ප්‍රචණ්ඩ අරගලයේ දුෂ්ට චක්‍රය

August 31, 2003
Publication:
Writing in the first person, Ivan defends a view that angered Tamil intellectuals at a seminar: that the LTTE's demand for absolute power should be met but confined to Tamil areas. He argues that every violent movement ends by devouring its own dissenters, citing Lenin, Stalin, Trotsky and Bukharin, the JVP's killing of former comrades and the LTTE's murder of Amirthalingam and Neelan Tiruchelvam, and advises dissident Tamils to stand aside while Prabhakaran is judged by the Tamil people.

මීට සති කිහිපයකට ඉහත දි ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනයක් මත ඔවුන් සංවිධානය කළ රැස්වීමක් අමතා ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය පිළිබඳව මම කතාවක් කළෙමි. මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අයගෙන් එක් පිරිසක් තානාපති නිලධාරින් වූ අතර, සෙසු පිරිස මේ ප්‍රශ්නය ගැන උනන්දුවක් දක්වන සිංහල හා දෙමළ උගතුන් විය. එහිදි මා ඉදිරිපත් කළ පත්‍රිකාවට ඇතුළත් එක් කරුණක් එහි සිටි සමහර දෙමළ උගතුන්ගේ දැඩි විරෝධයට හේතුවිය.

එම ප්‍රශ්නය ඒ ගැන විවරණයක් ලිවිය යුතු යැයි අදහස් කළේ ඔවුන්ගේ විරෝධයට හේතුවූ එම මූලික ප්‍රශ්නය මේ මොහොතේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන නිසාත්, එම ප්‍රශ්නය ඕනෑම ප්‍රචණ්ඩ අරගලයකට ආවේණික පොදු ධර්මතාවක් ලෙස සලකා එය වැඩිදුර පැහැදිලි කිරිමේ අවශ්‍යතාවත් සලකාය.

දෙමළ උගතුන්ගේ දැඩි ප්‍රශ්න කිරීමකට හේතුවූ, මා ඉදිරිපත් කළ මතය සැකෙවින් මෙසේය.

දමිළ ජනතාව අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාව, අනන්‍යතාව හා තමන්ගේ කටයුතු බොහෝ දුරකට තමන්ටම පාලනය කරගැනීමට ඉඩ ලැබෙන පාලනයකි. එල්ටීටීඊය දමිළ ජනයාට ලැබෙන එම පාලනය තුළ තමන්ට පරම බලය ලැබෙන පාලනයක් අපේක්ෂා කරයි. එල්ටීටීඊයට පරම බලය ලැබෙන පාලනයකට දෙමළ ජනතාව විරුද්ධ නැතත්, මුස්ලිම් හා සිංහල ජනයා සපුරා විරුද්ධය. ඒ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් හා සිංහල ජනයා එල්ටීටීඊයට පරම බලය ලබාදෙන පාලනයට නතු කිරීම සාධාරණ නොවන අතර, ඒ සඳහා යොදාගත හැකි එක් විකල්පයක් වනුයේ එල්ටීටීඊයට පරම බලය ලබා දෙන පාලනය දෙමළ ජනතාවට පමණක් සීමාවූ ඒකකයට සීමා කිරීමය. එහිදි එල්ටීටීඊයට ලැබෙන පරම බලය ආශ්‍රයෙන් ඇතිවන ගැටලු විසඳ ගැනීමේ වගකීම ද දෙමළ ජනයාට බාර කළ යුතුය.

එහි සිටි සමහර දෙමළ උගතුන්ගේ දැඩි විරෝධයට හේතුවූයේ මේ ප්‍රශ්නය විසඳගැනීම සඳහා එල්ටීටීඊය ඉල්ලා සිටින පරම බලය දෙමළ ජනතාවට පමණක් සීමා කොට, පරම බලය ආශ්‍රයෙන් ගැටලු මතුවේ නම් ඒවා විසඳ ගැනීමේ වගකීම ද දෙමළ ජනතාවට බාරකළ යුතුයි යන මතයයි.

එහි අරමුණ අප සියලු දෙනා කුදලා එල්ටීටීඊයට බාරදිම බව එක් දෙමළ උගතෙක් සගවා ගත් කෝපයෙන් යුතුව ප්‍රකාශ කළේය.

