යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ බිඳවැටීම

August 31, 2003
Publication:
Ivan likens the judiciary to a cancer patient: the President planted the disease by appointing a corrupt Chief Justice and the present government has let it spread. Further sections mark Mark Fernando's early retirement and his rulings on presidential immunity, a petition by 22 professionals asking the Tyronne Fernando select committee to hear the charges against Sarath N. Silva, rising Muslim unrest in the East and the demand for Muslim police recruits, and a presidential commission on crime that ignores presidents' own use of criminals.

යුක්තිය පසිඳලීම පිණිස ඇති ආයතන ක්‍රමයේ ඇතිවන කඩාවැටීමක් සමස්ත සමාජ දේශපාලන ක්‍රමය කෙරෙහිම විනාශකාරි ලෙස බලපායි. සමස්ත අධිකරණ පද්ධතියම කුණු වෙමින් විනාශ වන තත්ත්වයකට යමින් තිබුණත් ඒ තත්ත්වය නිවැරදි කිරීම සඳහා පාලකයින්ටවත් දැනුවත් සමාජයටවත් බලවත් වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැත.

රටේ මනා රාජ්‍ය පාලනයක් තිබිය හැක්කේ මහජනයාගේ විශ්වාසය හා ගෞරවයට හේතු වූ සාධාරණ අධිකරණයක් ඇතිනම් පමණ ය. විධායකය අතින් සිදුවන වැරදි නිවැරදි කිරිමේ ප්‍රධාන වගකීම පැවරි ඇත්තේ අධිකරණයට ය. මහජන නිදහස පාගා දමන ප්‍රජා පීඩක පාලකයන්ගෙන් මහජනතාව ආරක්ෂෂා කරන ආයතනය වන්නේ ද අධිකරණයයි.

අධිකරණයක් තමන් වෙත පැවරි තිබෙන සමාජ වගකීම නිසි ආකාරයට ඉටු නොකොට වැරදි ගමන් මගක ගමන් ගනී නම් ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ නොදි නිවැරදි කිරිමේ වගකීම ඇත්තේ මහජනතාවට ය. පිළිකාවක් පැතිරෙන්නට ඉඩහැර බලා සිටියහොත් එහි ව්‍යාප්තියේ එක්තරා සීමාවක් පසු කළ පසු සුව කළ නොහැකි දෙයක් බවට පත්විය හැකි ය.

දැන් අධිකරණය තිබෙන්නේ ද මුළු ශරිරය පුරා ඔඩුදුව ගිය දරුණු පිළිකාවක් ඇති පිළිකා රෝගියෙකුගේ තත්ත්වයක ය. තනතුරේ ගෞරවයට හේතු නොවන අන්ත දූෂිත පුද්ගලයකු අගවිනිසුරු ධූරයට පත් කිරීම මගින් ජනාධිපතිනිය යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමයට දරුණු පිළිකාවක් බෝ කළා ය. වත්මන් ආණ්ඩුව ඒ තත්ත්වය වහා නිවැරදි නොකොට ඒ පිළිකාව මුළු අධිකරණ ශරිරය පුරා පැතිරෙන්නට ඉඩ දි බලා සිටියේ ය. දැන් රෝගියා ඉන්නේ බරපතළ සැත්කමකින් පවා ජීවිතය බේරාගත නොහැකි කණගාටුදායක තැනක ය.

අධිකරණය කුණුවෙමින් තිබෙන තත්ත්වයක් ඉදිරියේ අධිකරණය තුළ සිටි මහජන ගෞරවයට හේතු වූ සුළු පිරිස ද අධිකරණයෙන් පලා යන තැනකට යොමු වෙමින් සිටී. මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස සැලකිය හැකි මාර්ක් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යන වයස සම්පූර්ණ වීමට ප්‍රථම සිය කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම සංකේතාත්මක වැදගත්කමක් ඇති ක්‍රියාවක් ලෙස සැලකිය හැකි අතර කුණු වී තිබෙන අධිකරණයේ අවසාන මළගම ගැන අසන්නට ලැබෙන දිනය ද බොහෝ ඈත වනු ඇතැයි සිතිය නොහැකි ය.

