බින් ලාඩන් හා ප්‍රභාකරන් පරාජය කිරීම

May 8, 2011
Publication:
America has at last managed to end the life of Bin Laden, the terrorist who held the whole of America in dread. Ivan sets that beside the two Sri Lankan cases — Wijeweera's second insurrection and the defeat of Prabhakaran — and asks what a war against terrorism is, and where the difference lies.

අවසානයේ ඇමරිකාව මුළු මහත් ඇමරිකාවම ත්‍රාසයෙන් මුසපත් කළ ත්‍රස්තවාදියා ලෙස සැලකිය හැකි බින් ලාඩන්ගේ ජීවිතය තොර කිරීමට සමත් විය.

බින් ලාඩන් පාකිස්තානයේ ඇබොටබාද් නගරයේ සුවිසල් නිවසක සැඟවී සිටින බව ඇමරිකන් ඔත්තු සේවා කිසියම් කාලයක් තිස්සේ දැන සිටියේය. ඔහු ස්ථිර ලෙසම එහි සිටින බව දැනගත් පසු ඇමරිකානු ජනාධිපති හා තෝරාගත් නිලධාරි පිරිසකට ඇමරිකාවේ සිට නැරඹෙය හැකි ලෙස මෙහෙයුම ක්‍රියාත්මක විය.

තිබෙන තොරතුරු අනුව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන්නේ සිල් නමැති විශේෂ බලකායට අයත් භටයන් හයදෙනකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් විසිනි. ඒ සඳහා යොදාගෙන ඇතැ”යි කියන හෙලිකොප්ටර් සංඛ්‍යාව 03කි.

ඇමරිකාව මෙවැනි මෙහෙයුමක් සිදුකරන්නට යන බව පාකිස්තානු ආණ්ඩුව කල්තියා දැන සිට නැත. ඔවුන්ට ඒ බව දැනුම් දී ඇත්තේ මෙහෙයුම සඳහා යොදාගන්නා ලද හෙලිකොප්ටර් යානා බින් ලාඩන් සැඟවී සිටි නිවසේ අවකාශ සීමාවට පැමිණි පසුවය.

එම මෙහෙයුමේදී බින් ලාඩන් සමග නිවසේ සිටි සියලුදෙනාට හානි සිදුවී තිබේ. බින් ලාඩන්ට අතිරේකව ඔහුගේ ආරක්ෂක භටයන් දෙදෙනා ද එහි සිටි බින් ලාඩන්ගේ පුතකුද, බින් ලාඩන්ගේ තවත් බිරිඳක් ලෙස සැලකිය හැකි කාන්තාවක්ද මරණයට පත්වූහ. නිවසේ සිටි ඉතිරි කාන්තාවෝ දෙදෙනා ද තුවාල ලැබූහ. මියගිය කාන්තාව ජීවිත ආරක්ෂක පළිහක් ලෙස යොදා ගැනීම නිසා ඇය මරණයට පත්වූ බව ප්‍රකාශ කර තිබුණි.

ත්‍රස්තවාදයට එරෙහිව කැරෙන යුද්ධයේ වෙනස

ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කැරෙන මෙහෙයුමක හා සාම්ප්‍රදායික මෙහෙයුමක ඇති ප්‍රධාන වෙනස්කම් මෙම සිද්ධිය ආශ්‍රයෙන් විග්‍රහ කළ හැකිය.

මෙම මෙහෙයුම සඳහා යොදාගත් හෙලිකොප්ටර් යානා රටට ඇතුළු වී තිබෙන්නේ දැනුම්දීමකින් තොරවය. එහිදී බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ලබාගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් සැඟවී සිටි මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදී එම නිවසේ බින් ලාඩන් සමග සිටි සියලු පිරිමින් මරා දැම්මේය. එහිදී කාන්තාවකද මරණයට පත්වූ අතර ඉතිරි කාන්තාවන් දෙදෙනාටද තුවාල සිදුවිය. කාන්තාවගේ මරණයට හේතුව ඇය ආරක්ෂක පළිහක් ලෙස යොදා ගැනීම නිසා බව ප්‍රකාශ කර තිබේ. බින් ලාඩන් මරා දැමීමෙන් පසුවද මළ සිරුර ඥාතීන්ට ලබා නොදුන්නේය.

