ජනමාධ්‍ය බිය ගැන්වීම

February 3, 2008
Publication:
Threats to journalists used to come from the government; now they come from the government and from gangs. Ivan follows the Rupavahini affair from the attack on a programme producer to the armed group that told another employee's mother he would be killed, and sets it beside the JVP's habit of calling violence against ordinary people a campaign against a foreign army.

රටේ ජනමාධ්‍යවේදීන්ට එල්ල වී තිබෙන තර්ජන ගර්ජන අදහස් පළකිරීමේ නිදහසට එල්ල වී තිබෙන බලවත් තර්ජනයක් ලෙස සැලකිය හැකි ය. වෙනදා ජනමාධ්‍යවේදීන්ට තර්ජන ආවේ බලයේ සිටින ආණ්ඩුවෙනි. දැන් ආණ්ඩුවට අතිරේකව මැර කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනයන්ට මුහුණ දෙන්නට ජනමාධ්‍යවේදීන්ට සිදුවී තිබේ. කම්කරු ඇමති මර්වින් සිල්වා ආශ්‍රයෙන් රූපවාහිනියේ ඇතිවූ ආරාවුල දුරදිග යන සිද්ධියක් බවට පත්ව තිබේ. පසුගිය 25 වැනිදා රූපවාහිනී වැඩසටහන් සම්පාදකයකු වන ලාල් හේමන්ත මහවලගේ මැර ප්‍රහාරයකට ගොදුරු විය. ඉන්පසු තවත් රූපවාහිනි සේවකයෙකුගේ නිවසට කඩා වැදුණු ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් ඔහු මරා දමන බවට ඔහුගේ මවට තර්ජනය කර තිබේ. රූපවාහිනියේ වෙනත් සේවකයන්ට ද දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කෙරෙමින් තිබෙන බව ද වාර්තා වේ. රූපවාහිනී සිද්ධියට සම්බන්ධ නැතත්, මේ කාලය තුළ තවත් ජනමාධ්‍යවේදියෙකුට බිහිසුණු මැර ප්‍රහාරයක් එල්ල විය.

ජනතා විමුක්ති පෙරමුණ සිය මන්ත්‍රීවරයෙකු නිවාස අඩස්සියේ තබා ගැනීමේ සිද්ධියක් රාවයට දැනුම් දුන් පුද්ගලයෙකුට, එම සිද්ධිය වාර්තා කළ රාවයේ ජනමාධ්‍යවේදියකු වූ ලසන්ත රුහුණගේට මරණ තර්ජන එල්ල වී තිබෙන අතර, ජනමාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මෙම බිහිසුණු වාතාවරණය ජනමාධ්‍යවේදීන් අතර කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබේ. මෙම තත්ත්වය විශේෂයෙන්ම රූපවාහිනී සේවකයන් අතර නොසන්සුන් වාතාවරණයක් ඇති කිරීමට ද හේතු වී තිබේ. ඇතිවී තිබෙන මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නො දීම ආණ්ඩුවේ වගකීමකි. විශේෂයෙන් ම මැර කණ්ඩායම්වලට නීතිය අතට ගන්නට ඉඩ හැර බලා සිටියහොත් විය හැකි විනාශය අතිවිශාල ය. ජනමාධ්‍යවේදීන් අතින් ද වැරදි සිදුවන අවස්ථා තිබිය හැකි ය. එහෙත් ඔවුන් අතින් විශේෂ කාර්ය භාරයක් ඉටුවන බව ප්‍රතික්ෂේප කළ නො හැකි ය. ජනමාධ්‍යවේදීන් සිය භූමිකාව සාධාරණව හා අපක්ෂපාතව ඉටු කළ යුතුවා සේ ම, තර්ජන ගර්ජනවලට හා මැර ප්‍රහාරයන්ට ලක්වීමෙන් තොර ව ඔවුන්ගේ භූමිකාව ඉටු කිරීමට අවශ්‍ය නිදහස් වටපිටාවක් සහතික කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ජනමාධ්‍යවේදීන්ට තිබෙන ලොකු ම දුක්ගැනවිල්ල වී ඇත්තේ ඔවුන්ට එල්ල වන පහරදීම් පිළිබඳව සාධාරණව පරීක්ෂණ පැවැත්වෙන තත්ත්වයක් නො තිබීම ය. එම දුක්ගැනවිල්ල සාධාරණ දුක්ගැනවිල්ලක් වන අතර, ඊට නො පමාව විසඳුම් ලබාදීම ආණ්ඩුවේ වගකීමකි. නැවත රට ගිනි තබන්නට ඉඩ නො දෙමු ““ආණ්ඩුවේ බෙදුම්වාදී යෝජනා හකුළා ගනු”” යන තේමාව යටතේ 18 වැනිදා අනුරාධපුර පැවති රැස්වීමක් අමතා කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ වළ දැමූ ඉන්දු-ලංකා ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක ඉඩ නොදෙන බවත්, මේ රටේ කටයුතුවලට ඉන්දියාව මැදිහත් වුවහොත් යළිත් වරක් ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කර පාරට බැස සටන් කරන බවත් ය. මෙය කවර අර්ථයෙන් කියනු ලැබූවත් මෙම ප්‍රකාශය බිහිසුණු ප්‍රකාශයක් බව කිව යුතු ය. ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් රට බේරා ගමු යන තේමාවට මුවාවී 1987-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ නැටු නැටිල්ල තවමත් රටේ ජනතාවට අමතක නැත.

