යක්ෂයාට ගිය ජවිපෙ සදාචාරය

February 3, 2008
Publication:
Starting from a gift of Li Zhisui's memoir of Mao, Ivan turns to the morality the JVP claims for itself: the party that says it is the cleanest in the country, and the accounts of extortion from businesses, the sale of party services, and the misuse of money that its own internal quarrel has now brought into the open.

මීට සති පහකට පමණ ඉහතදී මාගේ නිවසට පැමිණි දන්ත වෛද්‍යවරයෙක් මට අපූරු තෑග්ගක් තිළිණ කළේය. ඒ චීනයේ සභාපති මාඕ සේතුංගේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානියා මාඕ සේතුංගේ පෞද්ගලික ජීවිතය අළලා ලියන ලද කෘතියයි. (Dr. Li Zhisui – The Private Life of Chairman Mao) මෙම කෘතිය ගැන මා අසා තිබුණේය. මට පොත ප්‍රදානය කළ දන්ත වෛද්‍යවරයා ලෝකයේ නව ප්‍රවණතා හා සිදුවීම් පිළිබඳව උනන්දුවෙන් ගවේෂණය කරන්නෙකි. ඔහු ඉඳහිට මට දුරකතනයෙන් කතා කරයි. ප්‍රයෝජනවත් තොරතුරු විද්‍යුත් තැපෑලෙන් මා වෙත යොමු කරයි. මාඕ පිළිබඳව ලියවී තිබෙන මෙම පොත ගැන විශේෂ උනන්දුවක් දක්වන බව ඔහු දැනගත්තේ මාගෙනි. ඔහු ළඟ පොත තිබුණි. ඔහු මට තිළිණ කළේ ඔහු ඔහුගේ ප්‍රයෝජනය පිණිස ගෙන්වා ගෙන තිබුණු පිටපතය. මීට කලකට පෙර ඩිමිට්‍රි වොල්කොනොව් (ෘපසඑරස ඪසකනදටබදඩ) ගැන ලියා ඇත්තෙමි. වොල්කොනොව් කලක් බ්‍රෙෂ්නෙව් යුගයේ යුද හමුදාවේ අධ්‍යාපන අංශයේ ප්‍රධානියා විය.

රුසියාවේ මිලිටරි ඉතිහාසය පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂවරයා විය. යෙල්ට්සින්ගේ යුගයේ ඔහු ජනාධිපති යෙල්ට්සින්ගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා හා රාජ්‍ය ලේඛන වර්ගීකරණ කොමිසමේ ප්‍රධානියා විය. රාජ්‍ය ලේඛනාගාරය තුළ තැන්පත් කොට තිබුණු අතිශය රහස්‍ය ගණයට වැටෙන ලේඛනවලින් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් ඔහු පළමුව ස්ටාලින් පිළිබඳවත් (ීඒකසබ ථ ඔරමපචය ්බා එර්ටැාහ) දෙවනුව ට්‍රොස්කි පිළිබඳවත් (ඔරදඑිනහ-ඔයැ ැඑැරබ්ක රුඩදකමඑසදබ්රහ) අවසානයේ ලෙනින් පිළිබඳවත් (ඛැබසබ-කසෙැ ්බා කැට ්ජහ) අපූරු පොත් තුනක් ලියා පළ කළේය. මෙම කෘති තුන ඔක්තෝබර් විප්ලවය පිළිබඳවත් සෝවියට් පාලනය හා මෙම විප්ලවකාරි නායකයන් තිදෙනා පිළිබඳවත් එතෙක් අදහස් උඩි යටිකුරු කිරීමට හේතුවී යැයි කිව හැකිය.

මාඕ සේතුං ගැන

මාඕ පිළිබඳව ලියා ඇත්තේ ද එවැනි කෘතියකි. ලී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සේවය කළ ශල්‍ය වෛද්‍යවරයෙකි. චීනයට පැමිණ සේවය කරන ලෙසට චීනයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ලැබෙන ආරාධනයක් අනුව 1949 වසර අවසානයේදී චීනයට පැමිණ බීජිං නගරයේ සේවය කළේය. ඔහු වැඩ කළ ආකාරය පක්ෂයේ ප්‍රසාදයට හේතුවී 1952දී සෞඛ්‍ය බියුරෝවේ පරිපාලන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය විද්‍යා කමිටුවේ නියෝජ්‍ය මහ ලේකම් හා මහජන විමුක්ති හමුදාවේ 505 රෝහලේ සභාපති යන තනතුරුවලට පත් කරනු ලැබීය. ඉන්පසු 1954දී ඩෙන් ෂියාපින්ගේ රෙකමාදරුව මත හා අගමැති චූ එන් ලායිගේ අනුමැතිය මත ලී, සභාපති මාඕ සේතුංගේ පුද්ගලික වෛද්‍යවරයා හා සභාපති මාඕ සේතුංගේ වෛද්‍ය කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස උසස් කරනු ලැබීය. ඉන්පසු මාඕ සේතුං 1976 මරණයට පත්වන තෙක්ම එම තනතුරු හොබවනු ලැබීය.

