මංගලගේ බලමේනියාව

October 29, 2026
Publication:
Mangala Samaraweera tells Lakbima that today's journalists keep their eyes and ears shut while a police state is built. Ivan replies that every government since 1977 has had the features of one, and that if this is the first Samaraweera has noticed he has an ailment needing treatment — then goes through Waters Edge, the violence and the killings, S.B. Dissanayake and the plunder of property.

මංගල සමරවීර මහතා ලක්බිම පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකදී රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනයට ලක් කරන අතර, එදා අපි කැස්සත් විවේචනය කරපු මාධ්‍යකරුවන් අද ඉතාමත් දරුණු පොලිස් රාජ්‍යයක් නිර්මාණයවෙමින් තිබියදීත් ඇස් කන් පියාගෙන නිහඬව සිටින බව ප්‍රකාශ කර තිබුණි.

මංගල සමරවීරට රාජපක්ෂ ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් ලෙස පෙනේ නම්, එහි වරදක් ඇතැ”යි මම නොසිතමි. 1977 සිට බලයට පැමිණි හැම ආණ්ඩුවකටම අඩු වැඩි වශයෙන් පොලිස් රාජ්‍යයක ගති ලක්ෂණ තිබුණි. ඒ බව නොසලකා මෙතෙක් පහළ වූ එකම පොලිස් රාජ්‍යය රාජපක්ෂ ආණ්ඩුව ලෙස පෙනේ නම් ඔහුට වහා ප්‍රතිකාර ගතයුතු ආබාධයක් ඇතැ”යි කිව හැකිය. මංගල සමරවීර මහතා කැපී පෙනෙන ඇමතිවරයෙකු ලෙස ක්‍රියාකළ චන්ද්‍රිකා කුමාරතුංග පවත්වාගෙන ගිය රාජ්‍යය ද පොලිස් රාජ්‍යයක් විය. ඒ රාජ්‍යය තුළ මංගල සමරවීර ද පොලිස්කාරයෙකුගේ භූමිකාව රඟපෑවේය. ඉන්පසුව දැන් මංගල සමරවීරට දරුණු පොලිස් රාජ්‍යයක් ලෙස පෙනෙන රාජපක්ෂ පාලනය බිහිකිරීම සඳහා ද මංගල කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය. මංගල එයින් වෙන්වූයේ ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හෝ රට ගැන ඇති කරගත් විශේෂ කැක්කුමක් නිසා නොව, එම ආණ්ඩුවෙන් තමන්ට ලැබුණු පංගුවේ ප්‍රමාණය ගැන ඇති කරගත් අතෘප්තිය නිසාය. ඉන්පසු දැන් මංගල සමරවීර සටන් කරමින් සිටින්නේ ද පැරණි ආකෘතියෙන් වෙනස් වූ නව රාජ්‍යයක් සඳහා නොව තවත් පොලිස් රාජ්‍යයක් සඳහාය.

දේශපාලන ක්‍රමයේ ස්වභාවය

1977 න් ආරම්භ වී 1988 න් අවසන් වන ජේ.ආර්. ජයවර්ධන පාලනය තුළ ද විරුද්ධ පක්ෂ ව්‍යාපාර මර්දනය කිරීමක් තිබුණි. අතුරුදහන් කිරීම් හා පැහැර ගෙනයාම් සිදුවිය. ජනමාධ්‍ය මර්දනයක් ද තිබුණි. පොදු දේපළ කොල්ලකෑමක් ද තිබුණි. ඉහවහා ගිය දූෂණයක් ද තිබුණි. ඥාති හා මිත්‍ර සංග්‍රහයක් ද තිබුණි.

මේ ගති ලක්ෂණ හැම දෙයක්මත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ආරම්භ වී විජේතුංග ජනාධිපතිවරයාගෙන් අවසන් වන යූඑන්පී පාලනය තුළ ද දක්නට තිබුණි.

