සෝම හිමිගේ අපවත්වීම, ආගම්භේද හා ශ්‍රී ලංකාවේ ජාතිකත්ව ගැටලුව

February 15, 2004
Publication:
After Soma Thera's death, fear spread among Christians that they might be attacked, and the old charge of 'unethical conversions' became a claim that Christian forces were killing Buddhist leaders. Ivan asks whether religion is becoming an explosive dividing line like race and language, and looks back to Asoka's empire and the Buddhist idea of the state.

වර්ගය හා භාෂාව මෙන් ආගම ද පුපුරණ සුලු ගැටුම් ඇති කරන බෙදුම් රේඛාවක් බවට පත්වෙමින් තිබේද? ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම බෞද්ධ සමාජය තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවන විට ඒ ආශ්‍රයෙන් ඇතිවූ කතිකාවත, සිංහල සමාජයේ ක්‍රිස්තියානි ආගම් අදහන ජනයා අතර කොයි මොහොතක හෝ තමන් සිංහල බෞද්ධයින්ගේ පහරදිමට ලක්වනු ඇතැයි කියන බියක් ඇති කිරීමට හේතුවිය. මෙදා නත්තල වෙනදා මෙන් උත්සවශ්‍රීයක් නොගත්තේය. තමන් නත්තල වෙනදා මෙන් ප්‍රීතියෙන් කල් ගෙවන දිනයක් බවට පත්කර ගතහොත් එය බෞද්ධයන්ගේ කෝපයට හේතුවනු ඇතැයි සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි.

සෝම හිමියන්ගේ අපවත්වීම තෙක්ම අසන්නට ලැබුණේ සමහර ක්‍රිස්තියානි ආගමික ආයතන බෞද්ධයන් ඔවුන්ගේ ආගම්වලට හරවා ගැනීම සඳහා සටකපට ලෙස හා සංවිධානාත්මකව ක්‍රියාකරමින් සිටින්නේය කියන මතවාදය පමණය. එහෙත් සෝම හිමියන්ගේ අපවත්වීම ඊට අලුත් මානයක් ලබාදිමට හේතුවිය. එනම්, මෙම ව්‍යාප්තවාදි බලවේගය ජනයා සිය ආගම් වලට හරවා ගැනීමෙන් නොනැවතී බෞද්ධයින්ගේ ගෞරවයට හේතුවූ ආගමික නායකයන් මරා දැමීම සඳහා ක්‍රියාකරන්නේය යන අර්ථකථනයයි.

සෝම හිමියන්ගේ ජීවිතය බිලිගත්තේය කියන මතය සේ ම, තවත් බෞද්ධ නායකයින් ගණනාවකගේ ජීවිත බිලිගැනීමට සැලසුම් කොට ඇත්තේය කියන මතය බෞද්ධයින් අතර ඇති කිරීමට හේතුවී තිබුණේ තැන තැන බෙදාහැර තිබූ පත්‍රිකාවකි. යොහොවා සාක්ෂිකරුවන් විසින් ඉලක්ක කළ පුද්ගල නාමාවලියක් ද ඔවුන් විනාශ කිරීම පිණිස වෙන්කර ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳව ද විස්තර ඇතුළත් මේ ලේඛනය ඇත්ත ලේඛනයක් ද නැත්නම් කූට ලේඛනයක් ද යන්න සොයා බැලීමකින් තොරව එහි එන කරුණු නූගත් මිනිසුන් පමණක් නොව, උගත් මිනිසුන් ද පිළිගත්තේය. මෙම ලේඛනය දූෂණ චෝදනා එල්ල වී සිටි මහා භාරකාරයා විසින් සිය ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද්දක් බව හෙළිදරව් වනවිට පෙරහැර බොහෝ දුර ගොස් තිබුණේය.

ආගමික කෝලහාලයක් දක්වා දුරදිග යාමට ඉඩ තිබූ මේ සිද්ධි දාමයෙන් පෙන්නුම් කෙරෙන්නේ දේශීය ආගම් අතර මතුපිට සහජීවනයක් පෙනෙන්නට තිබුණ ද, පුපුරණ සුලු ගැටුම් ඇති කිරීමට හේතුවිය හැකි අවිශ්වාසයක් මේ එකිනෙක ආගම් අතර පවත්නා බවය.

