භූමියේ ආධිපත්‍යය දිනාගැනීම සඳහා එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයෙන් ආණ්ඩුව ජයගෙන ඇතත්, යුද්ධය අවසානයේ ඇතිවූ මානුෂික අර්බුදය ආශ්‍රයෙන් පැන නැගි ප්‍රචාරක යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමට ආණ්ඩුව සමත් වී නැත. වඩා දුෂ්කර අභියෝගය ලෙස සැලකිය හැක්කේ භූමියේ ආධිපත්‍යය සඳහා පැවති යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමය. එය ජයගැනීම සඳහා ආණ්ඩුවට ශක්තිමත් හා කාර්යක්ෂම යාන්ත්‍රණයක් තිබුණා සේ ම සමස්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යුදමය වශයෙන් සේ ම දේශපාලන වශයෙන් ද ශක්තිමත් නායකත්වයක් ලබාදීමට ද ආණ්ඩුව සමත් විය. ආරක්ෂක හමුදාවන්ගේ බිඳ වැටී තිබෙන චිත්ත ධෛර්යය නගා සිටුවීම සඳහා ආණ්ඩුවට හොඳ වැඩපිළිවෙලක් තිබුණේය. ආරක්ෂක හමුදාව අතර තිබූ කල්ලිවාදය ඉවත් කොට ඔවුන් අන්‍යොන්‍ය අවබෝධයෙන් හා සමගියෙන් එකාවන්ව ක්‍රියාකරන තැනකට ගෙනාවේය.
යුද හමුදාව අතහැර පලායන්නන්ගේ අනුපාතිකය පහළම තැනකට ගනිමින් ආරක්ෂක හමුදාවන්ට අලුතෙන් එකතුවීමට තරුණ පරපුර තුළ තිබුණු නොකැමැත්ත නැති කොට විශාල වශයෙන් අලුත් පිරිස් ආරක්ෂක හමුදාවන්ට එකතු වන තත්ත්වයක් ඇති කළේය. ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය සියලු දේ කල්මැරීමකින් තොරව ලබාදෙන තත්ත්වයක් ඇති කළේය. යුද්ධය ආරම්භ කිරීමෙන් පසු බාහිර වශයෙන් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්ථිර ප්‍රතිපත්තියක පිහිටා යුද්ධය ඉදිරියට ගෙනයන්නට ඉඩදෙන පිළිවෙතක් අනුගමනය කළේය. ආණ්ඩුව විසින් යුද්ධයට දෙනු ලැබූ මෙම විශිෂ්ට නායකත්වය නිසා අපරාජිත පෙනුමක් ලබාගෙන සිටි කොටි සංවිධානය කඩදාසි කොටි සංවිධානයක තත්ත්වයට ඇද දැමීමට සමත් විය. ඔවුන් හිමිකරගෙන සිටි භූමිය පමණක් නොව, මීට පෙර කවදාවත් දකින්නට නොලැබුණු ආකාරයට ඔවුන් සතුව තිබූ අවි ආයුධ ද තොග ගණනින් අල්ලා ගැනීමට සමත් විය.
වෙනදා මෙන් අසල්වැසි ඉන්දියාව ආරක්ෂක හමුදාවන්ගේ ඉදිරි ගමනට බාධා කරන පිළිවෙතක් අනුගමනය නොකළේය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට හැකියාවක් නැතැ”යි සිතූ බටහිර සමහර රටවල් ආණ්ඩුවේ යුද වැඩපිළිවෙලට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ආණ්ඩුව එවැනි රටවලින් එල්ල වන පීඩනයට යටවුණේ නැත. අවසානයේ එල්ටීටීඊය හිමි කරගෙන සිටි භූමියෙන් 99%කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගනිමින් යුදමය වශයෙන් මීට පෙර කවරදාකවත් නොවූ විරූ තරම් අසරණ තත්ත්වයකට එල්ටීටීඊය ඇද දමනු ලැබූ පසු සියලුම බටහිර රටවල් ද එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරනු ලැබ ඇති බව ප්‍රසිද්ධියේ පිළිගත්තා පමණක් නොව, ආයුධ බිම තමා යටත්වන ලෙස ද එල්ටීටීඊයෙන් ඉල්ලා සිටියේය. ඊළඟ අදියරයේදී ආණ්ඩුවත් ආරක්ෂක හමුදාත් මුහුණ දුන් ලොකුම හා සංකීර්ණ අභියෝගය වූයේ මුහුදුවැල්ලේ කුඩා බිම් තීරයක සිරවී සිටි අතිවිශාල ජනතාව මුදාගැනීම පිළිබඳ ප්‍රශ්නයයි.
