වාසනාව, ප්‍රායෝගික දැනුම හෝ දෘඪ අධිෂ්ඨානය නැත්නම්, ඒ සියල්ල නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ නූතන ශ්‍රී ලංකා දේශපාලන ගමන් මගෙහි විප්ලවකාරී වෙනසක් ඇති කළ ජන නායකයා ලෙස ඉතිහාසයට එකතුවීමට නියමිතය. එල්ටීටීඊයට එරෙහිව ඔහු ආරම්භ කළ යුද්ධ ව්‍යාපාරය තුළ පහසුවෙන් ගැලවිය නොහැකි අවුලක පැටලී ඔහු විනාශ වී යනු ඇති බව බොහෝ විචාරකයන්ගේ විශ්වාසය වී තිබුණි. එහෙත් එල්ටීටීඊයේ ශක්තිය හා හැකියාව පිළිබඳව දේශීය මට්ටමෙන් හා ලෝක මට්ටමෙන් පැවති ජනප්‍රිය විශ්වාසය බොරු කරමින් අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන බලපෑම්වලට යට නොවී එල්ටීටීඊයට එරෙහිව කෙරෙන සාර්ථක යුද්ධ ව්‍යාපාරයකට ඔහු නායකත්වය දුන්නේය. එල්ටීටීඊය අල්ලා ගෙන සිටි භූමිය ඔවුන්ට අහිමි කිරීමෙන් පසුත් යුද මුක්ත කලාපය තුළ එල්ටීටීඊ නායකයන් සමග කොටුවී සිටි සිවිල් ජනයා මුදාගැනීම පිළිබඳ සංකීර්ණ සංවේදී ප්රශ්නයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනාගනු ඇති බව බොහෝ දේශීය හා විදේශීය විචාරකයන්ගේ පිළිගැනීම වී තිබුණි.
ඔවුන් බලහත්කාරයෙන් එල්ටීටීඊය හිරකරගෙන සිටිනවාද නැතිනම් හමුදා පාලන ප්‍රදේශවලට ඒමට තිබෙන අකමැත්ත නිසා සිය කැමැත්තෙන් එහි සිටීමට තීරණය කරගෙන සිටිනවාද යන්න හරිහැටි තේරුම් ගැනීමට අමාරු ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය. එල්ටීටීඊ නායකයන් එහි සිටින ජනතාවගෙන් කිසියම් විශාල කොටසක් සමග සමූහ දිවිනසා ගැනීමකට ගියහොත් විය හැක්කේ කුමක්ද කියන ප්‍රශ්නයද තේරුම් ගැනීමට අමාරු සංකීර්ණ ප්‍රශ්නයක් ලෙස මතුවී තිබුණි. ඒ සියල්ලට අතිරේකව එහි හිර කරගෙන සිටින ජනයාට බරපතළ හානියක් ඇති නොවන ආකාරයට ඔවුන් මුදාගැනීමට ඇත්ත හැකියාවක් තිබේද යන ප්‍රශ්නයක්ද මතුවී තිබුණි. අවි අතට ගත් සන්නද්ධ කණ්ඩායමක් ප්‍රමාණයෙන් මෙතරම් විශාල ජන සංඛ්‍යාවක් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවක් මීට පෙර ලෝකයේ කොහේවත් සිදුවී නැත. ඔවුන් නිදහස් කරගැනීම සඳහා හරියටම කුමක් කළයුතුදැ”යි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක ආයතන තබා ඇමරිකා එක්සත් ජනපදය වැනි මහා බලවත්තු ද හරිහැටි දැන නොසිටියෝය.
