ආණ්ඩුව තමන්ට එරෙහිව ක්‍රියාවට නගා තිබෙන යුද ප්‍රතිපත්තියට එරෙහිව එල්ටීටීඊය දකුණේ සාමාන්‍ය වැසියන් තොග වශයෙන් ඝාතනය කරන ප්රතිපත්තියකට තල්ලු වී සිටින්නේය. දැන් ඔවුන් ආර්ථික හෝ දේශපාලන වැදගත්කමක් ඇති ඉලක්කවලට මරාගෙන මැරෙන පහරදීම් එල්ල කරන්නේ නැත. ඒ වෙනුවට සාමාන්‍ය ජනයා ගමන් ගන්නා බස් රථවල හෝ දුම්රියවල බෝම්බ පිපිරවීම මගින් සාමාන්‍ය මිනිසුන් තොග වශයෙන් මරා දමන ප්රතිපත්තියකට මාරු වී සිටිති. ආණ්ඩුවේ යුද වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීම සාමාන්‍ය ජනයා ඉලක්ක කොට එල්ල කෙරෙන එවැනි පහරදීම්වල උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ.
ඒ මගින් ඔවුන්,
(1) යුද්ධයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් සිංහල මහජනයා අතර ඇති කිරීම.
(2) සිංහල මහජනතාව ප්‍රකෝප කොට දකුණේ වෙසෙන දෙමළ ජනතාවට පහර දෙන තත්ත්වයක් ඇති කිරීම.
(3) ආණ්ඩුව හා හමුදාව ප්‍රකෝප කොට කිළිනොච්චියේ සාමාන්‍ය ජනයා තොග වශයෙන් ඔවුන් ලවා ඝාතනය කරවන තත්ත්වයක් ඇති කිරීම.
යන ඉලක්කවලින් එකක් හෝ කිහිපයක් දිනාගැනීමට අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ.
මෙතෙක් එල්ල කරන ලද එවැනි ප්‍රහාරවලින් සිදුවී තිබෙන ජීවිත විනාශය විශාලය. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ද විශාලය. ඒ මගින් මහජනතාව අතර, භීතියක් සේ ම ත්‍රාසයක් ද ඇති කිරීමට හේතුවී තිබේ. මේ තත්ත්වය වර්ධනය කොට උච්චතම තත්ත්වයකට ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ද පෙනේ. එවැනි පහරදීම් නොකඩවා ඉහළ ගියහොත් ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වය හරියටම කුමක් විය හැකිද යන්න කල්තියා කීම දුෂ්කරය. ඉන්දු-ලංකා ගිවිසුම ආසන්නයේ රටේ පැවති ව්‍යාකූල තත්ත්වයට සමාන තත්ත්වයක් නැවත ඇතිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට සීමා නොවී එකවිට පෙරමුණු ගණනාවකට එරෙහිව අරගල කරන තැනකට තල්ලු වී සිටින බව ද පෙනේ. එක් අතකින් ආණ්ඩුව ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාප සමග ද කලක් තමන්ගේ සමීප ආධාරකරුවකු ලෙස ක්‍රියාකළ ජවි පෙරමුණ සමග ද අරගල කරන තැනකට තල්ලු වී සිටින්නේය. ඊට අතිරේකව ආණ්ඩුව ජනමාධ්‍යකරුවන් සමග ද රණ්ඩු කරන තැනකට තල්ලු වී සිටින්නේය.
ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කර තිබෙන යුද්ධයට ඔවුන්ට අවි බිම තැබීමට බලකෙරෙන ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලන ඉල්ලීම් ලබාදෙන ප්‍රතිපත්තියක් ඇතුළත් වන ආකාරයට, එම යුද්ධ ව්‍යාපාරය ඉදිරියට ගෙනගියේ නම් හා අන්තර්ජාතික ප්‍රජාව සමග අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැනකට නොගොස් ඔවුන්ට ඉවසීමෙන් කරුණු කියා දෙන ප්රතිපත්තියක පිහිටා ක්‍රියාකළේ නම් හා විරුද්ධ පක්ෂ සමග හා ජනමාධ්‍ය සමග අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැනකට නොගොස් එල්ටීටීඊ විරෝධී යුද්ධය සඳහා ඔවුන්ගේ ද සහාය ලබාගන්නා ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් ලැබෙන ප්‍රතිඵලය මීට වඩා අර්ථසම්පන්න වන්නට ඉඩ තිබුණි.
දැන් ආණ්ඩුවට එකවිට එල්ටීටීඊය සමග පමණක් නොව ප්‍රධාන ධාරාවේ විරුද්ධ පක්ෂ සමඟ ද අරගලයක නිරතවන්නට සිදුවී තිබෙන්නේය. එල්ටීටීඊය සාමාන්‍ය ජනයා ඉලක්ක කොට එල්ල කරන ප්රහාරයන් පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වෙතොත්, ඇතිවිය හැකි තත්ත්වය ඉතා විනාශකාරී විය හැකිය. අනෙක් අතට එල්ලවෙමින් තිබෙන කුරිරු ප්රහාරයන්ට එරෙහිව කුරිරු ලෙස ප්‍රතික්‍රියා දක්වන තැනකට ආණ්ඩුව හා යුද හමුදාව තල්ලු වුවහොත් ඒ නිසා ඇතිවිය හැකි ප්‍රතිඵලය ද ඉතාමත් විනාශකාරීය. දෙවැනි කැරැල්ලේ දී ජේවීපීය මුදා හළ කෘෘරත්වයට එරෙහිව ඒ හා සමාන කෘෘරත්වයකින් යුතුව පහර දෙන තත්ත්වයට ආණ්ඩුව හා ආණ්ඩුවේ හමුදා තල්ලු විය. මේ දෙපක්ෂය අතර කෙරෙන අරගලය ද එවැනි තැනකට තල්ලු වී යා හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ජේවීපී දෙවැනි කැරැල්ලේ දී ඇතිවූ විනාශයට වැඩි විනාශයක් ඇතිවිය හැකිය.
නැගෙනහිර පවතින තත්ත්වය ද යහපත් නැත. හිස්බුල්ලා නැවත පළාත් ආණ්ඩුවට එකතුවීම නැගෙනහිර පවතින දෙමළ මුස්ලිම් ආවේගයන් සමනය කිරීමට හේතුවී නැත. නැගෙනහිර දෙමළ මුස්ලිම් ගැටුමක් නැවත නැගෙනහිර එල්ටීටීඊ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවනු ඇති අතර, එවැනි ගැටුමක් ඇති කරන අවසාන ඵලය ඉතා විනාශකාරී ද විය හැකිය.
දෙලොවක් අතර නායකයෙකි
පවතින දේශපාලන ක්‍රමය තුළ පැරණි දේශපාලන ක්‍රමය තුළ මෙන් විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට අතරමැදි අවස්ථා ඇත්තේම නැති තරම්ය. එහෙත් රනිල් වික්‍රමසිංහට මුළුමණින් නොවෙතත් කූඩාරමට ඔළුව ඇතුළු කරගැනීමේ අවස්ථාවක් ලැබුණි. එහෙත් අවාසනාවකට ඒ ලැබුණු බලය ජනාධිපතිවරණය තෙක් ආරක්ෂා කරගැනීමට ඔහු අසමත් විය. චන්ද්‍රිකාගේ ධුර කාල දෙකින් පසු පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ද ජයගැනීමට ඔහු අසමත් විය. ඔහු තාමත් විශ්වාසය අතහැර නැත. 70 විය තෙක්ම ජේ.ආර්. මාමාට බලය නොලැබුණු බව ඔහු දන්නෙහිය. ඒ ආකාරයටම අල්ලා ගෙන සිටීමට සමත් වෙතොත්, මහින්ද රාජපක්ෂගේ පළමු ධුර කාලයෙන් පසුව නොවේ නම්, දෙවැනි ධුර කාලයෙන් පසුව හෝ වාසනාවේ චක්‍රය තමන් වෙත කැරකෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බව පෙනේ.
