ඉදිරි වසර 05 තුළදි කිරිපිටි හා සීනිවලින් රට ස්වයංපෝෂිත කරන බව ජනාධිපතිනිය ප්රකාශ කර තිබේ. ඇය තවදුරටත් ප්රකාශ කර ඇත්තේ කිරීපිටි, සීනි සහ ඉරිගු පිටි ආනයනය කිරීම සඳහා ශ්රී ලංකාව වසරකට රුපියල් බිලියන 21ක් වැය කරන බවත්, ඉන් බිලියන 20ක්ම වැය කරන්නේ කිරිපිටි, සීනි ආනයනය සඳහා බවත්ය. ආනයනය කරන සීනි හා කිරිපිටි ලංකාවට නිපදවා ගතහැකි බවත්, එම ද්රව්ය දෙකෙන් ස්වයංපෝෂිත වීම සඳහා වන පස් අවුරුදු සැලැස්මක් ඇති කර තිබෙන බවත්, ඒ අනුව ඉදිරී පස් වසර තුළ කිරිපිටි හා සීනිවලින් ස්වයංපෝෂිතවීමේ හැකියාවක් රටට තිබෙන බවත්ය.
මේ ඉලක්ක ඉතා ලස්සන විය හැකි වුවත්, ඒවා සපුරා ගැනීමේ ඇත්ත හැකියාවක් අපට තිබේ ද?
ශ්රී ලංකාව සීනි ආනයනය සඳහා කරන වියදම වසරකට රුපියල් දශ ලක්ෂ 12,000කි. ආනයනය කරන ප්රමාණය මෙට්රික් ටොන් 550,000කට සමාන ය. ශ්රී ලංකාවේ සීනි නිපදවන්නේ මෙට්රික් ටොන් 50,000ක් පමණ ය. ඒ ප්රමාණය දස ගුණයකින් පස් අවුරුද්දකින් වැඩි කළ හැකි නම් එය ආශ්චර්යයක් වනු නොඅනුමානය. කිරිපිටිවල තත්ත්වය ද බොහෝ දුරට ඊට සමාන ය. දේශීය කිරි නිෂ්පාදනය ප්රමාණවත් වන්නේ දේශීය අවශ්යතාවන්ගෙන් 15%ක් සඳහා පමණ ය. ශ්රී ලංකාව වසරකට කිරි ආශ්රිත නිෂ්පාදිතයන් මෙට්රික් ටොන් 68,000ක් පමණ ආනයනය කරයි. ඒ සඳහා වැය කරන වියදම රුපියල් දශ ලක්ෂ 12,000ක් පමණ වෙයි. රටේ කිරී අවශ්යතාවන්ගෙන් ස්වයංපෝෂිතවීමට නම්, නිෂ්පාදන මට්ටම 8 ගුණයකින් පමණ වැඩි කළ යුතු ය. එවැනි දෙයක් අවුරුදු 05ක් තරම් කෙටි කාලයක් තුළ කළ හැකි නම් එය ද ආශ්චර්යයක් වනු නො අනුමානය.
කිරී හා සීනිවලින් ස්වයංපෝෂිත ජාතික ඉලක්කයක් ඇත්නම් එය ඉතා හොඳ දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එය නමින් බතල කොළ සිටුවීමක් නොවිය යුතු ය. එහෙත් ඇත්තට ම රටේ හැම දෙයක් ම සිදුවන්නේ කටින් බතල කොළ සිටුවන ආකාරයට ය.
තෝරාගත් කෘෂි නිෂ්පාදනයක් නගා සිටුවීමේ හැකියාවක් ඇතත්, ඒ සඳහා වන දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් රටට ඇති බවක් පෙනෙන්නට නැත. දේශපාලකයන් වැඩි උනන්දුවක් දක්වන්නේ ප්රායෝගික වටිනාකමක් නැති කෙටිකාලීන වැදගත්කමක් ඇති බාහිර වශයෙන් අලංකාර දේවලටය. ලෝක තත්ත්වයන් සැලකිල්ලට ගෙන ග්රාමීය ආර්ථිකය නගා සිටුවන ජාතික ප්රතිපත්තියක් නැතිව කරන කිසිවක් ඵලදායී විය නොහැකි ය.