මාඕ සේතුංගේ මරණ මංචකයේ ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ ද මරණයෙන් පසුව දේහය සදාකාලික මමියක් බවට පත් කරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ද ලී ය. මාඕ සේතුං වෙත ළංවීමට ලැබීමත් සමග ඔහුගේ ජීවිතය ලී ගේ විශ්මයට හේතුවිය. ලීගේ මතය අනුව මාඕ දක්ෂ නලුවෙකි. ඔහු ජනතාව ඉදිරියේ එක චරිතයක් ද, ජනතාවට නොපෙනෙන ජීවිතයේ දී තවත් චරිතයක් ද, දක්ෂ ලෙස රඟපෑවේය. ඔහු කාලසටහනකට වැඩ කරන නායකයකු නොවීය. ඔහු කාලසටහනකට වැඩ කළේ මැයි දිනයේදී, චීන විප්ලව දිනයේදී හා කලාතුරකින් විදේශීය අමුත්තකු හමුවීමට ඇති දිනකදී පමණය. ප්‍රාන්ත භාරව ක්‍රියා කරන කොමියුනිස්ට් පක්ෂ නායකයන් සිය නායකයා සඳහා හැම ප්‍රාන්තයකම සියලු පහසුකම්වලින් යුතු සුඛෝපභෝගී මාලිගාවක් ඉදි කොට පවත්වාගෙන ගියේය. ඒ අනුව සභාපති මාඕගේ පරිහරණයට චීනයේ හැම ප්‍රාන්තයකම විශේෂ මාලිගයක් තිබුණේය.

මාඕ වෙනුවෙන් හොඳම එළවළු හා මස් වර්ග නිපදවන ගොවිපළක් බීජිං නුවර අවට තිබුණේය. එය සිරකරුවන් යොදා පවත්වාගෙන ගිය ගොවිපළකි. මාඕ චීනයේ ජීවත් වූයේ කවර ප්‍රාන්තයක වුව ද අවශ්‍ය ආහාර ගුවනින් සපයන ලද්දේ එම ගොවිපළෙනි. පිසින ආහාරවල වසවිස ඇත්දැයි සොයා බලන්නට ඒවා පළමුව ආහාරයට ගන්නා දුක්ගන්නාරාළ කෙනෙකු ද විජේවීරට මෙන් ම මාඕට ද සිටියේය. මාඕ විශේෂයෙන් තෝරාගත් සහකාරියක් සමග බෝල්රූම් නටන්නට ප්‍රිය කළේය. මාඕ කැමති දේවල් සපයන්නට අභ්‍යන්තරයේ කවයේ මිනිසුන් සිටියා සේ ම මාඕ කැමති වර්ගයේ කාන්තාවන් සපයන්නට ද මිනිස්සු සිටියහ. බෝල්රූම් නැටුමට තෝරා ගැනෙන කාන්තාවට නායකයා සමග එකට නිදා ගැනීමේ වාසනාව ද හිමි වූයේය. ලීට අනුව මාඕ උපදංශ රෝගයෙන් පෙළුණේය. තමන් සමග නිදන්නට එන කාන්තාවන්ට උපදංශ රෝගය බෙදාදෙන වාහකයකු ලෙස ඔහු ක්‍රියා කළේය. සියලු තීරණ ගනු ලැබුවේ අභ්‍යන්තර කවයට අයත් තිහක හතළිහක කණ්ඩායමක් විසිනි.