එවැනි තත්ත්වයක් කෙරෙහි බලපා තිබෙන හේතු සැකෙවින් සලකා බැලීම මේ ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ආගම් අතර පවත්නා එදිරිවාදි හැගීම් හා පොදු ජාතියක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියට ඉන් එල්ල වී තිබෙන අභියෝගයේ තරම ගැන කරුණු සොයා බැලීමකට යන්නට පළමුව ආගම් පහළවීම හා ඒවායේ ව්‍යාප්තිය කෙරෙහි බලපා තිබෙන පොදු ධර්මතා හඳුනාගැනීම වැදගත්ය.

1. මුල්කාලීන ආගම්වල ආරම්භය තමා අවට ලෝකය පිළිබඳව මිනිසුන් තුළ ඇතිවූ කුතුහලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් ලෙස සැලකිය හැකිය. මුලදි මිනිසුන් ජීවත් වූයේ කුඩා රංචු වශයෙනි. එම මිනිස් රංචුවලට තම රංචුවලට ආවේණික දෙවි කෙනෙකු සිටි අතර, රංචුවට හිමි භූමි ප්‍රදේශයේ ආරක්ෂාව භාර දෙවියා ලෙස සැලකුණේ එම දෙවියාය.

02. මෙම මිනිස් රංචු විවිධ හේතු නිසා එකට එකතු වී වඩා විශාල ජන කණ්ඩායම් බවට පත්වෙමින් ඔවුන්ගේ පාලනය සඳහා ආණ්ඩු ඇතිවන තත්ත්වයක් ඇතිවීමත් සමග රංචුවලට සීමාවූ සමහර දෙවිවරුන් නැතිවී වඩා විශාල සමාජ කණ්ඩායම්වලට පිළිගත හැකි නව දෙවිවරු ඇතිවිය. බලවත් රාජ්‍යයන් දුබල රාජ්‍යයන් ගිලගනිමින් විශාල අධිරාජ්‍යයක් බවට පත්වීමේ ක්‍රියාවලිය තුළ රාජ්‍යයේ දේශ සීමා විශාල වී ඒ තුළ සිටින විශාල ජනතාවගේ පිළිගැනීමට හේතුවන නව ආගම් ද නව දෙවිවරුන් ද ඇතිවිය.

3. බලවත් රටවල් දුබල රටවල් කොල්ලකෑම හෝ අල්ලා ගැනීම එකල වරදක් ලෙස නොසැලකුණේය. වාණජ්‍යයේ ප්‍රාථමික ස්වරූපය වූයේ ද කොල්ලකෑමය. රටවල් රටවල් අතර යුද්ධ කෙරුණේ ද ආගමේ නාමයෙනි. ජයග්‍රාහකයාගේ ආගම පරාජිත ජනයා වැළඳ ගත්තේය. රාජ්‍යයේ ප්‍රධානියා ආගමක් වැළඳ ගත්විට බොහෝ විට රටවැසියන් ද ඒ ආගම වැළඳ ගත්තේය.

4. රාජ්‍යයක් හෝ අධිරාජ්‍යයක් අලුත් ආගමක් තෝරාගැනීමේදි ඒ රාජ්‍යයේ හෝ අධිරාජ්‍යයේ ජනතාව හුරුපුරුදු සංස්කෘතියට හා ජීවන ක්‍රමයට තිබෙන ගැලපීම ද සැලකිල්ලට ගත්තේය. එළවළු ආහාරවලට පමණක් සීමාවූ ආගමක් බාරගැනීමට කාන්තාර රටවල හෝ බෝල්ටික් රටවලට හැකියාවක් නොතිබුණ. ආගම්වල ව්‍යාප්තිය කෙරෙහි ඒ සාධකය ද බලපෑවේය.