මෙම මෙහෙයුමේදී අවශ්‍ය වී නම් සමහරවිට බින් ලාඩන් පණපිටින් ද අල්ලා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. යටත් වන ලෙස ඉල්ලා සිටියද යටත් නොවීම නිසා මරා දමන ලද බව ප්‍රකාශ කර ඇතත්, එය ඇත්තක් ලෙස පිළිගැනීම අමාරුය. ඔහු මරා දැමීමේ අරමුණ ඇතිවම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නට තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නවාට වඩා මරා දැමීම සුදුසු බව සලකන්නට ඇත්තේ මරණයට පත්වන බින් ලාඩන් කෙනකුට වඩා අත්අඩංගුවේ ජීවතුන් අතර සිටින බින් ලාඩන් කෙනකු ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇතැ”යි කියන විශ්වාස නිසාය. ඒ නිගමනය නිවැරදිය.

විජේවීරගේ දෙවැනි කැරැල්ල

ජේවීපී දෙවැනි කැරැල්ල මර්දනයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අත්වල ලේ තවරාගත් ජේවීවී සටන්කාමීන් හා ඔවුන්ගේ නායකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය ද බින් ලාඩන් සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කළ ප්‍රතිපත්තියට සමානය. 1988 ජනාධිපතිවරණය ජයගත් වහාම ජේවීපීය සමග සමාදානයක් ඇති කරගැනීමේ අරමුණින් අත්අඩංගුවේ සිටි ජේවීපී සැකකරුවන් 1800ක් ජනාධිපතිවරයා නිදහස් කළේය. ඒ වෙනුවට සිදුවූයේ නිදහස් කරන ලද අයගෙන් වැඩි පිරිසක් නැවත කැරැල්ලට එකතුවීමය. ජනාධිපති අනුගමනය කළ එම ප්‍රතිපත්තිය ආරක්ෂක නිලධාරීන්ගේ කෝපයට හේතුවී තිබුණි. ඉන් ජනාධිපතිවරයාද පාඩමක් ඉගෙන ගත්තේය. කැරැල්ල මර්දනය කිරීමේ යුද ව්‍යාපාරයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමෙන් වැළකී නිදහසේ තීන්දු ගැනීමේ බලය ආරක්ෂක හමුදාවන්ට ලබා දුන්නේය.

ඇඹෙලිපිටිය ශිෂ්‍ය ඝාතනය වැනි කැරැල්ලට සජීවී සම්බන්ධයක් නොතිබුණු මනුෂ්‍ය ඝාතන කිසියම් ප්‍රමාණයක් සිදුවුවද මුළු එකක් වශයෙන් ගත්විට ආරක්ෂක හමුදාවන් අතින් ඝාතනයට ලක්වූ වැඩි පිරිසකගේ අත්වල ලේ තැවරී තිබුණි. ඔවුන්ට සටන් කරන්නට සිදුවී තිබුණේද මරණ තර්ජන ඉදිරියේය. පොලීසියේ හා ආරක්ෂක හමුදාවල සාමාජිකයන් අල්ලා ගැනීමට බැරි අවස්ථාවලදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මරා දමන ප්‍රතිපත්තියක් කැරලිකරුවන් ක්‍රියාත්මක කර තිබුණි. ඒ නිසා දෙපක්ෂයම සටන් කළේ වෛරයකිනි. ජයග්‍රහණය ලැබිය හැකිව තිබුණේ ප්‍රතිපක්ෂ අභිබවා යන කුරිරු බලයක් ක්‍රියාවට නැගිය හැකි පක්ෂයටය. කැරැල්ලේ ස්වරූපය මර්දනයේ ස්වරූපය කෙරෙහි බලපෑවා සේ ම පෙරළා මර්දනයේ ස්වරූපය කැරැල්ලේ ස්වරූපය කෙරෙහි ද බලපෑවේය.