ඉතිරි වී සිටි එල්ටීටීඊ නායකයන් හා කාර්යධරයන් එම ජනතාව ආරක්ෂක පවුරක් ලෙස යොදාගෙන සිටි අතර, අවසාන ජයග්‍රහණය සඳහා එම ජනතාව මුදාගැනීම හා එම ජනතාව අතර සැඟවී සිටි එල්ටීටීඊ නායකයන් යටත් කරගැනීම හෝ හෝ විනාශ කිරීම කළ යුතුව තිබුණි. එතැන් සිට ලෝකය මෙම ප්‍රශ්නය දැක්කේ අතිවිශාල මානුෂික අර්බුදයක් ලෙසය. එල්ටීටීඊය ආරක්ෂක පළිහක් ලෙස යොදාගෙන සිටි ජනයාට විශාල හානියක් ඇති නොවන ලෙස ඔවුන් මුදාගැනීම හා එල්ටීටීඊ නායකයන් විනාශ කිරීම හෝ යටත් කරගැනීම කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ආණ්ඩුව හා ආරක්ෂක හමුදා මුහුණ දී තිබුණු ලොකුම අභියෝගය විය. ආරක්ෂක පළිහක් බවට පත් කරගෙන සිටි ජනයාට උපරිම හානියක් ඇති කරවීම මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ලෝක දෙමළ ජනතාව අතර පමණක් නොව, දෙමළ නොවන ලෝක ජනතාව අතර ද පිළිකුලක් ඇති කරමින් බාහිර මැදිහත්වීමක් දිනාගැනීම මගින් සිය අවසාන පණ නල රැකගැනීම එල්ටීටීඊයේ උපාය මාර්ගය වූ බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජිත තත්ත්වයකට ඇද වැටෙන තෙක්ම ශ්‍රී ලංකාවේ කෙරෙන යුද්ධය ගැන ලෝක දෙමළ ජනතාව අතර හෝ තමිල්නාඩුවේ දෙමළ ජනතාව අතර මහා හාහෝවක් තිබුණේ නැත. කොයි මොහොතක හෝ විස්මයජනක ලෙස එල්ටීටීඊය ආරක්ෂක හමුදාවන්ට පහරදී නැවත ජයග්‍රාහී තත්ත්වයක් ඇති කරගනු ඇති බවට ඔවුන් අතර පැවති විශ්වාසය ඊට හේතුවිය. එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාව ලෝක දෙමළ ජනතාවගේ ආවේග අවුස්සන තැනකට තල්ලුවූයේ ඊට පසුවය. එතැන් සිට ශ්‍රී ලංකාවට එරෙහිව කරන ප්‍රචාරක යුද්ධය දක්ෂ ලෙස ඉදිරියට ගෙනයෑමට ඔවුන් සමත් වූ බව ද කිවයුතුය. ජාත්‍යන්තර තලයේ එල්ටීටීඊ ආධාරකරුවන් ක්‍රියාවට නගන ලද උද්වේගකර සංදර්ශන මැද්දේ කොටුවී සිටි ජනයා එල්ටීටීඊයෙන් එල්ල වන තර්ජන නොසලකා විටින් විට කණ්ඩායම් වශයෙන් හමුදාවේ පාලනය යටතේ ඇති ප්‍රදේශවලට පලා ආවේය. සති දෙකක් තරම් කාලය තුළ පලා ආ පිරිසේ මුළු සංඛ්‍යාව හැට දහසක තත්ත්වයක තිබෙන විට ආරක්ෂක හමුදාව දියත් කෙරුණු සූක්ෂ්ම මෙහෙයුමක් නිසා එක් දිනක පමණක් පලා ආ පිරිසේ සංඛ්‍යාව එක් ලක්ෂ තිස් දහසක් දක්වා ඉහළ ගියේය.
