විධායක ජනාධිපති ක්‍රමය නැවත මහජන කතාබහට හේතුවී තිබෙන උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ. එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ හා ජවිපෙ පොදු අපේක්ෂකයා බවට පත්ව සිටින ජෙනරල් ෆොන්සේකා කියන්නේ තමන් බලයට පත්වුවහොත් දින 180ක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. එහෙත් ඒ වෙනුවට ඇති කරන්නට යන්නේ කුමන ක්රමයක්ද යන්න පැහැදිලි නැත. එජාප කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහජනයා තෝරාපත් කරගන්නා විධායක අගමැතිවරයකු සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරන බවය. එය අතීතයේදී පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. ඒ ක්‍රමය තුළ අගමැති තෝරාපත් කරගන්නේ මහජනයා විසින් නොව පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පක්ෂයේ හා කණ්ඩායමේ නායකයා අගමැති විය. එහෙත් එජාප ඇති කරනවායැ”යි කියන නව ක්‍රමය තුළ දැන් පවතින විධායක ජනාධිපති සේ ම විධායක අගමැති තෝරා පත්වන්නේ මහජන ඡන්දයෙනි.
සරල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට එහා ගිය එවැනි ක්‍රමයක් තෝරා ගන්නේ ඇයිද යන්න මහජනයාට පැහැදිලි කිරීම කළයුතු වුවත් තවමත් රනිල් වික්‍රමසිංහ හෝ එජාප ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කර නැත. ජනතා විමුක්ති පෙරමුණ හිතන ක්‍රමය ද තවමත් නොපැහැදිලිය. මෙම නිශ්චිත ප්රශ්නයේදී දැන් ජනාධිපතිවරයා හිතන ක්‍රමය ද නොපැහැදිලිය. ඒ ගැන හිතන විදිය මැතිවරණ ප්රකාශනයට ඇතුළත් වනු ඇතැ”යි සිතිය හැකිය. සර්වපාක්ෂික සම්මේලනයේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඡන්ද ක්‍රමය ද වෙනස් කොට ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරගත යුතු බවය. මා හිතන්නේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීම අළලා කරනු ලබන මේ කිසිදු ප්රකාශනයක් බැ?රුම්ව කරුණු සලකා බලා කරනු ලබන අවංක ප්‍රකාශන නොවන බවය.
ක්රමයේ මූලික දර්ශනය මේ රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය මගේද මහත් උනන්දුවට හේතුවී තිබෙන විෂයකි. මා ඒ පිළිබඳව ව්‍යවස්ථා විෂයෙහි විශාදරයන් ලෙස සැලකිය හැකි ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ඒ.ජේ. විල්සන්, චානක අමරතුංග හා රොහාන් එදිරිසිංහ වැනි අය ලියා ඇති විවේචනාත්මක විචාරයන් කියවා ඇත්තෙමි. ඒ හැම කෙනකුගේම අවධානය බොහෝදුරට විධායක ජනාධිපතිට ලැබී තිබෙන පාලනයට යටත් නැති අතිවිශාල බලයට සීමාවී තිබේ. ඒ බලය කුමක් සඳහා ද යන කේන්ද්‍රීය ප්රශ්නය පිළිබඳව ඔවුන් කිසිවකු අතින් ගැඹුරු විග්‍රහයක් ලියැවී නැති බව මගේ මතයයි. රට පාලනය කිරීම සඳහා අර්ධ ඒකාධිපති බලයක් ලබාදෙනවාට අතිරේකව පාලකයා ඇතුළු පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමට හෝ රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමට අවශ්‍ය බලය ලබාදීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්රමයේ මූලික දර්ශනය ලෙස සැලකිය හැකිය.
ඒ අර්ථයෙන් මෙම දේශපාලන ක්‍රමය තුළ බලය සඳහා කෙරෙන තරගය ඉහත කී අයිතිය සඳහා කෙරෙන දේශපාලන පොරයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මෙම ක්‍රමය බලතරගය සඳහා සම්බන්ධ වන හැම කෙනකුටම ඔහු හෝ ඇය ලබාදෙන ලද දායකත්වයේ ප්‍රමාණය අනුව සුදුසු මිලක් ගෙවන ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. හැමවිටම බලය සඳහා වන ප්‍රධාන තරගය පවතින්නේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක අතරය. ඉන් පරිබාහිර පක්ෂ, ප්‍රධාන කණ්ඩායම් දෙකින් එකකට ආධාර කරන ප්‍රතිපත්තියක් මගින් තමන් සහයෝගය දෙන කණ්ඩායම බලයට පත්කිරීම සඳහා දෙන දායකත්වයේ ප්‍රමාණය අනුව සුදුසු මිලක් ලබාගනී.
