අමාත්යාංශ තුනක් පවරා ගැනීමේ සිට එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිම දක්වා ජනාධිපතිනිය අනුගමනය කළ පිළිවෙත් ප්රජාතන්ත්ර විරෝධී වනවා සේ ම හිතුවක්කාරි ද වේ. එහෙත් ඒ අර්බුදයේදි අගමැති රනිල් වික්රමසිංහ මහතා මුහුණ දුන් ආකාරය ශක්තිමත් හෝ ප්රශස්ත වේ යැයි කිව නොහැකිය. නායකයන් සිය දක්ෂතා ප්රදර්ශනය කරනුයේ සන්සුන් කාලවලදි නොව, අර්බුද අවස්ථාවලදිය. එහෙත් මේ අර්බුදයේදි තවත් ශක්තිමත් නායකයකු බව සනාථ කිරීමට රනිල් වික්රමසිංහ මහතා සමත් වූයේ නැත.
ඇතිවූ අර්බුදය ප්රධාන බල මණ්ඩල දෙකේ බලය පරස්පර දේශපාලන පක්ෂ දෙකක් අතට යාම නිසා උද්ගත වූ අර්බුදයක් ලෙස බාහිරව පෙනෙන්නට තිබුණත්, එහි ඇත්ත හේතු තිබුණේ වෙනත් තැනකය.
ජනාධිපතිනියට සිය අනාගත දේශපාලන පැවැත්ම රැකගැනීම සඳහා ක්රමය වෙනස් කරගැනීමට අවශ්ය වනවිට ක්රමය ආරක්ෂා කරගැනීම මගින් ජනාධිපතිනිය දේශපාලන වශයෙන් අවලංගු වන්නට ඉඩහැර තමා ජනාධිපති වීම අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ අභිලාෂය විය. ක්රමය වෙනස් කරගැනීමට ජනාධිපතිනිය දක්වන උනන්දුව තුළ ආත්මාර්ථකාමී බවක් තිබුණා සේ ම, ක්රමය රැකගැනීම සඳහා අගමැති කෙරෙන් පළවූ උනන්දුව තුළ ද ආත්මාර්ථකාමී බවත් තිබුණ. මේ දෙදෙනාගේ මෙම පරස්පර වුවමනාවන් අතර ගැටුම මේ අර්බුදයේ කේන්ද්රීය සාධකය ලෙස ක්රියා කළේය.
රනිල් වික්රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දර්ශනය හා වැඩපිළිවෙළ කෙරෙහිම තමන් කැමති ක්රමය නොවෙනස්ව තබාගැනීමේ අභිලාෂය බලපෑවේය. එය ආණ්ඩුවේ ගමන් මග ද ක්රියාකාරිත්වය ද අබල දුබල කිරීමට හේතුවිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්රමය වශයෙන් රටට දායාද කොට දී තිබුණේ දොළොස් වසරක් සඳහා (ධුර කාල දෙකක් සඳහා) පූර්ණ ඒකාධිපති පාලකයකු ඇති කරන ක්රමයකි. ඒ ක්රමය තුළ ජනාධිපතිට ලැබෙන අතිවිශාල බලය නිසාම පාර්ලිමේන්තු බලය ලබන ප්රතිපක්ෂයකට නිදහසේ ආණ්ඩු කිරීමේ හැකියාවක් නොපවතී. රනිල් වික්රමසිංහ මහතාට තමන්ට ලැබුණු පාර්ලිමේන්තු ජනවරම ආරක්ෂා කරගැනීමට අවශ්ය වී නම්, ප්රතිපක්ෂ විධායක ජනාධිපතිට හිතුවක්කාරි ලෙස බලය පාවිච්චි කිරීමට ඉඩක් නොලැබෙන ලෙස ක්රමය ප්රතිසංස්කරණය කිරීමේ දෘෂ්ටියක පිහිටා ක්රියා කළ යුතුව තිබුණි. එහෙත් රනිල් වික්රමසිංහ මහතාගේ තෝරාගැනීම වී තිබුණේ ප්රතිසංස්කරණය කළ ජනාධිපති ක්රමයක් නොව, මාමා ඇති කළ ඒකාධිපති විධායක ජනාධිපති ක්රමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමය. එම ක්රමය ප්රතිසංස්කරණයකට ලක් කිරිමෙන් තොරව පවත්වාගෙන යනවා දකින්නට ඇති අවශ්යතාව නිසාම ජනාධිපතිනියගෙන් පාර්ලිමේන්තු ආණ්ඩුවට එල්ල වන තර්ජනවලදි රනිල් වික්රමසිංහ මහතාට සටන් කරන්නට සිදුවූයේ තමන් ප්රිය කරන ක්රමයට හානියක් ඇති නොවන ආකාරයටය. ඒ නිසාම ඒ හැම අරගලයකදිම රනිල් වික්රමසිංහ මට්ටු කිරීමේ හැකියාව ද ජනාධිපතිනියට ලැබුණේය.