මේ විෂය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළුතරදි පවත්වන ලද සම්මන්ත්‍රණයකදි ද එක් ප්‍රකාශකයෙක් මා පළ කළ ඒ මතය පිළිබඳව දැඩි විවේචනයක යෙදුණු බව අසන්නට ලැබුණි.

මා පළ කළ ඒ අදහස, එල්ටීටීඊ නොවන දෙමළ උගතුන්ගේ දැඩි විරෝධයට හේතුවීම සාධාරණය. එල්ටීටීඊ සංවිධානයට පරම බලයක් ලැබෙන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් විය නොහැකිවා සේ ම, එවැනි පාලනයක් වෙනස් මත දරන්නන්ගේ සංතෝෂයට ද හේතුවිය නොහැකිය.

තිබෙන විකල්ප අතර හොඳම විකල්පය විය හැක්කේ සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන, විරුද්ධ දේශපාලන මත දරන්නන්ට පවා තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකි. එහෙත් එල්ටීටීඊය මේ මොහොතේ තමන්ට පරම බලය ලැබෙන ක්‍රමයකට මිස, එවැනි ක්‍රමයකට කැමති නැත. එම තත්ත්වය තුළ තිබෙන හොඳම ක්‍රමය ඇති කිරීම සඳහා එල්ටීටීඊය යුදමය වශයෙන් මට්ටු කරන තැනකට යන්නට සිදුවේ. එහෙත් ඒ අරමුණින් කෙරෙන යුද්ධයකට වඩා දෙමළ ජනතාව යුද්ධයෙන් තොරව එල්ටීටීඊයට පරම බලය ලබාදෙන ක්‍රමයකට කැමතිය. යුද්ධයකට නොගොස් එල්ටීටීඊයට කොන්දේසි පැනවීමේ හැකියාවක් ඇතත්, ඒවා ප්‍රායෝගික කිරිමේ ඇත්ත හැකියාවක් නැත. මේ තත්ත්වය යටතේ වෙනස් මත දරන කිසියම් පිරිසකගේ සතුටට හේතු නොවූවත්, එල්ටීටීඊයට පරම බලය ලබාදෙන පාලනයක් තෝරාගැනීම දැන් තිබෙන විකල්ප අතරින් තෝරා ගැනීමට තිබෙන හොඳම විකල්පය ලෙස සැලකිය හැකිය.

ඒ නිසා ඇතිවන පාලනයක් වහාම මානව අයිතිවාසිකම් ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් බවට පත්වීමේ හැකියාවක් නැත. කිසියම් කලක් යන තෙක් එය එක් පක්ෂයකට පමණක් සීමාවූ, විරුද්ධ මතවලට ඉඩක් නැති පාලනයක් ලෙස පවතිනු ඇතැයි සිතිය හැකිය. එහෙත් ඒ තත්ත්වය වෙනස් නොවී හැමදාමත් එසේම පවතිනු ඇතැයි සිතිය නොහැකිය. සාමකාමී පරසරයක් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සඳහා වන මහජන උනන්දුව වර්ධනය කරයි. ඒක පාක්ෂික පාලනයට එරෙහිව විරුද්ධ පක්ෂ ඇති කිරීමට අවශ්‍ය පරිසරයක් ඇති කරයි. එහිදි මහජනයාගේ වර්ධනය වන ප්‍රජාතන්ත්‍රවාදි අභිලාෂයන් ඉදිරියේ අවශ්‍ය තරමට නම්‍ය වී අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමට පාලක පක්ෂය අසමත් වෙතොත්, ඒ නිසා පාලක පක්ෂය හා මහජනතාව අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් ද ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ තනි පක්ෂයක පැවැත්ම අහෝසි වී ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

මෙම ප්‍රශ්නය වඩාත්ම බලපා තිබෙන්නේ දෙමළ ජනයා කෙරෙහි නොව, හිටපු සටන්කාමීන් කෙරෙහිය. ඔවුන් සියලු දෙනා සටන් කළේ එකම අරමුණක් වෙනුවෙනි. එහෙත් තෝරාගත් මාර්ග විවිධ විය. ඔවුන් සමහරුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වන අතර, තවත් සමහරෙක් වෙනත් සටන්කාමී සංවිධානවල සාමාජිකයින් හෝ හිටපු සාමාජිකයෝ වෙති. දැන් ඒ සියලු දෙනාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ දමිළ ජනතාවට විමුක්තිය ලැබීමට ආසන්න තත්ත්වයක් ඇතිවී ඇතත්, ඒ ලැබෙන විමුක්තිය තුළ ඔවුන් පිළිගැනීමක් නැති අසරණ තත්ත්වයකටය.