එය එල්ටීටීඊය ලැබූ විශාල පරාජයක් වූ අතර, එය ජාත්‍යන්තර තලයේ එල්ටීටීඊය වෙනුවෙන් කෑගසන සංවිධානවල ද ධෛර්යය හීන කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. ඒ මොහොතේ සිට මුදා නොගත් ඉතිරි පිරිස මුදාගැනීම ඉක්මණින් වහාම කළයුතු ප්‍රශ්නයක් බවට පත් කර නොගනිමින්, තමන් අතරට පැමිණ සිටි දෙලක්ෂයකට ආසන්න ජනයාගේ ප්‍රශ්නයට වැඩි බරතැබීමක් කරන හා ඔවුන්ගේ සුබ සාධනයට බරක් තබා ක්‍රියාකරන තැනකට ගියේ නම් සමහරවිට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තලයේ එල්ටීටීඊය පවත්වාගෙන ගිය ප්‍රචාරක යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමේ අවස්ථාව ආණ්ඩුවට ලැබෙන්නට තිබුණි. එල්ටීටීඊය සමග කරන ප්‍රචාරක යුද්ධයේදී ආණ්ඩුව අතින් සිදුවූ ලොකුම වරදක් ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ පවතින ඇත්ත යථාර්ථය පිළිබඳ හරි චිත්‍රයක් ලෝකයාට ලබාදීමට අවශ්‍ය කාර්යක්ෂම වැඩපිළිවෙලක් ආණ්ඩුවට නොතිබීමය.
ලෝකය බොහෝ විට ශ්‍රී ලංකාවේ පවතින යථාර්ථය දක්නට උත්සාහ කළේ එල්ටීටීඊය නිර්මාණය කර දෙන රූප රාමු ඔස්සේය. ආරක්ෂක වෙබ් අඩවිය හැරුණු විට ඔවුන්ට විකල්ප රූප රාමු ලබාදෙන කාර්යක්ෂම වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවට නොතිබුණි. ශ්‍රී ලංකාව අතින් සිදුවූ ඊළඟ වරද ලෙස සැලකිය හැක්කේ එල්ටීටීඊය සමග කරන ප්‍රචාරක යුද්ධයේදී එල්ටීටීඊය තනිකොට පහර දෙන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට එල්ටීටීඊයට කිසිම සම්බන්ධයක් නැති එහෙත් මානුෂික ප්‍රශ්නවලදී රජයේ කටයුතු ගැන ප්‍රශ්න කරන රටවලට ද එල්ටීටීඊ හිතවාදී ලේබල් අලවන තැනකට තල්ලුවීමය. ඕනෑම යුද්ධයකදී මිනිස්සු මරණයට පත්වන්නෝය. තුවාල සිදුවන්නේය. ජනයා අවතැන් වන්නේය. ඒවා ඕනෑම යුද්ධයකට ආවේණික පොදු ලක්ෂණය. මානව හිමිකම් අකුරටම පිළිපදින රටක් විසින් කරන යුද්ධයකදී වුවත් ඒ සියල්ල අඩු වැඩි වශයෙන් සිදුවන්නේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද්ධ කළේ දුනු ඊතලවලින් හෝ ගල්කටස්වලින් යුද්ධ කරන සංවිධානයක් සමග නොවේ.
අවුරුදු 25ක යුද්ධයක් තුළ ලොකු මහත්වූ තමන්ගේම ත්‍රිවිධ හමුදාවක් ඇතිකර ගන්නා තත්ත්වයකට වර්ධනය වූ කාලතුවක්කු වැනි බර ආයුධවලින් යුද්ධ කළ බෙදුම්වාදී සංවිධානයක් සමගය. ජේවීපීය පවා අවුරුදු දෙකහමාරක් යුද්ධ කළේ තුවක්කු, ටී 56 වැනි සරල ආයුධවලිනි. ඔවුන්ට කාලතුවක්කු හෝ යුද ටැංකි නොතිබුණි. ඔවුන්ගේ සන්නද්ධ කැරැල්ල පරාජය කරන්නට ගෙවන ලද මිල සමඟ සසඳන විට එල්ටීටීඊය පරාජය කිරීම සඳහා ගෙවා තිබෙන මිල විශාල නැත. ප්‍රතිපක්ෂයට සිදුවී තිබෙන හානියේ තරමද පිළිගත නොහැකි තරම් ඉහළ මට්ටමක නොපවතී. ආණ්ඩුව ආවේගයෙන් ප්‍රතික්‍රියා කරන තැනකට නොගොස් සන්සුන්ව කරුණු පැහැදිලි කරන හා විග්‍රහ කරන තැනකට ගියේ නම් ජාත්‍යන්තර වශයෙන් මතුවී තිබෙන විවේචන හා ව්‍යාකූලතාවන් නැති කරමින් එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද ව්‍යාපාරය යුක්තිසහගත කළහැකි වන්නට ඉඩ තිබුණි.