ඒ අය අතර සිටිය යුත්තේ කව්ද යන්න තීරණය කළේ සභාපති මාඕ ය. මාඕ තමන්ට එරෙහිව යන හැම කෙනෙකුටම දඬුවම් කළේය. ඔවුන්ට දඬුවම් කළේ දුෂ්කර ප්‍රදේශවලට පිටුවහල් කිරීමෙන්, රඳවා ගැනීමෙන් හෝ ඝාතනය කරවීමෙනි. තවමත් මා ලීගේ සම්පූර්ණ පොත කියවා නැත. කියවා ඇත්තේ ඇන්ඩෘෘ ජේ. නතාන් ලියා ඇති පෙරවදන, ලී ලියා ඇති හැඳින්වීම හා මාඕගේ මරණය අළලා ලියා ඇති පළමු පරිච්ඡේදය පමණය. ලීගේ පොත මට වැදගත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන්ගේ ජුගුප්සාජනක ක්‍රියා පිළිබඳව හෙළිදරව්වෙමින් තිබෙන කරුණු පිළිබඳ ලියන විග්‍රහයකට පෙරවදනක් වශයෙනි.

විප්ලවවාදී සදාචාරය

සාම්ප්‍රදායික විප්ලවවාදියා විග්‍රහ කළ හැක්කේ හොඳ උදාර අරමුණක් වෙනුවෙන් නරක දේවල් කරන්නට සූදානම් පුද්ගලයෙකු වශයෙනි. ඔහු මංකොල්ලකන්නේ පක්ෂයේ යහපත පොදු යහපත ලෙස සලකාය. මංකොල්ල කන්නට පුරුදු වූ විට පක්ෂය වෙනුවෙන් මංකොල්ල කනවාට අතිරේකව සිය පුද්ගලික සැපත සඳහා ද මංකොල්ලකෑම වරදක් නැතැයි සිතන තැනකට ඔහු පත්වේ. එවිට ඔහු පක්ෂය වෙනුවෙන් හා තමා වෙනුවෙන් මංකොල්ලකන්නෙකු බවට පත්වේ. පොදු යහපත සඳහා පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සතුරන් ඝාතනය කරන ඝාතකයකු බවට පත්වන පුද්ගලයා ද එක්තරා දුරකදී පක්ෂය වෙනුවෙන් තමා වෙනුවෙන් යන අරමුණු දෙක වෙනුවෙන්ම පුද්ගලයින් ඝාතනය කරන්නට සූදානම් පුද්ගලයෙකු බවට පත්වේ. මෙම ලක්ෂණය දෙවැනි කැරැල්ලේදී බහුලව දක්නට තිබුණු ලක්ෂණයක් වී යැයි කිව හැකිය. මංකොල්ලකෑම සඳහා යොදා ගනු ලැබූ අය පක්ෂය වෙනුවෙන් සේ ම තමා වෙනුවෙන් ද මංකොල්ල කෑහ.

දෙවැනි කැරැල්ලෙන් පසු මා තංගල්ලට ගිය අවස්ථාවකදී මා ගමන් ගත් කුලී රියේ රියැදුරා මට කීවේ කැරැල්ලෙන් කොල්ලන් මිය ගිය ද සමහර පවුල් කැරැල්ල නිසා සමෘද්ධිමත් වූ බවය. සමහර උළු සෙවිළි නොකළ ගෙවල් කැරැල්ලෙන් පසු නවීන ගෙවල් බවට පත්වූ අවස්ථා තමා දන්නා බව ඔහු කියා සිටියේය. මනුෂ්‍ය ඝාතනයට යොමුවූ අය පක්ෂයේ සතුරන් මරණවාට අතිරේකව පුද්ගලික සතුරන් ඝාතනය කළ අවස්ථා මම අසා ඇත්තෙමි. විප්ලවවාදියා සිතන්නේ තමා මහජනයා වෙනුවෙන් සටන් කරන බවය. ඒ නිසා තමා වෙත විශේෂ වැදගත්කමක් ආරෝපණය කරගැනීමට ඔහුට සිදුවන්නේය. තමන්ට විවිධ මාර්ගවලින් ලැබෙන අරමුදල්වලින් කොටසක් තමාගේ ජීවිතය සැපවත් කර ගැනීම සඳහා යොදා ගත්තාට කමක් නැතැයි සිතන තත්ත්වයක් ඔහු ඇති කරගනී. එසේම තම සංවිධානයට තිබෙන හැකියාව කුලියට දීමෙන් මුදල් ඉපයීම වරදක් නැතැයි සිතන තැනකට ද ඔහු පැමිණෙන්නේය.