මේ ලක්ෂණය ශ්‍රී ලංකාවේ දෙමළ අරගලයට පමණක් ආවේණික වූවක් ලෙස සැලකිය නොහැකිය. ප්‍රචණ්ඩත්වය ආත්මය කොටගත් ඕනෑම අරගලයකට ආවේණික පොදු ධර්මතාවක් ලෙස සැලකිය යුතුය. මේ ධර්මතාව ක්‍රොම්වෙල්ගේ එංගලන්ත විප්ලවය කෙරෙහි සේ ම, ප්‍රංශ විප්ලවය කෙරෙහි ද බලපෑවේය. සමාජවාදි රුසියානු විප්ලවය කෙරෙහි සේ ම ඉන්පසු ඇතිවූ ජයග්‍රාහී හා ජයග්‍රාහී නොවූ හැම විප්ලව ව්‍යාපාරයක් කෙරෙහිම බලපෑවේය.

ප්‍රචණ්ඩ අරගල ක්‍රියා මාර්ගයක් මගින් පොදු සතුරකු පරාජය කිරීම සඳහා දියත් කෙරෙන හැම අරගලයක්ම ආරම්භ වන්නේ වෙනස් අදහස් දරන කණ්ඩායම් ගණනාවක් එකට එකතු වී කරන පොදු අරගලයක් විලසිනි. එහෙත් ඒ අරගල ක්‍රියාවලිය තුළ කොයියම් අවස්ථාවක හෝ ඉන් එක් කණ්ඩායමක් ප්‍රධාන කණ්ඩායම බවට පත්වේ. ඉන්පසු අන් සියලු කණ්ඩායම් ප්‍රධාන කණ්ඩායමේ රුදුරු ගොදුරු බවට පත්වන්නේය. එහිදි අරගලයේ ආධිපත්‍යය දරන කණ්ඩායමට වෙනස් අදහස් දරන අය පෙනෙන්නේ ද්‍රෝහීන් ලෙසය. රිතියක් ලෙස හැම ප්‍රචණ්ඩ විප්ලව ව්‍යාපාරයක්මත් සිය පන්ති හතුරන්ගේ ජීවිත බිලිගන්නවාට අතිරේකව එම විප්ලව ක්‍රියාමාර්ගයේම අරමුණු වෙනුවෙන් පෙනී සිටින එහෙත් විප්ලව ක්‍රියාවලිය මෙහෙයවන සංවිධානය දරන අදහස්වලට වෙනස් අදහස් දරන විප්ලවයේ මිතුරන්ගේ ජීවිත ද බිලිගත්තේය.

එය ඕනෑම ප්‍රචණ්ඩ දේශපාලන අරගල ව්‍යාපාරයකට ආවේණික පොදු ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. කාලිකව්ට්ස්කි, රෝසාලක්සම්බර්ග් වැනි සමාජවාදි නායකයින් ලෙනින් අතින් මිය ගියේ නැතත්, ලෙනින්ට පවා වෙනස් අදහස් දරන එවැනි අය පෙනුණේ ද්‍රෝහීන් ලෙසය. ස්ටාලින් අතින් ලෙනින්ට මැරුම් කන්නට සිදුවූයේ නැතත්, ලෙනින්ගේ ජීවිතයේ අවසාන කාලය ගෙවන්නට සිදුවූයේ ස්ටාලින්ගේ දේශපාලන අත්අඩංගුවේ පසුවන සිරකරුවකු ලෙසය. ඔක්තෝබර් විප්ලවයේ පතාක යෝධයන් වූ ට්‍රොස්කි, සිනොවියෙව්, කමනෙව්, බුකාරින් වැනි අයගේ ජීවිත බිලිගත්තේ විප්ලවය විසින් මිස, ප්‍රතිවිප්ලවය විසින් නොවේ. මේ කුරිරු ලක්ෂණය මානව හිතවාදි නායකයන් ලෙස පෙනෙන මාඕ සේතුං, හෝචිමිං, පිදෙල් කස්ත්‍රෝ වැනි විප්ලවකාරි නායකයින් කෙරෙන් ද ප්‍රකාශ විය.