ඉන්පසු එළඹෙන 1994 න් ආරම්භ වී 2005 න් අවසන් වන චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු පාලනය තුළ ද විරුද්ධ පක්ෂ ව්‍යාපාර මර්දනය කිරීමක් තිබුණි. අතුරුදහන්කිරීම් හා පුද්ගල පැහැරගෙන යෑම් ද සිදුවිය. ජනමාධ්‍ය මර්දනයක් ද තිබුණි. පොදු දේපළ කොල්ලකෑමක් ද තිබුණි. ඉහවහා ගිය දූෂණයක් ද තිබුණි. ඥාති සංග්‍රහයක් හා මිත්‍ර සංග්‍රහයක් ද තිබුණි.

දේශපාලන බලය පොදු වස්තුව කොල්ලකෑමට ලැබෙන අයිතියක් බවට පත්කර ගනිමින් උපරිම මට්ටමකින් පොදු වස්තුව කොල්ල කන අතර, ඒ අයිතිය තමන්ගෙන් උදුරා ගන්නට උත්සාහ දරන්නන් දයාවිරහිත ලෙස හා කෘෘර ලෙස මර්දනය කරන දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කරන ලද්දේ යූඑන්පී යුගයේ ජේ.ආර්. ජයවර්ධන වුවත්, ඔහු ඇති කළ ක්‍රමයට කොන්ක්‍රීට් දමා එය ගල් ගැසුණු ක්‍රමයක් බවට පත් කරන ලද්දේ පොදු පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදීය. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ දූෂිත හා දුෂ්ට දේශපාලන ක්‍රමයට කොන්ක්‍රීට් දමා ශක්තිමත් කරන චන්ද්‍රිකාගේ ව්‍යාපෘතියේ ඊළඟ ලොකුම කෙරුම්කාරයා වූයේ මංගල සමරවීරය.

චන්ද්‍රිකාගේ ඒ ගෙවීගිය යුගය ගුණයහපත්කම්වලින් පිරුණු, අල්ලසින් හා දූෂණයෙන් තොර, ජනමාධ්‍ය නිදහස හා මානව හිමිකම් රජ කළ සුන්දර යුගයක් ලෙස විස්තර කළ හැකිද? අධමකම රජ කළ ඒ යුගයේ සිදුවූ අධමකම්වලට මංගලගේ සම්බන්ධයක් තිබුණේද? නැතිනම් ඒ සියල්ල සිදුවූයේ මංගල නොදැනද?

ඒ යුගයේ සිදුවූ වස්තු මංකොල්ලය ගැන මංගල කියන්නේ කුමක්ද?. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන්ට තිබෙන දේශපාලන බලය උපරිම ලෙස පොදු වස්තුව මංකොල්ලකෑම සඳහා යොදා නොගත්තේද? ඒ කොල්ලයට මංගලත් හවුල් වූයේද? නැතිනම් මංගල ප්‍රීතියෙන් හෝ සංවේගයෙන් පැත්තකට වී ඒ කොල්ලය දෙස බලා සිටි නරඹන්නෙකු පමණක් වීද? බලයෙන් පිටස්තරව සිටියදී අගහිඟකම්වලින් පිරුණු ජීවිතයක් ගත කළ සිය නායිකාව බලයට පත්වීමෙන් පසු කෝටි ප්‍රකෝටි ගණනින් වස්තුව රැස් කළ බව ඔහු නොදන්නේද?