ඉන්දියානු වඳුරු හමුදාවට එරෙහිව සටන් කරන මුවාවෙන් එදා ඔවුන් සටන් කළේ ඉන්දියානු සාම සාධක හමුදාව සමග නොවේ. ඔවුන් ඝාතනය කළේ සිය දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු සාමාන්‍ය මහජනතාවය. ගිනි තැබුවේ ඉන්දියානු සාම සාධක හමුදාව ගමන් කළ ට්‍රක් රථ නොව, සාමාන්‍ය ජනතාව ගමන් කළ ලංගම බස්රථ, තැපැල් කන්තෝරු හා ගොවිජන සේවා කාර්යාලයි. ඉන්දියානු බඩු වර්ජනය කිරීමේ මුවාවෙන් මරා දමන ලදදේ අල, ලූනු, පරිප්පු විකුණූ රටේ සාමාන්‍ය වෙළෙඳුන්ය. අරගලය මුලදී බොරුවට ත්‍රිවිධ හමුදාව පැසසුවේය. ඒ මගින් තම සාහසික කැරැල්ලට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට උත්සාහ කළේය. ත්‍රිවිධ හමුදාව තමන්ගේ පැත්ත නොගන්නා බව පෙනුණු විට අනුකම්පා විරහිතව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් නො ව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සාහසික ලෙස මරා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.

දැන් නැවත ජවිපෙ කියන්නේ අවශ්‍ය වෙතොත්, නැවත ඒ තැනට යන්නට සූදානම් බව ද? ජවිපෙ එදා දියත් කළ එම සාහසික කැරැල්ල පරාජය කිරීමට හැකිවූයේ ඒ මොහොතේ උතුරු නැගෙනහිර කටයුතු බලාගැනීමට ඉන්දියානු සාම සාධක හමුදාවක් රටට පැමිණ තිබුණු නිසා ය. ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල පරාජය කිරීමට අවශ්‍ය අතිරේක හමුදා උතුරු නැගෙනහිරින් දකුණට එවන්නට සිදුවූයේ ඒ නිසා ය. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ රටට කියන ලද ආකාරයට ඉන්දියානු සාම සාධක හමුදා මෙහි බින්න බැස්සේ නැත. ඔවුන් රටින් ආපසු ගියේ ජනතා විමුක්ති පෙරමුණක් රටේ තිබුණු නිසා ද නොවේ. ඔවුන් ආපසු යන අවස්ථාව වන විට ජවිපෙ කැරැල්ල පරාජය කොට තිබුණි. ජවිපෙ පළමු පළාත් සභා මැතිවරණයේ දී පළාත් සභා අපේක්ෂකයන් හා මන්ත්‍රීවරුන් සිය ගණනක් මරා දමා තිබියදීත් නැවත සාමකාමී දේශපාලනයට ඒමෙන් පසු ජවිපෙ පළාත් සභාවලට තරග කොට පළාත් සභා ක්‍රමයේ කොටස්කරුවන් පිරිසක් බවට පත්වූයේ ය.

පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුෂාංගික කොටසකි. ජවිපෙ මැදිහත් වී නීතිගත කළ 17 වැනි සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ ද 13 වැනි සංශෝධනයට සම්බන්ධ කෙරෙන ආකාරයට ය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ 13 වැනි සංශෝධනය පිළිගන්නා තැනකට ජවිපෙ ද පත්ව සිටි බව ය. රටේ මූලික නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිනොගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කෙසේ ද?