රජය හා ජනමාධ්‍ය

October 29, 2026
Publication:
The quarrel between the defence ministry and the press is running on without a settlement: Keith Noyahr is leaving the country and The Nation's editor is thinking of it. Ivan calls it the president's responsibility to stop this going further, and tells journalists that press freedom cannot exist inside a semi-autocratic system, so the goal has to be the system, not a change of tenants.

ආරක්ෂක අමාත්‍යාංශය හා ජනමාධ්‍යවේදීන් අතර ආරම්භ වී තිබෙන ගැටුම විසඳුමකින් තොරව ඉදිරියට ගලායමින් තිබෙන බව පෙනේ. ආරක්ෂක ලේකම්වරයා සනත් බාලසූරිය හා පෝද්දල ජයන්ත තමන් වෙත කැඳවා කරන ලද අනතුරු ඇඟවීමේ කතාව ජනමාධ්‍යවේදීන් අතර භීතිය ඇති කරන සංසිද්ධියක් බවට පත්විය. පහර කෑ කීත් නොයාර් රටින් පිටවී යාමට නියමිත ය. “ද නේෂන්” පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් ද රටින් පිටවී යන්නට අදහස් කරගෙන සිටින බව දැනගන්නට තිබේ.

මෙය යහපත් තත්ත්වයක් නොවන අතර, මේ තත්ත්වය වැඩිදුර වර්ධනය වන්නට ඉඩ නොදීම ජනාධිපතිවරයාගේ වගකීමකි. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය ජනමාධ්‍යවේදීන්ට හා පක්ෂවලට එරෙහිව කරන යුද්ධයක් බවට හරවා නො ගැනීමට ආරක්ෂක ලේකම්වරයා හා යුද හමුදාපතිවරයා වගබලා ගත යුතු ය. ජනමාධ්‍යවේදීන් අතින් සිදුවන සාහසික විවේචනවල දී පවා ඉවසීමෙන් ක්‍රියා කිරීම ඔවුන්ගේ වගකීමකි. එල්ටීටීඊයේ කැමැත්ත වනවා ඇත්තේ ද මෙම ප්‍රශ්න තව තව අවුල් වනවා දකින්නට ය.

එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කිරීම ආණ්ඩුවේ පිළිගත් ප්‍රතිපත්තිය වී තිබෙන තත්ත්වයක් තුළ හා ඒ සඳහා කරන අරගලය හමුදා නායකයන්ගේ ද ජීවිතය හා මරණය පිළිබඳ අරගලයක් බවට පත්ව තිබෙන්නේ ය යන කාරණය සැලකිල්ලට ගනිමින් ප්‍රකෝපකාරී ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩ නොලැබෙන ආකාරයට ක්‍රියා කිරීම ජනමාධ්‍යවේදීන්ගේ ද වගකීමකි. යුද්ධය වාද විවාද මැද කරන දෙයක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ද නොවේ. ජනමාධ්‍යවේදීන් යුද්ධය වාර්තා කළ යුත්තේ ද, විශ්ලේෂණය කළ යුත්තේ ද යුද්ධයට ආවේණික එම ගතික ස්වභාවය ද සැලකිල්ලට ගනිමිනි.

ජනමාධ්‍ය සංවිධාන පහක නායකයන් විපක්ෂ නායකයා හමුවී තමන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. රටේ පාලකයා හා විරුද්ධ පක්ෂ නායකයා සමග මේ ප්‍රශ්න කතා කිරීම වැදගත් ය. ඒ සමග මාධ්‍ය මර්දනය මෙම දේශපාලන ක්‍රමයේ තියන ලක්ෂණයක් බව ද ඔවුන් අමතක නොකළ යුතු ය.

ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ මිස, ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති ක්‍රමයක් තුළ තිබිය නො හැකි ය. රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අර්ධ ඒකාධිපති ක්‍රමයක් ලෙස මිස, එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය නො හැකිය.

විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු බලයට පැමිණි හැම පාලකයකුම ජනමාධ්‍ය නිදහස තමන්ගේ පාලනයට ප්‍රශ්නයක් වන විට ජනමාධ්‍ය නිදහස මර්දනය කළේ ය. ඒ හැම පාලනයක් තුළ ම ජනමාධ්‍යවේදීන් අඩු වැඩි වශයෙන් ඝාතනයට හා පහරදීම්වලට ලක්විය. ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් පාලනය කළේ ය. වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ ඒ පැරණි ජවනිකාවේ අලුත් පිටපතක් පමණ ය.

ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය නිදහස අවශ්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ ඉලක්කය ඇතිව ඔවුන් ක්‍රියා කළ යුතු යි. තට්ටු මාරු ක්‍රමයෙන් එහා ගිය දැක්මක් ඔවුන් ඇති කරගත යුතු ය. ඔවුන් ජනාධිපති හෝ විපක්ෂ නායකයා සමග කරන සාකච්ඡාවලදී ද ඒ බව ඔවුන්ට අවධාරණය කළ යුතු ය.