ජනාධිපතිනිය දෙවැනි ධුර කාලය සඳහා ප්රසිද්ධියේ දිවුරුම් දිමෙන් පසුව නැවත වරක් හොර රහසේ දෙවැනි දිවුරුම්දිමක් ද කර ඇතැයි කියන සිද්ධිය පිළිබඳව මෙතෙක් අදහස් පළකිරිමෙන් වැළකී සිටි එක්සත් ජාතික පක්ෂය දැන් ඒ ගැන කතා ආරම්භ කරන තැනකට පැමිණ තිබෙන බව පෙනේ. පසුගිය සතියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි ජනාධිපතිනියගේ ධුර කාලය 2005 නොවැම්බර් 12 වැනිදායින් අවසන් වන බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරණයක් සඳහා ක්රියා කළ යුතු බව ජී.ඇල්. පීරීස් මහතා ප්රකාශ කර තිබුණි. එයින් පෙනෙන්නේ හොර රහසේ දෙවැනි වර දිවුරුම් දුන්නේ යැයි කියන කතාවේ වලංගුභාවය පිළිගැනීමට ප්රධාන විරුද්ධ පක්ෂය සූදානම් නැති බවය.
ජනාධිපතිනිය කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන සාමාන්ය මහජනතාව තබා ඇගේ ඇමති මණ්ඩලයවත් හරීහැටි දන්නේ නැත. කවුරු කවුරුත් දන්නේ තමාගේ අවලංගුභාවය වළකාගැනීමේ බලවත් අභිලාෂයක් ඇයට තිබෙන බව හා ඒ සඳහා වන මොකක් හෝ වැඩපිළිවෙළක් ද ඇයට තිබෙන බව පමණය.
ජනාධිපතිනියට තමාගේ අවලංගුවීම වළකා ගත හැකිවනු ඇත්තේ අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කර ගැනීමෙන් හෝ පමණය. එහෙත් ඒ කුමන කරුණක් සඳහා හෝ තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියක් අත්යාවශ්ය ය. ජනමතවිචාරණයක් පවත්වා එය ජය ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් පමණක් අනුමත කරන වැඩපිළිවෙළක් ප්රමාණවත් වේ යැයි පක්ෂග්රාහී අධිකරණයක් මගින් කියවා ගැනීමේ හැකියාවක් තිබිය හැකි වුවත්, එවැනි ක්රියාමාර්ගයක් දේශීය ජනතාවගේ හෝ ජාත්යන්තර ප්රජාවගේ පිළිගැනීමට හේතු විය නොහැකිය.
පළමු දිවුරුම්දිම සිදුවී ඇති අත් වැරැද්දක් ලෙස සලකා හොර රහසේ කරනු ලැබ ඇතැයි කියන දිවුරුම් දිම වලංගු දිවුරුම්දිමක් ලෙස සලකා ජනාධිපතිවරණයකට නොගොස් ධුර කාලය තවත් වසරකින් දිර්ඝ කරගන්නා වැඩපිළිවෙළකට ගියහොත් රට දේශපාලන අර්බුදයකට ලක්කරන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් භාරගැනීමට ප්රධාන විරුද්ධ පක්ෂය කැමති නොවනු ඇතිවා පමණක් නොව, ඒ නිසා ධුරයේ සුජාතභාවය පිළිබඳ සැබෑ ගැටලුවක් ඇතිවනු ද නොවැළැක්විය හැකිය.