වෝටර්ස් එජ්

ඒෂියා පැසිෆික් ගොල්ෆ් කෝස් ව්‍යාපෘතියට අදාළ ඉඩම් ගනුදෙනුව අන්ත දූෂිත ගනුදෙනුවක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ. ඒ වෙනුවෙන් සංකේතාත්මක අර්ථයෙන් රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපතිනියට නියම කළේය. මෙම ව්‍යාපෘතිය චන්ද්‍රිකා එංගලන්තයේදී බලාගත් රොනී පීරිස්ට අත යට ලොකු ආදායමක් උපයා ගැනීම සඳහා නිර්මාණය කළ ව්‍යාපෘතියක් බව අපි ඒ කාලයේදී ද ප්‍රකාශ කළෙමු. රොනී පීරිස් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු මෙම ගනුදෙනුවේ අතරමැදියෙකු ලෙස උපයා තිබෙන ආදායම රුපියල් මිලියන 52.8 කි. මෙම ඉඩම් ගනුදෙනුවේදී විෂය භාර ඇමතිවරයා වූයේ මංගලය. මෙම ඉඩම් ගනුදෙනුවේදී ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ආරක්ෂාව වෙනුවෙන් එදා ප්‍රසිද්ධියේ කතා කළ එකම පුද්ගලයා ද මංගලය. මෙම ගනුදෙනුව රොනී පීරිස්ට විශාල ආදායමක් උපයා ගැනීම සඳහා කෙරෙන පොදු දේපළ මංකොල්ලයක් බව එදා මංගල දැන නොසිටියේද? අද ඔහු ඒ ගැන කියන්නේ කුමක්ද? ජනාධිපතිනියගේ වුවමනාව වෙනුවෙන්, තමාගේ වුවමනාවන් වෙනුවෙන් හෝ වෙනත් අයගේ වුවමනාවන් වෙනුවෙන් විවිධ අයට කෝටි ගණනින් වටිනා නාගරික ඉඩම් නොමිලයේ හෝ නාමික මිල ගණන්වලට පවරා දෙන ප්‍රතිපත්තියක් විෂය භාර ඇමතිවරයාව සිටියදී ඔහු අනුගමනය කළේද? ජනාධිපතිනියගේ භෞත චිකිත්සකයා ලෙස ක්‍රියා කළ ඕස්ට්‍රේලියානු ජාතික මයික් චම්ලිට ලේක් ඩ්‍රයිව් පෙදෙසින් ලබාදෙන ලද ඉඩම ගැන මංගලට කියන්නට තිබෙන්නේ කුමක්ද? එවැනි ගනුදෙනු සැලකිය යුත්තේ පොදු වස්තුව මංකොල්ලකෑමක් ලෙසද? නැතිනම් යහපත් හා ගරු කටයුතු ගනුදෙනු ලෙසද?

ගුවන්විදුලි විකාශන තරංග ලෝකය සලකන්නේ මහජනයාට අයිති සීමිත මහජන සම්පතක් ලෙසය. ලෝකයේ බොහෝ රටවල් ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර ඉල්ලීම්කරුවන් අතර, වැඩිම ඉල්ලුම්කරුට විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර ලබාදෙන්නේ දේශපාලන හිතවතුන්ට නාමික මිලකටය. බලපත්‍රය නොවටිනා නාමික මිලකට ලබාගන්නා පුද්ගලයා එම බලපත්‍රය මිලියන සිය ගණනකට විකුණා සිය සාක්කුව පුරවා ගනී. මෙම දූෂිත ක්‍රමය තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් දස දහසක් වැනි නාමික මිලක් ලැබෙන විට අතරමැදියා නාමික මිලකට ලබාගත් බලපත්‍ර විකිණීමෙන් රුපියල් ලක්ෂ 5000 ක පමණ මුදලක් උපයා ගනී. විකාශන බලපත්‍ර සඳහා ක්‍රියාත්මක වන මෙම දූෂිත ක්‍රමය ඒ විෂය මංගල සමරවීර මහතා භාරයේ තිබූ කාලයේදී ද වෙනස් නොවීය. රොනී පීරිස් සිය නමට නාමික මිලකට බලපත්‍ර ගණනාවක් ලබාගත් බව මංගල දන්නේය. රටේ ජනාධිපති පවා තමන් සඳහා විවිධ අයගේ නම්වලට බලපත්‍ර එකක් හෝ කිහිපයක් ලබාගත් බව දන්නේය. ඉන් එක් බලපත්‍රයක් මංගලගේ සමීපතම හිතවතා වන ටිරාන් අලස් මිලදී ගත්තේද? ඒ සඳහා හිටපු ජනාධිපතිනියට ගෙවන ලද මිල කුමක්ද? චැනල් නයින් අපවාදයේදී එදා ජනාධිපතිනියගේ ප්‍රේමවන්තයාගේ භූමිකාව රඟපෑ සනත් ගුණතිලකගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර තිබූ අවස්ථාවකදී සනත්ගේ ආරක්ෂාව වෙනුවෙන් මංගල ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් මිලියන සිය ගණනක් මහා භාණ්ඩාගාරයට ලැබීම අත්හිටුවා රුපියල් දහපහළොස් දාහක් පමණක් මහා භාණ්ඩාගාරයට ලැබෙන්නට සලස්වා ඉතිරිය දේශපාලන හෙංචයියන්ගේ සාක්කුවට යන ක්‍රමයක් සාධාරණ ක්‍රමයක් ලෙස මංගල සිතන්නේද? එය පොදු දේපළ මංකොල්ල කන එක ස්වරූපයක් ලෙස අර්ථ දක්වතොත් මංගල ඊට එකඟ වන්නේද? එකක් හැර මේ තිබෙන සියලුම පුද්ගලික ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා දේශපාලන කැචර්ලාගෙන් විශාල මිලක් ගෙවා ලබාගත් ඒවා බව මංගල පිළිගන්නේද? මෙම ක්‍රියාවලියේ ඇති මංකොල්ලකාරී ස්වරූපය මංගලට නොපෙනුණේ ඇයි?