වී ගොවිතැන ඵලදායී ආර්ථික මාර්ගයක් ලෙස සලකා ඊට ප්රමුඛත්වය ලබාදි ක්රියාකරන රටකට නැගී සිටීමේ ඇත්ත හැකියාවක් තිබිය නො හැකි ය. මොන දේ කළත් අවසාන විග්රහයේ දී ඉන් ලැබෙන ආදායම් හොඳ ජීවිතයක් ගත කිරීමට තරම් ප්රමාණවත් නොවේ නම්, රටට ගම්බද පැතිරි පවත්නා දුප්පත්කම ජයගැනීමට හැකි නොවේ නම්, තරුණ පරපුර කෘෂිකර්මය සිය ජීවන මාර්ගයක් බවට පත්කර ගනු ඇතැයි සිතිය නොහැකි ය.
එම ඛේදජනක තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ ගැමි ජනයාගේ ජීවන තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කිරීමට හේතුවන හොඳ ආදායම් ඉපයිය හැකි භෝග වගාවන් හර්න්වාදෙමින් ඒවාට ඔවුන් යොමු කරන දර්ශනයක් රටට ඇත්නම් පමණය.
ලංකාව නිදහස දිනාගන්නා ලද්දේ නිදහස දිනාගැනීම වෙනුවෙන් කරන කිසිදු අරගලයකින් තොරවය. එක ලේ බිඳකුදු නොසෙල්වාය.
එහෙත් ඉන්දියාව නිදහස දිනාගන්නා ලද්දේ නිදහස දිනාගැනීම වෙනුවෙන් කෙරුණු දුෂ්කර දැවැන්ත අරගලයකිනි.
මේ රටවල් දෙක අතර නිදහස දිනාගැනීමේ ක්රියාවලිය තුළ දක්නට ලැබෙන මෙම මූලික වෙනස ගොඩනැගෙන රාජ්යයන් දෙකේ ස්වභාවය තීරණය කළේය. අන්තර් වාර්ගික සම්බන්ධතා, රාජ්ය ප්රතිපත්ති පමණක් නොව, රටවල් දෙක අතර සම්බන්ධකම්වල ස්වභාවය ද තීරණය කරන සාධකයක් ලෙස ක්රියා කළේය.
රටේ විශාල ලෙස ලේ වැගිරෙමින් තිබෙන අවස්ථාවක (1988දි) ශ්රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ ඓතිහාසික ගමන් මග පිළිබඳව ලියමින් සිටි කෘතියක් සඳහා ඉන්දියාවට නිදහස දිනාගැනීම සඳහා අරගලයක් අවශ්ය වූයේත් ශ්රී ලංකාවට එවැනි අරගලයක් අවශ්ය නොවූයේත් ඇයි ද යන ප්රශ්නයට පිළිතුරු සොයාගැනීමට මට අවශ්ය විය.
ඉංග්රීසීන්ට ඉන්දියාව වැදගත් වූයේ එහි තිබුණු අතිවිශාල වස්තුව නිසාය. එහෙත් ඔවුන්ට ලංකාව වැදගත් වූයේ උපාය මාර්ගික වැදගත්කම නිසාය. ඉංග්රීසීන් ඉන්දියාවේදි වස්තුව මහා පරීමාණයෙන් කොල්ල කෑවේය. එහෙත් ලංකාවේදි එවැන්නක් සිදුවූයේ නැත.
