ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආගමනය ආණ්ඩු විරෝධී බලවේග අතර ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවී ඇතත් ජයග්‍රාහී ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය ශක්තිමත් දේශපාලන වටාපිටාවක් ගොඩනගා ගැනීමට ජෙනරාල්වරයා තවමත් සමත්ව තිබෙන බවක් පෙනෙන්නට නැත.
කට්ටිවාදය
ජෙනරාල් තරග කරන්නට යන්නේ එකවිට එජාප සන්ධානයේ හා ජවි පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙනි. එහෙත් ජේවීපීය හා එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන එකඟතාවක් ඇතිවී නැත. ජෙනරාල් එජාප සන්ධානයෙන් තරග කරනවාට ජේවීපීය එකහෙළා විරුද්ධ විය. ඒ නිසා මේ දෙකටම නැති ලියාපදිංචි කළ තුන්වැනි පක්ෂ ලේබලයක් සොයායෑමට ජෙනරාල්වරයාට සිදුවිය. ජෙනරාල් ජයගන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ගොඩනගනු ලබන තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්කළ යුතු බව එජාප සන්ධානය ජෙනරාල්ට ඉදිරිපත් කළ එක කොන්දේසියක් විය. ජෙනරාල් එම කොන්දේසිය පිළිගත්තද ජවිපෙන් එල්ල වූ බලපෑම් මත එම කොන්දේසිය අත්හැරීමට ජෙනරාල්ට සිදුවිය. ජෙනරාල්ගේ ඉදිරිපත්වීමට සහයෝගය පළකිරීම සඳහා ජවිපෙ හයිඩ්පාක් පිටියේ පවත්වන ලද රැලියේදී ජවිපෙ කථිකයන් මහත් උජාරුවෙන් කීවේ ජෙනරාල්ගේ ජයග්‍රහණයෙන් පසු ගොඩනගන තාවකාලික ආණ්ඩුව අගමැතිවරයකුගෙන් තොර තාවකාලික ආණ්ඩුවක් වන බවය.
ජෙනරාල් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජෙනරාල් කීවේ යූඑන්පියට වඩා හොඳ ආර්ථික වැඩපිළිවෙළක් ඇති නිසා ඔවුන් ද සමග සාකච්ඡා කොට ඒ සඳහා වන වැඩපිළිවෙළක් ඇති කරන බවය. එහෙත් ඒ පිළිතුර ජවිපෙ අප්‍රසාදයට හේතුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව දෙන ලද පිළිතුර ද ජවිපෙ සතුටට හේතුවිය නොහැකිය. 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් දියයුතු බව ජෙනරාල්ගේ මතය වූ අතර එය පිළිගත් යූඑන්පී මතය ලෙස සැලකිය හැකිය. එහෙත් එවැනි මතයකට එකඟවීමේ හැකියාවක් ජවිපෙට නැත. දැනට ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව ජෙනරාල්වරයාට සහයෝගය දෙන දේශපාලන පක්ෂ එක පොදු වේදිකාවකට එන්නේ නැත. ජෙනරාල්වරයාට ජනතාව අමතන්නට සිදුවී ඇත්තේ දේශපාලන වේදිකා දෙකක සිටය. එම පරස්පරය ජෙනරාල්වරයාගේ මැතිවරණ ව්‍යාපාරය දුබල කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය.
මීට පෙර ද ජවිපෙ වෙනත් දේශපාලන පක්ෂවලට සහාය දුන් අවස්ථා තිබේ. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුවට එරෙහිව ශ්‍රීලනිප සමග සන්ධානයක් ඇති කරගත් අවස්ථාවේ ඔවුහු පාර්ලිමේන්තු මැතිවරණයකට එක්ව තරග කළා පමණක් නොව, එක පොදු වේදිකාවක සිට ජනතාව ඇමතුවෝය. ඉන්පසු පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ මහින්ද රාජපක්ෂට ආධාර කළේද එක දේශපාලන වේදිකාවක සිටය. එහෙත් මේ වාරයේ පමණක් එම ප්‍රතිපත්තියෙන් බැහැර වී තමන්ගේ දේශපාලන වේදිකාවට පමණක් සීමාවී පොදු අපේක්ෂකයාට ආධාර කරන ප්‍රතිපත්තියකට තල්ලුවීමට ජවිපෙට සිදුවී තිබේ. ජෙනරාල් සිටින්නේ මෙම කට්ටිවාදී පිළිවෙත පාලනය කළ නොහැකි අසරණ තැනකය.