හිංසාව හා ඝාතන

චැනල් නයින් අපවාද විවාදය කෙළවර වූයේ එහි එක් කොණක සිටි රෝහණ කුමාර ඝාතනයට ලක්වීමෙනි. ඔහු ඝාතනය කළේ කව්ද? රෝහණ කුමාරගේ බිරිඳට අනියම් පෙම්වතකු සිටි බව හා සමහරවිට එම අනියම් පෙම්වතා මෙම ඝාතනය කරන්නට ඇති බවට ප්‍රසිද්ධ විවරණයක් කිරීමට මංගලට අවශ්‍ය වූයේ ඇයි? සිය පුතාගේ ඝාතනයට බිරිඳ සැකකරන බව රෝහණ කුමාරගේ මව උසාවිය ඉදිරියට ගොස් කියා සිටියාය. එහෙත් ඇගේ සාක්ෂිය පිළිගැනීම උසාවිය ප්‍රතික්ෂේප කළේය. ඇය එවැනි සාක්ෂියකට පොළඹවනු ලැබුවේ කව්ද? ඒ සඳහා ඇයට කුමන මිලක් ගෙව්වේද? ඒ මිල ගෙවන ලද්දේ කව්ද?

රෝහණ කුමාර ඝාතන පරීක්ෂණයේදී ආණ්ඩුවේ පැත්තෙන් කිසිම බලපෑමක් නොකරන ලද බව මංගල ලක්බිම පුවත්පතට කියා තිබුණි. පළමු පරීක්ෂණ භාර නිලධාරියා තමන්ට ලැබුණු නියෝගයක් මත මෙම පරීක්ෂණය ඉදිරියට ගෙනයෑම අත්හිටුවන බව පරීක්ෂණ ලිපිගොනුවේ සටහන් කොට තිබෙන බව මංගල දන්නේද?

රජගෙදර පාලකයාගේ භූමිකාව රඟපෑ බැද්දගාන සංජීව ගැන මංගල දන්නේද? ඔහුගේ නිවසේ සිටියදී නමගිය අපරාධකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී එම මෙහෙයුම භාරව ක්‍රියාකළ පෑලියගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක සමුද්‍රජීවට එහි පැමිණි ජනාධිපති ආරක්ෂක ඒකකයේ කරුණාරත්න තර්ජනය කළ බව මංගල දන්නේද? අවසානයේ එම පරීක්ෂණයෙන් ඔහු ඉවත් කිරීම සඳහා ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන බව දන්නේද?

කුමාර් පොන්නම්බලම් ඝාතනය කළේ කව්ද? ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිගමන මොනවාදැයි මංගල දන්නේද?