දෙවැනි කැරැල්ලේදී එක් නමගිය ඝාතකයෙක් විශාල ව්‍යාපාරිකයකුගේ සතුරකු මරා දැමීම මගින් එම ව්‍යාපාරිකයාගෙන් විශාල මිලක් ලබාගත් කතාවක් බව අසා ඇත්තෙමි.

ධනවත්ම පක්ෂය ජවිපයයි

බාහිර පෙනුමෙන් දුප්පත් වුවත්, වර්තමානයේ ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකට වඩා පොහොසත්ය. විවිධ ව්‍යාජ අයිතිකරුවන්ගේ නම්වලින් පවත්වාගෙන යන ව්‍යාපාරවල වටිනාකම සමහර විට රුපියල් කෝටි සිය ගණනක් විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ක්‍රමයට සමීප පුද්ගලයෙකුගෙන් දැනගන්නට තිබෙන කරුණු අනුව, කිතුල්ගල ප්‍රදේශයේ එක් සමාගමක හිමිකාරත්වය ඇත්තේ එම පක්ෂයටය. විවිධ පුද්ගලයන්ගේ නම්වලින් මිලදී ගෙන ඇති මගී බස් රථ විශාල ගණනක් ඇත්තේය. කාර් සේල්, වෙළෙඳ ආයතන හා ගොවිපළවල් ද විශාල සංඛ්‍යාවක් ඇත්තේය. සන්ධාන ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේදී ජවිපෙ උපරිම ලෙස ආර්ථික ඵල ප්‍රයෝජන ලැබුවේය. මාර්ග ධාවන බලපත්‍රයක් විකිණෙන්නේ රුපියල් මිලියන් ගණන්වලටය. රාජ්‍ය බලය භුක්ති විඳි යුගයේ මාර්ග බලපත්‍ර විශාල ගණනක් හිමිකර ගැනීමට එය සමත් වූ අතර, LRC ඉඩම් ද විවිධ නම්වලට ලබා ගත් බව කියනු ලැබේ.

කප්පම්වලින් ධනය ඉපයීම

තෝරාගත් විශාල සමාගම්වලට වෘත්තීය සමිති ලවා කම්කරු ආරාවුල් ඇති කොට ආරාවුල් සමතයකට පත් කිරීම සඳහා අතයට කප්පම් ලබාගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. එය පක්ෂයට විශාල මුදල් එන ප්‍රධාන මාර්ගය බවට පත්වී තිබේ. සුනාමි විපතින් ද ජවිපෙ විශාල මුදල් කන්දරාවක් ඉපයුවේය. එම විෂයට අදාළව මට අසන්නට ලැබී ඇති එක් කතාවක් මෙසේය. ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ වර්ජන තත්ත්වයක් නිසා රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සිය සමාගම් වසා දමා සිය ආයෝජන ඉන්දියාවට ගෙනයෑමට තීරණය කර තිබූ අවස්ථාවකදී එම ව්‍යාපාරිකයාගේ මිතුරකු ජවිපෙ සමග ඇති කරගෙන තිබූ එම ආරාවුල විසඳාගත හැකි ක්‍රමයක් ඔහුට කියා දී තිබේ. සුදුසු කප්පමක් ගෙවීමෙන් පසු වර්ජන තර්ජන අවසන් වී ව්‍යාපාරිකයා දේශප්‍රේමියකු ලෙස පිදුම් ලබන තත්ත්වයක් ද ඇතිවී තිබේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ සේවකයන්ගෙන් ද ඒ හා සමාන කතාවක් අසන්නට ලැබුණි.