විජේවීර මරා දැමීම

විජේවීර මරා දමන ලද්දේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහු අත්අඩංගුවට ගන්නට ගියේ කිහිපදෙනකුගෙන් යුතු පුංචි කණ්ඩායමකි. විජේවීර ඔවුන්ට එරෙහිව සටන් කළේ නැත. ඔහු යටත් වූවේය. ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය කිහිපදෙනාගේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ සේවයෙන් විශ්‍රාමයෑමෙන් පසු එජාපයට එකතු වී සිටියදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ පහරදීමට ලක්ව මරණයට පත් ජානක පෙරේරාය. විජේවීර අත්අඩංගුවට ගන්නට ජානක පෙරේරා සමග එහි ගිය තවත් නිලධාරියකුගේ සහෝදරයා ඒ වනවිට විජේවීරගේ ව්‍යාපාරය විසින් ඝාතනය කර තිබුණි. විජේවීරගේ බිරිඳ හා දරුවන්ට එම ස්ථානයෙන් වහා ඉවත්ව යන ලෙස උපදෙස් දෙන ලද්දේ එම නිලධාරියාය. විජේවීර හා ඔහුගේ දරුවන් අදත් ජීවත්වන්නේ ඒ නිසාය. තම සහෝදරයා ඝාතනය කිරීම නිසා ඇති කරගත් වෛරයකින් යුතුව එම නිලධාරියා ක්‍රියාකර නැති බව ඉන් පෙනීයයි. මෙම මහා ආරාවුල තුළ එවැනි ගුණයහපත් මිනිස්සුද සිටියෝය. එවැනි අය දෙපැත්තේම සිටියා විය හැකිය. එම මහා ආරාවුල තුළ ඒ ආකාරයට ගුණධර්ම පවත්වාගෙන යෑමට සමත් අය සිටියේ නම් ඔවුන් සැලකිය යුත්තේ වීරයන් ලෙසය.

විජේවීර අත්අඩංගුවට ගෙන කොළඹට ගෙන ඒමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රසිද්ධ කිරීම සඳහා කෙටි ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහු මරා දමන ලදි. මරා දැමීමට පෙර සිදු කැරුණු ප්‍රශ්න කැරෙන අවස්ථාවට සහභාගි වූ හමුදාවේ වීඩියෝ කැමරාකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා ජවිපෙ හොඳ අනුගාමිකයෙක් වූවේය. ඔහු පසුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභිකයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළේය. දේශපාලන වශයෙන් පක්ෂපාතී විය හැකි වුවද විජේවීර මරා දැමීමට පෙර සිදුවූ ප්‍රශ්න කිරීම් පිළිබඳව ජීවතුන් අතර සිටින වැදගත්ම සාක්ෂිකරුවා ඔහුය.

එකල බොරැල්ලේ කනත්ත භාරව සිටි නිලධාරියාගෙන් දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව විජේවීරට වෙඩි තබා තිබුණද මරණයට පත්වන ආකාරයට වෙඩි තබා නොතිබුණු අතර ඔහුගේ සිරුර ගෑස් උදුනට දමා තිබෙන්නේ පණ තිබියදී හා ඔහුගේ අත්දෙකට මාංචු දමා තිබියදීය. සිරුර අළු බවට පත්වීමෙන් පසු එම නිලධාරියා එම මාංචු කුට්ටම සිහිවටනයක් ලෙස තමන් වෙත තබා ගත්තේය. මා හිතන අන්දමට එය ඔහු හෝ ඔහුගේ පැවත එන්නන් කෞතුකාගාරයට භාරදිය යුතුය. එය ඓතිහාසික වැදගත්කමක් ඇති සිහිවටනයකි.

විජේවීර පමණක් නොව, ගමනායක, කීර්ති විජයබාහු නමින් ලිඛිත නියෝග නිකුත් කළ සමන් පියසිරි ප්‍රනාන්දු වැනි දෙවැනි කැරැල්ලේ බොහෝ ප්‍රධාන නායකයන් මරා දමන ලද්දේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔවුන් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය ඇමරිකානු හමුදාව බින් ලාඩන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට වඩා වෙනස් වනුයේ බින් ලාඩන් අත්අඩංගුවට නොගෙනම මරා දැමීම හා ජේවීපී නායකයන් අත්අඩංගුවට ගෙන මරා දැමීමය. ත්‍රස්තවාදී මර්දනයේදී මෙය ලෝකයේ ඕනෑම රටක් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය ලෙසද සැලකිය හැකිය.