1999 ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ කතා කළ වේදිකාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගී ගැයූ ගායකයා වූයේ රූකාන්තය. ඊට දෙන ලද දඬුවමක් වශයෙන් එක්තරා රාත්‍රියක රූකාන්තගේ නිවසට කඩා වැදී ඔවුන්ගේ පුංචි දරුවන් ඉදිරියේ රූකාන්ත හා චන්ද්‍රලේඛාට දස වදදුන් පුද්ගලයන් කව්ද? එම කුරිරු හා නින්දාසහගත මෙහෙයුම පිටුපස සිටි දේශපාලනඥයන් කව්ද? එම කඩා වැදීමට ස්වල්ප වේලාවකට පෙර රජගෙදර සිටි නිලධාරියෙකු රූකාන්තගේ ඥාති පොලිස් නිලධාරියෙකු මගින් රජගෙදරින් මාර සේනාවක් එන්නට නියමිත බැවින් වහාම එම ස්ථානයෙන් පිටවී යන ලෙසට රූකාන්තට දැනුම්දීමක් කරනු ලැබුණු බව හා අධික බීමත්කම නිසා වහාම පලායෑමට නොහැකිවීම නිසා එම ඛේදජනක තත්ත්වයට මුහුණදීමට රූකාන්තට සිදුවූ බව මංගල දන්නේද?

රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළට දස වදදී ඔවුන්ගේ නිවසේ තිබූ වටිනා දේවල් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව රටේ පැවති විවාදයේදී රූකාන්ත විවාහ වී සිටින්නේ දෙවැනි විවාහයක් කරගත් ගැහැනියක සමග බවත්, පළමු විවාහයේ ස්වාමිපුරුෂයා රූකාන්ත සමග තිබෙන තරහ නිසා මෙම සිද්ධිය ඇතිවන්නට ඇති බව රටට ප්‍රකාශ කළේ කව්ද? ඉන්පසු රජගෙදර පැවති පැදුරු සාජ්ජයකට රටේ රැජින චන්ද්‍රලේඛාගේ පළමු විවාහයේ ස්වාමිපුරුෂයා හා දරුවන් ගෙන්වාගෙන ඔවුන් ලවා සිංදු කියවන ලද බව මංගල නොදන්නේද?

රූකාන්ත-චන්ද්‍රලේඛා ගායක යුවළ හා ඔවුන්ගේ දරුවන් අද ඉන්නේ කොහේද? වද හිංසාවලට වගකිවයුත්තන්ට නඩු පැවරීමත් සමග ඔවුන්ට එල්ල වූ මරණ තර්ජන හේතු කොටගෙන ඔවුන් ජීවිත ආරක්ෂාව සඳහා රටින් පලාගිය බව මංගල දන්නේද?

අනෝජා වීරසිංහගේ කෞතුක වස්තු සමග ඇගේ නිවස ගිනිබත් කරවන ලද සාහසික ක්‍රියාව පිටුපස සිටින්නේ කව්ද? ඒ සිද්ධියෙන් පසු ඉදිරිපත් වූ නිලඅර්ථකථනවලදී ඇය ගණිකාවක ලෙස අන්‍යාලාපයෙන් හඳුන්වමින් ඇගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය ඇය සොයා පැමිණි පිරිමි කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් නිසා ඇතිවිය හැකි බව කීවේ කව්ද?

එස්.බී. දිසානායක

එස්.බී. දිසානායක හිරේ යවන්නට සකස් කෙරුණු සැලසුමේදී ඔහුගේ පටිගත කරන ලද කථාව අධිකරණයට යවන්නට පෙර වෙනත් අයවලුන්ගේ කටහඬවල් අනුකරණය කිරීමේ හැකියාවක් ඇති ශිල්පියෙකු යොදවා ප්‍රශ්නය බැ?රුම් වන ආකාරයට හඬපටිය විකෘති කිරීමක් සිදු කළේද? එම සාහසික වැඩපිළිවෙල පිටුපස සිටියේ කව්ද?