බලතරගයේ ලක්ෂණ බලය සඳහා තරග කරන හැම බල කණ්ඩායමකටම ප්‍රධාන නායකයකු හැරුණු විට දෙවැනි පෙළ නායක පිරිසක් ද සිටින්නෝය. මෙම බල කණ්ඩායම්වලට අයත් කිසියම් නායකයකු රාජ්‍ය නායකයා වූ විට තමන් බලයට පත්කිරීම සඳහා ලබාදෙන ලද දායකත්වයේ ප්‍රමාණයේ අනුව සුදුසු මිලක් ගෙවිය යුතුය. ලැබුණු බලය ආරක්ෂා කරගැනීම සඳහා ද ඔවුන්ගේ ආධාරය අත්‍යවශ්‍ය නිසා ඔවුන් උපරිම ලෙස තෘප්තිමත් තත්ත්වයක තබාගැනීම අත්‍යවශ්‍යය. ඒ නිසා දෙවැනි පෙළ නායක ගණයෙහිලා සැලකිය හැකි අය අතර සිටින පාර්ලිමේන්තු නියෝජිතයන්ට කැබිනට් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් හා ව්‍යාපෘති ඇමතිකම් වැනි ඇමති තනතුරු ද, පාර්ලිමේන්තු නියෝජිතයන් නොවන අයට සංස්ථා හෝ එවැනි ආයතන පාලනය කරන තනතුරුද ලබාදෙනු ලැබේ. මේ හැම කෙනකුටම ඒ මගින් තමන්ට ලැබී තිබෙන අමාත්‍යාංශය හෝ ආයතන පාලනය කිරීමේ බලය සේ ම එම ආයතනවල සිදුකෙරෙන ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය ද ලැබෙන්නේය.
මෙම ක්‍රමය ගොඩනැගී තිබෙන්නේද ගැට ගැසී තිබෙන්නේ ද මහජන හිතකාමී ක්‍රමයක් ලෙස නොව, කොල්ලකාරී ක්‍රමයක් ලෙසය. බලතරගයට සම්බන්ධ නායක මට්ටමේ හැම කෙනකුගේම උනන්දුවට හේතුවන ලොකුම සාධකය වනුයේ අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලැබී තිබෙන අයිතියයි. තමන්ට ලැබෙන තනතුර රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තමන් ලබාදෙන ලද දායකත්වය වෙනුවෙන් කෙරෙන ගෙවීමක් ලෙස සැලකීමට තනතුරු දරන්නෝ ද හුරුපුරුදු වී සිටිති. රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව ඉපයීම රටේ පවතින නීතිය අනුව දූෂිත ගණයෙහිලා සැලකෙන දැඩි දඬුවම් ලබාදිය හැකි වරදක් වුවද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වළකා ඔවුන් ආරක්ෂා කරගැනීම තම යුතුකමක් හා වගකීමක් ලෙස රාජ්‍ය නායකයා මෙම ක්‍රමය තුළ සැලකිය යුතුය. රාජ්‍ය නායකයාට ලැබී තිබෙන නීතියට යටත් නැති බලය හා මුක්තියේ ආරක්ෂාව වැදගත්වන්නේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සඳහා පමණක් නොව, සිය, කණ්ඩායමේද ආරක්ෂාව සඳහාය.
මෙම ක්‍රමය ඇති කළ ජේ.ආර්. ජයවර්ධන එතෙක් පාර්ලිමේන්තුව සතුව පැවති පරමාධිපත්‍යය බලය හීන කොට, මන්ත්‍රීකම හොඳ වැටුපක් ලබාගත හැකි, ලැබෙන විශේෂ සහනවලින් හොඳ අතිරේක ආදායමක් ලබාගත හැකි වෘත්තියක් බවට පත් කළේය. ඊට අතිරේකව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, වැවිලිකරුවන් හා ව්‍යාපාරිකයන් බවට පත් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ තිබෙන සාරවත් හා වටිනා ඉඩම් පර්චසය රුපියල් 100ක් හෝ ඊටත් අඩු මිලකට ලබාදෙමින් ඔවුන් සාරවත් වතු ඉඩම්වලට හිමිකම් කියන ඉඩම් හිමි පන්තියක් බවට පත් කළේය. මන්ත්‍රීවරුන් නොවන නායක ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයන්ට හා තමන්ට පක්ෂපාත රාජ්‍ය නිලධාරීන්ට ද එම පහසුකම් ලබාදුන්නේය. ඊට අතිරේකව ඔවුන්ට මත්පැන් බලපත්‍ර, මාර්ග බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදෙමින් එම බලපත්‍රවලින් අයථා ලෙස වස්තුව උපයා ගතහැකි වටාපිටාවක් ඇතිකර දුන්නේය.