මාක් ප්‍රනාන්දුගේ සමුගැනීම

මාක් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යාමට නියමිත වයසට පෙර ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යාමට නියමිතය. ඒ සඳහා ඒ මහතා යවන ලද අයදුම්පත ජනාධිපතිනිය විසින් ප්‍රමාද කිරීමකින් තොරව අනුමත කොට එවා තිබෙන බව ද දැනගන්නට තිබේ.

මාක් ප්‍රනාන්දු මහතා පොදුවේ දේශපාලනඥයින්ගේ විරෝධයට හේතුවී සිටි ගරු කටයුතු විනිශ්චයකාරවරයෙකි. ඒ මහතා විසින් ම ප්‍රකාශ කර ඇති නඩු තීන්දුවක සඳහන් වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට ලැබිය හැකි ලොකුම ආත්මතෘප්තිය වනුයේ ඔහුගේ රාජ්‍ය පාලකයා ප්‍රජා පීඩකයකු ලෙස ක්‍රියාකරන අවස්ථාවලදි ප්‍රජාවගේ නිදහස වෙනුවෙන් තීන්දු දිමය. නූතන අර්ථයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරි තිබෙන ප්‍රධාන කාර්ය භාරය වන්නේ ද එයයි. එහෙත් තමන් වෙත පැවරි තිබෙන ඒ වගකීම තේරුම් ගනිමින් ඊට අනුකූලව ක්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විරලය.

මාක් ප්‍රනාන්දු මහතා ද නෙවිල් සමරකෝන් මහතා මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මගිනි. නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ධුරට පත්වූ පළමු දිනයේම සිය ස්වාධීනත්වය පළකිරීමට සමත්වූවා පමණක් නොව, අවසානයේදි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දැඩි උදහසට හේතුවූ පුද්ගලයෙකු බවට ද පත්වූයේය. මාක් ප්‍රනාන්දු මහතා ද එජාප යුගයේ සිට ම අද දක්වා ම ප්‍රජා පීඩනයට එරෙහිව ජනතාවගේ නිදහස ඔප් නැංවීමට හේතුවන තීන්දු දෙනු ලබන තත්ත්වයක් තුළ ප්‍රධාන පක්ෂ දෙකේම අප්‍රසාදයට හේතුවූ විනිසුරුවරයෙකු ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිවරයෙකුට ලැබෙන මුක්තිය බලපාන්නේ නිල කාලසීමාවට පමණක් බවට අර්ථ නිරූපණයක් කරන ලද්දේ ද මාක් ප්‍රනාන්දු මහතාය. එහෙත් ජනාධිපතිවරුන් සිතා සිටියේ තමන්ට ලැබී තිබෙන මුක්තිය යටතේ ජීවිත කාලය තුළම තමන්ට නඩු පැවරිය නොහැකි බැවින් අවශ්‍ය නම් ඕනෑම වරදක් කිරිමේ අයිතිය ද තමන්ට ඇති ලෙසය. ජනාධිපති මුක්තියට අදාළව මාක් ප්‍රනාන්දු මහතා දෙන ලද අර්ථ නිරූපණය ජනාධිපතිනියගේ දැඩි කෝපයට හේතුවී ජනාධිපතිනිය ප්‍රසිද්ධියේ මාක් ප්‍රනාන්දු මහතා විවේචනය කරන තැනකට ද තල්ලු වූවාය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අගවිනිසුරු ධුරය දැරූ ජී.පී.එස්. ද සිල්වා මහතා විශ්‍රාම යාමෙන් පසුව මාක් ප්‍රනාන්දු මහතාට ඒ තැන ලැබීම අහිමි කොට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි තමන්ට හිතවත් සරත් නන්ද සිල්වා මහතා ඒ තනතුරට පත්කිරීමය. ඒ නිසා ඇතිවූ අවසාන ප්‍රතිඵලය වූයේ ප්‍රජා පීඩකයන්ගෙන් මහජන නිදහස ආරක්ෂා කරන තැනක තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රජා පීඩකයන් ආරක්ෂා කරන තැනකට තල්ලු වීමය.