ඔවුන් දැන සිටි එකම විසඳුම තරමක් දිග සටන් විරාමයක් පමණය. සිංහල හින්දු අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශ කෙරුණු දින දෙකේ ඒකපාර්ශ්වික සටන් විරාමය අසාර්ථක වීමෙන් පසු සටන් විරාමය දීර්ඝ කරන ලෙසට ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරනු ලැබූවත්, ඔවුන්ගේ ඉල්ලීමට අනුකූලව ක්‍රියා කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, එම තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවගේ කෝපයට හේතුවූ බවක් ද පෙනෙන්නට තිබුණි. ඉන්පසු හිරවී සිටින ජනයා මුදාගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වී නම් හෝ එහිදී සැලකිය යුතු ජනතාවක් තුවාල ලැබී නම් හා මරණයට පත්වී නම් (තුවාල ලැබූ හෝ මරණයට පත්වූ අයගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න ප්‍රකාශ වී නැත.) මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතිවිශාල අවුලකට තල්ලු වී යන්නට ඉඩ තිබුණේය. එහෙත් පුදුමයකට මෙන් එම දුෂ්කර කඩුල්ලද ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්ෂ ලෙස ජයගත්තේය.
දැන් ඉතිරි වී ඇත්තේ එහි හිරවී සිටින ඉතිරි ජනතාව සමග සැඟවී සිටින එල්ටීටීඊ නායකයන් පිළිබඳ ප්රශ්නය පමණය. මෙම සාර්ථක යුද ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ පාලනයේ ජනප්රියභාවය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය වී තිබුණද එය විසින් ඉතා වැදගත් ඓතිහාසික කාර්යභාරයක්ද ඉටුකර තිබෙන බව අමතක කිරීම බලවත් වරදකි. ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයට ඇද වැටීම කෙරෙහි බලපා තිබුණු සාධක අතර, වැදගත්ම සාධකය වී තිබුණේ රටේ භූමියේ ඇතිවී තිබුණ බෙදීම්ය. රජයට පමණක් තිබිය යුතු අවි දැරීමේ ඒකාධිකාරී බලය බිඳ වැටී රට තුළ දීර්ඝ කාලයක් තිස්සේ ද්වන්ද්ව පාලනයක් ඇතිවී තිබුණි. ඩීබීඑස් ජෙයරාජ්ගේ ඇස්තමේන්තුවට අනුව යුද්ධය ආරම්භ වීමට පෙර එල්ටීටීඊය රටේ භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 15,300ක් පාලනය කළේය. යාපනය අර්ධද්වීපයට යන්නට ගොඩබිම් මාර්ගයක් නොතිබුණේය.
යාපනේ අර්ධද්වීපයට අවශ්‍ය සැපයුම් ලබාදෙන ලද්දේ අහසින් හෝ මුහුදෙනි. එල්ටීටීඊය එම විශාල භූමි ප්‍රදේශය තුළ තමන්ගේම පාලනයක් පවත්වාගෙන ගියේය. ඔවුන්ට ඔවුන්ගේම පොලිසියක්, අධිකරණ ක්‍රමයක්, රේගු ක්‍රමයක් හා ආදායම් බදු ක්‍රමයක් තිබුණි. තමන්ගේම වන ත්‍රිවිධ හමුදාවක් ද තිබුණි. එම රාජ්‍යයේ ජනාධිපති ලෙස සැලකුණේ ප්රභාකරන්ය. ප්‍රකාශයට පත් කළ ඊලාම් රාජ්‍යයක් නොතිබුණේ වුවත්, තත්වාකාර (de facto) ඊලාම් රාජ්‍යයක් ගොඩනැගී තිබුණි. සාම සාකච්ඡා මෙම තත්වාකාර රාජ්‍යයේ පදනම් ශක්තිමත් කිරීමට හේතුවූවා මිස දුර්වල කිරීමට හේතු නොවීය. මෙතෙක් එල්ටීටීඊයට එරෙහිව දියත් කරන ලද යුද ව්‍යාපාරය ද මොන මොන හේතු නිසා හෝ එල්ටීටීඊයේ පැවැත්ම ශක්තිමත් කළා මිස දුර්වල කළේ නැත. එල්ටීටීඊය තමන්ගේ මෙම රාජ්‍ය ව්‍යාපෘතිය ලෝක දෙමළ ජනතාවට අලෙවි කොට ඒ මගින් උපයන අතිවිශාල ආදායම් ද පෙරළා මෙම ව්‍යාපෘතියේ පදනම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යොදාගත්තේය.
