මංගල, ශ්‍රීපතිගේ රාජපක්ෂ විරෝධය

October 29, 2026
Publication:
A friend asks Ivan why he backed the rebels against Premadasa and will not back these. The answer is the difference between the two revolts: Lalith Athulathmudali and Gamini Dissanayake had a vision for reforming the system as well as a quarrel with the man, and this one is a fight to move one person out and another in. Along the way he sets out what was irregular about the 1991 impeachment.

ලලිත් ගාමිණිගේ ප්‍රේමදාස විරෝධය හා

ප්‍රේමදාසට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී ඔබ කැරලි කරුවන්ට උද්යෝගිමත්ව ආධාර කළා. එහෙත් රාජපක්ෂ විරෝධී අරගලයේදී ඔබ කැරලිකරුවන්ට ආධාර කිරීමෙන් වැලකී සිටින බව පැහැදිලිවම පෙනෙනවා. ඇයි?”

මෙය හොඳින් මා දන්නා හඳුනන පුද්ගලයෙකු නගන ලද ප්‍රශ්නයක්. ඔහු මංගල හා ශ්‍රීපති ගැන කතා කළේ ආස්වාදයකින්. එහෙත් මා ඊට දෙන ලද පිළිතුරෙන් ඔහුගේ ආස්වාදය වාෂ්ප වූ බව පෙනෙන්නට තිබුණි.

ඇත්ත. ඔහු කියන ආකාරයටම ලලිත්, ගාමිණී ඉදිරියට ගෙනා කැරැල්ලේ දී මම ඔවුන්ට උද්යෝගිමත්ව ආධාර කළෙමි. ඔවුන්ගේ දේශපාලන කැරැල්ල මාගේ ආස්වාදයට හේතු වුවත් මංගල හා ශ්‍රීපතිගේ කැරැල්ල හාස්‍යයක් මිස මා තුළ ආස්වාදයක් ඇති කිරීමට හේතු වී නැත.

එහෙත් මේ කැරලි දෙක අතර සමහර කාරණාවලදි අපූරු සමානකමක් පවතී. ලලිත් ගාමිණී ඉදිරියට ගෙනා වැඩ පිළිවෙළ නැවත අලුත් ස්වරූපයකින් කරලියට එමින් තිබෙන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නේද ඒ නිසාය.

දෝෂාභියෝගය ප්‍රසිද්ධ දේශපාලන කරලියට එන්නට පෙර ප්‍රේමදාස විරෝධී අභ්‍යන්තර කැරැල්ලකට රහසේ කටයුතු සංවිධානය කරමින් තිබෙන බව මම දැන සිටියෙමි. ශ්‍රීලනිපයෙන් මෙම වැඩ පිළිවෙළට සම්බන්ධ කර ගත යුත්තේ අනුරද නැතිනම් මැතිනියද යන ප්‍රශ්නයක් ආරම්භයේදී ඔවුන්ට තිබුණි.

ලලිත්ගේ හා ගාමිණීගේ කැමැත්ත තිබුණේ අම්මාට නොව පුතාටය. එය වැරදි තේරීමක් බව ලලිත්ට කියමින් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට මට සිදුවිය.

වියපත් තත්ත්වයකට පත්ව සිටියත් ශ්‍රීලනිපය මෙහෙයවීමේ වැඩි බලයක් ඇත්තේ පුතාට නොව මවට බවත් මෙවැනි කටයුත්තකදී විශ්වාසය තැබිය හැකි පුද්ගලයා වන්නේද ඇය බවත් අනුර එවැනි විස්වාසවන්ත පුද්ගලයෙකු නොවන බවත් මම කියා සිටියෙමි. මගේ මතය ලලිත් පිළිගත්තේය. ඒ අනුව දෝෂාභියෝගයේ මූලික කටයුතු සඳහා සම්බන්ධ කර ගැනුණේ බණ්ඩාරනායක මැතිනියයි. ඇය සමඟ කරන ගනුදෙනුවේ දී ඇය සමඟ සම්බන්ධකම් පවත්වන අතරමැදි පුරුක බවට පත්කර ගැනුනේ අනුරුද්ධය. දෝෂාභියෝග වැඩ පිළිබඳ ප්‍රසිද්ධ කරලියට ගැනෙන මොහොත තෙක්ම එය අනුරට මෙන්ම තවත් බොහෝ අයටද රහසක්ව තිබුණි.