එහෙත් අමාරුම දේ වනුයේ බලය ලැබෙන තෙක් අල්ලාගෙන සිටීමය. ඔහු චන්ද්‍රිකාගේ පාලන යුගය තුළ අවුරුදු 13ක්ම අල්ලා ගෙන සිටියේය. ඒ ආකාරයටම ඔහු තවත් අවුරුදු ගණනාවක් අල්ලා ගෙන සිටිය යුතුය.
එහෙත් මේ දේශපාලන ක්‍රමය තුළ ඒ තරම් දීර්ඝ කාලයක් බලා සිටින්නට දේශපාලන කණ්ඩායම සූදානම් නැත. මේ දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය බලය රට පාලනය කිරීමේ බලයක් පමණක් වන්නේ නැත. රට කොල්ලකෑමේ බලය ද ඊට ඇතුළත්ය. මෙම දේශපාලන ක්රමයේ ප්රවර්තක බලය ලෙස ක්‍රියා කරන්නේ ද රාජ්‍ය බලය තුළ රට කොල්ලකෑමට ලැබෙන අයිතියයි. දේශපාලන කණ්ඩායම පොළඹවන ප්‍රධාන සාධකය වන්නේ ද එයයි. එහෙත් කොල්ලකෑම අරමුණු කොටගෙන ඒකරාශි වූ මොනම කණ්ඩායමක්වත් කොල්ලකෑමට අවස්ථාවක් ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් නිශ්ශබ්දව බලා සිටින්නට එකඟවන්නේ නැත. සිය නායකයා ඉක්මණින් බලයට පත් කිරීම මගින් එම අරමුණ ඉටු කරගත නොහැකි නම් කණ්ඩායම් සාමාජිකයන් වෙනත් ආකාරවලින් ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියා කරන තත්ත්වයකට යා හැකිය.
දැන් රනිල් වික්‍රමසිංහට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය වන්නේ ද එයයි. ඔහු සිය කණ්ඩායම තමන් කෙරෙහි බලාපොරොත්තු ඇති තත්ත්වයක තබාගත යුතුය. ඒ සඳහා ඉක්මන් ප්‍රතිඵල පෙන්විය යුතුය. එහෙත් මේ දේශපාලන ක්‍රමය තුළ ඉක්මන් ප්‍රතිඵල පෙන්වීම අමාරුය. ඉක්මන් ප්‍රතිඵල සඳහා බලාපොරොත්තු ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාවට නගන සංදර්ශන චමත්කාර නොවන විට ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන් අතර තිබිය යුතු ආශිර්වාදජනක බලාපොරොත්තු බිඳ වැටෙන්නේය.
මෙම දේශපාලන ක්‍රමය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් නොවන නිසා හා රටේ පොදු වස්තුව කොල්ලකෑම මෙම දේශපාලන ක්‍රමයට ආවේණික ප්‍රධාන ලක්ෂණයක් වන නිසා බලය සඳහා තරග කරන කණ්ඩායමේ නායකයා චණ්ඩ ගති ලක්ෂණ සහිත පුද්ගලයකු වීම ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එම චණ්ඩ ගති ලක්ෂණ නිර්භීතභාවය ලෙස ද අර්ථකථනය කළ හැකිය.