යූඑන්පී විරෝධතා ව්‍යාපාරය ආවරණය කරන්නට ගිය ජනමාධ්‍යවේදීන් එක පොදියකට ගෙන ඔවුන්ට පහරදීමෙන් නොනැවතී ඔවුන්ගේ වටිනා කැමරා ආම්පන්න පැහැර ගැනුණු පීඑස්ඩී මෙහෙයුම අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවන ලද්දේ කව්ද? බුද්ධික වීරසිංහගේ පැහැර ගත් දුරකතනය සොයාගැනීමෙන් පසු එය ළඟ තබාගෙන සිටි පුද්ගලයාට එරෙහිව ඇසුණු නඩු විභාගයේදී එම නඩුව විභාග කළ විනිශ්චයකාරවරියට මරණ තර්ජන එල්ල වූ බව මංගල දන්නේද?

මෙම ප්‍රශ්න කිරීම මංගල විනාශ කිරීමේ අරමුණෙන් කෙරෙන ප්‍රශ්න කිරීමක් ලෙස නොසැලකිය යුතුය. මංගලට පමණක් නොව, රටේ ජනතාවට ද රටේ ඈත අතීතය පමණක් නොව, මෑත අතීතය ද අමතකය. මංගලට අනුව මහින්ද රාජපක්ෂ රාජ්‍යය බිහිසුණු පොලිස් රාජ්‍යයකි. ඊට පෙර තිබූ තමන් ද ඇතුළත් චන්ද්‍රිකා රාජ්‍යය අහිංසක, අනුන්ට හිංසා නොකළ, පොදු වස්තුව කොල්ල නොකෑ ධර්මිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. මෙම දේශපාලන ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන රාජ්‍ය ක්‍රමය බිහිසුණු පොලිස් රාජ්‍යයක් ලෙස අර්ථ දක්වනවාට වඩා චෞර රාජ්‍යයක් ලෙස අර්ථ දක්වන්නට මා කැමතිය. මෙම චෞර රාජ්‍යයේ ක්‍රියාත්මක න්‍යාය ධර්මය අනුව බලයට පත්වන පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව රටේ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබෙන්නේය. ඒ සමග පාලක පක්ෂයට එරෙහිව කතා කරන අය අනුකම්පාවිරහිතව මර්දනය කිරීමේ අයිතිය ද ලැබී තිබෙන්නේය.

වස්තු කොල්ලය

මෙම දේශපාලන ක්‍රමය තුළ පවතින බලය සඳහා වන දේශපාලන අරගලය පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය වෙනුවෙන් කෙරෙන තරගයක් ලෙස සැලකිය හැකිය. එහිදී බලය ලබන දේශපාලකයන් සමහරෙක් ඍජු ලෙස ද, තවත් සමහරෙක් අනියම් ලෙස ද වස්තුව කොල්ල කති. අනියම් ලෙස වස්තු කොල්ලයේ යෙදෙන අය කරන්නේ තමන් ඍජු ලෙස කොල්ලකෑම්වල නොයෙදී තමන් වෙනුවෙන් කොල්ලකන්නකු හෝ කොල්ලකන්නන් කිහිපදෙනෙකු යොදාගැනීමය. මෙම වස්තු කොල්ලයට පුරුදු වී සිටින්නන්ට සුළු කලක් හෝ බලයෙන් පිටස්තරව ඉඳීම අමාරුය. එම අවස්ථාව ඉක්මණින් තමන් වෙත හිමිකර ගැනීම සඳහා ඥානාන්විත ලෙස හෝ මෝඩ ලෙස ඔවුහු පොරකති.