රාජ්ය බලය ලැබීම නමැති වාසනා චක්රය දැන් තමන් වෙත කරකැවෙමින් තිබෙන බව රනිල් වික්රමසිංහගේ විශ්වාසය වී තිබෙන බව පෙනේ. ඒ නිසා පක්ෂ ප්රතිසංවිධානයක් වෙනුවෙන් කෑගැසූ සියලු දෙනා ද දැන් සිය කටවල් වසාගෙන සිය නායකයාට කිසිදු විවේචනයකින් තොරව සහාය දෙන තැනකට පැමිණ සිටිති. සිය මාමා ඇති කර තිබෙන විධායක ජනාධිපති ක්රමය කිසිදු ප්රතිසංස්කරණයකින් තොරව තමන් අතට ගැනීම රනිල් වික්රමසිංහගේ අභිලාෂය වී තිබේ. ජේ.ආර්.ගේ සිට චන්ද්රිකා දක්වා වන සියලු දෙනා එහි බලය භුක්ති වින්දේ ප්රතිසංස්කරණයකින් තොරව නම් තමාටත් ඒ අයිතිය තිබිය යුතු යැයි රනිල් වික්රමසිංහ කල්පනා කරනවා විය හැකිය.
ජනාධිපති ක්රමයේ සියලු අශෝභන අංග ලක්ෂණ තිබියදිත් එය නොතිබී පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් පමණක් තිබුණේ නම්, රටේ ඇතිවූ අතිවිශාල අර්බුද ඉදිරියේ දේශපාලන ක්රමය මුළුමනින් කඩා වැටීමක් සිදුවීමට තිබුණේ නැද්දැයි විධායක ජනාධිපති ක්රමයට පක්ෂපාත කෙනෙකුට තර්ක කළ හැකිය. එම තර්කයේ යම්කිසි ඇත්තක් ද පවතී. රටේ ඇතිවූ මහා වියවුල් ඉදිරියේ සමස්ත දේශපාලන ක්රමය උසුලාගෙන සිටි මහා කුළුණ වූයේ ද සමස්ත දේශපාලන ක්රමය විකෘති කිරීමට හේතුවූ විධායක ජනාධිපති ක්රමයමය. බලය බෙදාහැරෙන දේශපාලන ක්රමයකට ශ්රී ලංකාව ගමන් කරන්නේ නම් සමස්ත රට හා ජනතාව එකට බැඳ තබන ආයතන ක්රමයක් වශයෙන් රටම එකට එකතු වී තෝරාගන්නා නායකයකු සිටීම අවශ්ය වේ යැයි තවදුරටත් එවැනි පුද්ගලයෙකුට තර්ක කළ හැකිය. එම තර්කයේ ද සත්යයක් ඇතත්, ශ්රී ලංකාවේ විධායක ජනාධිපති ක්රමයේ ඇති අශෝභන අංගලක්ෂණ ඒ මගින් යුක්තිසහගත කළ නොහැකිය.
සුදුසු නව ක්රමයක් ඇති කරගන්නා තෙක් විධායක ජනාධිපති ක්රමය තබාගැනීමට අවශ්ය නම් ඒ ක්රමය තුළ පවත්නා ආඥාදායක අංග ලක්ෂණ ඉන් ඉවත් කළ යුතුය. වඩාත්ම එය එසේ කළ යුතුව තිබෙන්නේ
ළග වාරයේදි එම තනතුරට පත්වීමේ වැඩි හැකියාවක් ඇති පුද්ගලයා මෙතෙක් එම තනතුරට පත්වූ සියලු දෙනාටමත් වඩා ආඥාදායකයකු ලෙස ක්රියාකිරීමේ විභවයකින් යුතු පුද්ගලයෙකු ද වන නිසා ය.
රනිල් වික්රමසිංහ මහතාට අවශ්ය නම් විධායක ජනාධිපති ක්රමය මටසිළුටු ක්රමයක් බවට පත් කෙරෙන ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව තිබුණි. එහෙත් කිසිදාක ඔහු එවැනි ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී නොසිටියා පමණක් නොව, පවතින විධායක ජනාධිපති ක්රමයේ ඇති ආඥාදායක අශෝභන අංග ලක්ෂණ ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේ යැයි ද කිව හැකි ය.