ආණ්ඩුවට ඉදිරියට ගතහැකිව තිබුණු ලොකුම තර්කයක් වනුයේ මේ මොහොතේ ලෝකයේ තිබෙන බලවත්ම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීමට අපට ආධාර කිරීම මගින් අනාගත ලෝකයට එල්ලවිය හැකි ත්‍රස්තවාදී බලපෑම් අවම කරනවාද නැතිනම් ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරවල ආස්වාදයට හේතුවන හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට හේතුවන ලෙස ක්‍රියාකරනවාද යන ප්‍රශ්නයයි. ලක්ෂ ගණනක් මිනිසුන් ප්‍රාණ ඇපයට ගෙන හෙට්ටු කරන ක්‍රියාමාර්ගයක් මගින් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සාර්ථක ප්‍රතිඵල දිනාගැනීමට සමත් වේ නම්, ඒ දේ අනාගතයේ නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස් ෆ්‍රුන්ක්ෆර්ට්වල හෝ මුම්බායි වැනි වෙනත් ඕනෑම නගරයක ද සිදුවිය හැකිය. මෙවැනි කෘෘර අත්හදා බැලීම් සාර්ථක වුවහොත් ඒවා ලෝකයේ වෙනත් ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් ද ආදර්ශයට ගනු නොවැළැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ එල්ටීටීඊයට එරෙහිව කරන අරගලය ත්‍රස්තවාදයට එරෙහිව ලෝකයේ දැන් කෙරෙන හා අනාගත ලෝකයේ කෙරෙන අරගලයක වැදගත් පුරුකක් බව ලෝකයට ඒත්තු ගැන්වීමට ශ්‍රී ලංකාව බලවත් ලෙස ක්‍රියා නොකළේය.
කලිස්තාන් රාජ්‍යයක් ඇතිකර ගැනීම සඳහා සික් බෙදුම්වාදීන් ගෙන ගිය අරගලය ඉන්දියාව අනුකම්පා විරහිතව මර්දනය කළේය. අද සික් බෙදුම්වාදයේ සෙවණැල්ලක්වත් ඉතිරි වී නැත. එහෙත් සික් ජාතිකයකු ඉන්දියාවේ අගමැති ධුරයට තෝරා ගැනීම ඉන්දියාවේ ලොකු ජාතීන්ගේ විරෝධයට හේතුවන කරුණක් නොවීය. නැගෙනහිර නිදහස් කරගැනීමෙන් පසු පළාත් සභා මැතිවරණයක් පවත්වා නව ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසකට තේරී පත්වීමට අවස්ථාවක් ලබාදීම ආණ්ඩුව ගනු ලැබූ හොඳ ආකර්ෂණීය ක්‍රියාමාර්ගයකි. මහ ඇමති ධුරයට තෝරාපත් කරගත් පිල්ලෙයාන්ට ව්‍යවස්ථාපිත බලතල ලබාදෙමින් නැගෙනහිර ආදර්ශමත් පළාත් සභාවක් බවට පත්කිරීමට ආණ්ඩුව සමත් වී නම් එය දෙමළ ජනතාව කෙරෙහි බලාපොරොත්තු ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරන්නට ඉඩ තිබුණේය. නැගෙනහිරට කැපී පෙනෙන සංවර්ධනයක් ලබාදීමට ආණ්ඩුව සමත්ව ඇතත්, අවශ්‍ය තරම් බලතල දී පිල්ලෙයාන් බලවත් විකල්ප නායකයකු බවට පත්කිරීමට ආණ්ඩුව සමත් වී නැත.