ලෝකයේ බලවත් රටවල් රාශියක් එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කර තිබුණද සාකච්ඡා මගින් ඔවුන්ගේ පාලනයකට ඉඩදිය යුතුයි කියන මතයක් ද ඔවුන් තුළ තිබුණි. එජාප ආණ්ඩුව සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් ඔවුන්ගේ පාලන ප්‍රදේශ නිල වශයෙන් පිළිගන්නා තත්ත්වයක් ද ගොඩනැගී තිබුණේය. එල්ටීටීඊය අවි බලයෙන් ගොඩ නගාගෙන තිබුණු මෙම තත්වාකාර රාජ්‍යය රට අසමත් රාජ්‍යයක් බවට පත්කිරීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ක්‍රියා කළා පමණක් නොව, එය රටේ දේශපාලන ආයතන ක්රමයේ පැවති ගරා හැලීම වේගවත් කරන සාධකයක් ලෙස ද ක්‍රියා කළේය. එය හැමදාමත් පවතින යුදමය තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී තිබුණි. එම යුදමය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා රටට විශාල වියදමක් දරන්නට සිදුවී තිබුණු අතර, යුද හමුදාව සීරුවෙන් තබනවාට අතිරේකව නිල නොවන හමුදා පවත්වාගෙන යෑමට ද සිදුවී තිබුණි.
විටින් විට බලයට පත්වන ආණ්ඩු රටේ පවතින යුදමය වටාපිටාව හා ඒ සඳහා පවත්වාගෙන යන නිල නොවන හමුදා ආත්මාර්ථකාමී දේශපාලන අභිලාස සපුරා ගැනීම සඳහා ද යොදා ගත්තේය. මෙම යුදමය වටාපිටාව දේශපාලන ආයතන ක්‍රමවල ඇති දූෂිතභාවය ද වර්ධනය කළේය. යුද්ධය අයථා ලෙස ධනය උපයා ගැනීමට විවෘත වී තිබුණු ලොකුම මාර්ගයක් වී තිබුණි. මහින්ද රාජපක්ෂගේ යුද ව්‍යාපාරය රටේ අනාගත යහපත සඳහා කරන ලද ලොකුම දේ ලෙස සැලකිය හැක්කේ ප්රභාකරන් පවත්වාගෙන ගිය තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම කුඩු පට්ටම් කොට ඔහු අවි බලයෙන් අල්ලාගෙන සිටිය භූමිය මුළුමනින් නිදහස් කරගනිමින් නැවත රට භෞමික වශයෙන් එක රටක් බවට පත්කිරීමය. එතැන් සිට ඥානාන්විතව රාජ්‍යයේ අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන අනෙකුත් හේතූන් ද ජයගැනීමට සමත් වෙතොත්, ලස්සණින්, සාධාරණභාවයෙන්, පොහොසත්කමෙන් හා නිදහසින් බැබලෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකිය.
