තෙල් ආරවුල කොයිබටද?

October 29, 2026
Publication:
The most popular man in Sri Lanka must be the chief justice, Ivan writes — he has sent a treasury secretary home, voided the attorney general's extension, cancelled a corrupt land deal and cut the electricity formula, and raised his own salary along the way. Then the substance: the hedging contracts, whether the fault was corrupt or merely ignorant, and why punishing people without a fair trial is not justice either.

දැන් ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රියම පුද්ගලයා අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විය යුතුය. ඔහු මහජනතාව ගලවා ගැනීමට පහළ වූ දෙවිකෙනෙකු සේ රටේ මහජනතාව මුහුණදී තිබෙන දුක් දොම්නස්වලට පිළියම් ලබා දෙමින් සිටින්නේය. ඔහු භාණ්ඩාගාර ලේකම්වරයෙකු ගෙදර යැවීය. ගැසට් නිවේදනයකින් සේවය දිර්ඝ කර තිබූ නීතිපතිවරයාගේ පැවැත්ම අවලංගු කළේය. හිටපු ජනාධිපතිනියගේ දූෂිත ඉඩම් ගනුදෙනුවක් අවලංගු කොට සංකේතාත්මක වශයෙන් ඇය ලක්ෂ 30 ක වන්දියක් උසාවියට ගෙවිය යුතු තත්ත්වයක් ඇති කළේය. ජනතාව පීඩාවට පත්වන ආකාරයට විදුලිය සඳහා පවත්වාගෙන ගිය මිල සූත්‍රයත් අවලංගු කොට සහනශීලී මිල සූත්‍රයක් ජනතාවට ලබා දුන්නේය. ඒ සමග තමා ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කොට දී දේශපාලනඥයින්ටද ඊට සමානුපාතික ප්‍රමාණයකින් ඔවුන්ගේ පඩි වැඩි කර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් ලබා දුන්නේය. මෙතෙක් කරන ලද සියලු දේ අතරින්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලෙහි ඇති වී තිබෙන අඩුව ජනතාවට ලබාදීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විදේශ බැංකු දෙකක් සමග පවත්වා ගෙන යන හෙජින් ගිවිසුම අවලංගු කරමින් දෙන ලද තීන්දුව, ජනතාවගේ වඩාත්ම ආනන්දයට හේතු වූ තීන්දුව ලෙස සැලකිය හැකි ය. එම නඩුවේදී අගවිනිසුරුවරයා බැලූ බැල්මට ගිවිසුම දූෂිත ගිවිසුමක් බව ප්‍රකාශ කරමින් නොනැවතී ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා දූෂිත පුද්ගලයෙකු ලෙස නම් කොට ඔහු දැරූ එම තනතුරද අහිමි කළේය. ඊටත් වඩා වැදගත් දේ වනුයේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ සභාපති ආරක්ෂා කළේය යන පදනමේ පිහිටා ඛනිජ තෙල් සම්පත් ඇමති (ඒ.එච්.එම් ෆවුසි) යටතේ ඇති අමාත්‍යාංශය හා එහි කාර්යයන් ජනාධිපතිවරයා යටතට පත්කර ගන්නා ලෙස නියම කිරීමය. එය ජනාධිපතිවරයාට අවශ්‍ය තීන්දුවක් ගැනීමේ අයිතිය ලැබීමේ නිර්දේශයක්ද නැතිනම් ජනාධිපතිවරයා අවශ්‍යයෙන්ම පිළිපැදීමට බැඳී ඇති නියෝගයන්ද යන්න නොපැහැදිලිය.

ඛනිජ තෙල් මිල නොනවත්වා ඉහළයමින් තිබූ තත්ත්වයක් තුළ සංස්ථාව හෙජින් ක්‍රමයක් සඳහා බැංකු සමග ගිවිසුමක් ඇති කරගන්නේ ඒ මගින් ඇතිවන අවදානම පාලනය කිරීම සඳහාය. එම ගිවිසුම අනුව ඛනිජ තෙල් මිල ඉහළ යාමකදී ගිවිසුමෙන් සමාගමට ලාබයක් ලැබෙන්නේය. අනෙක් අතට මිල පහත යාමකදී ලාබ ලබන්නා බවට පත්වන්නේ බැංකුවය.

