පෙළ පොත් ආරවුලට විසඳුමක්

October 29, 2026
Publication:
Textbooks arriving late and full of errors are another face of the crisis in education, and a measure of how little care children are given. Ivan traces the multiple-textbook scheme from 1999 — three approved books a subject, one printed free and two for the market, the second half of which never happened — and asks the education authorities for a settled, timely programme.

පාසල් සිසුන්ට ලබා දෙන ඇතැම් පෙළ පොත් බරපතළ දෝෂ සහිත වීමත්, පෙළ පොත් නිසි කලට සිසුන් අතට පත් නොකිරීමත් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි මතු වී තිබෙන දැවැන්ත අර්බුදයෙහි තවත් එක් පැතිකඩකි. එසේ ම එය දරුවන් කෙරෙහි ඇති නොසැලකිල්ලේ තරම ද කියාපායි. රටක දරු පරපුර දැනුමෙන් හා දැකුමෙන් පොහොසත් කර සාරධාර්මික නවීන පුරවැසියන් බවට පත් කිරීම අධ්‍යාපනයෙහි අරමුණයි.

ඒ අරමුණ ඉෂ්ට කිරීම සඳහා තබන මුල් පියවර වනුයේ ඔවුන්ට ලබාදෙන පෙළ පොත් ය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ කෙතරම් පාරම් බෑව ද දරුවන්ට අවශ්‍ය පෙළපොත් ටික ක්‍රමානුකූලව සම්පාදනය කර නිසි කලට ලබා දීමට මේ රටේ අධ්‍යාපන බලධරයෝ තවමත් අසමත් ව සිටිති.

රජයේ පාසල් සඳහා පෙළ පොත් ප්‍රකාශයට පත් කිරීම 1999 වර්ෂය දක්වා සිදු කෙරුණේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විෂය මාලා සංවර්ධන ඒකකය මගිනි. 2000 දී අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව මුල් වරට 6 වසර සිට 9 වසර දක්වා සෑම විෂයයකට ම අයත් පොත් සම්පාදනය ආරම්භ කළේ ය. මෙය සිදු කෙරුණේ ආසියානු සංවර්ධන බැංකු (ADB) ව්‍යාපෘතියක් හැටියට ය.

මෙම වැඩපිළිවෙළ වෙනසකට ලක් වූයේ 2004 දී හඳුන්වා දුන් බහු පෙළ පොත් ක්‍රමය ඔස්සේ ය.

මේ අනුව පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට අවස්ථාව ලැබිණි. මෙය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.

පෙළ පොත් සම්පාදනයේ දී එතෙක් පැවති අඩුපාඩු මඟහරවා ගැනීමත් අනාගත අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව දැනුම ලබාදීමත් මෙහි එක් අරමුණක් විය. එතෙක් පැවති ඒකල පොත් ක්‍රමය වෙනුවට එක් විෂයයක් සඳහා පොත් තුනක් සම්පාදනය කිරීමට අවස්ථාව ලැබීම ඔස්සේ බාහිර ලේඛකයන් හට ද තරගකාරී අන්දමින් වඩා හොඳ ගුණාත්මක පෙළ පොත් සම්පාදනය කිරීමේ අවස්ථාව ලැබිණ.

පොත් අනුමත කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ පිළිගත් විද්වත් මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.

බහු පෙළ පොත් ක්‍රමයේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අන්තර්ගතය පිරික්සා බැලීම කොන්දේසියක් විය. මෙය මෙතෙක් අනුගමනය නොකළ ප්‍රතිපත්තියකි.

එක් විෂයයක් සඳහා අනුමත කරනු ලබන පොත් තුනෙන් එකක් රජයෙන් මුද්‍රණය කර ළමුන් හට නොමිලේ බෙදා දෙන ලදි. අනෙක් පොත් දෙක අමතර කියවීම් සඳහා වෙළෙද පොළට නිකුත් කිරීමට යෝජිත ව තිබිණ. එහෙත් මේ දෙවැනි ක්‍රමය ක්‍රියාත්මක නොවී ය. බහු පෙළ පොත් ක්‍රමය ආරම්භ වූයේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ දී වුවත් පළමු පොත නිකුත් වූයේ එජාප පාලන සමයෙහි දී ය. 2005 දී 6, 7 වසර සඳහා පොත් නිකුත් කෙරුණු අතර 2007 වසර වන විට 9 වසර සඳහා ද මෙය ක්‍රියාත්මක විය. එහෙත් නව රජයේ ප්‍රතිපත්තිමය තීන්දු අනුව බහු පෙළ පොත් ක්‍රමය යළි ඒකල පොත් ක්‍රමය බවට පත් විය. ඒ අනුව 2007 දී නැවතත් 6 – 10 වසර සඳහා ඒකල පෙළ පොත් ක්‍රමය ක්‍රියාත්මක වීමට ද 2008 දී නැවත වරක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වගකීම යටතේ පෙළපොත් සම්පාදනය කිරීමට ද නියමිත ය.

බහු පෙළ පොත් ක්‍රමය කාලීන අවශ්‍යතාවක් හැටියට හඳුන්වා දුන්න ද ඒ ක්‍රමය ඉදිරියට නොගියේ පෙළ පොත් මුද්‍රණය පුද්ගලික අංශයට ලබා දීම බහු ජාතික කුමන්ත්‍රණයක් හැටියට ජවිපෙ විසින් රජයට ඒත්තු ගැන්වීම ඔස්සේ ය. ඒ අනුව වානිජ මුද්‍රණයට අවසර නොදීමට රජය තීන්දු කළේ ය. නව ක්‍රමය යටතේ ද ඇතැම් අඩුපාඩු පැවති නමුත් එය පැරණි ක්‍රමයට වඩා ඉදිරි පියවරකි. කළ යුතුව තිබුණේ අඩුපාඩු මග හරහා ගැනීම ය.

පොත් මුද්‍රණය රාජ්‍ය ඒකාධිකාරයට යටත්කිරීම, පොත් ප්‍රමාදයට මූලික හේතුවක් වී තිබේ. මේ නිසා අබලි පොත් මත යැපීමට දරුවන්ට සිදු ව ඇත. දිවයිනේ සමහර විදුහල්වලට ඇතැම් විෂයයන් සඳහා වර්ෂාවසානය වන තෙක් පොත් නො ලැබේ.

මේ සියලු ගැටලුවලින් පෙනෙනුයේ අනෙක් සෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙන් ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ජාතික ප්‍රතිපත්තියක් නැතිකම ය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිගෙන් ඇමතිට ප්‍රතිපත්ති වෙනස් වෙයි. මෙයින් පීඩාවට පත් වන්නෝ සිසු දරුවෝ ය( දෙමව්පියෝ ය. මෙහි ප්‍රතිඵල භයානක ය. එසේ හෙයින් පෙළපොත් සම්බන්ධයෙන් ඇති සියලු ගැටලු විමර්ශනය කර ස්ථාවර වූ ද කාලෝචිත වූ ද වැඩ පිළිවෙලක් සකස් කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම විය යුතු ය. •