බින් ලාඩන්ගේ මරා දැමීමෙන් පසු එම පණිවුඩය ජනතාවට ලබාදීම සඳහා ජනාධිපති ඔබාමා කරන ලද ඓතිහාසික කතාවේදී සිය රටේ ආරක්ෂාවට හෝ මහජනයාගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වන අවස්ථාවකදී රටේ ආරක්ෂාව හා ඇමරිකන් ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන්නට තමන්ට තිබෙන අයිතිය ගැනද කතා කර තිබුණි. බින් ලාඩන් සොයාගෙන යන ගමනේදී ඔහුට රැකවරණය දුන් ඇෆ්ඝනිස්තාන් ආණ්ඩුව පවා ඉවත් කිරීමට සිදුවූ ආකාරය ගැනද කතා කර තිබුණි. බින් ලාඩන්ගෙන් එල්ල වූ අභියෝගයට ප්‍රතිචාර වශයෙන් ආරම්භ කළ යුද්ධයේදී ඇමරිකාව බලයේ සිටි ඇෆ්ඝනිස්ථාන ආණ්ඩුව පමණක් නොව, ඉරාක ආණ්ඩුවද පෙරලුවේය. ඒ නිසා ඒ දෙරටේ ඇතිවූ කැළඹෙලි මර්දනය කරන්නට ලක්ෂ ගණනක් මිනිසුන් මරා දැමීමටද ඇමරිකාවට සිදුවිය.

ප්‍රභාකරන් පරාජය කිරීම

ත්‍රස්තවාදී ව්‍යාපාරවලින් අභියෝග එල්ල වන අවස්ථාවලදී ඒවා ව්‍යාපාර පරාජය කිරීමේ අයිතිය ඇමරිකාවට පමණක් නොව, ලෝකයේ අන් හැම රටකටමද තිබිය යුතුය. එය පුංචි ශ්‍රී ලංකාවටද තිබෙන අයිතියකි. බින් ලාඩන්ගේ ව්‍යාපාරය ඇමරිකාවේදී මරා දමන ලද්දේ පුද්ගලයන් තුන්දාහක් පමණය. එහෙත් ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකාවේදී මරා දමන ලද අයගේ සංඛ්‍යාව පනස්දාහක් පමණ විය හැකිය. දේවස්ථානවල වන්දනාමාන කරමින් සිටින බෞද්ධ, මුස්ලිම් බැතිමතුන් පවා තොග ගණනින් මරා දැම්මේය. ප්‍රේමදාස පාලන යුගයේදී නැගෙනහිර ප්‍රදේශයෙහි යටත් වූ පොලිස් නිලධාරීන් 400ක්ම මරා දැම්මේය. පළමු වටයේදී එකම අරමුණක් සඳහා සටන් කරමින් සිටි තම ව්‍යාපාරයෙන් පිටස්තරව සිටි සටන්කාමී දෙමළ කණ්ඩායම්වල නායකයන්ද ක්‍රියාකරුවන්ද තොග ගණනින් මරා දැම්මේය. ඉන්පසු සිංහල ජනයා ද තොග ගණනින් මරා දමන අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටි දෙමළ නායකයන්ද මරා දැමුවේය. ප්‍රභාකරන් දෙමළ ඊලමෙන් මෙපිට කිසිවක්ම බලාපොරොත්තු නොවීය. ඊලමට අඩු විසඳුමක් සඳහා අතරමැදියකු ලෙස ක්‍රියා කළ රජිව් ගාන්ධිගෙන් පළිගත්තේ මරාගෙන මැරෙන බෝම්බකාරියක ඉන්දියාවට යවා ඔහු ඝාතනය කරවීමෙනි. ඔහු රටේ තිබුණු නීත්‍යනුකූල රාජ්‍යයේ පැවැත්ම අබල දුබල කරමින් එහි පැවැත්ම අභියෝගයට ලක් කර තිබුණි. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය ලෝකයේ තිබුණු බිහිසුණුම හා කුරිරුම ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය.

එවැනි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීමේ අයිතිය ඇමරිකානු රාජ්‍ය නායකයන්ට පමණක් නොව, අපේ රටේ රාජ්‍ය නායකයන්ටද තිබිය යුතුය. එවැනි යුද්ධයකදී මානව හිමිකම් උල්ලංඝනය වන්නේය. කිසියම් ප්‍රමාණයකට අහිිංසක මිනිස්සුද විපතට පත්වන්නෝය. ඇමරිකා අල්කයිඩා ව්‍යාපාරය පරාජය කිරීම සඳහා දැනට ගෙවා තිබෙන වන්දියේ විශාලත්වය අනුව බලන විට ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය මුලිමනින් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙවා තිබෙන වන්දිය සුළුය. ඇමරිකාව බින් ලාඩන් ඇතුළු එම ව්‍යාපාරයේ නායකයන් ගණනාවක් මරා දැමීමට සමත්වී ඇතත්, සමස්ත ව්‍යාපාරය පරාජය කිරීමට සමත් වී නැත. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ගේ සමස්ත ව්‍යාපාරය පරාජය කිරීමට සමත් විය.