5. නිෂ්පාදන ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ ඇතිවන වෙනස්කම් ද ආගම් කෙරෙහි බලපෑවේය. සමහර ආගම් ධනේෂ්වර පරිවර්තනයට නොගැළපෙන විට තිබෙන ආගම් ඊට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණ වීම හෝ ඊට ගැළපෙන නව ආගම් පහළවීම හෝ සිදුවිය. වැඩවසම් ක්‍රමය තුළ ආගම රාජ්‍යයට ඒකාබද්ධ වී තිබුණි. ඒ අනුව හැම රාජ්‍යයකටම රාජ්‍ය ආගමක් තිබුණ. ධනේෂ්වර ක්‍රමය ආගම හා රජය අතර තිබුණු මෙම ඒකාබද්ධතාව අහෝසි කොට ආගම පෞද්ගලික දෙයක් බවට පත්කරමින් රාජ්‍යට ලෞකික ස්වරූපයක් ලබා දුන්නේය.

6. නවීන විද්‍යාවේ දියුණුව විසින් මිනිසා කෙරෙහි ආගමට තිබූ ආධිපත්‍යය දුර්වල කළේය. විද්‍යාව විසින් මිනිසුන්ගේ කුතුහලයට හේතුවී තිබුණු ස්වභාව ධර්මයේ රහස් හෙළිදරව් කිරීම නිසා ආගමට තිබෙන බැඳීම ලිහිල් කිරීමට හේතු වුවත්, නවීන විද්‍යාව වර්ධනය වන ප්‍රමාණයට අලුතෙන් සොයා ගතයුතු ප්‍රමාණය ද වර්ධනය වන තත්ත්වයක් යටතේ ආගමට තිබෙන බැඳීම මුළුමනින් නැති කිරීමට විද්‍යාව ද අසමත් වී තිබේ.

7. පැරණි ආගම් අතහැර නව ආගම් වැළඳ ගැනීමට වඩාත්ම යොමුවන්නේ තමන් අදහන ආගම හෝ ආගම විසින් පවත්වාගෙන යන සංස්කෘතිය තුළ පීඩිත තත්ත්වයක සිටින සමාජ කණ්ඩායම්ය.

මෙහි එන දෙවන කරුණ එනම් කුඩා රාජ්‍යයන් අධිරාජ්‍යයන් දක්වා වර්ධනය වන අවස්ථාවලදි කුඩා රාජ්‍ය ඇදහූ ආගම අධිරාජ්‍යයේ අවශ්‍යතාවන්ට නොගැළපෙන විට අලුත් ආගමක් වෙත මාරුවන්නේය යන නිරික්ෂණය ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යය හා යුරෝපයේ රෝම අධිරාජ්‍ය ආශ්‍රයෙන් පැහැදිලි කළ හැකිය.

බෞද්ධයින්ගේ ආදර්ශ රාජ්‍යය වන “අශෝක අධිරාජ්‍යය චන්ද්‍රගුප්තගෙන් ආරම්භ වූ මගධ රාජ්‍යයේ අවසාන විකාශනය ලෙස සැලකිය හැකිය. මගධ රාජ්‍ය කුඩා රාජ්‍යයකින් ආරම්භ වී මහා අධිරාජ්‍යයක් බවට වර්ධනය විය.

සමහර ඉතිහාසඥයන්ගේ මතය අනුව චන්ද්‍රගුප්ත ප්‍රජා පාලක මහ රජුගේ අවජාතක පුත්‍රයෙකි. ඔහුගේ ප්‍රධාන දේශපාලන උපදේශකයා වූයේ අර්ථ ශාස්ත්‍ර නමැති සම්භාව්‍ය ග්‍රන්ථයේ කතුවරයා වන කෞටිල්‍ය නමැති බ්‍රාහ්මණයාය. චන්ද්‍රගුප්ත පන්ජාබයේ පැවති ග්‍රීක පාලනය පරාජය කොට පන්ජාබය අල්ලා ගත්තේය. ඉන්පසු පාඨලී පුත්‍ර ද, කාබුල්, ශිරාටි, කන්දසාර යන ප්‍රදේශ ද, බලුකිස්තානයෙන් විශාල ප්‍රදේශයක් ද අල්ලා ගනිමින් මගධ රාජ්‍යයේ බටහිර සීමාවන් දීහින්දු තුෂ්” කර්වැටිය තෙක් දික් කළේය. මෙසේ මුලදි කුඩා රාජ්‍යයක්ව තිබූ මගධ රාජ්‍යය ඉන්දු-ආර්ය සංස්කෘතිය පැතිර තිබූ විශාල ප්‍රදේශයක් ඇතුළත් වන ලෙස පුළුල් කිරීම නිසා අලුත් විවිධ ජන කණ්ඩායම් මෙම රාජ්‍යයට එකතු වන තත්ත්වයක් තුළ එතෙක් පැවති ගෝත්‍රික හැගීම් නැතිවී වඩා විශාල ජාතියක් ලෙස සිතන තත්ත්වයකට පත්වූයේය. රාජ්‍යයේ ඇතිවූ මේ වෙනස්කම් රාජ්‍යයේ ආගම කෙරෙහි ද බලපාමින් තිබුණි.