පිල්ලෙයාන් හා කරුණා අම්මාන් අතර ඇතිව තිබෙන ගැටුම දෙමළ ජනතාව දකින්නේ ආණ්ඩුව නිර්මාණය කළ ගැටුමක් ලෙසය. ඒ තත්ත්වය නැගෙනහිර දෙමළ ජනතාව ඇති කරගත් බලාපොරොත්තු බොඳවීමට හේතුවී තිබේ. අවශ්‍ය නම් දැන් වුවත් ඒ තත්ත්වය ආණ්ඩුවට නිවැරදි කළ හැකිය. මෙම නායකයන් දෙපළ අතර ඇතිවී තිබෙන ගැටුම සමථයට පත්කරමින් මහ ඇමතිවරයා ව්‍යවස්ථාපිත බලය සහිත බලවත් මහ ඇමතිවරයෙකු බවට පත්කළ හැකිය. ඒ සමග නැගෙනහිර පළාත් සභාව නැගෙනහිරට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන පළාත් සභාවක් බවට පත්කළ හැකිය. විපක්ෂය රඟපාමින් තිබෙන භූමිකාව ද රටේ අයහපතට මිස, යහපතට හේතුවී නැති බව ද කිවයුතුය. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පවතින වෛරසහගත තත්ත්වය හා රට අවුලට යවා හෝ විරුද්ධ පක්ෂය බලයට පත්වීමට දක්වන උනන්දුව රටේ පවතින විසම දේශපාලන ක්‍රමයේම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
ඒ අනුව විරුද්ධ පක්ෂය වර්තමානයේ රඟපාමින් තිබෙන භූමිකාව රට මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය තීව්‍ර කිරීමට හේතුවී තිබේයැ”යි කිව හැකිය. රනිල් වික්‍රමසිංහ යුරෝපා සංචාරයට පෙර මෙම යුද්ධයේදී ඉන්දියාව ලංකාවට යුදමය වශයෙන් දෙන ලද ආධාර ගැන ඉන්දියානු ආණ්ඩුවට ස්තූතිය පළ කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද අතර, එම ප්‍රකාශයට ඉන්දියාවේ ජනමාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණි. එය කොංග්‍රස් පක්ෂය කෙරෙහි දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවගේ කෝපය උග්‍රකිරීමේ අරමුණ ඇතිව කරන ද ප්‍රකාශයක් බවට සැකයක් නැත. ඒ මගින් ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන පාලනයක් ඉන්දියාවේ ඇතිවනවා දකින්නට රනිල් වික්‍රමසිංහ තුළ තිබෙන ආශාව හොඳින් පිළිබිඹු කරයි. ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ යහපතට හේතුවනු ඇත්තේ කොංග්‍රස් ආණ්ඩුවක් මිස, එල්ටීටීඊයට උඩගෙඩි දෙන ආණ්ඩුවක් නොවේ.
එහෙත් අපේ රටේ විපක්ෂ නායකයා අපේක්ෂා කරන්නේ එල්ටීටීඊයට උඩගෙඩි දෙන ආණ්ඩුවක් නම් එය කොතරම් ඛේදජනකද? ඒ මගින් රටේ ඇතිවන අවුල්සහගත තත්ත්වය තුළ බලය ලැබීම විපක්ෂ නායකයාගේ අරමුණ වී තිබෙන බව පෙනේ. මෙම යුද්ධය ආරම්භයේ සිටම එජාප නායකයා අනුගමනය කළ ප්‍රතිපත්තිය ඊට සමාන විය. ආරක්ෂක ලේකම් හා යුද හමුදාපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිට ගෙනායුතුයි කියන තරමට රනිල් වික්‍රමසිංහ දුර ගියේය. ශ්‍රී ලංකාවට දෙන ආධාර සීමා කරන තත්ත්වයක් ඇති කිරීම කෙරෙහි සේ ම ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් ලෝකයේ ඇතිවීම කෙරෙහි විපක්ෂයේ අන්තගාමී ක්‍රියාකලාපය ද අඩු වැඩි වශයෙන් බලපෑවේය. විපක්ෂය මෙවැනි අන්තවාදී තත්ත්වයකට පත්කිරීමේ වරදට ආණ්ඩුව ද හරි හරියට වගකිව යුතුය. රට විනාශ මුඛයට ඇද දමා බලයට පත්වන ප්‍රතිපත්තියක් රටේ යහපතට පමණක් නොව, විපක්ෂයේ යහපතට ද හේතුවන්නේ නැත.