ප්‍රේමදාස කෙරෙහි ලලිත් තුළ කැමැත්තක් හා විශ්වාසයක් නොතිබුණද ආරම්භයේ දී ප්‍රේමදාස සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඔහු හිත හදාගෙන සිටි බව මම දනිමි. 1989 පාර්ලිමේන්තු මැතිවරණ වලින් පසුව ඔහු මට කී කතාවක් මෙසේය.

“කොම්බිනේෂන් එක ලලිත් – ප්‍රේමදාස වුනා නම් එය හොඳම කොම්බිනේෂන් එක වෙන්න තිබුණා. එහෙත් ප්‍රේමදාස – ලලිත් කොම්බිනේෂන් එකත් වරදක් නැහැ”

ඔහු එයින් අදහස් කළේ ජනාධිපතිකම ලලිත්ට ලැබී ප්‍රේමදාස අගමැති වී නම් එය විශිෂ්ට එකතුවක් වන්නට ඉඩ තිබුණු බවය. ප්‍රේමදාස ජනාධිපති වන විට ලලිත් අගමැති වේ නම් එම එකතුවද නරක එකතුවක් නොවන බවය.

අගමැතිකම නොලැබීම ලලිත් තුළ සිත් වේදනාවක් ඇති කිරීමට හේතු වී තිබුණි. එහෙත් එය සිත් වේදනාවක් පමණක් විය. ප්‍රේමදාසට ඔහු වෛරකරන තැනකට ඔහු තල්ලු වුණේ රිචඩ් සොයිසා ඝාතනයත් සමඟය. ලලිත් රිචඩ් සමඟත් ඇගේ මව වන මනෝරාණි සමඟත් සමීප සම්බන්ධයක් තිබුණි. ලලිත් රිචඩ් ඝාතනය තේරුම් ගන්තේ තමන්ගෙන් පලිගැනීම පිණිස කරන ලද ඝාතනයක් ලෙසය. එය ප්‍රේමදාසගේ අණ පරිදි කරවන ලද ඝාතනයක් බව ඔහු විශ්වාස කළේය. රිචඩ්ට අයිති වූ ඉරණම වරුණ කරුණාතිලකට ද හිමිවනු ඇති බව ඔහු විශ්වාස කළේය. එවැනි ඉරණමක් ඔහුට අත් නොවන පිණිස ඔහු සිය නිවසේ වරුණ සඟවාගත්තා පමණක් නොව ආරක්ෂාව සඳහා රටින් පිට කරන දිනයේ වරුණ ගුවන් තොටුපලට රැගෙන ගියේද ඔහුගේ නිල රථයේය.

එහෙත් රිචඩ්ගේ ඝාතනයට හේතුව ලලිත්ගේ මිත්‍රත්වය නොවන බව පසුකලකදී තතු දත් අයට දැනගන්නට ලැබුණි. වරුණට ජේවීපිය සමඟ සම්බන්ධයක් නොතිබුණත් රිචඩ්ට ජේවීපිය සමඟ සම්බන්ධයක් තිබුණි. රිචඩ්ට ජේවීපිය සමඟ දුර දිග ගිය සම්බන්ධයක් ඇති බව ආරක්ෂක ඇමති රංජන් විජේරත්නට කරුණු සහිතව දැන ගන්නට ලැබී තිබුණි. එය ඔහුගේ කෝපයට හේතු වී ඒ කෝපය අවසන් වූයේ ඔහු ඝාතනයට ලක් කිරීමෙනි. රිචඩ්ට ජේවීපිය සමඟ දුර දිග ගිය සම්බන්ධයක් තිබූ බව රිචඩ්ගේ මව (මනෝරාණි සරවනමුත්තු) හොඳින් දැන සිටියේය. රිචඩ්ගේ ඝාතනය ගැන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වූවද රිචඩ්ගේ මව එම ක්‍රියාමාර්ගයට විරුද්ධ වුණේ එවැනි පරීක්ෂණයක් අනවශ්‍ය තොරතුරු හෙළිදරව් වීමට හේතුවනු ඇතැයි විශ්වාස කළ නිසාය.

