යුද්ධය ජයගැනීමෙන් පසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව සිටිය යුත්තේ කොතැනද? අනාගත ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන හා ආර්ථික හැඩතල කෙසේ විය යුතුද යන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාව විසඳා ගතයුතුව තිබෙන ලොකුම ප්රශ්නය ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණයේදී වඩාත්ම සංවාදයට ලක්විය යුතුව තිබෙන්නේ එම කාරණාය. දෙපක්ෂය එකිනෙකාට එරෙහිව වෛරසහගත ආකල්පයකින් චෝදනා ප්රතිචෝදනා එල්ල කරනවා වෙනුවට සිදුවිය යුතුව තිබෙන්නේ දෙපක්ෂය අතර කෙරෙන බුද්ධිමය සංවාදයකි. තමා ජනාධිපතිවරණය ජයගතහොත් දින 180ක කාලයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා කියයි. එහෙත් ඒ ප්‍රකාශය ප්‍රමාණවත් නැත. විධායක ජනාධිපති ක්‍රමය නැති කොට ඇති කරන්නට යන්නේ කුමන ක්රමයක්ද යන්න ද ඔහු මහජනතාවට පැහැදිලි කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා විධායක අගමැතිවරයකු සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ඒ අදහස ද රනිල් වික්‍රමසිංහ විස්තරාත්මකව රටට පැහැදිලි කර නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රකාශ කර ඇතත්, ඒ වෙනුවට ඇති කරන්නට යන්නේ කුමන ක්රමයක්ද යන්න ජනතා විමුක්ති පෙරමුණ ද විස්තරාත්මකව රටට පැහැදිලි කිරීමක් කර නැත. දේශපාලන ක්‍රමය පිළිබඳව පවත්නා මේ විවාදයේදී තමන් දරන ස්ථාවරය ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විස්තරාත්මකව රටට පැහැදිලි කළ යුතුය. මේ ක්රමයේ වෙනස්වීමක් ඉල්ලා සිටින අය තිබෙන ක්‍රමය ප්‍රතික්ෂේප කරන මූලික හේතු ද රටට විස්තරාත්මකව ප්‍රකාශ කළ යුතුය. විපක්ෂය ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ල කිරීමෙන් නොනැවතී දූෂණය තුරන් කිරීම සඳහා ඇති කරන්නට අපේක්ෂා කරන නව විධිවිධාන මොනවාද යන්නද රටට පැහැදිලි කළ යුතුය. දූෂණයේ පරිමාව ගැන වාද තිබිය හැකි වුවත් දූෂණය මේ ආණ්ඩුවට පමණක් සීමාවූ ප්රපංචයක් නොව 77න් පසු බලයට පැමිණි හැම ආණ්ඩු පාලකයකුටම ආවේණික නිත්‍ය ලක්ෂණයක් විය.
විධායක ජනාධිපති ක්‍රමය ඇතිකිරීමෙන් පසු දේශපාලන බලය බවට පත්වූයේ රට පාලනය කිරීමේ බලයට අතිරේකව රාජ්‍යගත දේපළවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට පාලක පක්ෂයට තිබෙන අයිතියයි. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය සඳහා කෙරෙන පොරය ජාතික වස්තු මංකොල්ලයක් සඳහා වන අයිතිය වෙනුවෙන් කෙරෙන තරගයක් ලෙස නිර්වචනය කළ හැකිය. දේශපාලන බලය සඳහා කෙරෙන තරගය වෛරසහගත අරගලයක් බවට පත්ව ඇත්තේද ඒ නිසාය. දේශපාලන බලයට තිබෙන උනන්දුව කෙරෙහි බලපා තිබෙන ප්‍රබලම සාධකය වී ඇත්තේ මහජන හිතකාමය නොව වස්තු තෘෂ්ණාවය. දේශපාලන බලය තුළ අයථා ලෙස වස්තුව හරිහම්බ නොකරගත් දේශපාලකයන් සිටිනවා නම් සිටින්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවක පමණය. බලයේ සිටින දේශපාලකයන්ට බලය රැකගැනීමට අවශ්‍ය වන්නේත්, බලයෙන් පිටස්තරව සිටින දේශපාලකයන් බලය ලබාගැනීමට උනන්දුවක් දක්වන්නේත් රට හෝ ජනතාව ගැන තිබෙන දයාව හෝ කරුණාව හෝ නිසා නොව වස්තු තෘෂ්ණාව නිසාය.
දූෂණය රටක් වශයෙන් අප ජයගත යුතුව තිබෙන ලොකු අභියෝගයක් නම් ඒ නපුර ජයගත යුතු ක්‍රමය දෙපක්ෂය විසින්ම රටට පැහැදිලි කළ යුතුය. දූෂිතව වස්තුව උපයා ගැනීමට අයිතියක් නොලැබේ නම් වර්තමානයේ දේශපාලනයේ යෙදී සිටින වැඩි පිරිසක් දේශපාලනයෙන් සමුගනු ඇති බවද අමතක නොකළ යුතුය. ජනවර්ග ප්රශ්නය ද අප විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්රශ්නයකි. ඊට 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් දියයුතු බව ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කර ඇතත්, ඒ කුමක්ද යන්න පැහැදිලි කොට නැත. එජාප, ජවිපෙ හා ආණ්ඩුව ද ඒ ප්රශ්නය ගැන තමන් දරන මතය පැහැදිලි කොට නැත. එකිනෙකාට එරෙහිව මඩගහ ගන්නා ප්රතිපත්තියකට සීමා නොවී රට මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලු විසඳාගත යුතු ආකාරය ගැන ප්රතිපක්ෂ දෙක අර්ථවත් සංවාදයකට යන්නේ නම් ජනාධිපතිවරණයක් සඳහා දරන්නට සිදුවී තිබෙන විශාල වියදම රටට බරක් වන්නේ නැත.