සංස්ථාව අලෙවි කළ ප්‍රතිපත්තියට එරෙහිව ජවිපෙ හඬ නැගීය. සන්ධාන ආණ්ඩුවක් බලයට පත්වූ පසු සංස්ථාව නැවත රජයට පවරා ගන්නා බවට ද මැතිවරණයේ දී වහසි බස් කීවේය. සංස්ථාවේ මුදල් අංශයේ සේවය කරන එම සංස්ථා සේවකයා හොඳින් දන්නා වගකිවයුතු නිලධාරියෙකු ඔහුට කියා ඇත්තේ සිය සමාගම ජනතා විමුක්ති පෙරමුණේ කෑගැසීම නතර කිරීම පිණිස එම පක්ෂයට ලොකු කප්පමක් ගෙවන ලද බවය. ඉන්පසු ඊට එරෙහිව කෙරෙන හඬ නැගීම් ද නැවතුණි. හඳුන්නෙත්ති ආරාවුලට පදනම් වී ඇති ලලාන් රබර් (පෞද්ගලික) සමාගමට අදාළව ක්‍රියාත්මක වී ඇත්තේ ද ඊට සමාන ප්‍රතිපත්තියකි. බොගවන්තලාව වැවිලි සමාගම තමන් යටතේ ඇති රබර් වතු 13ක් ලලාන් සමාගමට බදු දෙන ලද ප්‍රතිපත්තියට එරෙහිව ජවිපෙ හඬ නැගුවේය. හරියට නිලය ඇල්ලීමෙන් පසු ජවිපෙ තවත් නායකයෙක් සමාගමේ හිමිකරු සමග ගනුදෙනුවට ගියේය. අවසානයේ ජවිපෙ දැඩි විවේචනයට හසුවූ පුද්ගලයා දේශහිතෛෂී ව්‍යාපාරයේ නාමධාරියෙකු ලෙස අභිෂේක කෙරුණි.

මේ ආකාරයෙන් සිදුවී ඇති ගනුදෙනු සංඛ්‍යාව විශාල විය හැකි අතර, ඒ මගින් උපයන්නට ඇති ආදායම ද අතිවිශාල බවන බවට සැකයක් තිබිය නොහැකිය.

පක්ෂ සේවා විකිණීම

සිය සේවා කුලියට දී මුදල් ලබාගැනීමේ ක්‍රමය ද විජේවීරගේ යුගයේ සිටම පැවත එන ක්‍රමයකි. ජවිපෙ පෙරමුණට එනවිට රට පුරා පෝස්ටර් ඇලවීමේ හැකියාවක් පවතී. ඒ හැකියාව සමග තරග කළහැකි වෙනත් කිසිම ආයතන ක්‍රමයක් රටේ නැත. ඔවුහු එම සේවාව “ආර්යා” සනීපාරක්ෂක තුවා සමාගමට බදු දුන්හ. ඉන්පසු ටීගෝ සමාගමට ද එම සේවාව බදු දුන්හ. විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමේ හැකියාව ද ජවිපෙ සතුය. විජේවීර යුගයේදී එම සේවාව ඉරානයට කුලියට දී ලක්ෂ 28ක මුදල් ලබා ගත්තේය. ඉරානය හා ඉරාකය අතර යුද්ධයක් පැවති කාලයේ ඉරාක ඉරාන යුද්ධය පැවති සමයේ ඉරාක විරෝධී පෝස්ටර් ව්‍යාපාරයක් සමග විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරවා ගැනීමට ඉරානයට අවශ්‍ය වී ඉරානය ඒ අරමුණ මුදල් ගෙවා ඉටුකර ගන්නා ලද්දේ ජවිපෙ ලවාය. ඒ යුගයේ ජවිපෙ විසින් කරන ලද ජුගුප්සාජනක ගනුදෙනු ගණනාවක් පිළිබඳ විස්තර වාස් තිලකරත්න 1986 නොවැම්බර්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරයට ඇතුළත්ය.

වාස් තිලකරත්න ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකි. ජවිපෙ සමග මතභේද ඇති කරගැනීමෙන් පසු ඔහු ආණ්ඩුවේ ඔත්තුකරුවකු බවට පත්විය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේ ම රනිල් වික්‍රමසිංහ මහතාට ද තොරතුරු ලබා දුන්නේය. මොණරාගල ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී පක්ෂයේ තුවක්කුකරුවෙක් ඔහුට වෙඩි තැබීය. ඔහුට වෙඩි වැදුණ ද මරණයට පත්වූයේ නැත. පසුව ප්‍රතිකාර පිණිස බදුල්ල රෝහලට ඇතුල් කළ පසු ද බදුල්ල රෝහලේදී ඔහුට පිහියෙන් ඇණ මරා දැමීමට දරන ලද උත්සාහයකින් ද සිය ජීවිතය බේරා ගැනීමට ඔහු සමත් විය. පසුව ඔහුගේ ජීවිතාරක්ෂාව සඳහා කොළඹ මහ රෝහලට එවීමට බදුල්ල රෝහල් පාලන අධිකාරියට සිදුවිය.