අනුන්ගේ තටුවලින් පියෑඹීම
ජෙනරාල්ට මෙම ඡන්ද සටනේදී ජවිපෙ වඩාත්ම වැදගත්වන්නේ ඔවුන්ගේ කේඩර් පදනමකින් යුතු දේශපාලන යාන්ත්‍රණයයි. සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් සඳහා පූර්ණකාලීන කාර්යධරයන් පිරිසක් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ජෙනරාල්ට තරග කරන්නට සිදුවී තිබෙන්නේ තමන්ගේ පක්ෂ යාන්ත්‍රණයක් නැතිවය. ජෙනරාල්ට ඒ අඩුව සපුරා ගන්නට සිදුවී තිබෙන්නේ ජවි පෙරමුණෙනි. ජෙනරාල්ට එක්සත් ජාතික පක්ෂය වැදගත්වන්නේ ඊට තිබෙන ඡන්ද පදනමේදීය. ජේවීපී දේශපාලන යාන්ත්‍රණයේ ශක්තිය, යූඑන්පියේ ඡන්ද පදනමේ ශක්තිය ප්‍රයෝජනයට ගෙන තරගය ජයගැනීම ජෙනරාල්ගේ අපේක්ෂාව වී ඇතත්, පක්ෂ දෙක අතර පවතින පරස්පරයන් ඊට බාධා කරන සාධක ලෙස ක්‍රියාකරන බව පෙනේ. ජෙනරාල්වරයාට පියාඹන්නට සිදුවී තිබෙන්නේ ජේවීපීයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ලබාගත් තටු දෙකක ආධාරයෙනි. යූඑන්පී තටුවේ රිද්මයට තටු සලන්නට ජේවීපී තටුව සූදානම් නැතිනම් හෝ ජේවීපී තටුවේ රිද්මයට තටු සලන්නට යූඑන්පී තටුව සූදානම් නැතිනම් ජෙනරාල් අහසේ යන ගමන අසාර්ථකවීමට ඉඩ තිබේ.
එන්ජිමේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස තටු දෙකේ සැකිල්ල පාලනය කිරීමට එන්ජිම අසමත්වෙතොත් ඒ අසාර්ථකත්වය මහජනයා දකිනු ඇත්තේ තටු දෙකේ වරදක් ලෙස පමණක් නොව, එන්ජිමේද වරදක් ලෙසය. මෙම අවුල්සහගත තත්ත්වය වර්ධනය වන්නට ඉඩ නොදී එම විසම තත්ත්වය මේ මොහොතේම පාලනය කිරීමට අසමත්වෙතොත් ජෙනරාල්වරයා අසාර්ථක නායකයකු ලෙස ඉතිහාසයට එකතුවීමේ අවදානමක් ද පවතී. යුද්ධ කරනවාට වඩා දේශපාලනය සංකීර්ණය. යුද්ධයේදී සිදුවන්නේ අණදීම හා අණපිළිපැදීම පමණය. එහෙත් දේශපාලනයේදී අණදීමෙන් පමණක් පරස්පර විරෝධී දේශපාලන බලවේගයන් එකට වැඩ කරන තැනකට ගත නොහැකිය. ඒ සඳහා කරුණු පැහැදිලි කළ යුතුය. සාකච්ඡා කළ යුතුය. වාද විවාද කළ යුතුය. එය යුද්ධයකදී කෙරෙන අණදීමකට වඩා සංකීර්ණ ක්‍රියාදාමයකි. ජෙනරාල්වරයාට දක්ෂ දේශපාලන නායකයකුවීමට හැකියාවක් තිබේද නැද්ද යන ප්‍රශ්නය තීරණාත්මක ලෙස උරගා බැලෙනු ඇත්තේ අනාගතයේදී නොව වර්තමානයේ මේ ඡන්ද සටනේදීය.