ප්රභාකරන් පරාජය කිරීම වැදගත්ය. එහෙත් ප්රභාකරන් යුදමය වශයෙන් පමණක් පරාජය කිරීම ප්‍රමාණවත් නැත. ඔහු දේශපාලන වශයෙන් ද පරාජය කළ යුතුය. මේ රට සිංහලයන්ගෙන් පමණක් නොව, මෙරට ජීවත් වන දෙමළ මිනිසුන්ගේ ද රට වශයෙන් පිළිගන්නා තැනකට මෙරට දෙමළ ජනතාව ගෙනා යුතුය. ප්රභාකරන්ගේ වෙනම රාජ්‍යය තුළ ගත කෙරෙන ජීවිතයට වඩා යහපත්, තෘප්තිමත්, සාධාරණ ජීවිතයක් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ තමන්ට ඇති බව පිළිගන්නා තැනකට ඔවුන් ගෙනා යුතුය. මේ මහා ආරාවුල තුළ දේශපාලන පක්ෂ ලෙස බෙදී සිටින පාක්ෂික ජනතාවට හා ඔවුන්ගේ නායකයන්ට ද උගත හැකි වැදගත් පාඩමක් ඇත්තේය. ප්රභාකරන් කෙනෙකු මතු කරගනිමින් බිහිවූ මෙම මහා අර්බුදය කෙරෙහි සමහර දෙමළ නායකයන් අතර පැවති බෙදුම්වාදී හැඟීම් පමණක් නොව, දෙමළ ජනයා සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් ලෙස නොසැලකීම හා ඒ ආශ්රයෙන් සිදුවූ වෙනස්කම් බලපෑවේය.
ඒ ලක්ෂණය ඊට සමාන ආකාරයකින් විරුද්ධ පක්ෂ කෙරෙහි ද යොදාගත හැකිය. සිරිතක් වශයෙන් අපේ රටේ ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය පීඩාවට පත් කරයි. 77ට පෙර පැවති ක්‍රමය තුළ ආණ්ඩු මාරුවීමට ගතවූ කාලය අවුරුදු 05ක් වීම හේතු කොටගෙන ආණ්ඩු පක්ෂයෙන් එල්ල වන පීඩාව දරාගෙන සිටීමේ හැකියාව විරුද්ධ පක්ෂවලට තිබුණි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ආණ්ඩු මාරුවන කාලය අවුරුදු 5ක් වෙනුවට අවුරුදු 18ක් හෝ 24ක් දක්වා දික්වී තිබේ. මේ නිසා ආණ්ඩු පක්ෂයකින් විරුද්ධ පක්ෂයකට එල්ල වන පීඩාවන් දරාගෙන සිටීම වඩා දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ. 1977 බලයට පැමිණි එජාප ආණ්ඩුව බලයට පත් වහාම ශ්‍රීලනිප ආධාරකරුවන්ට පහර දුන්නේය. කිසියම් විශාල පිරිසකගේ ගෙවල් දොරවල් ගිනි තැබුවේය. රක්ෂාවලින් පළවා හැරියේය. තවදුරටත් රාජ්‍ය සේවයේ ඉතිරි වී සිටි අය දුෂ්කර ප්‍රදේශවලට මාරු කර යැව්වේය.
උසස්වීම්වලට අවහිර කළේය. රක්ෂාවලට බඳවා ගැනීමේදී සුදුසුකම් වෙනුවට දේශපාලන පක්ෂපාතීත්වය ප්‍රධාන සුදුසුකම බවට පත්කර ගත්තේය. ශ්‍රීලනිප ක්‍රියාකරුවන් බොරු නඩුවලට පැටලුවේය. ශ්‍රීලනිප නායිකාව නින්දාවට ලක් කරනවාට අතිරේකව ඇගේ ප්‍රජා අයිතිය ද අහෝසි කළේය. ඒ සමග ඊට පෙර ශ්‍රීලනිප පාලන යුගයේදී පළිගැනීම්වලට ලක්වූ එජාප ආධාරකරුවන්ට යහමින් වන්දි ගෙවන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන ලදි. අවුරුදු 17ක් බලයේ සිටි එජාප ආණ්ඩුව ශ්රීලනි පක්ෂ ආධාරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් 94 බලයට පත්ව අද දක්වා පාලනය කරන පොදු පෙරමුණ විසින් ද එජාප ආධාරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලදි. එම ආණ්ඩු ද උපරිම වශයෙන් එජා පාක්ෂිකයන් පීඩාවට පත් කළේය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය නෛතික වශයෙන් අහිමි කළේ නැතත්, භෞතික වශයෙන් අහිමි කළේය.