සාම කතාවලදි රාජ්යය නැවත ප්රතිසංවිධානය කිරීමේ සංවාදයක් මහජනයා අතරට ගෙන නොගියේ ද එවැනි සංවාදයක් තමා ප්රිය කරන විධායක ජනාධිපති ක්රමය දුර්වල කිරීමට හේතුවනු ඇතැයි කියන බිය නිසා විය හැකිය. රාජ්යය නැවත ප්රතිසංවිධානය කිරීමේ අවශ්යතාව පිළිබඳව කතිකාවතකට ගියේ නම්, රාජ්ය සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස යළි ප්රතිසංවිධානය කරන්නේ කෙසේද යන ප්රශ්නය සියලු සමාජ කණ්ඩායම්වල අවධානය දිනාගන්නා සංවාදයක් බවට පත්වී, දකුණේ ජාතිකවාදි කතිකාවතට තිබෙන පිළිගැනීම ද බිඳ වැටෙන්නට ඉඩ තිබුණි.
අනෙක් අතට රනිල් වික්රමසිංහ මහතාගේ මේ ප්රවේශය යහපත් ආණ්ඩුකරණයක් සඳහා රටට අවශ්ය ප්රතිසංස්කරණ ක්රියාවට නැගීම වැළකුණේය. 17 වැනි ආණ්ඩුක්රම සංශෝධනයේ අරමුණ වූයේ ප්රමුඛ වැදගත්කමක් ඇති තනතුරුවලට හිතුවක්කාරි ලෙස පුද්ගලයින් තෝරාපත් කිරීමට ජනාධිපතිනියට තිබෙන අයිතිය අහිමි කිරීමය. එය තමන්ට තිබෙන බලය දුර්වල කරන ක්රියාමාර්ගයක් ලෙස සලකා ජනාධිපතිනිය ඊට අවහිර කරන විට ඒ වැඩපිළිවෙළ තමන් අපේක්ෂා කරන තනතුරේ තටු කපන ව්යාපාරයක් ලෙස සලකා අගමැති රනිල් වික්රමසිංහ මහතා ද ඒ සඳහා ඇති කරන ලද ප්රතිසංස්කරණ මරා දමන ඒ වැඩපිළිවෙළට අනියම් ලෙස උදව් කරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේය. තමා විධායක ජනාධිපති නොවූවත්, ප්රතිශෝධනයකින් තොරව විධායක ජනාධිපතිවීමට තිබුණ කැමැත්ත නිසාම ජනාධිපතිනිය විසින් අභිමත බලය වැරදි ලෙස පාවිච්චි කරන අවස්ථාවලදිද ඊට අභියෝග කිරිමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. ජනාධිපති වශයෙන් මිස, ජනාධිපතිනියට ඇමතිවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව ඇමතිය නොහැකිය. එහෙත් ජනාධිපතිනිය මුදල් ඇමති වශයෙන් අයවැය ඉදිරිපත් කරන්නට ඉඩදි බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. ජනාධිපතිනිය ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කිරිමෙන් පසුව වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයකු පත් කරන ලද අවස්ථාවේදි ද ඊට අභියෝග නොකරන පිළිවෙතක් අනුගමනය කළේය. අගවිනිසුරු සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරිමෙන් වැළකී සිටියේ ද, එම ප්රවේශයේම ප්රතිඵලයක් වශයෙනි.
අධිකරණය කුණුවෙන්නට ඉඩ හැර බලා සිටීමේ පාපයට අවසානයේදි වැඩියෙන්ම වන්දි ගෙවන්නට සිදුවූයේ ද රනිල් වික්රමසිංහ ආණ්ඩුවටය. ස්වාධීන අධිකරණයක් රටේ තිබුණේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිම දක්වා වන ජනාධිපතිනියගේ හිතුවක්කාරි ක්රියාකාරකම්වලදි ඒවාට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් අභියෝග කිරීමේ හැකියාව ලැබෙන්නේය. ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් ක්රියා නොකිරීම නිසා මේ සියලු ක්රියා ඉදිරියේ දෙවියන්ට කන්නලව් කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැති අසරණ තත්ත්වයක් ඇති කරගත්තේය.