යූඑන්පී විරෝධී ජේවීපී ප්‍රවේශය
තවමත් ප්‍රසිද්ධ කරළියට නොපැමිණි ව්‍යාකූලතා ජවිපෙ තුළ සේ ම එජාපය තුළ ද පවතී. ජේවීපීයට තමන් බලයට ගෙනා මහින්ද පරාජය කොට ඔහුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය වී තිබේ. එහෙත් එහි ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත්වන්නේ යූඑන්පිය නම් සිය දේශපාලන අනුගාමිකයන්ට මුහුණදීමට අමාරු දුෂ්කර අවුලකට තමන් පත්වන බව ඔවුහු දනිති. ජේවීපී දේශපාලනයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ එහි දෘෂ්ටිය තෝරාගත් දේශපාලන සතුරකු කෙරෙහි ඇති කරන බිය මත පදනම් වී තිබීමය. ජේවීපීය රටේ තිබෙන දුෂ්ටතම දේශපාලන බලවේගය ලෙස සිය සාමාජිකයන්ට චිත්‍රවත් කර තිබුණේ යූඑන්පියයි. එයට අනුව යූඑන්පිය යනු කවදාවත් සමාව දිය නොහැකි දුෂ්ට හා දේශද්‍රෝහී ව්‍යාපාරයකි. සිය සාමාජිකයන් තුළ යූඑන්පිය කෙරෙහි ඇති කර තිබෙන්නේ දරුණු පිළිකුලක් හා වෛරයකි. මහින්ද පරාජය කරනවා දකින්නට ජේවීපී සාමාජිකයන් කැමතිය.
එහෙත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ජේවීපීය විසින් බිහිසුණු යක්ෂයකු ලෙස චිත්‍රවත් කළ යූඑන්පිය නැවත බලයට එනවා දකින්නට කැමතිවීමේ හැකියාවක් ඔවුන්ට තිබිය නොහැකිය. මේ නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ මහින්ද පරාජය කරනවාට අතිරේකව එහි ප්‍රතිඵලයක් වශයෙන් යූඑන්පිය නැවත බලයට පත්වීම වළකන මගක් තමන්ට ඇත්තේය කියන පණිවුඩය බලවත් ලෙස සිය සාමාජිකයන් අතට පත්කරන්නට ජේවීපීයට සිදුවී තිබේ. ඔවුන් ඒ සඳහා ගොඩනගන තර්කය වනු ඇත්තේ තම වැඩපිළිවෙළ තුළ මහින්ද පරාජය කිරීමට අවශ්‍ය අතිරේක ඡන්ද බලය යූඑන්පියෙන් ලබාගනු ඇතිමුත් ජෙනරාල්ගේ ජයග්‍රහණයෙන් පසු මහින්දට අහිමිවන ශ්‍රීලනිපය සමග එකතු වී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන තමන්ට හැසිරවිය හැකි ප්‍රගතිශීලී ආණ්ඩුවක් තමන් ගොඩනගන බවය. මෙම මුලාව ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා පොදු අපේක්ෂකයා වෙනුවෙන් කරන ඡන්ද සටනේදී උග්‍ර යූඑන්පී විරෝධී ප්‍රතිපත්තියක් පෙන්නුම් කිරීමට ජවිපෙට සිදුවනු ඇත.
එම තත්ත්වය ජෙනරාල්ගේ ඡන්ද සටන ව්‍යාකූල කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. එම ව්‍යාකූලතාවන් තිබියදීත් ජෙනරාල්ගේ ඡන්ද සටන ජයගැනීමට සමත් වුවත් ජේවීපීය ස්ථාවර පාලනයක් ඇති කිරීම වළකන තිරිංගයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. ජේවීපීය සිය භාවිතයෙන් මෙතෙක් ඔප්පු කර ඇත්තේ එම ව්‍යාපාරය ආණ්ඩු පෙරළන වැඩපිළිවෙළක් සඳහා යොදාගත හැකි කදිම සගයෙකු වුවත්, ආණ්ඩු ගොඩනගන වැඩපිළිවෙළක් සඳහා යොදාගත හැකි විශ්වාසවන්ත සහකරුවකු නොවන බවය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී වැඩකොටසක් ඉටුකිරීමෙන් නොනැවතී එය 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිපය සමග සන්ධානයක් ඇතිකර ගනිමින් එම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ පරාජය කිරීම පිණිස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනැගෙන නව සන්ධාන ආණ්ඩුව තුළ වැඩි කලක් කල් ගෙවීමේ හැකියාව ජේවීපීයට නොතිබුණේය.