මුදල් අපචාර

ජනතා විමුක්ති පෙරමුණ කුලී සේවාවන් ලබාදීම මගින් ඉරාන තානාපති කාර්යාලයෙන් මුදල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තරයක් ඔහුගේ කටඋත්තරයට ඇතුළත්ය. එම ගනුදෙනු පිළිබඳ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් විස්තර දන්නා පුද්ගලයන් පස්දෙනෙක් අදත් ජීවතුන් අතර සිටිති. ඒ ලයනල් බෝපගේ, උපාලි රන්දෙණිය, සෝමවංශ අමරසිංහ, රංජිත් පෙරේරා හා විජිත රණවීරය. ලක්ෂ 28 මුදල් ප්‍රමණය ලැබී ඇත්තේ කොටස් තුනකටය. කිසියම් ප්‍රමාණයක් රුපියල් මගින් හා තවත් ප්‍රමාණයක් ඇමරිකන් ඩොලර්වලිනි. විජේවීර පරිහරණය කළ අංක 31 ශ්‍රී 3336 දරන පර්ජෝ 504 වාහනය මිලදී ගෙන ඇත්තේ එම මුදල්වලිනි. ඉන්පසු ඉරානයෙන් ලබාගත් ඇණවුමක් පරිදි කොළඹ වරායෙන් ඉරාකය බලා යන නැව් දෙකක් ගිනි තබා එම ඇණවුම් දෙක වෙනුවෙන් ද වඩා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගත්තේය. එම ඇණවුමට අනුව එක් වතාවකදී ඉරාකය බලා යන තේ නැවක ද, දෙවැනි ඇණවුම අනුව ඉරාකය බලා යන පොල්කෙඳිවලින් සැදූ කඹ රැගත් නැව ගිනි තබන ලදි.

එම මුදල් ආරක්ෂාව සඳහා තබන ලද ස්ථානවලින් අතුරුදහන්වූ ආකාරය පිළිබඳ විස්තරයක් ද ඊට ඇතුළත්ය. ලැබී තිබුණු මුදල් ප්‍රමාණය විශාල වීම නිසා එය පංගු කොට විවිධ පුද්ගලයන්ට බාර දෙන්නට තීරණය විය. ලැබුණු මුදලින් ආයුධ මිලදී ගැනීම සඳහා වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 6කි. එය ආරක්ෂා කරගැනීමේ වගකීම පවරා ඇත්තේ විජේවීර වෙතය. තවත් ලක්ෂ 4ක් ආරක්ෂාව සඳහා තිලක ඉන් නමින් පැලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෝමවංශ අමරසිංහගේ සහෝදරයකුට ලබාදී තිබෙන අතර, මුදල් ආපසු ලබා ගන්නා විට පාර්සලයෙන් අතුරුදහන්වී තිබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් එක් ලක්ෂ අනූපන් දහසකි. ශාන්ත බණ්ඩාර අතින් ද ලක්ෂ එකහමාරක් අතුරුදහන් වී තිබේ. මහනුවර පැවිලියන් හෝටලයේ අයිතිකරුට විජේවීර විසින්ම ලබා දෙන ලද මුදල ද ඔහු සිය ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගෙන ඇති බව විජේවීර විසින්ම පක්ෂයට වාර්තා කර තිබේ.

මෙහිදී ලැබුණු මුදල් ප්‍රමණයෙන් කිසියම් විශාල මුදල් ප්‍රමාණයක් නැතිවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පළමු පෙළේ නිල දරන්නන් අතින් වීම නිසා එය පක්ෂයට වැදගත් ප්‍රශ්නයක් වී නැත. පැවිලියන් හෝටලයේ හිමිකරු භාරයේ තබන රුපියල් ලක්ෂ හතේ මුදල් පාර්සලයේ වගකීම බාරවී තිබුණේ විජේවීරටය. සෝමවංශගේ අක්කා ළඟ තබන මුදල් පාර්සලයේ වගකීම පැවරී තිබුණේ සෝමවංශ අමරසිංහටය. ශාන්ත බණ්ඩාරගේ නිවසේ තබන මුදල් පාර්සලයේ වගකීම පැවරී තිබුණේ ශාන්ත බණ්ඩාරටය. එම මුදල් පාර්සල්වල තිබූ මුදල් මුළුමණින් හෝ කොටස් වශයෙන් අතුරුදහන්වීම එකිනෙකා අතර තිබෙන විශ්වසනීයත්වය පළුදු කිරීමට තරම් බරපතළ හේතුවක් වූයේ නැත. විජේවීරට එතෙක් පාවිච්චි කළ 504 වර්ගයේ පර්ජෝ මෝටර් රථය එපාවී ඒ වෙනුවට 505 වර්ගයේ පර්ජෝ මෝටර් රථයක් අවශ්‍ය වූ විට එම මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කළේ ද ඉරාන මුදල්ය.