තමන්ට පාර්ලිමේන්තු බලය ලැබී තිබියදි විධායක ජනාධිපති ක්රමයෙන් එල්ල වූ අභියෝගවලදි ඔහු ඊට එරෙහිව අරගල කරන තැනකට නොගියේද තමන් අනාගතයේ අපේක්ෂා කරන තනතුරට හානි ඇති කළහොත් ඒ ප්රතිඵල අනාගතයේදි තමන් කෙරෙහි ද බලපානු ඇති බව සලකාය. ප්රතිපක්ෂයෙන් පාර්ලිමේන්තු බලය ලබාගන්නා අගමැතිවරයකුට නිදහසේ ක්රියාකරන්නට ඉඩ දෙන පිළිවෙතක් තහවුරු වී නම් එය අනාගතයේදි තමන් කෙරෙහි ද නරක ලෙස බලපෑ හැකි බව ඔහු තේරුම් ගෙන තිබුණේය.
දැන් විශ්රාම යෑමට නියමිතව සිටින ජනාධිපතිනියට හරි දැක්මක් ඇත් නම් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ අවලංගුවීම වළකා ගත නොහැකි බව තේරුම් ගනිමින් එම තනතුරට අනාගතයේ පත්වන පුද්ගලයන්ට තමා ක්රියාකළ තරමට හෝ ඊට වැඩි ප්රමාණයකට ආඥාදායකවීමට නොහැකි ආකාරයට ක්රමය ප්රතිසංස්කරණය කොට විශ්රාම යෑමය. එවැනි ප්රතිසංස්කරණයක් රටේ යහපතට පමණක් නොව, ඇගේ යහපතට ද හේතුවිය හැකිය. එවැනි ප්රතිසංස්කරණයකට රනිල් වික්රමසිංහ හිතට එකගව එකග නොවනු ඇතත්, එජා පාර්ලිමේන්තු කණ්ඩායම සිය අනාගත ආරක්ෂාව සඳහා එවැනි ප්රතිසංස්කරණ වැඩපිළිවෙළකට එකපයින් එකග වනු ඇතැයි සිතිය හැකිය.
පවතින විධායක ජනාධිපති ක්රමය ශිෂ්ටසම්පන්න ප්රජාතන්ත්රවාදි ක්රමයක් බවට පත්කිරීමට නම් මතු සඳහන් ප්රතිසංස්කරණ ඇති කිරීම අත්යවශ්යයය.
1. ජනාධිපති තනතුරට පත්වන කිසිදු පුද්ගලයෙකුට ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩ නොදිය යුතුය. ජනාධිපතිවරයෙක් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදි අධිකරණය ඉදිරියට යෑමේ අයිතිය පුරවැසියන්ට ද සහතික කරන විධි විධාන ඇති කළ යුතුය. එවැනි නඩුවකින් ජනාධිපති වැරදිකරු වන අවස්ථාවලදි ඔහුගේ තනතුර අහිමි වන විධි විධාන ඇති කළ යුතුය.
2. ජනාධිපතිට ලැබී තිබෙන මුක්තියේ අයිතිය අහෝසි කළ යුතුය.
3. සාධාරණ හේතු නැතිව පාර්ලිමේන්තුවක නිල කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට තිබෙන බලය ඉවත් කළ යුතුය.
4. කැබිනට් මණ්ඩලය නම් කිරීමේ බලය අගමැතිට ලබාදිය යුතුය.
5. ජනාධිපති ධුරයට අතිරේකව ඇමති ධුර දැරිමේ අයිතිය ඉවත් කළ යුතුය.
රනිල් වික්රමසිංහ මහතා ඒකාධිපති නායකයකු බවට ජනතාව අතර පවත්නා ජනප්රිය විශ්වාසය සත්යයක් නොවේ නම්, මෙවැනි ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටීම මගින් එම ජනප්රිය මතය රනිල් වික්රමසිංහ මහතාට වුව ද බොරු කළ හැකිය.