එදා අපි කැස්සත් විවේචනය කරපු මාධ්‍යවේදීන් දරුණු පොලිස් රාජ්‍යයක් නිර්මාණයවෙමින් තිබියදීත් නිහඬව සිටින බව මංගල ලක්බිමට කියා තිබුණි. මා අයත්වන්නේ ද ඒ ගණයටය. එහෙත් මා එසේ කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවෙන් අයුතු ලාභයක් හෝ විශේෂ වරප්‍රසාදයක් ලබාගැනීමේ අරමුණින් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලතරගයේ දිග පළල තේරුම් ගත් පුද්ගලයෙකු වශයෙන් මෙම බලතරගය කෙරෙහි ඇතිවී තිබෙන පිළිකුල නිසාය. ශ්‍රී ලංකා රාජ්‍යයේ චෞර ස්වරූපයේ මූලික වෙනසක් සඳහා මංගල හෝ මෙම බලතරගය තුළ සිටින කිසිම පුද්ගලයෙක් හෝ දේශපාලන පක්ෂයක් පෙනී නොසිටිති. ඔවුන් තිබෙන කොල්ලකාරී ක්‍රමයට කැමතිය. ඒ ක්‍රමයට ඔවුහු සියලු දෙනා අබ්බැහි වී සිටිති. මෙම තරගයේ සිටි හැම පුද්ගලයෙකුටම හා කණ්ඩායමකටම අවශ්‍ය වී ඇත්තේ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය භුක්ති විඳින්නේ නම් එම අයිතිය ආරක්ෂා කරගැනීම හා ඒ අයිතිය ලැබී නැතිනම් හොඳින් හෝ නරකින් එම අයිතිය හැකි ඉක්මණින් ලබාගැනීමය.

මංගලට තේරුම් ගැනීමට අමාරු ප්‍රශ්නය වී ඇත්තේ එදා අපි කනකොට විවේචනය කළ අය අද රාජපක්ෂලා කන විට නිහඬව සිටින්නේ ඇයිද යන්නයි. රාජපක්ෂලාගේ වාරය ඉක්මණින්ම අවසන් කොට අපේ වාරය ඉක්මන් කිරීම සඳහා අප පෑන නොහසුරුවන්නේ ඇයිද කියාය.

මෙම දේශපාලන ක්‍රීඩාවේ රීති හරිහැටි නොදැන සිටි කාලයක ක්‍රියාකළ ආකාරයට අද අප ක්‍රියාකරන්නට සූදානම් නැත. ආණ්ඩු මාරු කිරීමෙන් පමණක් රටට විශාල යහපතක් ඇති කිරීමට හැකිවනු ඇතැ”යි එදා අපි විශ්වාස කළෙමු. එහෙත් හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවන බව අපි දැන් අත්දැකීමෙන් දන්නෙමු. මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලක පක්ෂයක් ම එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් පොදු දේපළ කොල්ලකයි. මේ රටේ පවතින දේශපාලන බලතරගය පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය වෙනුවෙන් කෙරෙන තරගයක් ලෙස නිර්වචනය කළ හැකිය. එහිදී බලයට පත්වන පාලක පක්ෂය තමන්ගෙන් බලය උදුරා ගන්නට උත්සාහ දරන්නන් අනුකම්පා විරහිතව මර්දනය කරයි. මෙම ලක්ෂණ මේ රටේ තිබෙන චෞර දේශපාලන ක්‍රමයට ආවේණික නිසඟ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

රටට අවශ්‍ය වී ඇත්තේ තිබෙන ක්‍රමයට ආදේශකයන් නොව, සැබෑ විකල්පයකි. රාජ්‍යයේ “චෞර ස්වභාවය” අහෝසි කරන, බලයට පත්වන්නන්ට පොදු දේපළ කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය අහෝසි කරන, නීතියේ ආධිපත්‍යය රජ කරන, මානව හිමිකම් කෙරෙහි සංවේදී, සියලු පුරවැසියන් භේදයකින් තොරව ආදරයෙන් රැකබලා ගන්නා දේශපාලන ක්‍රමයකි.

එක්කෝ රටේ මහජනතාව ගරාහැලෙමින් පවතින මෙම දූෂිත දේශපාලන ක්‍රමය අහෝසි කොට ඵලදායී නව දේශපාලන ක්‍රමයක් ඇති කරගත යුතුය. එසේ නොවේ නම්, මහජන මැදිහත්වීමකින් තොරව වුවත්, දේශපාලන ක්‍රමයේ ඇති ව්‍යුහමය නොගැලපීම් වර්ධනය වී ක්‍රමයේ කඩා වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එතෙක් අපට කළ හැක්කේ මහජන අවබෝධය වර්ධනය කරන පිළිවෙතකට බර තබා ක්‍රියාකිරීමය.

