පොලී අනුපාතිකය හා විශ්‍රාමිකයා

August 24, 2003
Publication:
After the Central Bank cut its repurchase and reverse repurchase rates for the second time in the year, to 7.5 and 9.5 per cent, deposit rates have fallen sharply. The editorial accepts that lower rates may help the economy but argues that the government should give retirees living on savings a higher special rate, and should also narrow the gap between the roughly 5 per cent paid on savings and the more than 10 per cent charged on loans.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසර තුළ දෙවැනි වතාවටත් ප්‍රති විකුණුම් පොලී අනුපාතිකය 9.5% දක්වා ද, ප්‍රති මිලදි ගැනුම් පොලී අනුපාතිකය 7.5% ක්වා ද අඩු කර තිබේ. මේ ක්‍රියාවලිය ඉතිරිකිරිම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකයේ ශීඝ්‍ර පහත දැමීමක් ඇති කිරීමට හේතුවී තිබේ.

බැංකු පොලී අනුපාතිකය පහත දැමීම අයහපත් දෙයක් ලෙස සැලකිය නො හැකි ය. එය සමස්ත ආර්ථිකය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීමට හේතුවනු ඇතත්, තමන්ගේ ඉතිරිකිරිම් මත යැපෙන විශ්‍රාමිකයන්ගේ ජීවිත අඳුරු කිරීමට එය හේතුවනු නො වැළැක්විය හැකි ය.

මුදල් ඇති අය බැංකුවල මුදල් ගොඩ ගසා ගෙන නොසිට ව්‍යාපාරවල ආයෝජනය කරන්නේ නම්, එය රටේ ආර්ථිකය කෙරෙහි යහපත් ලෙස බලපානු ඇති බවට සැකයක් නැත. එහෙත් විශ්‍රාමිකයන් දෙස එවැනි කෝණයකින් බැලීමේ හැකියාවක් නැත. විශ්‍රාම යන තෙක් සේවයේ යෙදි දැන් ඔවුන්ට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ ඉතිරිකිරිම් වලිනි. ඒ ඉතිරිකිරිම් තරගකාරි ව්‍යාපාරවල යෙදිමේ ශක්තියක් බොහෝ දෙනෙකුට තිබෙනවා විය නො හැකි ය. එවැනි අය කෙරෙහි සානුකම්පිත ආකල්පයකින් ක්‍රියා කිරීම ආණ්ඩුවක වගකීමකි. එවැනි අයගේ ඉතිරිකිරිම් සඳහා සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ලබාදෙන ක්‍රමයක් ඇති කරදිම ආණ්ඩුවේ වගකීමකි. විශ්‍රාමිකයන්ගේ ඉතිරිකිරිම්වල අගය මුළු ඉතිරි කිරිම්වල අගයෙන් 10%කට වැඩි විය නො හැකි ය. ඔවුන්ට පමණක් විශේෂ සහන ලබාදෙන ක්‍රමයක් බැංකු ක්ෂේත්‍රයට විශාල අලාභයක් ඇති කරන්නේ නැත.

අනෙක් අතට ඉතිරි කිරිම් සඳහා ගෙවන පොලී අනුපාතිකය අඩු කළත් බැංකු විසින් දෙනු ලබනු ණය සඳහා අය කරන පොලී අනුපාතිකය ඉහළ අගයක් ගනී නම්, පොලී අනුපාතිකය අඩුකිරීම බැංකුවලට ලාබදායක විය හැකි වුවත්, සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වයට ඉන් යහපත් බලපෑමක් ඇතිවන්නේ නැත.

ඉතිරිකිරිම් සඳහා ගෙවන පොලී අනුපාතිකය 5%ක මට්ටමක තිබෙන විට ණය සඳහා අය කරන පොලී අනුපාතිකය 10%කට වැඩි මට්ටමක පවතී. ඒ මගින් බැංකුවට අසාධාරණ ලාභයක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ.

වෙනත් රටවල නම් මේ පරතරය කුමක් විය යුතු ද යන්න නීතියෙන් ම නියම කර තිබේ. ඉතිරිකිරිම් සඳහා 5%ක් ගෙවා ඒ මුදල් නැවත ආයෝජනය කිරිමේදි 10%ක් ලබා ගනී නම්, එය සාධාරණවන්නේ නැත. මේ පරතරය තුනී කිරීම සඳහා ක්‍රියාකිරීම ද ආණ්ඩුවේ වගකීමකි.