මේ ධර්මතාව ජවිපෙ දියත් කළ ප්‍රචණ්ඩ කැරැල්ල තුළ සේ ම කොටි සංවිධානය දියත් කළ යුද්ධ ව්‍යාපාරය තුළ ද එක සේ දැකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ නන්දන මාරසිංහ, ජේමිස් ඇතුගල වැනි කලක් තමන් සමග එකට සිටි තවදුරටත් සමාජවාදි අදහස් දැරූ ප්‍රයෝජනවත් විශාල පිරිසකගේ ජීවිත බිලිගත්තා සේ ම, එල්ටීටීඊය ද අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම් වැනි දමිළ ජනයාගේ නිදහස වෙනුවෙන් ප්‍රයෝජනවත් වැඩ කොටසක් ඉටු කළ දෙමළ නායකයින් විශාල පිරිසකගේ ජීවිත බිලිගත්තේය.

ස්වයං පාලන ක්‍රමයක් රටේ දමිළ ජනයාගේ වාර්ගික ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් වනු ඇතත්, දෙමළ සමාජයේ සිටින කොටි සංවිධානයේ විශ්වාසයට හේතු නොවූ වෙනස් මත දරන්නන්ට විසඳුමක් වනු ඇතැයි සිතිය නොහැකිය. ඔවුන්ගේ ද විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදිය හැකි නම් එය ඉතා අගනේය. එහෙත් මේ මොහොතේ එවැන්නකට ඉඩක් නොපවතී. ඒ බව වඩාත් හොඳින් තේරුම් ගත යුතුව තිබෙන්නේ ද දෙමළ සමාජයේ සිටින වෙනස් මත දරන්නන්ය. එවැනි පාලනයක් ඇති කිරීමට දරන ඕනෑම උත්සාහයක් නැවත යුද්ධ තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එහෙත් නැවත යුද්ධයකට යනවාට වඩා කොටි සංවිධානයට පරම බලය ලබාදෙන පාලනයකට සාමාන්‍ය දෙමළ ජනතාව පක්ෂය. කොතරම් තිත්ත වුවත්, වෙනස් අදහස් දරන දෙමළ බුද්ධිමතුන් එම කටුක ඇත්ත තේරුම් ගත යුතුය. මේ මොහොතේ ඔවුන්ට කළහැකි ඥානාන්විතම දේ විසඳුමක් ඇති කරගැනීමට තිබෙන ඉඩකඩ අවුල් නොකොට, ජයග්‍රාහකයාගේ රුදුරු ගොදුරු බවට ද පත් නොවී සිය ජීවිත පැවැත්ම ආරක්ෂා කරගැනීමය.

ප්‍රභාකරන්ගේ අනාගතය තීන්දු කරනු ඇත්තේ සිංහල හෝ මුස්ලිම් ජනතාව විසින්වත් ඉන්දියාව හෝ ජාත්‍යන්තර ප්‍රජාව විසින්වත් හෝ නොව, උතුරු නැගෙනහිර දමිළ ජනතාව විසින්මය. ඉතාමත්ම අනුකම්පා විරහිත ආකාරයකින් වුවත්, කොටි සංවිධානය දමිළ නිදහස් අරගලය තීරණාත්මක සංධිස්ථානයකට ගෙන ඒමට සමත් විය. දැන් ඒ අරගලය තිබෙන්නේ නිදහසේ මුවවිටය. අරගලයක් ආරම්භ කොට එහි කෙළවර පෙනෙන තෙක් මානයට එනවාට වඩා අවසානය කෙළවර කිරීම දුෂ්කරය. දැන් ප්‍රභාකරන් සිටින්නේ යුද්ධ ශක්තියෙන් ක්‍රියාකළ යුතු තැනක නොව, ඥාන ශක්තියෙන් අවසානය ජයගත යුතු තැනකය. එහිදි තමන් අවට සිටින මුස්ලිම් හා සිංහල ජනතාව ප්‍රකෝප කිරීමට හේතු නොවන ලෙස තමන්ගේ ආධිපත්‍යය දෙමළ ජනතාවට සීමාවන ලෙස පාලනයක් ඇතිකර ගැනීමට එකගවෙමින් ඒ පාලනය රටේ පොදු යහපතට සේ ම, දෙමළ ජනතාවගේ ගෞරවයට හා යහපතට හේතුවන පාලනයක් බවට හරවා ගැනීමට ඔහු සමත් වෙතොත්, ඔහුගේ අත්වල කොතරම් ලේ තැවරි තිබුණ ද ඔහු දෙමළ ජනතාව අතර පමණක් නොව, අනාගතයේ සිංහල ජනතාව අතර ද ගෞරවයට හේතුවන චරිතයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. ඒ වෙනුවට ඔහු ඇති කරන පාලනය දෙමළ ජනතාව පීඩාවට පත් කරන කෘර පාලනයක් වේ නම් කවදා හෝ ඒ අපරාජිත නායකයා පරාජිත වනු ඇත්තේ ද සිංහල හමුදා අතින් නොව, දමිළ ජනතාව අතින්මය.