චන්ද්‍රගුප්ත රජුගේ එම වැඩපිළිවෙළ ඉන්පසු ඔහුගේ පුත් බින්දුසාර රජු ඉදිරියට ගෙන ගිය අතර, එම ක්‍රියාවලිය වඩා තර්කානුකූල අවසානයක් කරා ගෙනගිය පුද්ගලයා ලෙස සැලකෙන්නේ අශෝක අධිරාජ්‍යයාය.

බින්දුසාර රජුට දරුවන් සිය දෙනෙකු සිටි බවත්, රජු මරණයට පත්වීමෙන් පසුව ඔහුගේ දෙටු පුත් අශෝක වැඩිමහල් සහෝදරයා ඇතුළු එක් අයෙකු හෝ දෙදෙනෙකු හැර අන් සියලු සහෝදරයන් මරා දමා රජකමට පත්වූ බවත් කියනු ලැබේ. මෞර්ය වංශයේ විශිෂ්ටතම රණකාමියා ලෙස සැලකෙන්නේ අශෝක රජුය. ඔහු සිය පියාට අත්පත් කරගත නොහැකිව තිබූ වර්තමාන ඔරිස්සාව (එදා කාලිංග දේශය) ජයගත්තේය. එම සටනින් ලක්ෂයක් පමණ ජනයා මියගිය බවත්, ඒ නිසා ඇතිවූ පසුතැවිල්ල හේතු කොටගෙන ධර්මාශෝක රජු බුද්ධාගම වැළඳ ගනිමින් ආදර්ශවත් ධාර්මික අධිරාජ්‍යයෙකු බවට පත්වූ බවත් කියනු ලැබේ.

අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳ ගැනීම කෙරෙහි බලපෑ හේතු මොනවා වුවත්, ඒ වනවිට බුද්ධාගම හා ජෛන ආගම මගධ රාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්ව තිබූ වෛදික ආගම අභිවා අධිරාජ්‍යයේ දේශසීමාවන් තුළ ජනප්‍රිය තත්ත්වයක් හිමිකරගෙන තිබුණේය.

වෛදික ආගම ජීවිතයේ සුභ පක්ෂය දෙස පමණක් බැලු ආගමක් විය. එය මෙලොව ජීවිතය ගැන මිස පරලොව ගැන උනන්දුවක් නොදැක්වීය. වෛදික ආගමේ දෙවිවරුන් වූයේ ද ස්වභාව ධර්මය මූර්තිමත් කළ දෙවිවරුන්ය. නිදසුන් වශයෙන් දෞසග්‍රස් (අහස), අග්නි (ගින්න), සූර්‍ය (හිරු), උෂස් (අරුණ) , වෘත (වායුව), පෘථිවි (පොළොව) යනාදි වශයෙනි. වෛදික ආගම සමාජයේ ක්ෂත්‍රියයන් නොවන සියලු දෙනා (වෛශ්‍යයින් හා ක්ෂුද්‍රයන්) පීඩිත තත්ත්වයකට පත් කොට තිබුණි.

බෞද්ධාගමේ නිර්මාතෘ ගෞතම බුදුන් වහන්සේ සේ ම ජෛන ආගමේ නිර්මාතෘ මහා වීරයන් වහන්සේ ද ක්ෂත්‍රිය පන්තියට අයත් වුවත්, උන්වහන්සේලා වඩා උනන්දුවෙන් ඇමතුවේ පීඩිත ජනතාවටය. එනම් වෛශ්‍යයන්ට හා ක්ෂුද්‍රයන්ටය. සිය ඉගැන්වීම් සඳහා භාවිතා කළේ ද බ්‍රාහ්මණයන් භාවිතා කළ සංස්කෘත භාෂාව නොව , පීඩිත ජනයා භාවිතා කළ මගධ භාෂාවය. බෞද්ධාගමට හා ජෛනාගමට අධිරාජ්‍යයේ ජනතාව අතර ලැබී තිබුණු විශාල පිළිගැනීම නිසා ආරම්භයේදි මගධ රාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්ව තිබූ වෛදික ආගම අතහැර ඒ වෙනුවට මහජනයාගේ පිළිගැනීමට හේතුවූ ආගමක් තෝරා ගැනීමේ අවශ්‍යතාව මතුවී තිබුණි. එම අධිරාජ්‍යයේ ආරම්භකයා වන චන්ද්‍රගුප්ත සිය අවසාන කාලයේදි රජකම අතහැර ජෛන ආගම වැළඳගෙන තාපසයකු බවට පත්වීමෙන් පෙනෙන්නේ ද ඒ වනවිට එම රාජ්‍යයේ ආගම වෛදික වුවද ඒ වනවිට නැගී එන ආගම් දෙකේ බලපෑමට එම රාජ්‍යය හසුවී තිබුණු බවය. අශෝක අධිරාජ්‍යයා බුද්ධාගම වැළඳගැනීම හා බුද්ධාගම එම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්වීම එහි කූට ප්‍රාප්තිය විය.

ආරම්භයේදි කුඩා පෞර රාජ්‍යයක තත්ත්වයක තිබී මහා අධිරාජ්‍යයක් බවට පත්වූ රෝම අධිරාජ්‍යයට ද සිය ව්‍යාප්තියේදි සිය පැරණි ආගම අතහැර නව ආගමක් තෝරා ගැනීමට සිදුවිය. මේ කුඩා පෞර රාජ්‍ය මහා අධිරාජ්‍යයක් බවට පත්වූ අතර, යුරෝපයේ රයින් හා ඩැනියුවේ ගංගා ද ආසියාවේ යුප්‍රටීස් ගංගා ද උතුරු අප්‍රිකාවේ කාන්තාර ද මේ අධිරාජ්‍යයේ දේශ සීමා විය.

ආරම්භයේදි රෝම රාජ්‍ය ඇදහූ දෙවිවරුන් වූයේ ග්‍රීසියේ මෙන් ස්වභාව ධර්මය සංකේතවත් කළ දෙවිවරුන්ය. රාජ්‍යයේ වපසරිය විශාලවීමත් සමග ඒ විශාල ජනතාවට පිළිගත හැකි ආගමක් තෝරාගැනීමට එම අධිරාජ්‍යයට සිදුවිය. ඒ සඳහා කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා තෝරාගත් ආගම වූයේ ක්‍රිස්තියානි ආගමයි. යුරෝපය ක්‍රිස්තියානි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් රෝමය ඊට පෙර ක්‍රිස්තියානින් දරුණු වධහිංසාවන්ට ලක් කළ රාජ්‍යයක් බව ද අමතක නොකළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන අවස්ථාව වනවිට පලස්තීනය පැවතියේ රෝමයට යටත් රාජ්‍යයක් ලෙසය. පලස්තීනය පාලනය කළ කොන්ස්ටන්ටයින් රජුගේ මරණයෙන් පසුව පලස්තීනයේ බෙදිමක් ඇතිවී එහි ජූඩා ප්‍රදේශයේ පාලනය සඳහා “ප්‍රොකියුරේටර්” නමින් තනතුරක් ඇති කර තිබුණි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට අධිකරණ අනුමැතිය දුන්නේ එම ප්‍රොකියුරේටර් තනතුර දැරූ “පොන්ටියස් පිලාකේය”. ක්‍රි.පූ. 63 සිට යුදෙව් ජනාවාස රෝම ආධිපත්‍යය යටතේ පැවති අතර, ඔවුන් සිය ආගමට හරවා ගැනීමට රෝමය දරන ලද උත්සාහයට එරෙහිව යුදෙව්වන් කැරලි ගසන තත්ත්වයකට තල්ලු වූයේය. මේ කැරලි නිසා රෝම හමුදාව ජෙරුසලම කොල්ල කන ලද අතර, ක්‍රිස්තු භක්තිකයින් සිංහයින්ට ගොදුරු කිරීම නීරෝ අධිරාජ්‍යයාගේ කාලයේ සුලබව දක්නට ලැබුණු දර්ශනයක් විය. ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් කොන්ස්ටන්ටයින්, අධිරාජ්‍යයාට පෙර අධිරාජ්‍යය පාලනය කළ ඩයෝක්ලීෂ් අධිරාජ්‍යයාගේ කාලයේ පවා ක්‍රිස්තියානින් වධ බන්ධනවලට ලක්කිරීම ප්‍රකට හා සුලබ සිරීතක් බවට පත්ව තිබුණ. රෝම අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමේ හේතුව වශයෙන් පෙනෙන්නේ ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඇති කරගත් විශ්වාසයකට වඩා නව ආගමක් වශයෙන් එය විශේෂයෙන්ම රෝම හමුදා අතර ජනප්‍රියත්වයට පත්ව තිබීමයි.