වාසනාවකට මෙන් සිරිමා බණ්ඩාරනායක හෝ රනිල් වික්‍රමසිංහ ප්රභාකරන් හෝ විජේවීර මෙන් ආයුධ අතට ගන්නා තැනකට ගියේ නැත. එහෙත් ඒ වෙනුවට මේ ක්‍රමය තුළ විරුද්ධ පක්ෂය රාජ්‍ය බලයේ සිටින ආණ්ඩු පක්ෂයට උපරිම ලෙස බාධා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. පසුගිය ජනාධිපතිවරණයෙන් බලය ලැබෙන්නට නියමිතව තිබුණේ රනිල්ටය. එහෙත් බලය ලැබුණේ මහින්දටය. ඉන්පසු රනිල් කළේ හොඳ නරක නොසලකා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන හැමදෙයක්ම කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමය. ඒ සියල්ලෙහි පරමාර්ථය වූයේ හොඳින් හෝ නරකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමා බලයට පත්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊය සමග යුද්ධ කරන තැනකට ගිය විට රටට ආධාර කිරීමෙන් වැළකී සිටින ලෙස ජාත්‍යන්තර රටවලින් ඉල්ලා සිටින තැනකට එම පක්ෂය ගියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ලබාගැනීමට උත්සාහ කළේය.
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙන ණය පහසුකම්වලට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මෙය රනිල්ගේ වරදක් නොව දේශපාලන ක්රමයේ වරදකි. රනිල් බලයේ සිට මහින්ද විරුද්ධ පක්ෂයේ සිටියේ නම්, රනිල්ට එරෙහිව මහින්ද ඊට සමාන ආකාරයකින් ක්රියාකරන්නට ඉඩ තිබුණි. එය මෙම ක්‍රමය විසින් විරුද්ධ පක්ෂයට බලකර තිබෙන තත්ත්වයකි. එහෙත් එවැනි ක්‍රමයක් රටේ යහපතට හේතුවිය හැක්කේ කෙසේද? විරුද්ධ පක්ෂය එවැනි අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට, මෙම දේශපාලන ක්‍රමය තුළ බලයට පත් ජනාධිපතිවරයෙකු ඊළඟ ජනාධිපතිවරණයේදී මිස, ඉන් මෙපිට පෙරළා දැමිය නොහැකි බව තේරුම් ගනිමින් අවුරුදු හයකින් නොවේ නම් අවුරුදු 12කින් බලය දිනාගන්නා වැඩපිළිවෙලක් ඉලක්ක කර නොගෙන වැඩ කරන තැනකට ගියේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන හොඳ වැඩවලට සහාය දෙන හා කරන නරක වැඩවලට පමණක් විරුද්ධව ක්‍රියා කරන යථාර්ථවාදී ප්රතිපත්තියකට ඒමේ හැකියාව එජාපයට ලැබෙන්නට තිබුණි.
එය එසේ වී නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබන ජයග්රහණයන්ගේ කීර්තියෙන් කොටසක් එජාපයට ලැබෙන්නට ඉඩ තිබුණි. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබෙන අන්‍යොන්‍ය වෛරසහගත ආකල්ප ද තුනීවන්නට ඉඩ තිබුණි. එසේම ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ආධාර අහිමි කරගැනීමෙන් තොරව යුද්ධය ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයෑමටද හැකිවන්නට ද ඉඩ තිබුණි. කවර ජනනායකයකුවත් සර්වතෝභද්‍ර වන්නේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුළ හා පාලන ශෛලිය තුළ ද වැරදි හා අඩුපාඩුකම් තිබෙන්නේය. ඒ වැරදි නිවැරදි කරගැනීම අරමුණු කරගත් සාධාරණ විවේචනයක් තිබිය යුතුය. ඒ සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් ගෙවුණු කෙටි පාලන කාලය තුළ සමහර අංශවලදී අසමසම කාර්යභාරයක් කර තිබෙන බව ද පිළිගත යුතුය. ඔහු ඉතිහාස ගතවීමට එල්ටීටීඊයේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය බොරු කිරීම පමණක් ප්රමාණවත්ය.