ඉන්පසු නැවත 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමේ ඡන්ද සටනේදී ජේවීපීය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් ජේවීපීය එම ආණ්ඩුවේද විශ්වාසදායක කොටස්කරුවකු වූයේ නැත. ජේවීපීයේ මෙම ධර්මතාව ජෙනරාල් කෙරෙහි ද බලපෑ හැකිය.
ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත්වීම
මෙම ඡන්ද සටනේදී ජෙනරාල් යූඑන්පියට වැඩි හිතවත්කමක් ඇති පුද්ගලයකු ලෙස ජේවීපීයට පෙනුණහොත් ඕනෑම මොහොතක ජේවීපීය ජෙනරාල්ට දෙන සහාය ඉවත් කරගැනීමට පවා ඉඩ තිබේ. අනෙක් අතට ජෙනරාල් අනවශ්‍ය තරමට ජේවීපීයට බර තබා ක්‍රියාකරන පුද්ගලයකු ලෙස යූඑන්පී නායකයන්ට හා අනුගාමිකයන්ට පෙනුණහොත් එය ඔවුනගේ ධෛර්යය හීනකරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. ඒ අර්ථයෙන් ජෙනරාල්ට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ ගිරයට අසුවූ පුවක් ගෙඩියක් ලෙසය. දේශපාලන අන්ත දෙකක සිටින දේශපාලන ව්‍යාපාර දෙකක පොදු අපේක්ෂකයා ලෙස ක්‍රියා කිරීම නොපළපුරුදු නායකයකුට තබා දේශපාලන වශයෙන් හොඳින් පදම් වූ නායකයකුට පවා දුෂ්කර කාර්යයකි. ජෙනරාල්ගේ ඡන්ද සටන වෙනුවෙන් නිකුත් කෙරුණු පළමු පෝස්ටර් දෙක රට පුරා හොඳින් ප්‍රදර්ශනය වන ලෙස අලවා නොතිබුණි. එය අලවා තිබුණේ කෝඩුකාර ව්‍යාපාරයක් පෝස්ටර් අලවන ආකාරයටය.
එයින් පෙනෙන්නේ ජෙනරාල්ගේ පෝස්ටර් ව්‍යාපාරයට ජේවීපීය තවමත් අතගසා නැති බවය. විසඳා ගතයුතු ප්‍රශ්න තවමත් විසඳාගෙන නැති බව ඉන් පෙනී යයි. මේ ආකාරයටම නොවූවත් යූඑන්පිය අභ්‍යන්තරයේ ද එළිපිටට නොපැමිණි අභ්‍යන්තර ප්‍රශ්න තිබිය හැකිය. ජෙනරාල්ගේ ආගමනය සාමාන්‍ය යූඑන්පී පාක්ෂිකයන් තුළ ආස්වාදයක් ඇති කිරීමට හේතුවී ඇතත්, පක්ෂයේ නිලධරතන්ත්‍රය තුළ අතෘප්තිසහගත හැඟීමක් පැවතිය හැකිය. නිලධරතන්ත්‍රය නියෝජනය කරන පුද්ගලයන්ට පක්ෂ නායකයා සමග සමීප ගනුදෙනුවක් පවතී. තමන්ට හිමි තැන පිළිබඳ කිසියම් හැඟීමක් ඔවුන් අතර පවතී. එහෙත් ජනාධිපති අපේක්ෂකයා පිටස්තරින් එන පුද්ගලයකු වන විට තමන්ට අනාගතයේ හිමි තැන පිළිබඳව ඔවුන් තුළ ව්‍යාකූලතාවක් ඇතිවිය හැකිය. තමන් නොදන්නා නායකයකු තමන් සමග ගනුදෙනු කරනු ඇත්තේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන් තුළ ඇතිවිය හැකිය. එම ව්‍යාකූල තත්ත්වය ජෙනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරය කෙරෙහි හානිදායි ලෙස බලපෑ හැකිය.
සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නය
ජෙනරාල් මැතිවරණයෙන් ලබන ජය පරාජය කෙරෙහි සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගැනීමට ජෙනරාල්ට තිබෙන හැකියාව හෝ නොහැකියාව තීරණාත්මක ලෙස බලපායි. ජෙනරාල් දේශපාලනයට එන්නට පෙර දැඩි සිංහලවාදී මතධාරියකු විය. එම විෂයේදී දේශපාලනයට එන්නට පෙර දරන ලද අදහස් හා දැන් ප්‍රකාශ කර තිබෙන අදහස් අතර අහසට පොළොව වැනි මහා පරතරයක් පවතී. අන්තවාදී තැනක සිට මැදිහත් තැනකට ඒම යහපත් දෙයක් ලෙස සැලකිය හැකි වුවත්, ඒ වෙනස දේශපාලනයට ඒම නිසා කෘත්‍රිම ලෙස ඇති කරගන්නා ලද වෙනසක් ද නැතිනම් අවංක ලෙස ඇතිකර ගන්නා ලද වෙනසක් ද යන්න අපැහැදිලිය. ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුම අළලා ජෙනරාල් ප්‍රකාශ කර ඇති ස්ථාවරය පෑහෙන්නේ යූඑන්පී ස්ථාවරය සමගය. එල්ටීටීඊය ඔවුන් තත්වාකාර රාජ්‍යය ද සමග තවදුරටත් දේශපාලන චිත්‍රයේ සිටී නම් 13 වන සංශෝධනය ඉක්මවා යන විසඳුමක් සාධාරණ විය හැකි වුවත් එල්ටීටීඊය දේශපාලන චිත්‍රයෙන් ඉවත්ව සිටින තත්ත්වයක් තුළ එවැනි විසඳුමක් සාධාරණ වන්නේ කෙසේදැ”යි ජෙනරාල් රටට පැහැදිලි කළ යුතුය.
දෙමළ නිජබිම පිළිබඳ මතය නිවැරදි සත්‍යයක් ලෙස සැලකිය නොහැකි අතර, 13 වැනි සංශෝධනය සැකසී ඇත්තේ දෙමළ නිජබිමක් තිබිය යුතුයි කියන ස්ථාවරයක් මත පිහිටාය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් යන්නෙහි තේරුම වන්නේ ද දෙමළ නිජබිම පිළිබඳ ස්ථාවරය පිළිගනිමින් 13 වැනි සංශෝධනයෙන් ලබා තිබෙන බලය බෙදාහැරීමේ පදනම ඉක්මවා ගිය බලය බෙදාහැරීමකි. එහි අවසාන තේරුම වන්නේ පෙඩරල් ආණ්ඩු ක්‍රමයකි. දෙමළ දේශපාලන පක්ෂවලට දෙමළ නිජබිමක් පිළිබඳව අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත් දෙක පදනම් කොටගත් වෙනම රාජ්‍යයක් සඳහා අයිතිවාසිකම් කීමට එවැනි ඓතිහාසික පදනමක් තිබීම අත්‍යවශ්‍ය වූ නිසාය. එහෙත් දෙමළ නිජබිමක් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය පදනමක් මත පිහිටා නොව අසත්‍ය පදනමක් මත පිහිටාය. එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු දෙමළ නායකයන් ඉල්ලා සිටින දේවල ස්වභාවය වෙනස් වී ඇති අතර දෙමළ සන්ධානයේ සම්බන්ධන් වැනි නායකයන් ප්‍රකාශ කර ඇත්තේ තමන් වෙනම රාජ්‍යයක් හෝ පෙඩරල් ක්‍රමයක් ඉල්ලා නොසිටින බවය.
ඒ වෙනුවට එකම රාජ්‍යයක් තුළ දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් ලබාදෙන දේශපාලන වැඩපිළිවෙළකි. දෙමළ ස්ථාවරය රටේ යහපතට හේතුවන විප්ලවකාරී වෙනසකට භාජනය වී තිබියදී 13 ඉක්මවා ගිය විසඳුමක් ගැන කතා කිරීමෙන් සිදුවන්නේ දෙමළ ජනයා ඔවුන්ගේ බෙදුම්වාදී ස්ථාවරයට නැවත තල්ලු කිරීමකි.