ඔවුන් වෙත භාරදෙන ලද ආයතනවල රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය ලබාදෙන ලද්දේ ඒ සියල්ලට අතිරේක වශයෙනි.
අක්රමවත්භාවය වෙනුවෙන් ගෙවන වන්දිය ජනාධිපති වෙත අතිවිශාල බලයක් හිමිවී තිබියදීත් සිය කණ්ඩායමේ දෙවැනි පෙළ නායකයන් සතුටු කිරීම සඳහා ඔවුන්ට දිගින් දිගට අතිවිශාල කප්පම් ගෙවන තත්ත්වයක් ඇතිවී ඇත්තේ ඇයිද යන ප්රශ්නය ද මෙහිදී සලකා බැලිය හැකිය. මෙම දේශපාලන ක්‍රමය විධිමත් ලෙස ඇතිකර ගන්නා ක්‍රමයක් නොව, දඩිබිඩියේ ඇතිකර ගන්නා ලද අක්‍රමවත් ක්රමයකි. තිබුණු පාර්ලිමේන්තු ක්‍රමයට ඇමරිකානු හා ප්‍රංශ ජනාධිපති ක්‍රමවලින් තෝරාගත් අංග එකතු කොට පූට්ටු කොට තනන ලද අක්‍රමවත් ක්රමයකි. කණඩායම් නායකයන් අතර ඇති එකඟතාව කෙරෙහි ප්‍රධාන කොට බලපා තිබෙන්නේ පොදු යහපත නොව, පෞද්ගලික යහපතය. නායකයා බලයට පත්කිරීම සඳහා දෙවැනි පෙළ නායකයන් වශයෙන් තමන් දෙන ලද දායකත්වය වෙනුවෙන් උපරිම ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතියක් තමන්ට ඇතැ”යි ඔවුන් තරයේ විශ්වාස කරන සම්ප්රදායක් ගොඩනැගී තිබේ.
ජනාධිපති අත සකලවිධ බලය කේන්ද්‍රගතවී ඇතත්, ජනාධිපතිට පාර්ලිමේන්තුවේ එකඟතාව නැතිව පැවතිය නොහැකිය. ජනාධිපති කොතරම් බලවත් වුවත් ආණ්ඩු පක්ෂයේ සුළු පිරිසකට ජනාධිපතිගේ පැවැත්ම අවුලට දැමිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති බලයෙන් පහකළ නොහැකි වුවත් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කිරීමේ හැකියාව ඔවුන් සතුය. 2005 වසරේදී චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු පාර්ලිමේන්තු ආණ්ඩුව මුහුණ දුන් අර්බුදය මේ සඳහා දැක්විය හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට සිදුවූ අතර එම පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප ආණ්ඩුවක් ඇතිකර ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් විය. ඒ නිසා තමන්ට අහිමි වූ තත්ත්වය තමන් වෙත හිමිකර ගැනීම සඳහා කිසියම් දීර්ඝ කාලයක් ගතකිරීමට හා ඒ වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවීමට ද ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිදුවිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසකට තනතුරු ලබාදෙන සම්ප්රදායක් ඇතිකර තිබෙන්නේ ජනාධිපති ක්‍රමය තුළ මෙවැනි ආරාවුල් ඇතිවීම වළකා ගැනීම සඳහාය.