දමිළ නිදහස් අරගලය එහි ජයග්‍රහණයේ මුවදොර වෙත පැමිණ ඇතත්, එහි අවසානය ගැන සංතෝෂ විය නොහැකි සමාජ කණ්ඩායමක් රටේ සිටී. ඔවුන්ගෙන් සමහරෙක් කලක් ඒ අරගලය තුළ සටන් කොට විවිධ දේශපාලන හේතූන් නිසා ආයුධවලට ආයුබෝවන් කියා අරගලයෙන් පිටස්තරට පැමිණ එම අරගලයේ මතවාදි තලය පෝෂණය කිරීම සඳහා දායකවූවන්ය. තවත් සමහරෙක් කලක් දමිළ අරගලයට දායක වී දේශපාලන හේතූන් මත ඉන් ඉවත් වී පැත්තකට වී නිශ්ශබ්දව බලා සිටින්නවුන්ය. තවත් පිරිසක් කලක් ඒ අරගලය තුළ සටන් කොට දේශපාලන හේතු මත ඒ අරගලය මෙහෙයවන සංවිධානයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කළවුන්ය.

ඒ සියලු දෙනා ඉන්නේ වික්ෂිප්තභාවයට පත් තැනකය. තමන් අපේක්ෂා කළ දමිළ නිදහස උදාවෙමින් ඇතත්, ඒ උදාවන නව ලෝකය තුළ තවත් පිටස්තරයින් පිරිසක් බවට පත්ව සිටින බව ඔවුන්ට පෙනේ. මෙය ඕනෑම ප්‍රචණ්ඩ අරගල ක්‍රියාවලියක් තුළ දක්නට ලැබුණු විෂම හා දුෂ්ට ලක්ෂණයකි. ට්‍රොස්කිට තමන් ද දායක වී බිහි කළ ලෝකය අතහැර පලා යන්නට සිදුවූවා පමණක් නොව, අවසානයේ මැරුම් කන්නට ද සිදුවූයේය. කමනෙව්, සිනොවියෝ, බුකාරින් වැනි අය තමන් බිහිකළ නව ලෝකයේ සිරකරුවන් බවට පත්වූයේය.

දමිළ නිදහස් අරගලය තුළ පිටස්තරයන් බවට පත්වෙමින් සිටින දමිළ බුද්ධිමතුන්ට මේ අවස්ථාවේදි කළ හැකි හොඳම දේ ප්‍රචණ්ඩ අරගල ඉතිහාසයට ආවේණික ඉතා දුෂ්ඨ හා කුරිරු වූ එම පොදු ධර්මතාව හඳුනා ගනිමින් ආරක්ෂා සහිතව පැත්තකට වී සංයමයකින් යුතුව වෙන්න යන දේ බලා ඉන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ප්‍රභාකරන් දෙමළ ජනතාව මත යහපත් පාලනයක් ඇති කිරීමට සමත් වෙතොත්, වෙනස්කම් නොසලකා ඔහුට ප්‍රශංසා කිරීමට හිත හදාගැනීමය. ඔහු දෙමළ ජනතාව මත කෘර පාලනයක් ඇති කරයි නම් අනාගතයේ ඔහුට එරෙහිව නැගී සිටින දෙමළ ජනතාවට ආධාර කිරීමට ඔවුන් හිත හදාගත යුතුය.