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
ජෙනරාල්වරයා බලයට පත්වී දින 180ක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහතිකයක් ලබාදී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට වෙනත් දේශපාලන ක්‍රමයකට මාරුවන පිළිවෙතක් හෝ දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය විධිමත් කරන පිළිවෙතක් රටේ යහපතට හේතුවනු ඇතත් එය බලයට පත්වී දින 180ක් වැනි කාලයක් තුළ කළහැකි සරල දෙයක් ලෙස සැලකිය නොහැකිය. නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිට නොව, පාර්ලිමේන්තුවටය. ජනාධිපතිවරණයෙන් පසු අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා මාස තුනක් හෝ ඊට කිට්ටු කාලයක් ගතවිය හැකිය. දින 180 ඉලක්කය සඳහා ඉන්පසුව ඉතිරිවන්නේ තවත් මාස තුනක කාලයක් පමණය. එවැනි කෙටි කාලයක් තුළ නව දේශපාලන ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සම්පාදනයක් සම්පූර්ණ කළ හැකිද? ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය තිබිය යුතුය.
ඒ සඳහා සකස් කෙරෙන කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණයේද අනුමැතිය ලබාගත යුතුය. ඉන්පසු එය ජනමත විචාරණයකට ලක් කළ යුතුය. ඒ සියලු කටයුතු මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කළහැකි නම් එය සැලකිය යුත්තේ ආශ්චර්යයක් වශයෙනි. ජේ.ආර්. ජයවර්ධන කළා වැනි දඩි බිඩි ව්‍යවස්ථා සංශෝධනයක් රටේ යහපතට හේතුවන්නේ නැත. හොඳ ව්‍යවස්ථාවක් ඇති කරගත හැකිවනු ඇත්තේ පාර්ලිමේන්තුවේ කෙරෙන සාකච්ඡාවන්ට අතිරේකව විශේෂඥ අදහස් ලබාගැනීමෙන් හා මහජන අදහස් ද ප්‍රමාණවත් තරමින් ලබාගැනීමෙන් පසුවය. නූතන ලෝකය පාර්ලිමේන්තුවට පමණක් සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයක් යහපත් ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස සලකන්නේ නැත. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජනයා ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීම ව්‍යවස්ථා සම්පාදනයේදී අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් ලෙස නූතන ලෝකය සලකයි.
ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා අවුරුදු තුනහමාරකට ආසන්න කාලයක් ගතවිය. ලෝකයේ තිබෙන නවීනතම ව්‍යවස්ථාව ලෙස සැලකෙන දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව සම්පාදනයේදී පළමු අදියරයේදී සිදුවූයේ ව්‍යවස්ථාට ඇතුළත් වියයුතු මූලධර්ම හඳුනාගෙන එසේ හඳුනාගත් මූලධර්ම සඳහා දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමය. ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලද අතර මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකට එකතු වී අවුරුදු 05ක කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගනිමින් එකඟ වූ මූලධර්ම මත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා ලද අතර මහජනතාවගෙන් පමණක් ලැබුණු ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම්වල ප්‍රමාණය දශ ලක්ෂ තුනකට ආසන්න විය.
ව්‍යවස්ථා සම්පාදකයන් ව්‍යවස්ථා සම්පාදනයේදී මහජන අදහස් ද හොඳින් සැලකිල්ලට ගත්තේය. අප තෝරාගත යුතුව තිබෙන්නේ ද එවැනි මාවතකි. ජෙනරාල්වරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරබයා පළකර තිබෙන අදහස්වල දක්නට ඇති තවත් ඌනතාවක් වනුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට ඇති කරන්නට යන නව ක්‍රමය කුමක්ද යන්න පැහැදිලි නොකිරීමය. එජාපයට ඒ ගැන දළ අදහසක් ඇති අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විධායක අගමැතිවරයකු සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහ කතා කරන ක්‍රමය තුළ විධායක අගමැතිවරයා තෝරා පත්කර ගන්නේ පාර්ලිමේන්තුව විසින් නොව මහජනයා විසින් මහජනයාගේ ඍජු ඡන්දයෙනි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියනමුත් ඒ වෙනුවට ඇති කරන්නට යන නව ක්‍රමය කුමක්ද යන්න පැහැදිලි කොට නැත.