ලලිත් මා දැන සිටි දේශපාලනඥයින් අතරින් ඉතාමත් වර්ණවත්ම පුද්ගලයාය බව කිව හැකිය. ඔහු බුද්ධිමය වශයෙන් ඉහළම තලයක සිටියේය. තමන් නොදන්නා විෂයකට ඉක්මනින් මාරුවීමේ සුවිශේෂ හැකියාවක් ඔහුට තිබුණි. ඔහු ඉහළම පෙළේ බුද්ධිමතකු වනවාට අතිරේකව ප්‍රායෝගික දේශපාලනඥයෙකුද විය.

වරාය සංවර්ධනය කිරීමේ ඔහුගේ වැඩ පිළිබඳව ලෝක බැංකුව විරුද්ධ විය. ලෝක බැංකුවෙන් එල්ලවන විරෝධය නොසලකා ඔහු තමන්ගේ ඒ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. අවසානයේ ඔහුගේ වරාය සංවර්ධන වැඩ පිළිවෙළ මගින් රටට උපයා දෙන ලද ධනස්කන්ධය අති විශාලය. ඔහු සතොස සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය සුපිරි වෙළඳපොළක් බවට පත් කළේය. ඒ මගින් ඔහු දැඩි ලෙස වෙළඳපොළේ භාණ්ඩ මිල සාධාරණ තත්ත්වයක තබා ගැනීම සඳහා එම වෙළඳපොළ ජාලය ප්‍රයෝජනයට ගත්තේය. ඔහුගේ මහපොළ ව්‍යාපාරයද තමන්ට මුහුණදෙන්නට සිදු වූ අවශ්‍යතාවය හා අත්දැකීමත් පදනම් කොට ගෙන ආණ්ඩුවට එවැනි තත්ත්වයකට පත්වීම වැළකීම සඳහා ඇති කළ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් විය. යාපනයේ හා කොළඹ අතර ඇති දුරස්ථභාවය පටු කිරීමෙන් ජනවාර්ගික අර්බුදය බොහෝ දුරට ජයගත හැකි බව ඔහු විශ්වාස කළේය. යාපනේ සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා දිවෙන අධිවේගී මාර්ගයක් ගැන ඔහු සිහින දැක්කා පමණක් නොව ඒ සඳහා යන වියදම පිළිබඳ දල ඇස්තමේන්තුවක්ද ඔහුට තිබුණි. එවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් හම්බන්තොට හා කොළඹ අතරත් නැවත යාපනේ හා කොළඹ අතරත් ඇති දුරස්ථ බව අඩු කොට ගම්බද සිංහල දෙමළ තරුණ අසහනය නැති කිරීමට හේතුවනවාට අතිරේකව එවැනි වැඩ පිළිවෙළින් විරැකියාව බොහෝ දුරට ජයගත හැකි වනු ඇති බවද විශ්වාස කළේය.

ඔහු තුළ දරුණු ප්‍රේමදාස විරෝධයක් තිබූ බව සැබෑවකි. ඒ කෙරෙහි ප්‍රභූ හා නිර්ප්‍රභූ බේදය බලපෑවා විය හැකිය. එහෙත් ඔහු ශ්‍රීපති හා මංගල මෙන් සිය අරගලය පුද්ගලයෙකුට පමණක් කේන්ද්‍ර කර නොගත්තේය. ප්‍රේමදාසව පරාජය කරනවාට අතිරේකව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට දේශපාලන ක්‍රමය ජව සම්පන්න තැනකට ගෙනා යුතු බව විශ්වාස කළේය.

විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන 77 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාරියට ඔහුද දායක වී තිබුණි. තනි පුද්ගලයෙකුට ජනාධිපති බලය ලැබෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට දායක වීම ගැන ඔහුට පසුතැවිලි වන්නට සිදු විය. විධායක ජනාධිපතිවරයෙකු ආපසු නව ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙන අකාරයටම දෝෂාභියෝගයකින් පලවා හැරිය නොහැකි බව ඔහු දැන සිටියේයැයි සිතමි. එහෙත් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව නැගී සිටීමට තෝරාගත හැකි අන් මාර්ගයක් තොතිබුණු නිසා ඒ සඳහා තිබෙන විධිවිධාන ප්‍රයෝජනයට ගත්තේද නිත්‍යානුකූල ආකාරයකට නොව නීති විරෝධී ආකාරයකටය. කථානායකගේ ප්‍රශ්නයක් නැති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් අත්සන් කර නොතිබියදීත් අඩකට අඩු නොවන මන්ත්‍රීන් පිරිසක් අත්සන් තබා තිබෙන අවස්ථාවක දෝෂාභි යෝගයක් ආරක්ෂා කිරීමේ හැකියාවක් තිබුණත් එවකට සිටි කථානායක එම්.එච්. මොහොමඩ් ජනාධිපති වරයාට එරෙහිව දෝෂාභියෝගය බාරගත් බව ජනාධිපතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ එම දෝෂාභියෝගය සඳහා 50% කට අඩු නොවන අත්සන් සංඛ්‍යාව පවා නොතිබියදීය. කථානායකද දෝෂාභියෝගය වැඩ පිළිවෙළේ කොටස් කරුවෙක් විය. දෝෂාභියෝගයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් අත්සන් සංඛ්‍යාවක් නොතිබියදීත් එම දෝෂාභියෝගය ප්‍රකාශ කිරීම මගින් දෝෂාභියෝගය සඳහා අඩකට අත්සන් සංඛ්‍යාව ලැබී ඇති බව රටට පෙනෙන්නට සැලැස්විය. ඉන්පසුව ආරක්ෂාව සඳහා දෝෂාභියෝග යෝජනාවට ගාමිණි හා කතානායකද, තම තමන්ට හිතවත් අයගෙන්ද රහසේ අත්සන් ලබාගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්සන් ලබාගන්නේ බණ්ඩාරනායක මැතිනියයි. ලලිත් ලබාගත් අත්සන් සහිත ලිපිගොනුව කවර අවස්ථාවකදීවත් ඔහු කතානායක වෙත බාර නොදෙන ලද අතර ඔහු සඟවා තිබුණු ස්ථානයෙන් එම ලිපි ගොනුව අහම්බෙන් මෙන් සොයාගෙන ඇත්තේද ඔහුගේ මරණයෙන්ද පසුවය. දෝෂාභියෝග වැඩ පිළිවෙළට නායකත්වය දුන්නද එය සාර්ථකත්වය පිළිබඳ ඔහු තුළ පවා විශ්වාසයක් නොවූ බව ඉන් පෙනී යයි. තමන් කෙරෙහි විශ්වාසය තබා අත්සන් තැබූ අය ආරක්ෂා කිරීම ඔහුගේ අභිලාෂය වූවා විය යුතුය.

මංගල ශ්‍රීපති දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙළත් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ලලිත් ගාමිණී දියත් කළ වැඩ පිළිවෙළත් මතු පිටින් පෙනුම බොහෝ දුරට එක සමානය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආර්. ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකකම දුන්නේ කැමැත්තෙන් නොව අන් කළ හැකි දෙයක් නොවූ නිසාය. ඔහු ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධයක් ඉදිරියට ගැනීමට කල්පනා කළේය. රටේ ලේ වැගිරෙමින් තිබෙන තත්ත්වය තුළ එම කැරැල්ලට ප්‍රේමදාසගේ සම්බන්ධයක් ඇතැයි විශ්වාස කළ ඔහු ප්‍රේමදාස කෙරෙහි ඇති කරගත් මනාපයකින් නොව ඔහු කෙරෙහි ඇති කරගෙන තිබූ බිය නිසා ඒ අවස්ථාව ඔහුට ලබාදුන්නේය. එහෙත් ඔහු අපේක්ෂා කළේ ප්‍රේමදාසගේ ජයග්‍රහණයක් නොව පරාජයකි. පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය පාවිච්චි කිරීමට තිබෙන ඉඩ වැලකීම සඳහා ඔහු ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වන්නට පෙර ප්‍රේමදාසට නොදන්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ප්‍රේමදාස එම මැතිවරණය ජයගත්තේද දකුණේ ඡන්ද පාවිච්චි කරන ලද ප්‍රතිශතය ඉතාමත් පහළ මට්ටමක පවතිද්දීය. ශ්‍රීලනිපයේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වන්නට ඉඩ දෙනවා වෙනුවට තිබුණු පරණ ආණ්ඩුව බලයට පත්වන තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් තමන්ගේ සන්නද්ධ කැරැල්ල සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බව විශ්වාස කළ ජවිපෙ ප්‍රේමදාසගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා තමන්ට කළ හැකි හැම දෙයක්ම උපරිම මට්ටමෙන් කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නේ කැමැත්තකින් නොව නොදී සිටිය නොහැකි වූ නිසාය. මොන සටකපට ආකාරයකින් හෝ ව්‍යවස්ථාව වෙනස් කොට තවදුරටත් බලයේ රැඳී සිටීමේ සිහිනය ඇය උසාවි තීන්දුව තෙක් අත් නොහැරීය. උසාවි තීන්දුවෙන් පසුවද ඇගේ අපේක්ෂාව වූයේ මහින්ද වෙනුවට රනිල් වික්‍රමසිංහ ජයගනු ඇති බවය. ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ තරගයේදී මෙන්ම මහින්ද රාජපක්ෂගේ ජනාධිපති වරණයේදීද ජේවීපිය මහින්දට උපරිම ලෙස ආධාර කළේය. ඔවුන්ගේ උපාය මාර්ගද අපේක්ෂාව එක සමාන විය. රනිල්ගේ ආණ්ඩුවක් යටතේට වඩා මහින්දගේ ආණ්ඩුවක් යටතේ බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම වඩා පහසු වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය.