කැබිනට් මණ්ඩලයේ විශාලත්වය මහින්ද රාජපක්ෂ බලයට පත්වී කලකට පසුව දිනක් එල්මෝ පෙරේරා හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ මගේ නිවසට පැමිණි අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ විශාලත්වය ගැන කෙරෙන සංවාදයක් ඇතිවිය. මා මගේ පුස්තකාලයට ගොස් මැතිවරණවලින් පසු බලයට පැමිණි ආණ්ඩු අළලා විටින් විට ලේක්හවුසිය පළකොට තිබෙන පොත් කිහිපයක් ඔවුන්ට ගෙනවිත් දී 1977න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවකම නිල දරන්නන්ගේ සංඛ්‍යාව 100කට වැඩි බව කියා සිටියෙමි. එය ඔවුන්ගේ පුදුමයට හේතුවූ කරුණක් විය. ජේ.ආර්. ජයවර්ධනගේ ආරම්භක කැබිනට්ටුව 25 දෙනකුට සීමාවී තිබුණද, විශාල නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාවක් සිටියා සේ ම හැම දිස්ත්‍රික්කයක් සඳහාම පත් කෙරෙන දිස්ත්‍රික් ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් ද සිටියෝය. ඉන්පසු බලයට පත්වූ හැම ආණ්ඩුවකම කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් හා ව්‍යාපෘති ඇමතිවරුන් වශයෙන් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු කණ්ඩායම් නිල දරන්නන්ගේ සංඛ්‍යාව 100කට වැඩිවිය.
පිළිගත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව පාර්ලිමේන්තුවේ නිල දරන්නන්ගේ සංඛ්‍යාව ඉතා කුඩා විය යුතුය. කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඉතාමත් කුඩා විය යුතුය. එහෙත් මෙම පිළිගත් සම්ප්‍රදායට පටහැනිව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හැම කෙනකුටම පාහේ මොකක් හෝ නිලයක් ලබාදෙන සම්ප්රදායක් ඇතිවී තිබෙන්නේ එවැනි විශාල නිල දරන්නන් පිරිසකගෙන් තොරව සාර්ථක පාලනයක් කළ නොහැකි නිසා නොව ඇති කර තිබෙන අක්‍රමවත් දේශපාලන ක්‍රමය තුළ අවුල් ඇතිවීම වළකා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල බහුතරයකට නිලතල ලබාදීම අත්‍යවශ්‍ය වී තිබෙන නිසාය. තිබෙන විශාල කැබිනට් මණ්ඩල ක්‍රමය වෙනුවට පුංචි කැබිනට් මණ්ඩල ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන 1994දී පොදු පෙරමුණ අර්ථවත් විග්‍රහයක් තිබුණි. ඒ ගැන මැතිවරණ ප්රකාශනයට ඇතුළත්ව තිබුණු විග්‍රහය මෙසේය.
““අපේ රටේ ඇමතිවරුන් 91ක් සිටිති. මෙම සංඛ්‍යාව අනෙකුත් රටවල් සමග සසඳා බැලීම වටී.
ඉන්දියාව ලංකාවට වඩා 90 ගුණයක් භූමි ප්‍රමාණයෙන් විශාලය. අපේ රටේ ජනගහනය දශ ලක්ෂ 18ක් වෙද්දී ඉන්දියාවේ ජනගහනය දශ ලක්ෂ 920කි. එහෙත් ඉන්දියාව ඇමතිවරුන් 53 දෙනකුගෙන් සෑහීමට පත්වී ඇත. දශ ලක්ෂ 120ක ජනගහනයක් ඇති පාකිස්තානයේ ඇත්තේ ඇමතිවරුන් 16කි.
ඉතා පොහොසත් රටක් වන ඇමරිකාවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය ගැන සිතා බැලීම මෙහිදී වැදගත්ය. 1789දී එහි සිටියේ ඇමතිවරුන් 5කි. 1840දී 7කි. 1901දී 09කි. 1913දී 10කි. 1945දී 11කි. අද ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් ඇමතිවරුන්ගේ මට්ටමේ ලා සැලකිය හැකි අය 20කට වැඩි නොවෙති. මෙහි තේරුම නම් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව රටේ ජනගහනය අනුව සලකා බලන විට ඇමරිකා එක්සත් ජනපදයේ එක් ඇමතිවරයකු ලංකාවේ ජනගහනයටත් වඩා විශාල සංඛ්‍යාවක ඇමරිකානු පුරවැසි පිරිසක් නියෝජනය කරන බවයි.
පාලක පක්ෂයේ දේශපාලකයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට මහජන මුදල් සම්භාරයක් අපරාධකාරී ලෙස යොදාගැනීම නිසා යූඑන්පී ආණ්ඩුව දක්වා ඇති වගකීම් විරහිත සහ අශිෂ්ට වාර්තාව ලෝකයේ වෙන කිසිම රටක දක්නට නොලැබෙන්නකි.
පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක විසිදෙනකුට වඩා ඇමතිවරුන් පත් නොකරන බවට අපි ජනතාවට ප්රතිඳා දෙමු. මේ මගින් ඉතිරි කරනු ලබන සම්පත් මහජන සුබ සාධනය සඳහා යොදවනු ඇත.
ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඊඵඋ සහ බෙන්ස් කාර්වල සුඛෝපභෝගී ලෙස ගමන් කළ කාලය අවසන් වනු ඇත. ඔවුන්ට ලැබෙනු ඇත්තේ ඔවුන් ඉටු කරන මහජන සේවයට ප්‍රමාණවත් වන අනවශ්‍ය විශාලත්වයෙන් හා සුඛෝපභෝගී බවෙන් තොර වාහනයකි. මහජන සේවයට කැපවුණු පුද්ගලයන් මහජනයාගේම වියදමින් සැපවත් ජීවිත ගත නොකළ යුතුය යන්න පොදු ජන එක්සත් පෙරමුණේ විශ්වාසයයි. පාලක පක්ෂය ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරව හැන්ද අත තබාගෙන තමන්ගේ පිඟානට බෙදාගත් යුගය අවසන් වනු ඇත.””
එහෙත් බලයට පත්වීමෙන් පසු පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මේ පොරොන්දුව යම් තරමකින් හෝ ඉටුකිරීමට සමත්වූයේ නැත. බලයට පත්වූ වහාම පත්කළ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව 23ක් වූ අතර, නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 31ක් විය. ව්‍යාපෘති ඇමතිවරු ද විශාල සංඛ්‍යාවක් සිටියෝය. අධි සුඛෝපභෝගී වාහනවලට තිබෙන කෑදරකම අත්හැරීමක් ද සිදුනොවීය. ආණ්ඩු පෙරළීමක් සිදුවුවත් මෙම විෂයට අදාළව අන් සියලු කටයුතු සිදුවූයේ එජාප යුගයේ කටයුතු සිදුවූ ආකාරයටමය.
අවබෝධතා ගිවිසුම මෙම විසම තත්ත්වයට ප්‍රධාන හේතුව දේශපාලන ක්‍රමය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව ඇමති මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් කිරීමය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ආවේද කලින් ඇති කරගත් අවබෝධතා ගිවිසුම් දහස් ගණනක් අත ඇතිවය. දේශපාලන බලය ලබාගැනීමේ අරගලය සඳහා මහා පරිමාණයෙන් මුදල් ලබාගත් අයට ආපසු ගෙවිය යුතු විශාල ණයක් තිබුණි. ඒ අරගලයට විවිධාකාරවලින් දායක වූ නායකයන් ලෙස ක්‍රියාකළ යුතු පුද්ගලයන්ට ගෙවිය යුතු මිලක් තිබුණා සේ ම එම ක්‍රියාවලිය සඳහා ආධාර කළ පාක්ෂිකයන්ට ද ගෙවිය යුතු මිලක් තිබුණි. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පොරොන්දුවක් දී තිබුණ ද, මිල ගෙවීම් සඳහා ඇති කරගෙන තිබුණු අවබෝධතා ගිවිසුම් සම්පූර්ණ කිරීමට වැඩි වුවමනාවක් තිබුණු නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටුකිරීමට ඇය අසමත් විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද සිදුවූයේද එයමය. මේ අවස්ථා දෙකේදීම ජනතා විමුක්ති පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව මත එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් චන්ද්‍රිකා කුමාරතුංගට හා මහින්ද රාජපක්ෂට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළ ද එම පක්ෂය ද එය හුදු ජනප්‍රිය දේශපාලන ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් කළ දෙයක් වූවා විනා බැ?රුම්ව කරුණු සලකා බලා කරන ලද ඉල්ලීමක් නොවීය. චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසුව ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය බලවත් ලෙස ඉදිරියට ගත්තේ නැත. එක අවස්ථාවකදී එනම් රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව බලරහිත කරන අරගලයේදී විධායක ජනාධිපති වශයෙන් තමන්ට ලැබී තිබෙන බලය උපරිම ලෙස පාවිච්චි කොට රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හරින ලෙස ඔවුහු බලවත් ලෙස චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටියෝය.
එය විධායක ජනාධිපති ක්‍රමයට නාමමාත්රික වශයෙන් විරුද්ධ වන අතර ප්‍රායෝගික වශයෙන් විධායක ජනාධිපති බලය ශක්තිමත් කරන ස්ථාවරයක් විය. මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුත් පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියන සටන් පාඨය බලවත් ලෙස ඉදිරියට ගත්තේ නැත. එම සටන් පාඨය බලවත් ලෙස මතුරන තැනකට ආවේ දෙවැනි ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සූදානම් වූ අවස්ථාවේදී පමණය.
