මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු වන රුවන් එම්. ජයතුංග විසින් 71 කැරැල්ල ගැන “71 කැරැල්ල- ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්”” නමින් පිටු 855කින් යුතු විශාල පොතක් ලයා පළකර තිබේ. පොතේ මිල රුපියල් 1500කි. වෛද්‍ය රුවන් ජයතුංග එවැනි පොතක් ලියමින් සිටි බව මම දැන සිටියෙමි. ඒ පොතට මාගේ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත්ව තිබෙන බව නම් මා දැන සිටියේ නැත. පොතේ ප්‍රකාශකයා (රංජිත් දිසානායක) පොත පිටවූ දිනම එහි පිටපතක් මා වෙත එවා තිබුණි. එයට අදහස් පළකර තිබෙන අය කව්ද යන්න දැනගැනීම සඳහා උනන්දුවකින් පොත අතට ලැබුණු මොහොතේම පටුන කියවන්නට වූ විට මාගේ අදහස් පළකිරීමක් ද ඊට ඇතුළත්ව තිබීම මාගේ කුතුහලයට සේ ම පුදුමයට ද හේතුවිය.
මම ඒ මොහොතේම මගේ නමින් පළකර තිබූ සම්මුඛ සාකච්ඡාව කියවීමි. එය කියවීමෙන් මා තුළ විශාල කම්පනයක්ද, පොතේ කර්තෘ හෝ සංස්කාරකවරයා හා ප්‍රකාශකයා පිළිබඳව අතිවිශාල කලකිරීමක්ද ඇතිවිය. මම වහාම දුරකතනයෙන් රංජිත් අමතා ඔහුට මාගේ විරෝධය පළකර සිටියෙමි. එහි ඇතුළත් කරුණු මා පොතකට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක් නොව, කැරැල්ල ගැන උඩින් පල්ලෙන් කැරෙන කතාබහකදී කියන්නට ඇති දේවල් බව මම කියා සිටියෙමි. මෙවැනි විෂයයක් පිළිබඳව මාගේ සම්මුඛ සාකච්ඡාවක් පළකැරෙන්නේ නම් එය ප්‍රකාශ කරන්නට පෙර මට කියවන්නට දීමේ යුතුකමක් හා වගකීමක් තිබුණු බවද කියා සිටියෙමි. මා කැරැල්ල හා ජවිපෙ ගැන පොත් දෙකක් හා ලිපි විශාල සංඛ්‍යාවක් ලියා ඇති කෙනකු බව ද කියා සිටියෙමි. මගේ කතාවෙන් රංජිත් ද කම්පනයට පත්වූ බව පෙනෙන්නට තිබුණි.
මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇති සිද්ධියක් පිළිබඳව ඊට සම්බන්ධවූවන්ගෙන් ලබාගන්නා සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ පොතක් පළකරන විට සහ පොදුවේ පොත් ප්රකාශනයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම මෙම කෘතියේදී සංස්කාරකවරයා, ප්‍රකාශකයා හා මුද්‍රණකරු අනුගමනය කර නැති බව පෙනී යයි. පළමු කොට මෙවැනි පොතක් සඳහා ඊට සම්බන්ධවූවන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගැනීමේදී සංස්කාරකවරයා තමන් අපේක්ෂා කරන දේ සම්මුඛ සාකච්ඡාව ලබාගන්නා පුද්ගලයාට පැහැදිලි කළ යුතුය. ඉන්පසු එම සම්මුඛ සාකච්ඡාවට ප්‍රසිද්ධියට පත් කරන්නට පෙර එම සම්මුඛ සාකච්ඡාව ලබාගත් පුද්ගලයාට කියවන්නට දී ඊට අනුමැතිය ලබාගත යුතුය. මෙවැනි පොතක් ප්‍රකාශ කිරීමේදී පොත ප්‍රකාශ කරන්නට පෙර පොත ලියන ලද සංස්කාරකවරයා එම ආචාර ධර්ම අනුගමනය කර තිබේද යන්න ප්‍රකාශකයා හා මුද්‍රණකරු සොයා බැලිය යුතුය.
පොතට යොදා තිබෙන මාතෘකාද එහි අන්තර්ගතයට අනුකූල නැත. “71 කැරැල්ල-ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්” යන්න පොතට යොදා තිබෙන මාතෘකාව වේ. කැරැල්ලට සම්බන්ධවූවන් කියන කතා හැර කැරැල්ලේ හෝ එය මෙහෙයවන ලද ජවිපෙ ගැන සමාලෝචනයක් ඊට ඇතුළත්ව නැත. කැරලිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡාවලට අතිරේකව පොතට ඇතුළත් සම්මුඛ සාකච්ඡාවලට ඇතුළත් කරුණු ආශ්රයෙන් සංස්කාරවරයා ලියන දීර්ඝ සමාලෝචනයක් ඊට ඇතුළත් වී නම් එම මාතෘකාව සාධාරණ වන්නට ඉඩ තිබුණි. පොතට යොදන ලද මාතෘකාව පොතේ හරයට සම්බන්ධයක් නැති ව්‍යාජ මාතෘකාවක් ලෙස සැලකිය හැකිය.
මීට ටික කලකට ඉහතදී මා කරන ලද දේශනයක් පොත් පිංචක් වශයෙන් පළකිරීමට එම දේශනයේ සංවිධායකයන්ට අවශ්‍ය වී එම දේශනය පොත් පිංචක් වශයෙන් පළකිරීමට ඔවුහු මගෙන් අනුමැතිය ඉල්ලා සිටියහ. පටිගත කරන ලද මගේ කතාව ලිවීමෙන් පසු එම පිටපත මට පෙන්වා අනුමැතිය ලබාගත යුතු බවත් එසේ නැතිව එය පළනොකරන ලෙසත් මම ඔවුන්ට කියා සිටියෙමි. මාගේ කොන්දේසිය ඔවුන්ගේ සතුටට හේතු නොවන්නට ඇතත්, ඔවුහු මාගේ පූර්ව කොන්දේසිය ඉටු කළෝය. එය උඩින් පල්ලෙන් ලියන ලද්දක් බව පෙනුණුු නිසා එය විශාල ප්‍රමාණයකට සංස්කරණය කිරීමට මට සිදුවිය. අවසානයේ එය බොහෝ දුරට මා අලුතෙන් ලියන ලද රචනයක් බවට පත්විය.
තවත් කෙනකුගේ අදහස් වෙනත් කෙනකු විසින් මහජනයා අතරට ගෙනයන විට අදහස් පළ කළ පුද්ගලයාට අගතියක් සිදු නොවන ආකාරයට එය කළ යුතුය. මේ පොතේ මා නමින් පළකර තිබෙන රචනය පළකරන්නට ප්‍රථම මට බලන්නට දුන්නේ නම් මා එය ඒ ආකාරයෙන්ම පළකරන්නට ඉඩ දෙන්නේ නැත.
වෛද්‍ය රුවන් ජයතුංග නරක පුද්ගලයෙක්යැ”යි මම නොකියමි. එහෙත් මේ පොතේදී මා සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන පිළිවෙත වැරදිය.