හොඳ මෝටර් රථයක් තිබියදී ඒ වෙනුවට තවත් අලුත් මෝටර් රථයක් ගත් විට එය පාක්ෂිකයන්ට ප්‍රශ්නයක් විය හැකි බව පක්ෂ නායකයකු විජේවීරට කී විට විජේවීර විසින් දෙන ලද පිළිතුර වී ඇත්තේ මිලදී ගත්තේ පාවිච්චි කළ මෝටර් රථයේ පැහැයට මුළුමණින් සමාන මෝටර් රථයක් නම් වර්ගයේ වෙනස හඳුනා ගැනීමට පාක්ෂිකයන් සමත් නොවනු ඇති බවය.

මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම

විජේවීර වැනි නායකයන්ගේ ද දේශපාලන සදාචාරය එය වී නම්, වර්තමාන නායකයන් අතින් සිදුවන විෂමාචාර ගැන පුදුම වීමට හේතුවක් තිබිය නොහැකිය. අවසාන වශයෙන් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ සදාචාරයට අදාළ මා දන්නා එක් නිදර්ශනයකින් මෙම ලිපිය අවසන් කරමි. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට පලායාමට ඉඩදිය නොහැක්කේ ඔහු පක්ෂයේ මන්ත්‍රීකමේ නොසිටින්නට ගන්නා ඕනෑම තීරණයක් මන්ත්‍රී සංඛ්‍යාව එකකින් අඩු කිරීමට හේතුවන නිසාය. මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනා තේරී ඇත්තේ පක්ෂයෙන් නොව සන්ධානයෙනි. පක්ෂයෙන් තේරී පත්වී නම් තවදුරටත් තබා නොගත යුතු පුද්ගලයකු නම් පලවා හැරිය හැකිය. එවිට පුරප්පාඩුවන්නේ තවත් පක්ෂයේ කෙනෙකි. එහෙත් දැන් එවැන්නක් සිදුවුවහොත් පත්වන්නේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොව ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ද මේ හා සමාන අර්බුදයකට ජවිපෙ නායකත්වයට මුහුණ දෙන්නට සිදුවිය.

ආරිය බුලේගොඩගේ පක්ෂයෙන් තරග කොට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා එක් මන්ත්‍රීවරයෙකු තේරී පත් වුව ද, ඒ තැනට මැතිවරණයට තරග නොකළ ගලප්පත්ති ගැනීම අවශ්‍ය වූ නිසා තරග කළ ලැයිස්තුවට ඇතුළත් සියලු දෙනාට ඉල්ලා අස්වන්නට පක්ෂය නියම කළේය. ලැයිස්තුවේ තුන්වැනියාව හා හතරවැන්නාව සිටි ගුණසේන වස්කඩුව තමන්ට ඉහළින් සිටින්නන් අස්වීමෙන් පසු ඉවත් නොවී හම්බන්තොටින් තේරී පත්වූ මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය. එදින රාත්‍රියේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් නිවසේ සිටි ඔහු අත්අඩංගුවට ගෙන ආරිය බුලේගොඩගේ නිවසේ රඳවා ගත්තේය. ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයාට යවා ගලප්පත්තිගේ නම මැතිවරණ කොමසාරිස්වරයා නිල වශයෙන් පිළිගන්නා තෙක්ම ගුණසේන වස්කඩුව සිටියේ ජවිපෙ නිවාස අත්අඩංගුවේය. සුනිල් හඳුන්නෙත්තිට සිදුවූයේ ද එයමය. පක්ෂයට ද්‍රෝහි නොවී රටින් පලා නොගොස් තවදුරටත් පක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස රැඳී සිටීමට එකඟ කරවා ගැනීම හැර ඔහු සම්බන්ධයෙන් එම පක්ෂයට අනුගමනය කරන්නට අන් විකල්පයක් නොතිබුණේය.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට ද ජීවිත ආරක්ෂාව සඳහා ඒ යෝජනාවට එකඟ වනවා හැර ගන්නට අන් ක්‍රියාමාර්ගයක් නොතිබුණි.