මෙම ලිපිය අවසන් කරන්නට පෙර මෙම දේශපාලන ක්‍රමය පිළිබඳව මා කරන ලද විවේචනයන්ට ලැබුණු ප්‍රතිචාර දෙකක් ගැන සඳහන් කිරීම වැදගත්ය. එජාපය තුළ සිටින කැපී පෙනෙන පුද්ගලයෙකු මට දුරකතනයෙන් කතා කොට දේශපාලන ක්‍රමය පිළිබඳව මා ලියන විවේචන ඔහු උනන්දුවෙන් කියවන බවත්, මාගේ නිරීක්ෂණ නිවැරදි බවත් ඔහු කියා සිටියේය. එසේ නම් ඔබේ පක්ෂය තුළ දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා බලවත් ලෙස පෙනී සිටින ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර මගේ විස්මයට හේතුවිය. ““මේ ක්‍රමය වැරදි වෙන්න ඇති. ඒත් අපේ ශක්තිය තියෙන්නේ මේ ක්‍රමය තුළ. අපි පුරුදු වී ඉන්නේ මේ ක්‍රමයට. අපට මිනිසුන් අවනත වෙන්නේ මේ ක්‍රමය නිසා. අපට මේ ක්‍රමය තුළ විවිධ දේවල් මිනිසුන්ට පොරොන්දු වෙන්න පුළුවන්. ඇත්තටම සමහර ඒවා දෙන්නත් පුළුවන්. ඒ නිසා ක්‍රමය වැරදි වුණත් මේ ක්‍රමයෙන් වෙන්වෙන්න හැකියාවක් අපට නැහැ.”” දෙවැනි ප්‍රතිචාරය මට අසන්නට ලැබුණේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කරන ලද අධ්‍යයනයක් එළිදැක්වීම වෙනුවෙන් පැවති වැඩමුළුවකදීය. එහි පැමිණියවුන් අමතා මම ද කතා කළෙමි. මෙම දූෂිත දේශපාලන ක්‍රමය ඇති කොට තිබෙන්නේ බලයට පත්වන පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයට බව හා ඒ නිසා දේශපාලන බලය සඳහා ලංකාවේ පවතින දේශපාලන තරගය පොදු දේපළ මංකොල්ලකෑමේ අයිතිය වෙනුවෙන් කෙරෙන ත්‍රාසජනක තරගයක් ලෙස හැඳින්විය හැකි බව මම එහිදී කීවෙමි. මෙම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක් බලයේ සිටින පාලක පක්ෂයට තිබිය නොහැකි බව හා එවැනි ප්‍රවේශයකට පැමිණිය යුත්තේ විරුද්ධ පක්ෂය බව ද මම එහිදී කියා සිටියෙමි.

එහිදී මගේ කතාවට ප්‍රතිචාර දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන ක්‍රමය පිළිබඳව මා කරන විවේචන ඔහු ද පිළිගන්නා බවත්, ඒත් මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කළේ එජාපය වන නිසා, මෙම දේශපාලන ක්‍රමය පොදු වස්තුව කොල්ලකෑමේ අරමුණින් නිර්මාණය කළ දූෂිත ක්‍රමයක් වන නිසා එය වෙනස් කළ යුතුයි කියන මතය ජනතාව අතරට ගෙනයෑමේ හැකියාවක් එජාපයට නැති බවය. අපි අපිම හදාපු ව්‍යවස්ථාවට චෝදනා කරමින් ජනතාව අතරට යන්නේ කෙසේද යන්න ඔහු පෙරළා නගන ලද ප්‍රශ්නය විය.

ඔහු නිවැරදිය. මේ ක්‍රමයට අනුගත වී සිටින මෙම දේශපාලන ක්‍රමයෙන් අයුතු වාසි ලබාගෙන සිටින කිසිම පක්ෂයකට මේ ක්‍රමයට එරෙහිවීමේ ඇත්ත හැකියාවක් නැත. මෙම ආරාවුලේ ඇති සංකීර්ණ ස්වභාවය ඇත්තේ ද එතැනය.