මුක්තියේ රැකවරණය ජනාධිපතිට ලැබී තිබෙන අසීමිත බලතල හා මුක්තියේ ආවරණය වැදගත්වන්නේ ජනාධිපතිවරුන්ට හා ජනාධිපතිවරුන් වීමට සිහින දකින අයට පමණක් නොවේ. එම ධුරය දරන නායකයාගේ හෝ ධුරය දැරීමට සිහින දකින නායකයාගේ දෙවැනි පෙළ නායකයන්ට, ආධාරකරුවන්ට ද එය වැදගත්ය. තමන්ට ලැබෙන නිල තනතුරුවලින් දෙවැනි පෙළ නායකයෝ අයථා ලෙස වස්තුව උපයා ගනිති. එය තමන්ට තිබෙන හා තිබිය යුතු අයිතියක් ලෙස ඔවුහු සලකති. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ ජනාධිපතිගෙනි. අනෙක් අතට පාක්ෂිකයෝ හා ආධාරකරුවෝ ද අවශ්‍ය සුදුසුකම් නැතිව රජයේ රක්ෂා ද, විරුද්ධ පක්ෂයේ සිටියදී පළිගැනීම්වලට ලක්වී ඇත්නම් වන්දි ද, වෙනත් විශේෂ පහසුකම් ද බලාපොරොත්තු වෙති. ඒ සියල්ල නීතියට අනුකූල නැත. ඒ සඳහා අවශ්‍ය ආවරණය ලැබෙන්නේ ද ජනාධිපතිගෙනි.
රාජ්‍ය දූෂණයේ මූලික ප්රභවය ඒ අර්ථයෙන් ජනාධිපති රාජ්‍ය මට්ටමෙන් පවතින දූෂණයේ මූලික ප්රභවය ලෙස සැලකිය හැකිය. මේ රටේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය නැමති දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ට රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගතහැකි ආකාරයටය. පාලක පක්ෂයේ ආධාරකරුවන්ට නීතියට පටහැනිව විශේෂ සැලකිලි දැක්විය හැකි ආකාරයටය. එම තත්ත්වය වැළකීමට නීතියට හෝ නීතිය අනුව පිහිටුවා ඇති මොනම පරීක්ෂණ ආයතනයකටවත් නොහැකි ආකාරයටය. සියලු රාජ්‍ය ගනුදෙනු පරීක්ෂා කිරීමේ බලය විගණකාධිපති සතුය. එහෙත් තමන්ට නීතියෙන් ලැබී තිබෙන එම බලය රාජ්‍ය පාලකයාගේ හෝ පාලන පක්ෂයේ අයථා ගනුදෙනු ගැන කරුණු සොයා බැලීමට යොදා නොගත යුතු බව විගණකාධිපති දනී. තමන් සොයා බැලිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන ගනුදෙනුවල ඇති තාක්ෂණික දෝෂ පමණක් බවත්, ඒවාහි සිදුවන දූෂණ ගැන ගැඹුරු සොයා බැලීමකට නොයායුතු බවත් විගණකාධිපති දනී.
එම සීමාව නොසලකා වැඩ කරන්නට ගිය එක විගණකාධිපතිවරයකුට ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී සිය තනතුර අත්හැර ගෙදර යන්නට සිදුවිය. අල්ලස හෝ දූෂණ වැරදි ගැන සොයා බලන්නට ඇති කොට පවත්වාගෙන යන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැඩ කරන්නේ ද තමන්ගේ සීමා මායිම් හඳුනාගෙනය. පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ගැන හරි සොයා බැලීමකට නොයා යුතු බව එම කොමිසම දන්නේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අවුරුදු 15ක් ගතවී ඇතත්, පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයකු ලෙස සැලකිය හැකි එකම පුද්ගලයකුට එරෙහිව හෝ අල්ලස් හෝ දූෂණ වැරදි සම්බන්ධයෙන් ප්‍රබල ලෙස නීතිය ක්‍රියාත්මක කරන තැනකට යෑමට කොමිසම සමත් වී නැත. මෙතෙක් සිදුවී ඇත්තේ විවිධ පාලන යුගයන් තුළ පාලක පක්ෂයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව ලැබෙන පැමිණිලිවලදී එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එවැනි පැමිණිලි යටපත් කරන පිළිවෙතක් අනුගමනය කිරීම පමණය.