අවසන් සටන

බින් ලාඩන් මරා දැමීම සඳහා සිදුකරන ලද මෙහෙයුමේදීද ඒ නිවසේ සිටි සියලු දෙනා මරා දැමීමට හෝ තුවාල කිරීමට සිදුවිය. ප්‍රාණ ඇපයට පාවිච්චි කළේයැ”යි කියන කාන්තාවද මරණයට පත්විය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී හමුදාව සමග කරන්නට සිදුවූයේ ඔවුන් ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් ආරක්ෂක පළිහක් ලෙස යොදාගෙන තිබියදීය. ආරක්ෂක පළිහක් ලෙස පාවිච්චි කළ සිවිල් වැසියන් සිටින ස්ථානවල බර ආයුධ ස්ථානගත කරන තිබූ බව දරුස්මාන් වාර්තාවද පිළිගනී. ආරක්ෂක හමුදාවන් භාරවීම වැළකීම සඳහා එසේ භාරවෙන්න උත්සාහ කරන කණ්ඩායම් වලට වෙඩිතැබූ බවද එම වාර්තාව පිළිගනී. දරුස්මාන් වාර්තාවේ සඳහන් නොවෙතත් භාරවෙන්නට හදන කණ්ඩායම් අතරට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවා ඒ නිසා ඇතිවූ පිපිරීම් වලින්ද භාරවෙන්නට පැමිණි කිසියම් විශාල සංඛ්‍යාවක්ද අවස්ථා ගණනාවකදී මිය ගියහ. මිනිසුන් තුන් ලක්ෂයක් ප්‍රාණ ඇපයට තබාගෙන කැරෙන යුද්ධයක් මීට පෙර ලෝකයේ කවර තැනකවත් සිදුවී නැත. එය ලෝක යුද ඉතිහාසයට එකතු කැරුණු නවමු අත්දැකීමක් ලෙස සැලකිය හැකිය.

උතුරේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවල ජීවත් වූයේ රටේ දෙමළ ජනගහනයෙන් සුළු කොටසක් පමණය. පලායෑමට හැකියාවක් ඇති හැම කෙනෙක්ම පාහේ වෙනත් ප්‍රදේශවලට පලාගොස් තිබුණි. එහි ඉතිරි වී සිටියේ අන්ත දුප්පතුන් හෝ තමන්ගේ දරුවන් එල්ටීටීඊයට එකතු වී සිටීම නිසා හෝ වෙනත් විවිධ හේතු නිසා එල්ටීටීඊයට එවිට සම්බන්ධයක් තිබුණු ජන කොටසකි. එල්ටීටීඊයට එම ප්‍රදේශවල ජීවත් වූ සිවිල් ජනයාගෙන් සමන්විත සිවිල් ආරක්ෂක බලකායක් තිබුණු අතර ඔවුන්ට අර්ධ යුද පුහුණුවක්ද ලබාදී තිබුණේය. ඒ අර්ථයෙන් එල්ටීටීඊය ආරක්ෂක පළිහක් කරගෙන සිටි සියලු ජනයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සිවිල් ජනතාවක් ලෙස සැලකිය නොහැකිය. යුද්ධය ආරම්භ කැරුණු අවස්ථාවේදී ඩී.බී.එස්. ජෙයරාජ් ලියා පළ කරන ලද තක්සේරුවකට අනුව එල්ටීටීඊයට ඒ වන විට සිටි සටන් කරන කාඩර්වරුන්ගේ සංඛ්‍යාව 30,000ක් පමණ විය. දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන 17ක දේශීය සේවකයන් 165ක් යුද්ධය අවසන් වන තෙක් යුද්ධය කැරුණු කලාපයේ ජීවත් වූහ. ඉතා බිහිසුණු ලෙස සිවිල් වැසියන් ඉලක්ක කොට පහරදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වී නම් එම පුද්ගලයන් 165 දෙනාගෙන් කිසියම් පිරිසකට හානි සිදුවිය යුතුය. ඔවුන් ජීවත් වූයේද සිවිල් ජනයා අතරය.

