මැතිවරණයේ දී තමන් ලබන ජයග්රහණයක් ගැන දෙපක්ෂය ම පුරසාරම් කතා කරන තත්ත්වයක සිටියත්, මේ ප්රධාන බලවේග දෙකට ම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය තරම් ආසන සංඛ්යාවක් දිනාගැනීමේ හැකියාවක් නො පවතී. එහි අවසාන තේරුම වනු ඇත්තේ එක්කෝ මේ බලවේග දෙකෙන් දෙමළ සන්ධානය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තැනකට යොමුවීම ය. නැතිනම් නැවත ප්රධාන පක්ෂ බලවේග දෙක එකට එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තැනකට යොමුවීම ය. එවැනි විසඳුමක් ඇතිකර ගැනීම ද පහසු හෝ සරල වන්නේ නැත. එවැනි තත්ත්වයක් ඇති කරගැනීමට පවා කිසියම් කාලයක් ගතවිය හැකි අතර, එතෙක් රට ආණ්ඩුවක් නැති අරාජික තත්ත්වයකට පත්වනු නො වැළැක්විය හැකි ය.
රට පිළිබඳව පෙනෙන්නට තිබෙන ඉදිරි චිත්රය යහපත් හෝ සුන්දර නැත. බුද්ධිමත් මහජනයාට මේ මැතිවරණයට මුහුණ දිය යුතුව ඇත්තේ ද ඒ යථාර්ථය කල්තියා තේරුම් ගනිමිනි.
රටේ දේශපාලන සංස්කෘතිය පමණක් නො ව, සමස්ත ආයතන ක්රමය තිබෙන්නේ කුණුවී තිබෙන තැනක ය. රටක් ප්රජාතන්ත්රවාදි විය හැක්කේ ඒ රට පාලනය කරන්නට තරග වදින දේශපාලන පක්ෂ ක්රමය තුළ ප්රජාතන්ත්රවාදි නම් පමණ ය. එහෙත් අපේ රටේ පවතින්නේ ඒකාධිපතින් පුහුණු කරන පක්ෂ ක්රමයකි. හැම පක්ෂ ව්යවස්ථාවක් විසින්ම නායකයාට ඒකාධිපති බලයක් ලබාදි තිබෙන අතර, එම තත්ත්වය වාද විවාදවලින් තොරව අධිකාරිවාදි ස්වරූපයකින් පක්ෂ පාලනය කිරීමේ වරම පක්ෂ නායකයාට ලබාදි තිබේ. මේ තත්ත්වය දක්ෂ මිනිසුන් දේශපාලනයට ඒමට තිබෙන හැකියාව සීමා කිරීමට හේතුවී තිබේ.
රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාව සකස් වී ඇත්තේ ද ඒකාධිපති පාලනයකට ගැළපෙන ආකාරයට ය. එහි ප්රතිඵලයක් වශයෙන් රටේ ආයතන ක්රමය ද ඒකාධිපති ක්රමයට අනුගතවී ක්රියා කරන තත්ත්වයකට ඇද වැටී ගරා හැලෙන තත්ත්වයකට පත්ව තිබෙන්නේ ය.
ප්රධාන දෙපක්ෂයම කළේ එම ක්රමය ප්රතිසංස්කරණය කරනවා වෙනුවට කුණුවී තිබෙන ක්රමය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම ය. සුළු පක්ෂවල ක්රියාකාරිත්වය ද ඊට වෙනස් නො වී ය.
අවසානයේදි රට බුද්ධිමත් දේශපාලන නායකයන්ගෙන් තොර, ස්වාධීනව ක්රියා කරන රාජ්ය නිලධර තන්ත්රයකින් තොර, ස්වාධීන අධිකරණයකින් තොර, සමාජ වගකීමකින් ක්රියා කරන ජනමාධ්ය ආයතන ක්රමයකින් තොර, ක්රියාකාරි සිවිල් සමාජයකින් තොර, හිස් රටක් බවට පත්ව ඇත්තේ ය. වැඩිහිටි පරපුරේ ආත්මාර්ථභාවය හා නිවටකම වෙනුවෙන් අවසානයේ වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ රටේ අනාගත පරපුරට ය. පටු පක්ෂ දෘෂ්ටියකින් තොරව රටේ සිදුවන දේවල් දැකීමේ හැකියාවක් ඉක්මනින් උදාවනු ඇතැයි ද සිතිය නො හැකි ය. එහි අවසාන තේරුම වනු ඇත්තේ තවත් දිර්ඝ කාලයක් කාලකණ්ණභාවය තුළ ජීවත්වීමට රටේ ජනතාවට සිදුවනු ඇති බව ය.