මෙම විෂයේදී හැමවිටම ප්රතිපක්ෂ අන්‍යොන්‍ය අවබෝධයකින් හා පොදු එකඟතාවකින් යුතුව ක්‍රියාකරන බවක් ද පෙනී යයි. විරුද්ධ පක්ෂයේ ප්‍රබල පුද්ගලයකු පීඩාවට පත් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යොදාගත හැකි වුවත්, පාලක පක්ෂයත් එවැනි පුද්ගලයකු පීඩාවට ලක් කරනවා මිස ඔහුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන තැනකට යන්නේ නැත. සමහරවිට විරුද්ධ පක්ෂයේ ප්‍රබල පුද්ගලයකුගේ වත්කම් හෝ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ආරම්භ කෙරෙන විමර්ශනයක් නිසා ආරක්ෂාව සඳහා ඔහු ආණ්ඩු පක්ෂයට එකතු විය හැකිය. ඒ සමග ඔහුට එරෙහිව පවත්වාගෙන ගිය විමර්ශන ක්රියාවලියද යටපත් වන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිය පාලන යුගයේදී තමන්ගේ පාලක පක්ෂයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ට එරෙහිව එල්ලවන්නට වූ දූෂණ චෝදනා නිසා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන්ට එරෙහිව තිබෙන අල්ලස් සහ දූෂණ චෝදනා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා 1986 මාර්තුවලදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කොලින් තෝමේගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේය.
කොමිසමට පැමිණිලි ගලා ආවේය. එසේ ලැබුණු පැමිණිලි අතර ඇමතිවරුන් කිහිපදෙනකුට එරෙහිව ලැබුණු පැමිණිලි ද විය. කොමිසමට ඉඩ ලැබුණේ සුළු සේවකයන් කිහිපදෙනකුට එරෙහිව පැමිණිලි පරීක්ෂා කිරීමට පමණය. කිසිදු වැදගත් හේතුවක් නොදක්වා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමා විසින් පත් කළ කොමිසම 1987 සැප්තැම්බර්වලදී අහෝසි කළේය. 1987 සැප්තැම්බර් 27 වැනි දින තෙක් කොමිසමට පැමිණිලි 1973න් ලැබුණු බවත් කොමිසමේ වැඩ අවසන් කරන විට ඉන් පැමිණිලි 639ක් පරීක්ෂා කළ බවත්, මරණ මංචකයේදී කොමිසම ප්‍රකාශ කළේය. 1994 බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව ද එජාප පාලන කාලයේ සිදුවූ තෝරාගත් මහා පරිමාණයේ දූෂණ සිද්ධීන් 7ක් පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා දෙකක්ම පත් කළේය. එක් කොමිෂන් සභාවක් පත් කළේ එයාර් ලංකා සමාගමේ එයාර් බස් මිලදී ගැනීමේ ගනුදෙනු සොයා බැලීම සඳහාය.
අනෙක් කොමිෂන් සභාව පත් කළේ හිල්ටන් වංචාව ඇතුළු තෝරාගත් දූෂිත සිද්ධීන් 06ක් ගැන සොයා බැලීම සඳහාය. විශාල මහජන වියදමක් දරා පවත්වාගෙන ගිය මේ එකුදු කොමිෂන් සභාවක්වත් තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ ලැබුණේ නැත. තමන් අයථා ලෙස වස්තුව උපයන ප්රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නේ නම් ඒ සමාන ආකාරයකින් ක්‍රියා කළ ප්‍රතිපාක්ෂිකයන්ට දඬුවම් කරන ප්‍රතිපත්තියක් උචිත නොවන බව හා ඒ සඳහා ඇති කරන වැරදි පූර්වාදර්ශයන් කවදා හෝ තමන් කෙරෙහි ද බලපෑ හැකි බව ඇය දැන සිටියාය.