රනිල් වික්‍රමසිංහට නැති ප්‍රධාන ලක්ෂණය වන්නේ ද එයයි. ඔහු දේශපාලන අර්ථයෙන් බියසුළුය. නියාලුය. ජේ.ආර්. ජයවර්ධන දේශපාලන අර්ථයෙන් නිර්භීතය. ඔහු විරුද්ධ පක්ෂයේ සිටියදී ආණ්ඩු පක්ෂයේ බලකොටු ආක්‍රමණය කළේය. තෝරාගත් දුර්වල තැන් වෙනුවට තෝරාගත් ශක්තිමත් තැන් ආක්‍රමණය කළේය. තමන් ආණ්ඩුවට අභියෝගයක් වන නායකයකු බව ඔප්පු කළේය. ජේ.ආර්. ජයවර්ධන තුළ තිබූ එම ගුණය චන්ද්‍රිකා තුළ ද තිබුණේය. ඇය සූරියකන්ද ආක්‍රමණය කොට එහි තිබූ සමූහ මිනීවලවල් හෑරුවේය. මහින්ද රාජපක්ෂ ද ඒ ලක්ෂණ පෙන්නුම් කළ නායකයෙකි. ඔහු එජාප ආණ්ඩුවේ දූෂණයට හා භීෂණයට එරෙහිව කතරගමට විරෝධතා පාගමනක් සංවිධානය කළේය. ඉහළ යන ජීවන වියදමට එරෙහිව සාර්ථක ශබ්ද ඝෝෂාවක් සංවිධානය කළේය.
එහෙත් රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස ක්‍රියා කර ඇතත්, අවදානමක් බාරගැනීමට සූදානම් නිර්භීත නායකයකු බව එකම අවස්ථාවකදීවත් ඔප්පු කර නැත. ඔහු සිය කණ්ඩායමට ආස්වාදජනක නායකයකු වන්නේ නැත. ඒ අර්ථයෙන් රනිල් වික්‍රමසිංහ මෙම දේශපාලන ක්‍රමයට නොගැලපෙන නායකයෙකි. මෙම දේශපාලන ක්‍රමය තුළ සාර්ථක නායකත්වයක් සඳහා චණ්ඩභාවයක් සේ ම නිර්භීතභාවයක් ද තිබිය යුතුය. රනිල් වික්‍රමසිංහට නැත්තේ ද ඒ ගතිලක්ෂණය.
රනිල් වික්‍රමසිංහට අල්ලා ගෙන සිටීම දුෂ්කර විය හැකි වුවත්, පක්ෂ නායකත්වයෙන් ඔහු එළවීමේ හැකියාවක් එම පක්ෂයට නැත.
මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍යයේ පරම බලය ඇත්තේ ජනාධිපතිටය. පක්ෂයේ පරම බලය ඇත්තේ පක්ෂ නායකයාටය. ජනාධිපති බලයෙන් පහකළ නොහැකිවා සේ ම පක්ෂ නායකයා ද පක්ෂ නායකත්වයෙන් පහකළ නොහැකිය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා ජනාධිපති බලවත්වන්නා සේ පක්ෂ ව්‍යවස්ථාවට වඩා පක්ෂ නායකයා බලවත්ය. මේ නිසා රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් පහකිරීම පිළිබඳ බියක් ඇති කරගැනීමට හේතුවක් නැත. එහෙත් සිය කණ්ඩායම එකට තබා ගැනීම පහසු නොවනු ඇත.
ජවිපෙ කොයිබටද?
ජවිපෙ ඉන්නේ ද ඉතාමත් අවුල්සහගත දේශපාලන තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා එම පක්ෂය තීරණාත්මක වැදගත්කමක් ඇති වැඩ කොටසක් ඉටු කළේය. මහින්ද රාජපක්ෂ පාලනයක් තුළ රට මුහුණ දී තිබෙන ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන බවට ද ඔවුහු රටට සහතික වූහ.
එහෙත් මහින්ද ජේවීපී දීගය දිගු කලක් නොපැවතුණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඔවුන්ට සටන් කරන තැනකට එන්නට සිදුවූයේ සිය පක්ෂය දෙකඩ කරමිනි.