දෙමළ ඩයස්පෝරාව

එල්ටීටීඊයේ දරදඬුභාවය හා එල්ටීටීඊය ලැබූ පරාජය කෙරෙහි වඩාත්ම බලපෑ කණ්ඩායම ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙස ඉල්ලා කෑමොර ගසන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණි. එල්ටීටීඊය කරන දේවල හොඳ නරකද සොයා නොබැලුවේය. එල්ටීටීඊය අවසාන විග්‍රහයේදී යැපුණේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනයාගෙන් ලැබෙන ආධාර මත නොව දෙමළ ඩයස්පෝරාවෙන් මහා පරිමාණයෙන් ලැබුණු ආධාර මතය. ඒ මගින් එල්ටීටීඊය තමන්ගේ ඇත්ත ශක්තියට වැඩි නවීන අවි ආයුධවලින් යුතු, මහජනයාගේ ශක්තිය වෙනුවට ආයුධවල ශක්තිය කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකරන සංවිධානයක් බවට පත්විය. වෙනම රාජ්‍යයකට වඩා අඩු කිසිවක් ලබා නොගතයුතුයි කියන ප්‍රතිපත්තියේ දැඩි ලෙස පිහිටා සිටීමට එල්ටීටීඊයට වඩාත්ම බලපෑවේද ඔවුන්ය. ඒ අර්ථයෙන් එල්ටීටීඊයේ විනාශය කෙරෙහි වැඩියෙන්ම බලපෑ ව්‍යාපාරය වන්නේ ඔවුන්ය.

ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධයක ගතිත ලක්ෂණ සාම්ප්‍රදායී යුද්ධයක ගතික ලක්ෂණවලට වඩා මුළුමනින් වෙනස්ය. එහිදී නීත්‍යනුකූල රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන්ට සටන් කරන්නට සිදුවන්නේ විටෙක නිල ඇඳුමින් සැරසීද, තවත් විටෙක සිවිල් ඇඳුමින් සැරසීද, විටෙක පෙනෙන ලෙසද තවත් විටෙක නොපෙනෙන ලෙසද සටන් කරන නීතිය හා සම්ප්‍රදායයන් මුළුමනින් නොසලකා ක්‍රියාකරන ප්‍රතිපක්ෂයක් සමගය. සමහරවිට ඔහුට සටන් කරන්නට සිදුවන්නේ මනුෂ්‍යයකුගේ පෙනුම ඇති මිනිස් බෝම්බයක් සමගමය. තමන්ගේ සටන ඉදිරියට ගෙනයෑම සඳහා සමාජය භීතියෙන් මුසපත් කළ යුතුයැ”යි සිතන ඒ සඳහා දහස් ගණනක් සාමාන්‍ය මිනිසුන් මරණයට පත්කිරීමට හෝ තුවාල සිදුකිරීමට හේතුවන පහරදීම්වලට යන සිත්පිත් නැති ප්‍රතිපක්ෂයක් සමගය.

එවැනි යුද්ධයකදී නීත්‍යනුකූල ආණ්ඩුවක් ක්‍රියාකළ යුතු ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය විධිමත් ලෙස සලකා බලා නැත. ඒ තත්්ත්වයට ගැළපෙන ප්‍රතිපත්ති රාමුවක් සකස් කර නැත. දරුස්මාන් වාර්තාව සකස් කළ විද්වතුන් තිදෙනාට හා ඔවුන් සකස් කළ වාර්තාවට ආවේණික ලොකුම සීමාසහිතකම වන්නේද ත්‍රස්තවාදය සමග කරන යුද්ධයකට ආවේණික ගතික ලක්ෂණ සැලකිල්ලට ගෙන නොතිබීමය.

සාම්ප්‍රදායික යුද්ධයක් සඳහා සකස් කර තිබෙන මගපෙන්වීම් හා ආධාර ධර්ම ත්‍රස්තවාදය සමග කරන යුද්ධයකටද ඒ ආකාරයෙන්ම අදාළ විය යුතුයැ”යි එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාස කරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලකිය යුත්තේ නීත්‍යනුකූල රාජ්‍යයක් ආරක්ෂා කරන ජගත් සංවිධානයක් ලෙස නොව, ත්‍රස්තවාදයට අනුබල දෙන ජගත් සංවිධානයක් ලෙසය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යහපතට, සාමාජික රටවල යහපතට හෝ ලෝක යහපතට හේතුවන්නේ නැත.

ඉතාමත්ම අවාසනාවන්ත දේ වනුයේ ත්‍රස්තවාදයෙන් බැටකෑ බලවත් රටක් වශයෙන් ඔබාමාගේ ඇමරිකාවද ශ්‍රී ලංකා ප්‍රශ්නය ගැන සාධාරණව දැකීමට අසමත්ව තිබීමය.