එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කර තිබෙන වාර්තාව ඇති කර තිබෙන, තවදුරටත් ඇති කරන්නට නියමිතව තිබෙන අවුල්සහගත තත්ත්වය ජයගැනීමට ශ්‍රී ලංකාව අසමත් වෙතොත් යුද්ධයේ ජයග්රහණයන් විසින් රටට ලබාදෙන ලද මහා බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
රටේ මහජනතාව කමිටු වාර්තාවට එකහඬින් විරුද්ධවන තත්ත්වයක සිටීම වරදක් නැත. එහෙත් දේශීය වශයෙන් සිදු කැරෙන මහජන විරෝධතා ව්‍යාපාර මගින් මෙම ප්රශ්නය ජයගත නොහැකිය. හැඟීම්බර ආවේගකාරී ක්‍රියාමාර්ගවලින් ඔබ්බට ගිය විචක්ෂණ බුද්ධිමය වැඩපිළිවෙළකට ආණ්ඩුව යොමුවී තිබෙන බවක් තවමත් බැලූ බැල්මට පෙනෙන්නට නැත.
මේ නරක ප්‍රතිඵලය රටට හිමිවී ඇත්තේ යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසු ඒ ආශ්රයෙන් මතුවන්නට නියමිතව තිබූ ප්‍රශ්නවලට මුහුණදීම සඳහා වන විචක්ෂණ වැඩසටහනක් ආණ්ඩුවට නොතිබුණු නිසාය. ඒ වැරැද්දේ වගකීම යායුත්තේ විදේශ ඇමතිවරයාටය. ඉන්පසු ඔහු සමග වැඩ කළ ප්‍රධාන නිලධාරීන්ටය. එල්ලවිය හැකිව තිබුණු අභියෝගයන්ගේ ස්වභාවය කල්තියා තේරුම් ගනිමින් එම අභියෝග ජයගත හැකි හෝ සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා හෝ වන දර්ශනයත් සමග ශක්තිමත් ක්‍රියාමාර්ගයක් විදේශ අමාත්‍යාංශය සතු නොවීය. එක්කෝ එවැනි වැඩසටහනක් ආණ්ඩුව විසින් විදේශ අමාත්‍යාංශයට දිය යුතුව තිබුණි. නැතිනම් විදේශ අමාත්‍යාංශය විසින් එවැනි වැඩසටහනක් සකස් කොට ඊට ආණ්ඩුවේද අනුමැතිය ලබාගනිමින් එය ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. ආණ්ඩුවටද විදේශ අමාත්‍යාංශයට ද ඒ සඳහා විවිධ වැඩසටහන් තිබුණු බව සත්‍යයකි. එහෙත් ඒවා මේ ආරාවුලේ බරපතළකමට ගැළපෙන විචක්ෂණ වැඩසටහන් වීයැ”යි කිව නොහැකිය. මේ වන විට ප්රශ්නය මේ තරම් දුරදිග යෑමෙන් පෙන්නුම් කැරෙන්නේද ක්‍රියාවට නගන ලද එම වැඩසටහන්වල අසාර්ථකභාවය මිස වෙන කුමක්ද?
මෙම අර්බුදයට ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දී එය ජයගැනීම ආණ්ඩුව සිය දේශපාල න්‍යාය පත්‍රයේ පළමු හා ලොකුම කාරණය බවට පත් කරගත යුතුය. මෙය ආණ්ඩුවේ පැවැත්මට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොවේ. රටේ පැවැත්ම හා බැඳුණු ප්‍රශ්නයක් ද වේ.
ආණ්ඩුවට ප්රභාකරන්ගේ ව්‍යාපාරයට එරෙහිව දියත් කැරුණු යුද්ධය සඳහා විචක්ෂණ වැඩපිළිවෙළක් තිබුණි. එය ක්‍රියාත්මක කිරීමේ වගකීමද සුදුසුතම හා පළපුරුදු පිරිසකට භාරදී තිබුණේය. කටයුතු සිදුවන ආකාරය සොයාබලන ක්‍රමයක් ද තිබුණේය.
එහෙත් ආණ්ඩුවට යුද්ධය ආශ්රයෙන් ඊළඟට මතුවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීම සඳහා එවැනි විචක්ෂණ වැඩපිළිවෙළක් නොතිබුණේය. එම ප්රශ්නයේදී ආණ්ඩුව අඳුරේ අතපතගාමින් සිටින බව බාහිර වශයෙන් බලන කෙනකුටද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඇතිවී තිබෙන ප්‍රශ්න ඥානාන්විතව විසඳා ගන්නවා වෙනුවට උග්‍ර කරගනිමින් තිබෙන බවද පැහැදිලිව පෙනන්නට තිබුණි.
දැන්වත් ආණ්ඩුව අවංකව ආපසු හැරී බලන තැනකට යායුතුය. මෙම විෂයේදී පෙන්නුම් කර ඇති අකාර්යක්ෂම හා අසාර්ථකභාවයන්ට බලපෑ ඇත්ත හේතු මොනවාදැ”යි හඳුනාගත යුතුය. මෙම ප්රශ්නය මුළුමනින් ජයගැනීමට හෝ බර සැහැල්ලු කරගැනීමට හේතුවන විචක්ෂණ වැඩසටහනක් හා එම වැඩසටහන ක්‍රියාවට නැගීමට සුදුසු මිනිසුන්ගෙන් යුතු ආයතන ක්‍රමයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය. එය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් කරගත යුතුය.