රටේ අනාගතය කෙරෙහි බලපාන මෙවැනි ජාතික අර්බුදයකදී ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය සිටිය යුත්තේ දෙපැත්තට අදින තැනක නොව, එකට එකතු වී වැඩ කරන තැනකය. ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ ව්‍යාපාරය පරාජය කොට දෙමළ ජනතාව මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ක්‍රියාමාර්ගයක් තුළ නැවත සිංහල, දෙමළ වර්ගයා සමගි සම්පන්නව හා ඒකාග්‍රතාවකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කරගත යුතුය. එවැනි වැඩපිළිවෙලක් ජයගතහොත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් වී විරුද්ධ පක්ෂයට අනාගතයක් නැති තත්ත්වයක් ඇතිවනු ඇතැ”යි විරුද්ධ පක්ෂය කල්පනා නොකළ යුතුය. මේ මොහොතේ මේ ආරාවුල ජයගැනීමට රට අසමත්වෙතොත් එය කෙළවර විය හැක්කේ විශාල විනාශයකිනි. ඒ තුළ විනාශ වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව, මුළු රටමය. මේ මොහොතේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය විය යුත්තේ මෙම සංකීර්ණ අභියෝගය ජයගැනීමට ආණ්ඩුවට ආධාර කරන අතර, ප්‍රජාතන්ත්‍රවාදී වටාපිටාවක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියාකිරීමය.
ආණ්ඩුව ද ත්‍රස්තවාදය පරාජය කරන අරගලය හා විරුද්ධ පක්ෂය පරාජය කරන අරගලය එකක් බවට පත් නොකරගත යුතුය. විරුද්ධ පක්ෂය වෛරයෙන් ක්‍රියාකරන තැනකට තල්ලු නොකොට ත්‍රස්තවාදය ජයගැනීමේ අරගලයට විරුද්ධ පක්ෂද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා පිළිවෙතක් අනුගමනය කළේ නම්, මෙම අර්බුදය මීට වඩා පහසුවෙන් හා අඩු වන්දි ගෙවීමකින් ජයගත හැකිව තිබුණු බව ආණ්ඩුව අමතක නොකළ යුතුය. දැන් භූමියේ ආධිපත්‍යය සඳහා කෙරුණු යුද්ධය අවසන්ය. දැන් ජයගත යුතුව තිබෙන්නේ පැරණි අභියෝගයට වෙනස් නව අභියෝගයන්ය. යුද්ධය ජයගැනීම සඳහා යොදාගත් ප්‍රවේශය නව අභියෝගය ජයගැනීම සඳහා යොදාගත නොහැකිය. ඒ සඳහා එම අභියෝගයන්ට ගැළපෙන නව ප්‍රවේශයක් ඇති කරගත යුතුව තිබේ. යුද්ධය සඳහා ආණ්ඩුවට ශක්තිමත් වැඩපිළිවෙලක් තිබුණි. මුළු අවධානය හා මුළු ශක්තිය ඒ සඳහා යොදා ගැනුණි. මතුවී තිබෙන නව අභියෝගය ජය ගැනීම සඳහා ද ඊට ගැළපෙන ශක්තිමත් වැඩපිළිවෙලක් ආණ්ඩුව ඇති කරගත යුතුය.
අවතැන්වූවන් පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නය ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස විසඳිය යුතුව තිබෙන අතර, ඊට අතිරේකව දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට ඔවුන්ගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය. අඩුම වශයෙන් මේ දෙවැනි අදියරේදීවත් ආණ්ඩුව හා විරුද්ධ පක්ෂය එකට සහයෝගයෙන් වැඩ කරන තත්ත්වයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළ යුතුය. ඊට ගැළපෙන ප්‍රතිපත්තියකට ආණ්ඩුව සේ ම විරුද්ධ පක්ෂය යොමුවිය යුතුය.