එංගලන්තයේ මූලික ප්රාග්ධන ඒකීභූතියට අවශ්ය ධනය ලබාගත් එක් ප්රධාන මාර්ගයක් වූයේ ඉන්දියාවය. එහෙත් ලංකාව එවැනි මාර්ගයක් නොවීය. ඉංග්රීසීන් ඉන්දියාවේ තිබුණු කර්මාන්ත විනාශ කොට ඉන්දියාව එංගලන්තයේ කර්මාන්තශාලා සඳහා අමුද්රව්ය සපයන රටක් බවට පත් කළේය. එහෙත් ලංකාවේදි ඔවුන්ට විනාශ කරන්නට තරම් කර්මාන්ත පදනමක් නොවීය. ඉංග්රීසීන් ඉන්දියාවෙන් බොහෝ දේ උදුරා ගත්තේය. එහෙත් ලංකාවේදි ඔවුන්ගෙන් ලංකාවට ලැබුණු දේවල ප්රමාණය උදුරාගත් දේවල ප්රමාණයට වඩා වැඩිය.
යටත් විජිතවාදය මෙම රටවල් දෙක කෙරෙහි බලපෑ මෙම වෙනස් තත්ත්වයන් දෙක ඒ රටවල් දෙකේ ජනතාව යටත් විජිතවාදය කෙරෙහි දක්වන ප්රතිචාරයන්ගේ ස්වභාවය තීරණය කළේය. ඉන්දියාව කෙරෙහි ඉංග්රීසීන්ගෙන් එල්ල වී තිබුණු අතිවිශාල පීඩනය නිසාම නිදහස දිනාගැනීමේ ගැඹුරු වුවමනාවක් ඉන්දියාවට තිබුණි. එහෙත් ලංකාව කෙරෙහි එවැනි පීඩනයක් නොවීම නිසාම ඉංග්රීසීන්ගෙන් නිදහස්වීමේ ගැඹුරු වුවමනාවක් ලංකාවට නොතිබුණි. නිදහස දිනාගැනීම සඳහා ඉන්දියාවට තිබුණු එම ගැඹුරු වුවමනාව විසින් නිදහස් අරගලයක් සඳහා ගොඩනැගුණු සමාජ වටපිටාවක් ඉන්දියාවේ තිබුණි. එහෙත් ලංකාවේ නිදහස් අරගලයක් සඳහා එවැනි සමාජ වටපිටාවක් ගොඩනැගී තිබුණේ නැත.
බලවත් අධිරාජ්යවාදි සතුරකුට එරෙහිව නිදහස දිනාගැනීම සඳහා දුෂ්කර හා බලවත් අරගලයක නිරතවන්නට ඉන්දියාවට සිදුවීම නිසා ඒ අරගලය ජයගැනීම සඳහා වර්ගය, ආගම, කුලය, භාෂාව හා පන්තිය යන සාධක නොසලකා ඒ සියලු ජනයා එකට ඒකරාශී කරන්නට ඉන්දියානු නායකයන්ට සිදුවිය. අවසානයේ ඉන්දියාව හා පාකිස්තානය වශයෙන් බෙදිමක් ඇතිවීම වළකාගත නොහැකි වුවත්, රටේ විශාල කොටසක් ඉන්දියාව ලෙස එකට තබාගනිමින් ඒ රට තුළ සිටි ජනතාව අභිනව ඉන්දියානු ජාතියක් ලෙස ගොඩනැගීමට සමත් විය. ඉන්දියාව නිදහස දිනාගැනීම සඳහා කරන ලද අරගලය විසින් වර්ගය අනුව, භාෂාව අනුව, ආගම අනුව හා පන්ති අනුව බෙදි සිටි ජනයාව එක්සත් ජාතියක් ලෙස එකට ඒකරාශි කළේය. ජාතික රාජ්යයකට මාරුවීම අවශ්ය නව සමාජ මනසක් ද එම ජාතියට ලබා දුන්නේය.
