනම රාජ්‍යයක් එම ප්‍රශ්නවලට විසඳුමක් වන්නේ ද නැත. ආයුධ අතට ගත් දෙමළ තරුණ කැරැල්ල පමණක් නොව, ආයුධ සන්නද්ධ සිංහල තරුණ කැරලි දෙකක් ද ආණ්ඩුව මර්දනය කර තිබෙන බව දෙමළ ජනතාව ද තේරුම් ගත යුතුය. මේ මොහොතේ විරුද්ධ පක්ෂය ද මෙම සංකීර්ණ ප්‍රශ්නය රටේ ගෞරවයට හා ආරක්ෂාවට හේතුවන ආකාරයට විසඳා ගැනීමට ආණ්ඩුවට ආධාර කළ යුතුය. ආණ්ඩුව ද විරුද්ධ පක්ෂයෙන් ආධාර ලබාගත හැකි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙන ණය මුදල අහිමි වෙතොත්, එය අපේ රටේ ආර්ථිකය කෙරෙහි නරක ලෙස බලපානු නොවැළැක්විය හැකිය. ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ එකට එකතු වී උපරිම වශයෙන් මෙම ආධාර ලබාගත හැකි ඒකාබද්ධ පිළිවෙතකට යොමුවිය යුතුය.