ප්‍රේමදාස බලයට පත්වීමෙන් පසු පැවති ප්‍රභූ නිර්ප්‍රභූ සටනම නැවත ඒ හා සමාන ආකාරයෙන්ම කරලියට පැමිණ ඇති බවද පෙනේ. ප්‍රභූ බව කෙරෙහි බලපාන්නේ කුලය පමණක් නොවේ. වෙනත් සමාජ සාධකද බලපායි. ප්‍රභූ සමාජයට මහින්ද පෙනෙනු ඇත්තේ හරිහැටි ඉංග්‍රීසි නොදන්නා ගොඩයකු ලෙසය.

ප්‍රේමදාස පාලන ශෛලියෙන් අවලස්සන ගති තිබුණා විය හැකි වුවත් මේ රටේ නැති බැරි ජනතාවගේ ආර්ථික ශක්තිය නගා සිටුවීමට ක්‍රියාකරමින් ඔවුන් තුළ අභිමානයක් ජනිත කිරීමට ක්‍රියා කළ එකම නායකයා ප්‍රේමදාස විය. ඔහුගේ ඇඟලුම් වැඩ පිළිවෙළ නාස්තිකාර ඵලදායි නොවන වැඩ පිළිවෙළක් ලෙස විවේචන තිබුණද අදත් එම වැඩපිළිවෙළින් ප්‍රයෝජනය ලබන්නේ මැද පංතික ජනයා නොව ගම්බද පතුලේම සිටින දුප්පත් ජනයාය. ගම්බද දුප්පත් තරුණයන් කසාදයක් බැඳීමට අවශ්‍ය දේවල් උපයා ගන්නේ ඇගලුම් කර්මාන්ත ශාලාවල වැඩ කිරීමෙනි. රාජ්‍ය නිලධර තන්ත්‍රයේ දැති රෝද වටා ප්‍රබල ලෙස කැරකුණ එකම යුගය ප්‍රේමදාස යුගය විය. සමෘද්ධි ලාභින්ට රුපියල් 25,000 ස්ථිර තැන්පතුවක් ලබා දෙන බවට ඔහු සහතික විය. එය හිස් සහතිකයක් බව කියමින් විරුද්ධවාදීන් ඔහුට ඔච්චම් කළේය. ඔහුගේ උපාය මාර්ගය වුනේ රුපියල් 25,000 ක ස්ථිර තැන්පතුවක් ඇති අයට ලබාගත හැකි ණය පහසුකම් ලබාගත හැකි වටාපිටාවක් ඇති කර දීමය. සමෘද්ධිලාභී පවුලට අවශ්‍ය නම් ස්වයං රැකියා ව්‍යාපෘතියක් සඳහා රුපියල් 25,000 දක්වා ණයක් ලබා ගැනීමේ හැකියාව ඒනිසා ලැබුණි. ඔහු සාමාන්‍ය ජනයාගේ ජීවිත නඟා සිටුවීම සඳහා උපරිම කැපවීමකින් ක්‍රියා කළේය.