විධායක ජනාධිපති ක්රමය අරබයා වන මෙම ආත්මාර්ථකාමී ප්රවේශය නොවී නම්, ජනතාවගෙන් ලැබුණු ජනවරම සාර්ථක ලෙස ආරක්ෂා කරන්නට ඉඩ තිබුණා සේ ම, මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ප්රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නට ද හැකිවන්නට ඉඩ තිබුණි.
අගමැතිවරයාගේ සමස්ත ශේෂ පත්රය නරක දේවලින්ම පිරි ඇතැයි කිව නොහැකිය. ඔහු හොඳ දේවල් කළේය. තවත් හොඳ දේවල් කරන්නට ද උත්සාහ කළේය. කරන ලද සියලු හොඳ දේවලින් වඩාත්ම කැපී පෙනෙන්නේ ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා දරන ලද නිර්භීත උත්සාහයයි. ඉතාමත් නිර්මාණශීලී වේ යැයි කිව නොහැකි වුවත්, ලෝක බැංකු න්යාය පත්රය අකුරටම පිළිපදිමින් හෝ ආර්ථික ක්රියාකාරිත්වයට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේය. හිංසාවකට ලක් කිරීමකින් තොරව විරුද්ධවාදින්ට විරුද්ධකම් පෑමට ඉඩ දුන්නේය.
දුරස්ථ පාලනයක අඳුරු සෙවණැලි තිබියදිත් ජනමාධ්ය සඳහා ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවූයේය.
විධායක ජනාධිපති ක්රමය පිළිබඳව වැරදි අස්ථානය විසින් ඇති කරන ලද සීමා නොවන්නට රටේ යහපතට හේතුවන මෙම වැඩ කොටස සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නට හැකිවන්නට ඉඩ ලැබෙනවාට අතිරේකව දූෂණය අවම කොට මනා පාලනයක් සහතික කිරීමට හේතුවන වඩාත් ඵලදායී ප්රතිසංස්කරණ වැඩපිළිවෙළකට රට යොමු කරන්නට ද හැකිවන්නට ඉඩ තිබුණේය.
දරදඬු ඒකාධිපති ක්රමයකට පක්ෂපාත පිළිවෙතක් රටේ විනාශයට මිස යහපතට හේතුවන්නේ නැත. පාර්ලිමේන්තුවේ නිල කාලය අඩක්වත් අවසන් කරන්නට පෙර යළි මැතිවරණයකට යන්නට සිදුවීමේ ඛේදවාචකය විධායක ජනාධිපති ක්රමයේ ආරක්ෂාව සඳහා පවත්වාගෙන ගිය එම ප්රවේශයේ තර්කානුකූල ප්රතිඵලයක් ලෙස සැලකිය හැකි අතර, ඒ නිසා පැවැත්වෙන මැතිවරණය ද වෙන කවරදාවත් මතු නොකෙරුණු බලවත් ආකාරයට විධායක ජනාධිපති ක්රමය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ආණ්ඩුව අනුගමනය කරන්නට යන්නේ කුමන පිළිවෙතක් ද යන ප්රශ්නය මතු කරනු ලබයි.
මෙම මැතිවරණය පැවැත්වෙන්නේ ද විධායක ජනාධිපති ක්රමය චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අත තිබෙන අවස්ථාවකය.
මැතිවරණයෙන් නැවත මහජනයා එජා පෙරමුණ බලයට පත් කළත්, නැවත ඒ පාර්ලිමේන්තු ආණ්ඩුවට ගනුදෙනු කරන්නට වන්නේ ද චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමගය.
නැවත අවහිර කළහොත් අගමැති රනිල් වික්රමසිංහ කරන්න යන්නේ කුමක්ද යන ප්රශ්නය මේ මැතිවරණයේදි කේන්ද්රීය ප්රශ්නයක් ලෙස මතු කරනු ලබයි.
ඒ ප්රශ්නයට රනිල් වික්රමසිංහ මහතා දෙන්න යන්නේ කුමන පිළිතුරක්ද?
ගණන්කාර බලයෙන් ඇය තනතුරෙන් පන්නන්නේද? එසේ නැත්නම් මේ මෝඩ ක්රමය අහෝසි කරන හෝ ප්රතිසංස්කරණය කරන ක්රමයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද? .