සර්වපාක්ෂික සමුළුව වෙනුවෙන් ආචාර්ය තිස්ස විතාරණ ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කොට නැවත පැරණි පැවති වෙස්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇතිකළ යුතු බවය.
ශක්තිය හා සීමාසහිතකම්
අපට ඇත්තේ චෞර හා නපුරු දේශපාලන ක්‍රමයකි. මේ දේශපාලන ක්‍රමය තුළ ඇති නරකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ එය පාලක පක්ෂයට පොදු සම්පත් කොල්ලකෑමේ අයිතිය හා බලය ලබාදෙන ක්‍රමයක්වීමය. 77 සිට මෙතෙක් බලයට පැමිණි හැම පාලක පක්ෂයක්ම කර ඇත්තේ රට පාලනය කරනවාට අතිරේකව උපරිම වශයෙන් පොදු සම්පත් කොල්ලකෑමය. මෙම දූෂිත ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වුවත් තිබෙන ක්‍රමය වෙනස් කොට නව ක්‍රමයක් ඇති කරගැනීමේ ක්‍රියාවලිය දඩිබිඩියේ කරන්නක් නොවිය යුතුය. නව දේශපාලන ක්‍රමයක් පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළකර ඇතත්, ඒ කිසිදු දේශපාලන පක්ෂයක් තිබෙන ක්‍රමයේ ඇති අයෝග්‍යතාව හා ඇති කරගත යුතු නව ක්‍රමය කුමක්ද යන්න පැහැදිලි කරන සංකල්ප පත්‍රිකාවක්වත් මෙතෙක් ඉදිරිපත් කර නැත. එයින්ද පෙනෙන්නේ මෙම විෂය පිළිබඳව බැ?රුම් අදහසක් මේ එකුදු දේශපාලන පක්ෂයකටවත් නැති බව නොවේද? දේශපාලනයට ඇති අලුත් බව ජෙනරාල්ට තිබෙන ලොකුම ශක්තිය සේ ම ලොකුම දුර්වලතාව ලෙසද සැලකිය හැකිය.
සාම්ප්‍රදායික දේශපාලකයකු තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන කැතකුණුවලින් තොරවීම මහජන ආකර්ෂණයට හේතුවන සාධකයකි. අනෙක් අතට දේශපාලනයට ඇති ආධුනික බව ගමන දුෂ්කර කරන බලවත් සාධකයක් ලෙස ද ක්‍රියාකළ හැකිය. යුද්ධ විෂයේදී ජෙනරාල් අත්දැකීම් ඇති කෙළ පැමිණියකු වුවත් දේශපාලන විෂයේදී ඔහු මොනම අත්දැකීමක්වත් නැති ආධුනිකයෙකි. ඔහු දේශපාලනයට ඒමට බැ?රුම් ලෙස අදහස් කරගෙන සිටියේ නම් යුද්ධයේ ජයග්‍රහණය සමග සේවයෙන් විශ්‍රාම යමින් දේශපාලන විෂය ගැන අවබෝධයක් ඇති උගත් පිරිසක් සමග වැඩකරමින් තමන්ගේම වන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන තැනකට යායුතුව තිබුණි. එසේ වී නම් පක්ෂ දෙකකින් ණයට ලබාගත් පරස්පර විරෝධී අත්තටු දෙකක් වෙනුවට තමාගේම අත්තටු දෙකක් ඇතිව පියාඹන තැනකට යෑමට හැකිවන්නට ඉඩ තිබුණි. ජෙනරාල්ට මේ මොහොතේදී මුහුණ දෙන්නට සිදුවන ලොකුම අභියෝගය වනු ඇත්තේ ද තමාගේම නොවේ නම් තෝරාගත් එක් පක්ෂයකින් අත්තටු දෙකම ලබාගැනීමකින් තොරව අන්ත දෙකක සිටින පක්ෂ දෙකකින් අත්තටු දෙකක් ලබාගනිමින් ඉගිළෙන්නට උත්සාහ කිරීමය.
අත්තටු දෙකේ චලනය පරස්පර වන නිසාම ජෙනරාල්ගේ ඉගිළීම අවශ්‍ය තරමට වේගවත් නොවන්නට ඉඩ තිබෙනවා සේ ම සමහරවිට බිමට කඩා වැටීමක් ඇති කිරීමට ද හේතුවිය හැකිය.