ලෝක ළමා දිනය සැමරිමට රට පුරා විවිධ උත්සව පැවැත්වේ. එහෙත් ලෝක ළමා ප්රඥප්තියේ එන මූලධර්ම රැකීමට අප රට උනන්දුවක් දක්වන්නේ නැත.
කුඩා ළමුන් කෙරෙහි හා විශ්රාමිකයන් කෙරෙහි දක්වන අවධානයේ ප්රමාණය රටක් කවර තරම් ප්රමාණයකට ශිෂ්ටසම්පන්න ද යන්න පෙන්නුම් කරන ප්රධාන මාපකයකි. ශ්රී ලංකාව ඒ කරුණු දෙකේ දී ඉන්නේ ගෞරවයට හේතුවන තැනක නො වේ.
අනාථ නිවාසවල සිටින ළමුන් නඩත්තු කිරීම වෙනුවෙන් තවමත් වෙන් කරන්නේ එක දිනකට රුපියල් 10ක් වැනි සොච්චම් මුදලකි. ඒ මුදලින් ළමුනට අවශ්ය ආහාර පමණක් නො ව, ඇඳුම් පැළඳුම් ද ලබාදිය යුතු ය. එහෙත් දේශපාලකයකු නඩත්තු කිරීම සඳහා රට එක දිනකට රුපියල් දහස් ගණනක් වැය කරයි.
මැදපෙරදිග රටවල සේවයේ යෙදි සිටින කාන්තාවන් රටට විදේශ විනිමය උපයා දෙන ප්රධාන මාර්ගය වී ඇතත්, ඔවුන්ගේ දරුවන් බලාගන්නා ක්රමයක් රටේ නැත. ඒ අසරණ මිනිසුන් සිය දාඩිය මහන්සියෙන් උපයන ධනයෙන් ශ්රී ලංකාවට කිසියම් ආකාරයක ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන යෑමට හැකිවී ඇතත්, අඩුම වශයෙන් ඔවුන්ගේ දරුවන් බලාගත යුතුයි කියන ආකල්පයක්වත් රටෙහි ඇතිවී නැත.
ළමා අපයෝජන වැරදි කරන්නවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමේ අරමුණ වෙනුවෙන් ළමා ආරක්ෂක අධිකාරියක් පිහිටුවා තිබේ. ළමා අපයෝජන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට ඔවුන්ගේ තරාතිරම නො බලා නීතිය ක්රියාත්මක කරවීමේ කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්රියාවට නගන්නට ද එම අධිකාරිය සමත් වී ඇති බව ද පෙනෙන්නට තිබේ. එහෙත් ඒ වැඩපිළිවෙළින් අමාරුවේ වැටී සිටින බව පෙනෙන්නේ ද ළමා අපයෝජන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට වඩා ඔවුන්ගේ ගොදුරු බවට පත්වූ කුඩා ළමුන් ය.
මෙම අපයෝජන වැරදි සඳහා කෙරෙන නඩු පැවරිම්වල දී කුඩා ළමුන්ට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය ඉතාමත් ඛේදජනක ය. සමහරවිට එවැනි නඩු අවසන් කිරීමට වසර 10ක් පමණ ගත වේ. අපයෝජනයට ලක්වූයේ කුඩා දැරියක් නම්, වැඩිහිටි වියට පැමිණි පසු ද ඒ වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදුවීමට ඔවුන්ට සිදුවේ. පුංචි කාලයේ ඔවුන්ට සිදුවූ වරදක් වෙනුවෙන් දිගින් දිගට සමාජ අවඥාවකට ලක්වන තත්ත්වයකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවී තිබේ.
මෙවැනි නඩු කුඩා දරුවන්ගේ ගෞරවයට හානියක් නො වන ලෙස අප්රසිද්ධියේ හා කඩිනමින් විසඳලීම අධිකරණයේ යුතුකමක් වන මුත් ඒ අවබෝධය අධිකරණ බලධාරින්ට තිබෙන බවක් පෙනෙන්නට නැත. 1996 දී පැවිදි පුද්ගලයකු අතින් අපයෝජනයට ගොදුරු වූ කුඩා ළමයෙකු පිළිබඳ නඩුවක් තවමත් අවසානයකින් තොර ව ඇසෙමින් තිබෙන අතර, අද එම කුඩා දරුවා යුග දිවියට ඇතුළත් විය යුතු වයසේ කාන්තාවකි. ඒ නිසා අද ඇයට විශාල සමාජ අවඥාවකට ලක්වීමට සිදුවී තිබෙන අතර, එය ඇයගේ සමස්ත ජීවිතය ම කාලකණ්ණි කිරීමට හේතුවන සාධකයක් ලෙස ක්රියාකරමින් පවතී. ඒ සිදුවූ වරද ඇය සගවාගෙන සිටියේ නම් සමහරවිට ඇගේ ජීවිතය මෙතරම් අවාසනාවන්ත නොවන්නට ඉඩ තිබුණි.
ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපයෝජන වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරට ම ක්රියාත්මක කිරීම හොඳ දෙයක් වුවත් ඒ වැරදිවලට ගොදුරු වූ කුඩා දරුවන් අවමාන සහගත තත්ත්වයකට පත් නොවන ආකාරයකින් ක්රියාකිරීමේ වගකීමක් ද ඔවුන් සතු ය.
ළමා අපයෝජන වැරදි කරන්නවුන් නීතියේ රැහැනට කොටුකර ගත්ත ද ඔවුන්ගේ ගොදුරු බවට පත්වන ළමුන්ගේ ජීවිත ද එම නීති ක්රියාමාර්ග නිසා කාලකණ්ණි වේ නම්, සමස්ත වැඩපිළිවෙළින් ලැබෙන අවසාන ප්රතිඵලය යහපත් ප්රතිඵලයක් ලෙස සැලකිය නො හැකි ය.