එහෙත් ඔහු ඒ මගින් හිමි කරගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨ ජන නායකයකු හිමි කරගත යුතු ශ්‍රේෂ්ඨත්වයෙන් එක්තරා ප්‍රමාණයක් පමණය. එළාර යුක්තිය ඉටු කිරීම සඳහා සිය පුත්‍රයාට ද දඬුවම් කළේය. දුටුගැමුණු ද්වන්ද්ව යුද්ධයකින් තමන් අතින් පරාජය වූ එළාරට උපරිම ගෞරවයක් ලබා දුන්නේය. අතිවිශාල යුද ජයග්‍රහණයකින් පසුත් ධර්මාශෝක මෙන් ඒ නිසා විපතට පත් මිනිසුන් ගැන කම්පාවූයේය. ප්‍රභාකරන්ගෙන් පසු දෙමළ ජනතාව වඩා හොඳින් හා ගෞරවයෙන් බලාගැනීමේ වගකීම ජනාධිපති සියතට ගත යුතුය. දෙමළ ජනතාව කෙරෙහි පමණක් නොව, විරුද්ධ පාක්ෂිකයන් කෙරෙහි ද සාධාරණව ක්‍රියා කරන හා යුක්තිය ඉටු කරන නායකයකු බවට පත්විය යුතුය. ආණ්ඩුවේ නායකයන් හෝ ආධාරකරුවන් බරපතළ වැරදි කරන අවස්ථාවලදී ඔවුන්ට දඬුවම් පැමිණවීමට ඉඩදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. රටේ බොහෝ අංශවල පවතින පරිහානිය හා පවතින දේශපාලන ක්‍රමය අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධය තේරුම් ගනිමින් දූෂණයට, භීෂණයට ඉඩක් නැති රටේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව උපරිම කරන, බෙදීම වෙනුවට එකමුතු බව ශක්තිමත් කරන, වර්ගවාදයට, ආගම් භේදයට හා කුල භේදයට ඉඩක් නැති, සියලු පුරවැසියන්ට සමාන අයිතීන් ලබාදෙන, නීතියේ පාලනය රජයන නව ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ඇතිකර ගන්නේ කෙසේද යන ප්රශ්නය කෙරෙහි ද බැ?රුම් අවධානයක් යොමු කළ යුතුය.
ශ්‍රේෂ්ඨ ජනනායකයකු තමන්ට ලැබෙන අර්ධ ශ්රේෂ්ඨතාවකින් සෑහීමකට පත්වන්නේ නැත. පූර්ණ ශ්‍රේෂ්ඨතාව අත්පත් කරගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරති. ජනනායකයකුගේ ශ්‍රේෂ්ඨභාවය තීරණය කරන්නේ වර්තමානයේ ජීවත්වන්නන්ගෙන් පමණක් නොව, අනාගත පරපුරේද ජීවිත යහපත් කිරීමට හා සැපවත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට ලැබෙන වැදගත්කම හා ඒවාහි ප්‍රායෝගිකතාව අනුවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මේ රටේ ජනයා අපේක්ෂා කරනුයේ සාමය හා විනය රජ කරන, දූෂණය හා නාස්තිය අවම කළ, විවේචන ඉවසන, ප්රජාතන්ත්රවාදී යහපාලනයක් සහිත සමෘද්ධිමත් රටකි. ඒ ඉලක්ක ජයගැනීමට ඔහු සමත් වේ නම්, ඔහු නූතන ශ්‍රී ලංකාව බිහිකළ ශ්‍රේෂ්ඨතම ජන නායකයා ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේය.