භාෂණගේ දෙමළ සංහාර කතාව ගැන මා විසින් ලියන ලද ලිපියට පිළිතුරු ලිපි දෙකක්ම පළවී තිබුණි. භාෂණ උයමින් සිටි දෙමළ සංහාර මැල්ලුමට ලුණු ඇඹුල් එකතු කළ මහාචාර්යවරයා ගැන ඒ ලිපියේදී ඔහුගේ නම සඳහන් නොකොට එක්තරා මහාචාර්යවරයෙකු ලෙස සඳහන් කිරීම ඔහුගේ හිත් වේදනාවට හේතුවී තිබෙන බව දැනගන්නට ලැබුණි. මා එසේ ලීවේ භාෂණ මෙන් නොව ඔහු ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කෙනෙකු ලෙස සලකා ඔහුගේ ආරක්ෂාව සලකාය. එම සඳහන නිසා මා අතින් වරදක් වී නම් ඒ ගැන මම එතුමාට මාගේ අවංක කනගාටුව පළ කරමි. මෙම වාදවල අරමුණ තිබෙන බෙදීම් තුනීකිරීම මිස, වර්ධනය කිරීම නොවේ. මෙම මූලික ප්රශ්නයේදී රට අන්තවාදී කඳවුරු දෙකකට බෙදී සිටීම රටේ යහපතට හේතුවන්නේ නැත. මෙවැනි වාද විවාදවල අවසාන අරමුණ විය යුත්තේ සමාජ අවබෝධය වර්ධනය කරගනිමින් ජාතිවාදී ආගම්වාදී හෝ නොවන සියලුදෙනා එකට ඒකරාශී කළ හැකි පොදු ජාතික දෘෂ්ටියක් ඇති කරගැනීමය.
අන්තර්ජාතික නීතිය
භාෂණ කියන අමානුෂික හා අවලස්සණ දේවල් සිදුවී තිබෙන්නේ රටේ ප්රතියුද්ධ ව්‍යාපාරයක් නොතිබියදී නම්, නිසැක වශයෙන්ම ඔහු කියන තත්ත්වය ජාත්‍යන්තර නීතිය අනුව වර්ග සංහාරයක් ලෙස සැලකිය හැකිය. එපමණක් නොව, එම තත්ත්වයට වගකිවයුතු ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති පමණක් නොව, රටේ ජනාධිපති ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඉදිරියට වුවත් ගෙනයා හැකිය. එහෙත් ඒ හැමදෙයක්මත් සිදුවී ඇත්තේ හිස් අවකාශයක නොව, ඉතාමත් නවීන ආයුධවලින් සන්නද්ධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයක් වෙනම රාජ්‍යයක් සඳහා බලවත් යුද ව්‍යාපාරයක් දියත් කර තිබුණු අවකාශයකය. වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළ එල්ටීටීඊයට තමන්ගේ පාබල හමුදාවක්, නාවික හමුදාවක් පමණක් නොව, දියුණු තත්ත්වයක නොවූවත් පොඩි ගුවන් හමුදාවක් ද තිබුණේය. ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට නැති මරාගෙන මැරෙන බලකායක්ද සිටියේය. ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙන ඔවුන්ගේ අවි ආයුධ එකතුව යුදමය වශයෙන් ඔවුන් හිමි කරගෙන තිබුණු බලපරාක්‍රමයේ තරම කියාපායි.
ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව කරන යුද්ධයේදී ශ්‍රී ලංකාවේ තබා අන්තර්ජාතික ප්‍රජාව අතරවත් ගරු කටයුතු තත්ත්වයක් හිමි කරගත් සංවිධානයක් නොවීය. විවිධ අරමුණු වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වන ආයුධ සන්නද්ධ ව්‍යාපාර අතර ගරු කටයුතු පිළිගැනීමක් හිමි කරගත් සංවිධාන ගැනද කලාතුරකින් හෝ අසන්නට ලැබෙන්නේය. එහෙත් ලෝකයේ තිබෙන සියලු ත්‍රස්තවාදී සංවිධාන අතරින් එල්ටීටීඊය ලෝක මට්ටමෙන් හිමි කරගෙන තිබුණු පිළිගැනීම වූයේ සංවිධානාත්මක ශක්තියෙන් පළමු තත්ත්වය හිමිකර ගත්තේ වුවත්, ඉතාමත් ම්ලේච්ඡ හා කුරිරු සංවිධානයක් වශයෙනි. බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සලකා එය ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් විශාල ගණනක් තහනම් කර තිබුණු ව්‍යාපාරයක් විය. භාෂණ කියන සියලු වැරදි හා හානි සිදුවී ඇත්තේ එම බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව දියත් කෙරුණු යුද්ධ ව්‍යාපාරයේදීය.
රටවල් දෙකක් අතර හෝ කිහිපයක් අතර කෙරෙන යුද්ධයකදී හෝ රටක් අභ්‍යන්තරයේ කෙරෙන සිවිල් යුද්ධයකදී සිවිල් ජනයාගේ ආරක්ෂාවට ලැබිය යුතු වැදගත්කම ජාත්‍යන්තර නීතිය අවධාරණය කරයි. එහෙත් ඒ සමග යුද්ධයකදී හෝ සිවිල් යුද්ධයකදී සිවිල් ජනයාට හානි සිදුවන බව ද ජාත්‍යන්තර නීතිය පිළිගනී. ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වන්නේ එවැනි යුද්ධයකදී සිවිල් ජනයාට සිදුවන හානි පිළිගත නොහැකි තරම් විශාල මට්ටමකින් පවතින්නේ නම් පමණය. යුද්ධයකදී හෝ සිවිල් යුද්ධයකදී ගුවනින් බෝම්බ හෙළීමට තිබෙන අයිතිය ද ජාත්‍යන්තර නීතිය පිළිගනී. එය අනුමත නොකරන්නේ සිවිල් ජනයාට අතිවිශාල හානියක් ඇති කිරීමට හේතුවන බෝම්බ දැමීම් (Carpet Bombing) පමණය. යුද්ධයකදී හෝ සිවිල් යුද්ධයකදී අයිතිවාසිකම් තුනක් හැර අන් මූලික අයිතිවාසිකම් සියල්ල තාවකාලික ලෙස නතර කිරීමේ අයිතිය රාජ්‍යයකට ඇති බව ද ජාත්‍යන්තර නීතිය පිළිගනී.
යුද්ධයකදී හෝ සිවිල් යුද්ධයකදී ආරක්ෂාව සඳහා ජනතාව උන්හිටි තැන්වලින් තාවකාලික ලෙස ඉවත් කිරීමට රාජ්‍යයකට ඇති අයිතිය ද ජාත්‍යන්තර නීතිය පිළිගනී.
වර්ග සංහාරය
අන්තර්ජාතික නීතිය අනුව අවි දැරීමේ ඒකාධිකාරී අයිතිය ඇත්තේ රාජ්‍යයට පමණය. පූර්ණ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් කෙරෙන (ෑංඑැරපසබ්එසදබ) ක්‍රියාදාමයකදී හැර අයිතිවාසිකම් අහිමි කිරීම්වලදී පවා ආයුධ අතට ගෙන කරන නැගී සිටීම් ජාත්‍යන්තර නීතිය අනුමත කරන්නේ නැත. බාහිර ප්රශ්නවලදී පමණක් නොව, අභ්‍යන්තර ප්‍රශ්නවලදීද ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමට රාජ්‍යයට තිබෙන අයිතිය ජාත්‍යන්තර නීතිය පිළිගනී. ශ්‍රී ලංකාවේ පවතින යුද්ධ ආශ්රයෙන් පැන නැගීි තිබෙන මානව ප්‍රශ්න ගැන ලෝක මට්ටමෙන් කෙරෙන සංවාදයක් ඇතත්, ශ්‍රී ලංකාවේ කෙරෙන වර්ග සංහාරයක් ගැන සංවාදයක් එල්ටීටීඊ හිතවතුන් හා එල්ටීටීඊ ලෝකය තුළ මිස, බාහිර ලෝකය තුළ නොපවතී. එවැනි සංවාදයක් වර්ග සංහාර විෂය භාර ලෝක ආයතන තුළ පවා සිදු නොවේ. ආරක්ෂක මණ්ඩලය තුළ පවා සාකච්ඡාවට ගැනීමට උත්සාහ කෙරුණේ වර්ග සංහාරයක් පිළිබඳ ප්‍රශ්නයක් නොව, යුද්ධය ආශ්රයෙන් මතුවී තිබෙන වෙනත් මානව කාරණා පිළිබඳවය.
ශ්‍රී ලංකාවේ වර්ග සංහාරයක් සිදුවී නම්, එම විෂය භාරව ක්‍රියාකරන ලෝක ආයතන ඒ ගැන නිහඬව සිටින්නේ ඇයි? වර්ග සංහාරය ගැන ජර්මන් තානාපති හමුවී කතා කරන්නට පෙර වැල්ලවත්තේ, කොටහේනේ හෝ මට්ටක්කුලියේ දෙමළ මිනිසකු හමුවී දෙමළ සංහාරය ගැන අසා දැනගන්නා ලෙස භාෂණ මට අභියෝග කර තිබුණි. භාෂණ තමන් ජීවත් වන ජර්මනියේ හෝ යුරෝපයේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාව හිතන මතන විදිය මට වඩා දන්නවා විය හැකිය. එහෙත් මට හැමදාමත් දෙමළ මිනිසුන් සමග සම්බන්ධකම් තිබුණේය. මට, මා ඇසුරු කරන දෙමළ මිත්‍රයෝ ද සිටිති. මහාචාර්ය සී. රාමක්‍රිෂ්ණන් මීට මාසයකට පමණ ඉහතදී වැල්ලවත්තේදී එකතු කර දුන් දෙමළ නියෝජිත පිරිසක් සමග මම දෙමළ සංහාර කතාව ගැන සාකච්ඡා කළෙමි. ඊට පෙර දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් හා මාවෙයි සේනාධිරාජා සමගද එම විෂය පැය හතරක් පහක් කතා කර ඇත්තෙමි. ඊටත් අතිරේකව නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් හතරදෙනා සමග ද එම විෂය ගැන සාකච්ඡා කර ඇත්තෙමි.
ඔවුන් කල්පනා කරන ආකාරය හා භාෂණ කල්පනා කරන ආකාරය සමාන නැත. ඒ නිසා මා මේ සියල්ල කතා කරන්නේ සිංහලයන්ට සීමාවූ ලෝකයක සිටයැ”යි කිවහොත් එය සත්‍යයක් වන්නේ නැත. ජිනීවා සම්මුතියේ එන සටන් කරන භටයන් පිළිබඳ අර්ථකථනය අදට නොගැළපෙන්නක්ය යන්න එම විෂය ගැන කතා කරන බොහෝ විචාරකයන්ගේ මතය වී තිබේ. එහි සටන් කරන්නන් (Combatants) අර්ථ දක්වා ඇත්තේ ආයුධ, ප්‍රසිද්ධියේ රැගෙන යන, හඳුනාගත හැකි ලකුණු දරන හා හමුදා ප්‍රධානියකුගේ අණසක යටතේ ක්‍රියා කරන පුද්ගලයන් ලෙසය. එහෙත් අද මේ අර්ථකථනය කොතරම් වලංගුද? ත්‍රස්තවාදී ව්‍යාපාරයක අනුගාමිකයකු විටෙක ප්‍රසිද්ධියේ අවි ඇතිව සිටිය හැකිය. අවි නැතිව හා හඳුනා ගැනීමට සලකුණු නැතිව සිවිල් වැසියකු ලෙස ද සිටිය හැකිය. ඊටත් අතිරේකව ඔහුම ඒ දෙකටම නැති මිනිස් බෝම්බයක් ද විය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මියගියවුන් හා තුවාල ලැබූවන් පිළිබඳව විටින් විට සංඛ්‍යා ලේඛන ප්‍රකාශ කර ඇති බව සැබෑය.
එහෙත් ඔවුන් තවත් අවස්ථාවලදී එම සංඛ්‍යා ලේඛන හරි ගණන් බැලීමකින් පසු කරන ලද ඒවා නොවන බව ද ප්‍රකාශ කර තිබෙන බවද අමතක නොකළ යුතුය. යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන්ගේ මළ සිරුරු අතර යුදබිමේ මියගිය එල්ටීටීඊ සටන්කරුවන් ද සිටිය හැකිය. තුවාලකරුවන් සම්බන්ධයෙන් ද එය විය හැකිය. එල්ටීටීඊය සේ ම භාෂණ ද වර්ග සංහාරයක් ගැන කරන සංවාදය ආරම්භ කළේ එල්ටීටීඊයට ඔවුන් එතෙක් පාලනය කළ භූමියද, ළඟ තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් ද අහිමි වී ඔවුන් පූර්ණ වශයෙන් පරාජයට පත්වීමෙන් පසුවය. ඒ සමග ඔවුන්ට ඉතිරි වී තිබුණු එකම රැකවරණය වූයේ සිවිල් ජනයා ආරක්ෂක පළිහක් ලෙස පාවිච්චි කිරීමය. ඊට පෙර භාෂණ සේ ම වර්ග සංහාරයක් ගැන කතා කරන අන් විචාරකයන්ද මහත් පහත් අභිරුචියෙන් කතා කළේ කිලිනොච්චියේදී ආරක්ෂක හමුදාවන්ට හිමිවන්නට නියමිත අවාසනාවන්ත ඉරණම ගැනය. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මන් හමුදා ලෙනින්ග්රූඩයේදී කොටු කරන ලැබූ ආකාරයට ඔවුන් ද කොටු කරනු ඇති බවට වහසි බස් කීවේය.
ප්රභාකරන් කීවේද ලේ විලක් මැද පීනන්නට බලාගෙන කිලිනොච්චියට ඇතුළු විය යුතු බවය. එල්ටීටීඊය ගැන කෙරෙන පුරාජේරු කතා අවසන් වී දෙමළ සංහාරයක් ගැන කෙරෙන සිත් සසල කරවන අනුවේදනීය කතා ආරම්භ වන්නේ මෙම කතාකරුවන් අපේක්ෂා කළ විස්මයජනක කිසිවක් සිදු නොවී එල්ටීටීඊය අන්ත පරාජයක් ලබන තත්ත්වයකට පත්වීමෙන් පසුවය. ඉන්පසු බටහිර රටවල එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාව ආරම්භ කරන විරෝධතා ව්‍යාපාර පිළිබඳව කදිම විග්‍රහයක් ඩී.බී.එස්. ජෙයරාජ් විසින් “මොන්ටාජ්” සඟරාවේ අප්‍රේල් කලාපයට ලියා තිබුණි. ඔහුට අනුව මෙම විරෝධතා ව්‍යාපාරවල අරමුණ දෙපැත්තට මැදිවී පහරකන දෙමළ ජනයා නොවේ. යුද්ධයෙන් පරාජයට පත්ව සිටින එල්ටීටීඊයේ පණනළ කෙසේ හෝ බේරාගැනීමය. ජෙයරාජ් කියන්නේ යුද්ධයට මැදිවී සිටින සිවිල් ජනයාට සිදුවන හානි ගැන ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරන මුත්, සිවිල් ජනයා ආරක්ෂක පළිහක් කරගැනීම ගැන එල්ටීටීඊයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකරන බවය.
බටහිර රටවල් සිවිල් ජනයාට පිටවී යෑම සඳහා තාවකාලික සටන් විරාමයක් ඉල්ලා සිටින විට විරෝධතාකරුවන් ස්ථිර සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, එහි අරමුණ එල්ටීටීඊය ආරක්ෂා කිරීම බවත්ය.
දෙමළ අභියෝගය
භාෂණ සිය ලිපියේ මාගේ “දෙමළ අභියෝගය” ගැන ද සඳහන් කරයි. “දෙමළ ජනයාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය පදනම් විනාශ කොටගෙන මෙරට පාලක පන්තියේ බලහවුල් විසින් දියත් කරන ලද සැලැස්මක් තිබුණේදැ”යි කුකුසක් ඇත්නම් වික්ටර් අයිවන් කලකදී ලියන ලද “දෙමළ අභියෝග” කෘතිය කියවා බැලීම අයිවන්ටම වැදගත් විය හැකි බව ඔහු කියයි. එම කෘතියේ එන මූලික කරුණු අදත් මම පිළිගනිමි. දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවී ඇති බව හා එය නිවැරදි කළයුතු බව අදත් මම කියමි. එහෙත් දෙමළ ජනතාව විනාශ කිරීම සඳහා පාලක පක්ෂවලට පොදු සැලැස්මක් තිබුණු බව මා එහි කියා නැති අතර, එවැනි සැලැස්මක් තිබුණේයැ”යි මා පිළිගන්නේද නැත. ඇමරිකාවේ කල්ලන්ට ද දෙමළ ජනතාවට වඩා වැඩි අසාධාරණයක් සිදුවුණි. එහෙත් ඒ අසාධාරණය ජයගැනීම සඳහා ඇමරිකන් සුද්දන් ඝාතනය කරන තැනකට හෝ කල්ලන් සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනකට කල්ලන් යොමුවූයේ නැත.
මා මීට දශකයකට පමණ ඉහතදී විජේවීර හා ප්රභාකරන් අතර පවතින සමානකම් හා අසමානකම් ගැන ලිපියකදී ඒ දෙදෙනාම මාක්ස්, චේ හෝ සුභාෂ් චන්ද්‍රබෝස්ගේ ගෝලයන් නොවී, මහත්මා ගාන්ධිගේ ගෝලයන් වී නම් අනුන් නොමරා ඔවුන් ද නොමැරී ඔවුන් නියෝජනය කළ සමාජ බලවේගයන්ගේ දුක් ගැනවිලිවලට සාර්ථක විසඳුමක් ලබාගැනීමට ඉඩ තිබුණේයැ”යි ප්‍රකාශ කර ඇත්තෙමි.
සමාන ලෙස තර්ක කිරීම
භාෂණ තර්ක කරන්නේ ද, එල්ටීටීඊය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයාට හා යුද හමුදාපතිවරයාට එරෙහිව අපරාධ අධිකරණය (ICC) ඉදිරියේ නඩුවක් පැවරීමට අසාර්ථක උත්සාහයක නිරත වී සිටින බෘෘස් ෆීන් තර්ක කරන ආකාරයටය. ඔහු ඒ සඳහා සකස් කර ඇති මූලික ලියවිල්ලේ ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සඳහා සැලසුම් කොට දියත් කෙරුණු දුෂ්ට වැඩපිළිවෙලක් දශක ගණනාවක් තිස්සේ අදියර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර ඇති බවට තර්ක කරයි. භාෂණ තර්ක කරන්නේ ද ඊට සමාන ආකාරයටය. භාෂණ ඉදිරිපත් කරන තර්ක ෆීන්ගෙන් ණයට ගත්තේද නැතිනම් ෆීන් භාෂණගෙන් ණයට ගත්තේද යන්න පැහැදිලි නැත. දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩ නොදීම නිසා රාජ්‍ය සේවයේ දෙමළ සහභාගිත්වයේ පහළ වැටීමක් ඇතිවිය. එසේ තිබියදීත් රාජ්‍ය සේවයේ ඉතිරි වී සිටි සමහර දෙමළ රාජ්‍ය සේවකයන්ට උසස්ම තනතුරු දක්වා ඉහළ ඒමට පුළුවන්කමක් ලැබුණේ ඔවුන් රාජ්‍ය සේවයෙන් හිතාමතා පළවා හරින සැලසුම්සහගත වැඩපිළිවෙලක් නොවීම නිසාය.
1977න් පසු කාලයකට අදාළව දැක්විය හැකි දත්ත සමහරක් මෙසේය. එම අවුරුදු තිහ තුළ දෙමළ ජාතිකයන් දෙදෙනෙක් පොලිස්පති ධුරයට පත්වූහ. එම අවුරුදු තිහේ කාලය තුළ නීතිපති ධුරයට පුද්ගලයන් පස්දෙනෙකු පත්වී ඇති අතර, ඉන් දෙදෙනෙක් දෙමළය. එම කාලය තුළ පුද්ගලයන් හයදෙනෙකු අගවිනිසුරු ධුරයට පත්වී තිබෙන අතර, ඉන් එක් අයෙක් දෙමළය. රණසිංහ ප්‍රේමදාස යුගයේදී මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය ඉසිලුවේද නියෝජ්‍ය ලේකම් ධුරය ඉසිලුවේද දෙමළ ජාතිකයන් දෙදෙනෙකි. වර්තමානයේ විගණකාධිපති ධුරය උසුලන්නේ ද දෙමළ ජාතිකයෙකි. ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ, විද්‍යාඥ යන හැම අංශයකම පාහේ කැපී පෙනෙන දෙමළ නියෝජනයක් දැකිය හැකිය. රාජ්‍ය භාෂා පනතෙන් හා විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියෙන් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවී ඇතත්, දෙමළ ජනතාව සමාජ, ආර්ථික ජීවිතයේ වැදගත් අංශවලින් පලවා හරින සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නැති බව එම කරුණු අනුව පෙනී යයි.
සාමකාමී විසඳුමකට ඉඩක් තිබුණේද
ජනවර්ග අර්බුදය විසින් මතුකර තිබුණු ප්රචණ්ඩ ආරාවුල සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාවක් තිබුණේ නම් එය විසඳා ගතයුතුව තිබුණු හොඳම ක්‍රමය එය ලෙස සැලකිය හැකිය. එහෙත් එල්ටීටීඊය දුරගොස් තිබුණු ප්‍රමාණය අනුව එය සාකච්ඡා මගින් විසඳාගත හැකි තත්ත්වයක නොතිබුණු බව ඔවුන්ගෙන් අල්ලාගෙන තිබෙන අවි ආයුධ හා ඔවුන් ගොඩනගා ගෙන තිබුණු යුද්ධ යටිතල පහසුකම් දෙස බලන විට හොඳින් පෙනීයයි. ඔවුන් අපේක්ෂා කළේ වෙනම රාජ්‍යයක් නොවේ නම්, කොන්ෆෙඩරේෂන් තත්ත්වයකි. එය කවර මට්ටමකින්වත් පිළිගත හැකි තත්ත්වයක් නොවේ. ඒ තත්ත්වය තුළ මේ අවුල අධිෂ්ඨානශීලී යුද්ධයකින් බේරාගන්නා තත්ත්වයකට නොගියේ නම් හා තවත් කලක් එම තත්ත්වය කුණුවන්නට ඉඩහැරියේ නම්, රටට සිදුවිය හැකිව තිබූ විනාශය අතිවිශාලය. කවර යුද්ධයක්වත් ලස්සණ විය නොහැකිය. යුද්ධයකදී සිදුවන්නේ තුවක්කු කටින් ගනුදෙනු බේරාගැනීමය.
යුද්ධයකදී සාමාන්‍ය ජනතාවට හානි සිදුවීම සේම එක්තරා ප්‍රමාණයකට මානව හිමිකම් උල්ලංඝනය වීම ද නොවැළැක්විය හැකිය. දැන් ඉතිරි වී තිබෙන ලොකුම ප්රශ්නය තුවාල වී තිබෙන දෙමළ හදවත් සුවපත් කිරීමය. තුවාල වී තිබෙන එම හදවත්වලට වෛරය නොවැපිරිය යුතුය. දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබාදීම මගින් ඔවුන් ශ්‍රී ලාංකික ජාතියක අනන්‍යතාව තුළ සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් බවට පත් කරගත යුතුය.
විජේවීරගේ කැරැල්ල හා ප්රභාකරන්ගේ කැරැල්ල
භාෂණ, ජවිපෙ කැරැල්ල පන්ති අරගළයක් ලෙස හා එල්ටීටීඊ කැරැල්ල වර්ග අරගළයක් ලෙස කරන විග්‍රහය ද මා ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැත. මේ දෙක අතර තිබෙන වෙනස එතරම්ම සරල නැත. ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර අර්බුදයක් තිබෙනවා සේම ජනවර්ග තුළ ද අර්බුදයක් පවතී. ජනවර්ග අතර උස්මිටිකම් තිබෙනවා සේම ජනවර්ග තුළ ද උස්මිටිකම් පවතී. සියලු දෙමළ ජනයා එක සමාන නොවෙනවා සේම සියලු සිංහල ජනයා ද එක සමාන වන්නේ නැත. ජනවර්ග අතර පවතින උස් පහත් භේදය ප්රචණ්ඩ ගැටුම් කෙරෙහි බලපා තිබෙනවා සේම ජනවර්ග තුළ පවතින උස් පහත් භේදය ද ඒ ගැටුම් කෙරෙහි බලපා තිබේ. ප්රභාකරන්ගේ අරගලය එකවිට සිංහල ආධිපත්‍යයට එරෙහිව හා දෙමළ සමාජයේ පැවති වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගලයක් ලෙස සැලකිය හැකිවා සේම, වීජේවීරගේ අරගලය ද එකවිට සමාජවාදී රාජ්‍යයක් සඳහා හා සිංහල සමාජයේ ගොවිගම ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගලයක් ලෙස සැලකිය හැකිය.
උතුරේ ප්රභාකරන්ගේ සමාජ පසුබිම සේම දකුණේ විජේවීරගේ සමාජ පසුබිමද බොහෝදුරට එක සමානය. ප්රභාකරන්ගේ විශ්වාසය දිනාගත් නායකයන්ගේ කුල පසුබිම හා විජේවීරගේ විශ්වාසය දිනාගත් නායකයන්ගේ කුල පසුබිම අතර අපූරු සමාන බවක් පවතී. ප්රභාකරන්ගේ අනුගාමිකයන් අතින් මරණයට පත් දෙමළ ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් වෙල්ලාල කුලයට අයත් වන විට විජේවීරගේ අනුගාමිකයන් අතින් මරණයට පත් වැඩි පිරිසක් ද ගොවිගම කුලයට අයත් විය. අනෙක් අතට විජේවීරගේ හා ප්රභාකරන්ගේ කැරලි මර්දනයේදී ආරක්ෂක හමුදා අතින් මරණයට පත් වැඩි පිරිසක් පීඩිත කුලවලට අයත් වීයැ”යි කිව හැකිය. එයින් පෙන්නුම් කෙරෙන්නේ උතුරේත් දකුණේත් මතුවී තිබෙන ප්රචණ්ඩ අරගල කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු අපි හිතනවාට වඩා සංකීර්ණ බවය. එක් අතකින් වර්ග අතර පවතින උස් පහත් භේදය ද අනෙක් අතට වර්ග තුළ පවත්නා උස් පහත් භේද ද තුරන් කරන හා වර්ග අතර සමානතාවක් සේ ම වර්ග තුළ ද සමානතාවක් ඇති කරන දේශපාලන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය වී තිබෙන බවය.
Editors Note
Bhashana is the Ravaya columnist whose genocide argument Ivan answered on 5 April 2009; the
professor he declined to name there is addressed here. D.B.S. Jeyaraj’s analysis of the
diaspora protests appeared in the April 2009 issue of Montage. Three runs of English set in
a Latin font have been restored in this article: ‘Combatants’, ‘Carpet Bombing’ and ‘ICC’.