දැන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහජන විශ්වාසට හා ගෞරවයට හේතුවූ ආයතනයක් ලෙස සැලකිය නොහැකිය. මාක් ප්‍රනාන්දු මහතා පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ගෞරවයට හේතුවූ වෙනත් විනිසුරුවරුන් ද ශ්‍රේෂ්ඨාධිකරණය අතහැර යාමට උනන්දුවක් දක්වන නැඹුරුවක් පවතී. “අප මෙහි ඉඳීමෙන් ඇති පලේ කුමක්ද” යන්න එවැනි අයගේ මනස්වලට වද දෙන ප්‍රශ්නයක් වී තිබෙනවා විය යුතුය. නැත්නම් එහි සිදුවන අශෝභන දේවල් බලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබෙනවා විය යුතුය. යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය මුළුමණින් කඩා වැටෙන තැනකට පත්වෙමින් තිබෙන බව ඉතා පැහැදිලි ය.

විද්වත් වෘත්තිකයන්ගේ ඉල්ලීම

අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට, බලපා ඇති හේතු සොයා බලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා විදේශ ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබෙන අතර, විද්වත් වෘත්තිකයන් 22 දෙනෙකුගේ අත්සනින් එම කාරක සභාවට යවන ලද පැමිණිල්ලක් මගින් අගවිනිසුරුට එල්ල වී තිබෙන චෝදනා තවදුරටත් ප්‍රමාද නොකොට විභාග කරන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා තිබේ.

මෙම පැමිණිල්ලට අත්සන් තබා තිබෙන බොහෝ දෙනෙකු රටේ ප්‍රමුඛ නිලතල දැරූ නාමධාරි පුද්ගලයෝය. ඒ සියලු දෙනා ඒ පැමිණිල්ලෙන් කියා ඇත්තේ දෝෂාභියෝගවලට ලක් කළ නොහැකි ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වාධීන අධිකරණයක් නොමැතිව යහපත් ආණ්ඩුකරණයක් පැවතිය නොහැකි බවත්, අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා අධිකරණයේ සම්මතයන් කෙරෙහි දක්වා අති විළිලජ්ජා නැති නොසැලකිල්ල නිසා අධිකරණයේ ඇතිවී තිබෙන අර්බුදය අධිකරණය කෙරෙහි තිබිය යුතු මහජන විශ්වාසය පළුදු කිරීමට හේතුවී ඇති බැවින් අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා තවදුරටත් ප්‍රමාද නොකොට විභාග කළ යුතු බවත්ය.

අධිකරණයට එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූයේ රටේ අගවිනිසුරුට වෙන්කර තිබූ පුටුව හිස්ව තබාගෙන රටවල් නවයක අගවිනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 2002 දෙසැම්බර්වලදි කොළඹ ඔබරෝයි හෝටලයේ පැවති අගවිනිසුරුවරුන්ගේ සම්මේලනය අමතා කරන ලද කතාවකදිය.

අධිකරණය විනාශමුඛයට ලක් කිරීමට හේතුවන දරුණු පිළිකාවක් අධිකරණයට හඳුන්වා දුන්නේ ජනාධිපතිනිය වුවත් එම පිළිකාවට පිළිලය නිදහසේ වැඩෙන්නට ඉඩහැරිමේ වගකීම යා යුතුව තිබෙන්නේ මේ ආණ්ඩුවටය.

නැගෙනහිර මුස්ලිම් අසහනය

නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර වර්ධනය වෙමින් පවත්නා අසහනයට ඉක්මන් විසඳුමක් ලබාදිමට අසමත් වෙතොත් සමස්ත සාම වැඩපිළිවෙළම අවුල් ජාලාවක් බවට පත්වීමේ අනතුරක් පවතී.

මුස්ලිම් ජනතාව ආරක්ෂාව සඳහා ආණ්ඩුවෙන් ආයුධ ඉල්ලා සිටින තැනකට තල්ලු වෙමින් තිබීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සඳහා මුස්ලිම් ජාතිකයන් 550ක් පොලිසියට බඳවා ගත යුතු බවට මුස්ලිම් පක්ෂ කර තිබෙන ඉල්ලීම, දෙමළ සන්ධානයේ දැඩි විරෝධයට හේතුවී තිබෙන අතර, එම යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නම්, ආණ්ඩුවට තමන් දෙන සහාය ඉවත් කරගන්නා බව දෙමළ සන්ධානය ද ප්‍රකාශ කර තිබේ. අනෙක් අතට මුස්ලිම් කොංග්‍රසය කියන්නේ ඒ ඉල්ලීම ආණ්ඩුව සම්පූර්ණ නොකරන්නේ නම්, තමන් ආණ්ඩුවට දෙන සහාය අත්හරින බවය.