බලවත් අධිරාජ්යවාදි සතුරකුට එරෙහිව නිදහස දිනාගැනීම සඳහා අරගලයක නිරත වන්නට ශ්රී ලංකාවට ද සිදුවූයේ නම්, ඒ අරගලය ජයගැනීම සඳහා වර්ග, කුල, ආගම්, භාෂා හා පන්ති වශයෙන් බෙදි සිටි ජනයා එකට ඒකරාශි කිරීම අත්යාවශ්ය වන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම්, ජනතාව අතර තිබුණු එකී බෙදිම් තුනී කරගනිමින් එක්සත් ශ්රී ලාංකික ජාතියක් ගොඩනගා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම, ධනේශ්වර දේශපාලන පරිවර්තනයකට අවශ්ය ලෙස වැඩවසම් සමාජ මනසේ ද පරිවර්තනයක් ඇති කරගන්නට ද හැකිවන්නට ඉඩ තිබුණි.
ඉන්දියාව නිදහස දිනාගන්නා ලද්දේ ඉන්දියාවේ සියලු සමාජ කණ්ඩායම් එකට ඒකරාශි කොට කරන ලද අරගලයක් මගින් වීම හේතු කොටගෙන නිදහස ලැබීමෙන් පසුව තමන්ට ලැබී තිබුණු ජාතික රාජ්ය නැවත ප්රතිසංවිධානය කිරීමේදි නිදහස් අරගලය තුළ එකට ඒකරාශි වී සිටි ජාතියේ බහුවිවිධත්වය හා ඔවුන්ගේ බහුවිවිධ අපේක්ෂා සැලකිල්ලට ගනිමින් ඒ සියලු දෙනා රාජ්යයට සම්බන්ධ කරගන්නා ආකාරයට රාජ්ය නැවත ප්රතිසංවිධානය කිරීමට ද සිදුවිය.
එහෙත් තෑගි ලැබුණු නිදහසින් පසුව ශ්රී ලංකාවට තමන්ට ලැබී තිබුණු ජාතික රාජ්ය ඉදිරියට ගෙනයන්නට සිදුවී තිබුණේ ද එවැනි රාජ්යයක පැවැත්ම සඳහා අවශ්ය එක්සත් ජාතියක් නොමැතිවය. සමාජයේ පැවති බහුවිවිධත්වයට ගැළපෙන ලෙස රාජ්ය නැවත ප්රතිසංවිධානයට ලක්කිරිමකින් ද තොරවය. ධනේශ්වර දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්ය තරමට වැඩවසම් සමාජ මනස ද පරිවර්තනයකට ලක්කිරීමකින් තොරවය.
ලංකාවේ ගොඩනැගී තිබුණු ජාතික රාජ්යයේ බාහිර පෙනුම ධනේශ්වර ප්රජාතන්ත්රවාදි වුවත්, එහි අභ්යන්තර හරය වැඩවසම්වාදි විය. රාජ්ය පාලකයා මහජන ඡන්දයෙන් තේරි පත්වුවත්, ඔහු රට පාලනය කළේ වැඩවසම් රජකු ලෙසය. රාජ්ය බහුතර වර්ගයේ බහුතර ආගමේ හා බහුතර කුලයේ අධිකාරී බලයක් ලෙස ක්රියාකරමින් සුළුතරයන් පීඩාවට පත් කළේය. ඒ නිසා සුළුතරයන් රාජ්යයෙන් බැහැර වෙමින් රාජ්යයට එරෙහිව කැරලි ගසන හෝ යුද්ධ කරන තත්ත්වයකට යොමුවිය. ඒ නිසා රාජ්යය පරිපූර්ණ අර්බුදයකට යමින් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය.
ශ්රී ලංකාවට ආවේණික බටහිර ළැදියාව ද යටත් විජිත යුගයේ සිටම පැවත එන්නෙකි. ඉංග්රීසීන් ලංකාව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ලිහිල් හා කාරුණික පිළිවෙත නිසා ඇතිව තිබූ ළැදියාවකි. නිදහසින් පසුව ලංකාව භූ දේශපාලන යථාර්ථය නොසලකා බටහිර බලවතුන් සමග කල්ලි ගැසී ක්රියාකරන තත්ත්වයකට ගියේය. එම නැඹුරු ඉන්දියාව දැක්කේ සිය ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙසය.
ශ්රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාව හා දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව අතර පැවති සමීප සම්බන්ධය නිසාත්, ශ්රී ලංකාවේ ජීවත් වන ඉන්දියානු සම්භවයකින් යුතු දමිළ වතු කම්කරු ජනතාව නිසාත්, ශ්රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂ පිළිබඳව කවදත් ඉන්දියාවට අනුකම්පාවක් තිබුණේය. ශ්රී ලංකාවේ දෙමළ ජාතික අරගලය සන්නද්ධ අරගල මාවතකට මාරුවීමෙන් පසුව ඉන්දියාව ශ්රී ලංකාවේ බටහිර ගැති පිළිවෙතට විරෝධය දක්වන ලද්දේ ශ්රී ලංකාවේ දමිළ සටන්කාමීන්ට ද්රව්යමය වශයෙන් ආධාර කරන ප්රතිපත්තියක් ඔස්සේය. ඉන්දියාව ඔවුන් පුහුණු කොට ඔවුන්ට නවීන අවි ආයුධ ද ලබාදුන්නේය. ඒ හේතු කොට ගෙන ශ්රී ලංකාවේ උතුරේ පාලනය සියතට ගැනීමට දෙමළ සටන්කාමී සංවිධාන සමත් විය. ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ මෙම ප්රතිපත්තිය ශ්රී ලංකාවේ සිංහල ජනතාව අතර ඉන්දියානු විරෝධී හැගීමක් ඇති කිරීමට හේතුවීමෙන් නොනැවතී ඒ නිසා ශ්රී ලංකාව වැඩි වැඩියෙන් බටහිර බලවතුන්ගේ තුරුළට තල්ලු කිරීමක් ද සිදුවිය.
රජීව් ගාන්ධි සිය පාලන යුගයේදි ශ්රී ලංකාව සම්බන්ධයෙන් සිය මව පවත්වාගෙන ගිය අන්තවාදි ප්රතිපත්තිය නිවැරදි කිරීමට උත්සාහ කළේය. එතෙක් පැවති දමිළයන්ට ළැදි පිළිවෙත වෙනුවට සිංහලයන් හා දමිළයන් අතර අපක්ෂපාත පිළිවෙතක් ඇති කළේය. 1987 ජූලි 27 වැනිදා ඇතිකර ගන්නා ලද ඉන්දු-ලංකා ගිවිසුම එම ප්රතිපත්තියේ තර්කානුකූල ප්රතිඵලයක් ලෙස ද සැලකිය හැකිය.
ඉන්දු-ලංකා ගිවිසුම තුළ බලහත්කාරි බවක් තිබුණ ද, ඉන් ඉන්දියාව අපේක්ෂා කළ අරමුණ තුළ වංකභාවයක් නොතිබුණි. ශ්රී ලංකාවේ අර්බුදයට ඉන්දියානු විරෝධී බලවේගයන්ට අතපෙවීමට තිබුණු ඉඩකඩ අහුරමින් ශ්රී ලංකාවේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය ආරක්ෂා කරදෙමින් දෙමළ ජනයාගේ ප්රශ්නයට විසඳුමක් ලබාදිම එහි අරමුණ විය. ඉන්දියාව ඒ වෙනුවෙන් අතිවිශාල මිලක් ගෙවනු ලැබුවත්, අපේක්ෂා කළ අරමුණ සාර්ථක කරගැනීමට හැකිවූයේ නැත.
ගිවිසුම සම්පූර්ණ කිරීමකින් තොරව ඉන්දියානු හමුදා නැවත ගෙන්වා ගැනීමට සිදුවීමෙන් පසුව ශ්රී ලංකාවේ අභ්යන්තර කටයුතුවලට මැදිහත් නොවී ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීමට සහාය දෙන තැනකට පමණක් සීමාවී සිටීමට ඉන්දියාවට සිදුවිය. එල්ටීටීඊය සමග ශ්රී ලංකා ආණ්ඩුවේ හමුදාවන්ට යුද්ධ කරන්නට සිදුවූ තත්ත්වයක් ඉදිරියේ තමන්ට අවශ්ය යුද්ධ ආධාර ලබාගැනීම සඳහා ශ්රී ලංකා ආණ්ඩුවට නැවත ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්රායලය හා පාකිස්තානය වැනි රටවල් වෙත යොමුවීමට සිදුවිය. එම නැඹුරුව ඉන්දියාවේ සතුටට හේතු නොවන්නට ඇතත්, ඊට එරෙහිව කළ හැකි දෙයක් ද ඉන්දියාවට නොවීය.
1994දි බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව තමන් ආරම්භ කළ සාම කතා බිඳ වැටීමෙන් පසුව එල්ටීටීඊය ද යුදමය වශයෙන් පරාජය කිරීමේ අරමුණ ඇතිව මහා පරිමාණයේ යුද මෙහෙයුම් ගණනාවක්ම දියත් කළත්, එල්ටීටීඊය පරාජය කරනවා තබා, ඔවුන් දුර්වල තත්ත්වයකට පත්කිරීමටවත් සමත් නොවීය.
ඉන්පසු 2002 වසරේදි ආරම්භ වන සාම සාකච්ඡාවලදි එල්ටීටීඊය සිය ස්ථාවරයේ පැහැදිලි වෙනසක් ප්රකාශ කළේය. වෙනම දෙමළ රාජ්යයක් පිළිබඳ ස්ථාවරය අතහැර අභ්යන්තර ස්වයං පාලනයක් සහතික කරන පෙඩරල් විසඳුමක් භාරගැනීමට තමන් කැමති බව ප්රකාශ කළේය.
එල්ටීටීඊය කෙරෙන් ප්රකාශ වූ මෙම නව ස්ථාවරය කෙරෙහි වඩාත්ම බලපාන්නට ඇත්තේ ඉන්දියානු ස්ථාවරය විය හැකිය. වෙනම දෙමළ රාජ්යයක් සඳහා තමන්ට ඉන්දියාවෙන් කිසිදු ඉඩක් නොලැබෙන ඔවුන් දැන සිටියේය. එහෙත් ඔවුන්ගේ එම නව ස්ථාවරයෙන් පසුත් ඔවුන්ගේ අභිලාෂයන් හා ඉන්දියානු අභිලාෂයන් අතර පරස්පරයක් පවතී. ඉන්දියාවේ පවතින රාමුවෙන් ඔබ්බට යමින් බලය ලබාදෙන පෙඩරල් ක්රමයක් ඇති කරනවාට ඉන්දියාව කැමති නැති බව පෙනේ. ශ්රී ලංකාව මුහුණ දී තිබෙන ජනවාර්ගික අර්බුදයේ ගැඹුර අනුව ඉන්දියානු ක්රමයේ විසඳුමක් ශ්රී ලංකාවට විසඳුමක් වනු ඇති බව ද පෙනෙන්නට නැත. ඉන්දියාවේ ඇත්තේ පාර්ලිමේන්තු ක්රමය මුල් කරගත් ආණ්ඩු ක්රමයකි. ශ්රී ලංකාවේ ඇත්තේ විධායක ජනාධිපති ක්රමය මුල් කරගත් ආණ්ඩු ක්රමයකි. ඉන්දියාවේ පවතින බලය බෙදාහැරිමේ ක්රමය, විධායක ජනාධිපති ක්රමයක් ඇති ශ්රී ලංකාවය බද්ධ කිරිමෙන් සාර්ථක ප්රතිඵල ලබාගැනීමේ හැකියාවක් නැත.
ඉන්දු ලංකා ගිවිසුම අසාර්ථකවීමෙන් පසුව ශ්රී ලංකාවේ වාර්ගික අර්බුදයට ඍජු ලෙස අතපොවන්නට ඉන්දියාව කැමති නැත. එසේම ඇමරිකාව වැනි බලවතකු ශ්රී ලංකාවේ අර්බුදයට අතපොවනවා දකින්නට ද ඉන්දියාව කැමති නැත. එහෙත් එල්ටීටීඊය වැනි ගණන්කාරයකු සමග කරන ගනුදෙනුවකදි ඔවුන්ට බලකිරීමක් සිදුකිරීමට අවශ්ය අවස්ථාවලදි ඒ බලකිරීම කිරීමේ හැකියාව ඇති වඩා ලොකු ගණන්කාරයකු පසෙකින් සිටිනවා දකින්නට සිංහල ජනතාව කැමතිය. එම කාර්ය ඉන්දියාව නොකරන්නේ නම්, එය ඇමරිකාව විසින් කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
සිංහල ජනතාව අතර පවතින අධානග්රාහීත්වය මේ අර්බුදය ජයගැනීමට තිබෙන ලොකුම බාධකය ලෙස සැලකිය හැකිය. තමන් අතින් දෙමළ ජනතාවට අසාධාරණයක් වී ඇතැයි සිංහල ජනතාව විශ්වාස කරන්නේ නැත. ඔවුන් රටේ මහ ජාතිය වුවත්, ඔවුන් තුළ ඇත්තේ සුළු ජාතික මානසිකත්වයකි. ඔවුන් දකින්නේ ශ්රී ලංකාවේ දමිළ ජනයා හා දකුණු ඉන්දියාවේ දෙමළ ජනයා එකට එකතු වී ක්රියාකරන එක පොදියක් ලෙසය. සිංහල මනසේ පරිවර්තනයක් ඇති කිරීමට හේතුවන දැවැන්ත අධ්යාපන වැඩපිළිවෙළකින් තොරව ශ්රී ලංකාවේ වාර්ගික ප්රශ්නයට විසර්මක් ඇති කිරීම දුෂ්කරය.
විසර්මකින් තොරව ශ්රී ලංකාවේ වාර්ගික අර්බුදය තවදුරටත් පල්වන්නට ඉඩ හරින ප්රතිපත්තියක් ශ්රී ලංකාව කෙරෙහි පමණක් නොව ඉන්දියාව කෙරෙහි ද සමහරවිට ඉනුත් ඔබ්බට යමින් මුළු ලෝකයා කෙරෙහි ද විනාශකාරි ලෙස බලපෑ හැකිය.
අපගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත්, එල්ටීටීඊය මේ වන විට ශ්රී ලංකාවේ දෙමළ අභිලාෂයන් මූර්තිමත් කරන එකම දේශපාලන ආයතනය බවට පත්ව තිබේ. ඔවුන් ලෝකයේ තිබෙන ශක්තිමත්ම ත්රස්තවාදි සංවිධානය ලෙස සැලකිය හැකි අතර, බිහිසුණු වීමට අවශ්ය නම්, එසේවීමේ විශාල විභවයක් ද ඔවුන් සතුය. ඔවුන්ගේ ගණනාකාරකමට බියවිය යුතු නැතත්, ඔවුන් බිත්තියට හේත්තු කරන ප්රතිපත්තියද ප්රායෝගික නැත. දැනට වඩාත්ම අවශ්ය වන්නේ යුද්ධ නොකරන තත්ත්වයක සිටින ඔවුන් තවදුරටත් යුද්ධ කරන තත්ත්වයකට මාරුවීමට ඉඩ නොදෙන ප්රතිපත්තියකි. රටේ අඛණ්ඩතාවට හානියක් නොවන ලෙස ඔවුන් යුද්ධ කරන තත්ත්වයෙන් ඉවත් කොට ඔවුන්ගේ ජනයා පාලනය කරන තැනකට ඔවුන් ගෙන යායුතුය. ඒ සඳහා සුදුසු ඔවුන්ගේ ද විශ්වාසයට හේතුවන රාමුවක් ඔවුන්ට තනාදිය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක් ශ්රී ලංකාවට ළගාකර ගත හැකිවනු ඇත්තේ කලාපීය බලවතා වන ඉන්දියාව ඇගේ ජාතික ආරක්ෂාව ද සැලකිල්ලට ගනිමින් මේ ප්රශ්නය විසඳගැනීමට ක්රියාකාරි ලෙස ආධාර කරයි නම් පමණය.