ප්‍රේමදාස විරෝධි දෝෂාභියෝග ව්‍යාපාරය තුළ සිටින ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඇප කැපවීමකින් ක්‍රියා කළ ජනනායකයකුගේ ජීවිතය අවසන් වූවා පමණක් නොව මේ රට දියුණු හා නවීන රටක් බවට පත්වීමට අවශ්‍ය දැනුම තිබු ජන නායකයකු වන ලලිත් ඇතුලත්මුදලිගේ ජීවිතයද විනාශ විය. මෙම නායක දෙපල එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද බව රටේ පවතින ජනප්‍රිය මතයයි. එහෙත් මා විශ්වාස කරන්නේ එල්ටීටීඊය නොවන තුන්වැනි පිරිසක් අතින් මෙම ඝාතන දෙකම සිදු වූ බවය. එය ඇත්තක් නම් එල්ටීටීඊ සංවිධානයට මුවා වී ඒ හා සමාන සහසිකකම් කළ හැකි තුන්වැනි පිරිසක්ද රටේ සිටින බව පිළිගන්නට සිදුවන්නේය.

ජේවීපියේ ද රනිල්ගේද චන්ද්‍රිකාගේද අනුග්‍රහ ඇතිව මංගල හා ශ්‍රීපති දෙපල ආරම්භ කර ඇති මහින්ද විරෝධී අරගලයේ කෙලවර කුමක් දැයි දැන්ම කිව නොහැකිය. එහෙත් අවසානයක් දැකීමට පෙර එල්ල කෙරෙමින් තිබෙන චෝදනාවල අපූරු සමානතාවයන් පවත්නා බව කිව යුතුය. රණසිංහ ප්‍රේමදාස ජාති ද්‍රෝහියෙක් බවට පත් කිරීම සඳහා ඔහුට එරෙහිව ද එල්ටීටීඊ ලේබලය ඇලවූයේය. එල්ටීටීඊයට මුදල් ද වාහන තො ගණන්ද දුන් බවට චෝදනා එල්ල විය. දැන් මහින්දට එල්ල කෙරෙමින් තිබෙන්නේද ඒ සමාන චෝදනාය. මහින්දට එල්ටීටීඊය සමඟ ගිවිසුමක් තිබුණේ නම් ඒ බව එදා මංගල හෝ ශ්‍රීපති නොදැන සිටින්නට හේතුවක් නැත. ඔවුන් කියන්නේද එය දැන සිටි බවය. එය ඇත්තක් නම් එදා ඔවුන්ට එය වරදක් බව නොපෙනුනේ කෙසේද? අනෙක් අතට එවැනි ගනු දෙනුවක් ඇති බව මංගල දැන සිටියේ නම් එදා ඒ බව ජේවීපියද දැන සිටිය යුතුය.

ලලිත් ගාමිණීගේ ප්‍රේමදාස විරෝධී කැරැල්ල කෙරෙහි ප්‍රභූ නිර්ප්‍රභූ සාධකය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. එහෙත් ඒ ගැටුම අතරේම පවත්නා දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ශක්තිමත් ඉදිරි දැක්මක් ද ඔවුන්ට තිබුණේය. එය පුද්ගලයෙකු තැනකින් ඉවත් කොට තවත් පුද්ගලයෙකු ඒ තැනට ගැනීම සඳහා වන අරගලයක් නොවීය. පුද්ගලයාට අතිරේකව ක්‍රමයට වෙනස්කරන අරගලයක් විය. ඒ අර්ථයෙන් මේ මොහොතේ මංගල ශ්‍රීපති ඇතුළු මහින්ද විරෝධී බලවේගයත් සිටින්නේ ප්‍රතිගාමි තැනකය. ඔවුන් සියලු දෙනාට මහින්ද වෙනස් කිරීමට අවශ්‍යව ඇතත් ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය වී ඇති බවක් පෙනෙන්නට නැත. ක්‍රමය එලෙසම තබා ගෙන පුද්ගලයා පමණක් වෙනස් කරණ ක්‍රියාමාර්ගයන්ගෙන් රටට සිදුවන යහපතක් නැත. ඉන් සිදුවනු ඇත්තේ එක් ඒකාධිකාරි පාලකයකු වෙනුවට තවත් ඒකාධිකාරි පාලකයකු ඇතිවීම පමණයි.•