මුස්ලිම් ගැටලුවට තිබෙන විසඳුම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට බර තබා ක්‍රියා කරන මුස්ලිම් පොලිස් ඒකකයක් නිර්මාණය කිරීම නොවූවත්, ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතු වී තිබීම තුළ එවැනි ක්‍රමයක් මගින් හෝ ආරක්ෂාව ලබාගන්නා තැනකට ඔවුන් තල්ලුවීම ස්වාභාවිකය. දෙමළ සන්ධානය වැනි ව්‍යාපාරයක් එවැනි ඉල්ලීමකට විරුද්ධ වනවා නම් විරුද්ධ විය යුත්තේ මුස්ලිම් ජනයා ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලුවීම වැළැක්වීමේ අවශ්‍යතාව කොටි සංවිධානයට ද පෙන්වා දෙන වැඩපිළිවෙළක් ඔස්සේය. දෙමළ ජනතාව මෙන් මුස්ලිම් ජනතාව තනි දේශපාලන ධජයක් යටතේ ඒකරාශි වූ ජනවර්ගයක් නොවීමේ අවාසිය ද මුස්ලිම් ජනයා කෙරෙහි යම් පමණකට බලපා තිබෙන බව පෙනේ.

ඇති කරගන්නට යන ඕනෑම විසඳුමක් කෙරෙහි මුස්ලිම් ජනතාව දක්වන කැමැත්ත හෝ අකමැත්ත තීරණාත්මක ලෙස බලපායි. ඇති කරගන්නා ඕනෑම විසඳුමක් නැගෙනහිර මුස්ලිම් හා සිංහල ජනතාවගේ ද විශ්වාසයට හා ගෞරවයට හේතුවිය යුතුය. එහිදි ඔවුන්ගේ අභිලාෂයන් ද මේ අර්බුදයට විසඳුමක් සෙවීමේදි බලවත් ලෙස සැලකිල්ලට ලක්විය යුතුය.

සියලු දෙනා අතර තර්කානුකූල එකගතාවක් ඇති කරගත හැකිවනු ඇත්තේ දෙමළ ජනයාගේ අභිලාෂයන්ට පමණක් සීමා නොවී, නැගෙනහිර මුස්ලිම් හා සිංහල අභිලාෂයන් ද සාකච්ඡාවට ලක් කෙරෙන ක්‍රියාමාර්ගයක් ඔස්සේ ය.

අපරාධ වැඩිවීමට හේතු සෙවීම

ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධවල වර්ධනයක් සිදුවී තිබේද, එසේ වේ නම් ඒ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බැලීම සඳහා ජනාධිපතිනිය ත්‍රිපුද්ගල පරික්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

දුප්පත් හා නූගත් මිනිසුන් අපරාධවලට යොමුවී තිබෙන්නේ ඇයිද යන්න සොයා බලනවා තරම්ම රටේ රාජ්‍ය නායක නායිකාවන් රටේ අපරාධ වර්ධනයට දායක වී ඇති ආකාරය සොයා බැලීම ද වැදගත්ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ යුගයේ සිට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග දක්වා රටේ විධායක ජනාධිපතිවරුන් සිය විරුද්ධවාදින් බියගැන්වීම හා හිංසාවට ලක් කිරීම පිණිස දරුණු අපරාධකරුවන් යොදාගෙන තිබෙන ආකාරය හා නැවත ඒ අපරාධකරුවන්ට ජනාධිපතිවරුන් ලබා දි තිබෙන රැකවරණය ගැන සොයා බැලීමක් කරන්නේ නම්, රටේ අපරාධ වර්ධනයට දේශපාලන ක්‍රමයෙන් ලැබී තිබෙන දායකත්වය පිළිබඳව චිත්‍රයක් ලබාගැනීමට හැකිවනු නොඅනුමානය.