රෝම අධිරාජ්‍යයට අභියෝග කළ එකම බලවේගය වූයේ මහමදිකයින්ය. අරාබි අධිරාජ්‍යය ඇතිවීම ආරම්භ වන්නේ ද මහමද්තුමාගේ මරණයත් සමගය. එතුමාගේ ආගම සරල ඒක දේව ආගමක් විය. එතුමා තමා වෙත දිව්‍යමය ස්වරූපයක් ආරෝපණය කර නොගත්තේය. ප්‍රතිමා ඇදහීම සේ ම, මත්පැන් පානය ද තහනම් කළේය. ලෝකයේ හැකි තරම් විශාල කොටසක් ආගමට දිනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණ ද අන්‍ය ආගම් අදහන්නන් වධ හිංසාවට ලක් කිරීම තහනම් කර තිබුණි.

අරාබිය කාන්තාරයක් වීම නිසාම එහි පැවැත්ම සඳහා රටවල් කොල්ලකෑම ද අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. වස්තුව කොල්ලකෑම සඳහා කෙරුණු ආක්‍රමණය පසුව රටවල් අල්ලා ගැනීමේ ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. එය පළමුව සිරියාව ද, ඉන්පසු පර්සියාව හා මිසරය ද ස්පාඤ්ඤයෙන් කොටසක් හා නැගෙනහිර යුරෝපයේ කොටසක් ද අල්ලා ගත්තේය. සියලු ආගම්වල ව්‍යාප්තිය කෙරෙහි අඩු වැඩි වශයෙන් රටවල් අල්ලා ගැනීමේ ව්‍යාපාරය බලපෑ අතර, රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම වැළඳ නොගෙන වෙනත් ආගමක් වැළඳ ගන්නේ නම් ලෝක ආගමික චිත්‍රය ද මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණ.ි

නිෂ්පාදන ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ ඇතිවන වෙනස්කම් ආගමික වෙනස්කම් කෙරෙහි බලපාන ආකාරය පෙන්නුම් කිරීම ඉදිරිපත් කිරීම සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය රෝම කතෝලික ආධිපත්‍යයට එරෙහිව යුරෝපයේ මතුවූ ලුතර වාදය හා කැල්වින් වාදයයි. කතෝලික ආගම රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත්වීමෙන් පසුව එය වැඩිදුර විකාශනය වී තිබුණේ යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ නිල ආගමක විලාශයෙනි. වැඩවසම් ක්‍රමය අභිබවා ධනේශ්වර ක්‍රමය මතුවන විට ධනේශ්වර ක්‍රමයේ ආගමික ආවේශය ලෙස ක්‍රියා කළේ ප්‍රොතෙස්තන්ත ආගමයි. යුරෝපීයන්ට අන්‍ය ආගම් ඉවසීමේ ශික්ෂණය ලබාදෙන ලද්දේ ද එහි කෙළවරක් නැති ආකාරයකින් සිදුවූ ආගමික යුද්ධ ව්‍යාපාරයන්ය. .