දැන් ජේවීපීය ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීමය. ශ්‍රීලනිප සමග සන්ධානයක් ඇති කරගැනීමෙන් ලබාගත් කෘත්‍රිම බලය පමණක් නොව, ඊට අතිරේකව ඔවුන්ට තිබුණු සැබෑ බලයෙන් සෑහෙන කොටසක් ද අහිමිවීමේ තර්ජනයක් දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේය.
සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා තමන් බලයට පත් කරන ලද පාලකයාට එරෙහිව අරගල කරන තැනකට ඔවුන් තල්ලු වී ඇතත්, එම අරගලය කටුක ස්වරූපයක් ගනිමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
දැන් ඔවුන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ වෛරසහගත ආකල්පයකිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් පවතින්නේ ද ඒ සමාන ආකල්පයකිනි.
1977 මැතිවරණයේදී ද ජවිපෙ නායකයෝ නිල නොවන ආකාරයෙන් එජාපයේ ජයග්‍රහණය සඳහා ආධාර කළෝය. ඔවුන් ඒ කාලයේ ශ්‍රීලනිප දෙස බලන ලද්දේ වෛරයෙනි. එජාප ජයග්‍රහණය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුවේ ආධාර ඇතිව ශ්‍රීලනිපට එරෙහිව “ගමනක අවසානය” නමින් දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක ජවිපෙ නිරත වූයේය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ වැඩපිළිවෙළේ ප්රමුඛ කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේය. ප්‍රින්ස් ගුණසේකර විසින්,ඛදිඑ ඨැබැර්එසදබ, නමින් පළ කර තිබෙන පොතේ ඒ යුගයේ ජවිපෙ එජාප සමග පස්සා දොරින් කරන ලද ගනුදෙනු පිළිබඳ කදිම විස්තරයක් ඇතුළත්ය. විජේවීර තමන්ට පක්ෂ මූලස්ථානයක් හා තමන්ට ඉන්නට පෞද්ගලික නිවසක් තනා ගැනීම සඳහා කොළඹෙන් ඉඩමක් අවශ්‍ය වී ඒ ප්රශ්නය නිරාකරණය කරගන්නට උත්සාහ කළේ අගමැති ප්‍රේමදාස මගිනි. අගමැති ප්‍රේමදාස විජේවීරට ඉඩමක් දෙන්නට කැමති වුවත්, එම ගනුදෙනුව අනාගතය කෙරෙහි ඇති කළ හැකි ප්‍රතිවිපාක සලකා විජේවීර පසුව ඒ ඉඩම බාරගැනීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ මෙසේ හොර රහසේ ගනුදෙනු කළ මේ දෙපක්ෂයට තවත් මොහොතකදී එකිනෙකා මරා ගන්නා තැනකට යන්නට සිදුවිය. දැන් ඇතිවී ඇත්තේ ද ඊට සමාන තත්ත්වයකි.
මේ ගැටුම ඇති කරන ප්‍රතිවිපාක බියකරු විය හැකිය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී බලවේග අනුකම්පා විරහිතව මර්දනය කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ප්රජාතන්ත්රවාදී විරුද්ධ පක්ෂ බලවේග හැකිළී ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියා කරන ව්‍යාපාර මතුවීමය. ජේවීපී මර්දනයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔවුන් ආයුධ සන්නද්ධ කැරැල්ලකට තල්ලුවීමය.
ජවිපෙට නිදහසේ වැඩ කරන්නට ඉඩදිය යුතුය. ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මර්දනය කරන තැනකට නොයා යුතුය. මැතිවරණවලදී ඔවුන්ට ලැබී තිබෙන කෘත්‍රිම බලය අහිමි වී නැවත ඔවුන් පුංචි ව්‍යාපාරයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයකට යන්නට නියමිත ව්‍යාපාරයක් නැවත කැළෑ වදින තත්ත්වයකට ඇද නොදැමිය යුතුය.