ජෙනරාල්ගේ ප්‍රතිඥාව දැන් අපට ජනාධිපති ක්‍රමය දින 180ක් තුළ අහෝසි කරන බවට ජෙනරාල් ෆොන්සේකා ලබාදී ඇති ප්‍රතිඥාව ගැන කරුණු සලකා බැලිය හැකිය. මෙම ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ෆොන්සේකා ජයගත්තේ නම් ඔහු බලයට එන්නේද මීට පෙර පූර්වගාමී ජනාධිපතිවරුන් බලයට පත්වූ ආකාරයටමය. විවිධ පුද්ගලයන් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම් දහස් ගණනක් අත ඇතිවය. ජනාධිපතිවරණයක් තරග කොට ජයගැනීමට නම් ඒ සඳහා පමණක් විශාල වැය බරක් දැරිය යුතුය. අවශ්‍ය වියදම රුපියල් කෝටි 100ක් 150ත් අතර විය හැකිය. ජයග්‍රාහකයා ඒ මුදල් ලබාගත් අයට සුදුසු ගිනි පොලියත් සමග ආපසු ගෙවිය යුතුය. ඊට අතිරේකව ජයග්රාහකයාගේ ජයග්‍රහණයට දායක වූ ප්‍රධාන පුද්ගලයන්ට ඔවුන් ලබාදෙන ලද දාකයකත්වය වෙනුවෙන් ද ගෙවිය යුතු විශේෂ මිලක් ඇත්තේය. ඒ ණය පහසුවෙන් පියවිය හැකිවනු ඇත්තේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගැනීමෙන් මිස අහෝසි කිරීමෙන් නොවේ.
නැතහොත් තිබෙන දූෂිත ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට අලුතෙන් ඇති කිරීමට සිදුවනු ඇත්තේ ද ඒ ණය පියවිය හැකි තවත් දූෂිත ක්රමයකි. එහෙත් එක් දූෂිත ක්‍රමයක් වෙනුවට තවත් දූෂිත ක්‍රමයක් ඇති කිරීම රට මුහුණ දී තිබෙන අභියෝගයට විසඳුමක් වන්නේ නැත. අනෙක් අතට ජෙනරාල්වරයාට ගමන් කරන්නට සිදුවී තිබෙන්නේ ද තමන්ගේ දෙපයින් නොව, මෙම දූෂිත දේශපාලන ක්‍රමයට බද්ධවීමෙන් දූෂිත වූ පක්ෂ ගණනාවකින් ලබාගත් පාවලිනි. එම පක්ෂවල ප්‍රධානීන් ආණ්ඩු වෙනසක් මගින් අපේක්ෂා කරන්නේද අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ප්රතිපක්ෂයට දැන් ලැබී තිබෙන බලය හා අයිතිය තමන් වෙත හිමිකර ගැනීමය. එම බලය හා අයිතිය අහිමි කරන ක්‍රමයට එකඟවීමේ හැකියාවක් ඔවුන්ට තිබිය නොහැකිය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ජෙනරාල්වරයාට ද සිය පූර්වගාමීන් මෙන් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරන පිළිවෙතකට තල්ලුවන්නට සිදුවීමය.
නැතිනම් දේශපාලකයන්ට අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය ලබාදෙන නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමය. එවිට ඇති කරන නව දේශපාලන ක්‍රමය ද තිබෙන දේශපාලන ක්‍රමය තරම්ම දූෂිත වනු නොවැළැක්විය හැකිය. දේශපාලන බලය තුළ අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ බලය අහෝසි කරන ක්‍රමයකට වර්තමාන දේශපාලකයන් විශාල බහුතරයකට කැමති විය නොහැකිය. අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ඉඩක් නැති ක්‍රමයක් ඇතිවූ දාට දැන් දේශපාලනයේ නිරතවී සිටින දේශපාලකයන් අතිවිශාල බහුතරයක් දේශපාලනයෙන් සමුගනු නොඅනුමානය.
ඇත්ත කුමක්ද?
මේ සියල්ලෙන් මා කියන්නේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කළ නොහැක්කක් බව නොවේ. එය කිරීම කජු කන්නා සේ සරල හා පහසු ක්‍රියාවක් නොවන බවය. එය සංකීර්ණ හා දුෂ්කර ක්‍රියාවකි. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය ගැන උතුරා යන පිළිකුලක් මහජනතාව අතර ගොඩනැගී තිබීම ක්රමයේ වෙනසක් සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. අනෙක් අතට ක්‍රමය වෙනස් කිරීමට අපේක්ෂා කරන අය තුළ ක්‍රමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද, ක්‍රමය වෙනස් කිරීම සඳහා අවංක වුවමනාවක්ද, ක්‍රමය වෙනස් කිරීම සඳහා වන පූර්ව සූදානමක් ද තිබිය යුතුය. ඒ ලක්ෂණ කිසිවක් බලවත් ලෙස පෙනෙන තත්ත්වයක් වර්තමානයේ නොපවතින බවද කනගාටුවෙන් වුවද කිව යුතුය.