තෙල්වල මිල කිසියම් දීර්ඝ කාලයක් ඉහළ යන තත්ත්වයකද පවතිනු ඇති බව එකල ලෝකයේ පිළිගත් මතය වී තිබුණි. එහෙත් ලෝකයේ ඇති වූ ආර්ථික කඩා වැටීම ඉදිරියේ අනපේක්ෂිත ලෙස තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙන තත්ත්වයක් ඇති විය.

මෙම ගිවිසුම ඇති කර ගැනීමෙන් පසු, තෙල් ඉහළ මිලකට තිබුණු කාල වකවානුවේ මෙම ගිවිසුම නිසා සංස්ථාවට ඩොලර් මිලියන 24 ක ලාභයක් හිමි විය. එහෙත් තෙල් මිල පහත වැටීමෙන් පසු මෙම සූත්‍රය නිසා සංස්ථාවට සිදුවී තිබෙන පාඩුව (දැනට) ඩොලර් මිලියන 38.5 කි. ගිවිසුම 2009 මැයි දක්වා වලංගුය. ඉදිරි කාලයෙත් තෙල් බැරලයක මිල ඩොලර් 50-60 ත් අතර පැවතියහොත් සංස්ථාවට දරන්නට සිදුවන පාඩුව ඩොලර් මිලියන 300 කි. තෙල් මිල තවදුරටත් පහත වැටුණහොත් තත්ත්වය වඩා නරක අතට හැරෙන්නේය. පසුගිය ජූලි 11 වැනි දා සිට නොවැම්බර් 22 දක්වා කාලය තුළ තෙල් බැරලයක මිල ඩොලර් 143.33 සිට ඩොලර් 46.47 දක්වා ඩොලර් 100 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුණේය. දැන් පවතින පහත මිල එසේම තිබුණහොත් ගිවිසුම අවසන් වන විට සංස්ථාවට හෙජින් ගිවිසුමට ඇතුළත් බැංකුවලට ගෙවන්නට සිදුවන වන්දිය ඩොලර් මිලියන 400 ක් දක්වා ඉහළ යා හැකිය. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය වාෂ්ප කරන තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකිය.

මිල ඉහළයාම නිසා ඇතිවන අවදානම අඩු කර ගැනීම නිසා හෙජින් ක්‍රමයට ගිවිසුමක් ඇති කර ගැනීම වැරදි නැතත් මිල ඉහළ යාමකදී බැංකුවට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් සංස්ථාවට ලැබෙන ආකාරයට මෙම සූත්‍රය සකස් වී නැති බව විෂය ගැන අවබෝධයක් ඇති විචාරකයින්ගේ මතය වී තිබේ.

මෙම දෝෂය දූෂිත අරමුණකින් හිතා මතා කරන ලද්දක්ද නැතිනම් මෙම විෂය පිළිබඳ අවශ්‍ය කරන විශේෂඥ දැනුම මඳකම නිසා සිදුවූවක්ද යන්න නොපැහැදිලිය. එහෙත් තෙල් මිල පහත වැටීම සිදු වූයේ අහම්බෙනි. එය කල්තියා දැන ගැනීමේ හැකියාව සංස්ථාවේ සභාපතිට හෝ විෂය භාර ඇමතිවරයාට තිබුණේ යැයි කිව නොහැකිය. ගිවිසුම් ගත කාලය තුළ මිල පහත වැටිමක් සිදු නොවී නම් ඉන් ලාබ ලබන්නා වන්නේ සංස්ථාවය.

මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමන හේතුවක් නිසා හෝ, මෙම පාඩුව දරාගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. එහෙත් ඉන් ඇතිවන පාඩුව දේශීය වශයෙන් දෙන අධිකරණ තීන්දුවකින් වැළකිය හැකිද යන ප්‍රශ්නයක් පවතී. සංස්ථාව සමග හෙජින් ගිවිසුමක් ඇති කර ගත් විදේශීය බැංකු ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ හා සමාන හෙජින් ගිවිසුමක් නිව්යෝර්ක් හි භශඵෑඞ ආයතනය සමග ඇති කර ගෙන තිබේ. සාකච්ඡාවලින් තොරව ඒකපාක්ෂිකව කෙරෙන ගිවිසුම බිඳ දැමීමක් නිසා ශ්‍රී ලංකාවට වාණිජ මට්ටමෙන් ණය ලබා ගැනීමට තිබෙන හැකියාව මුළුමනින් අහිමි කරන තත්ත්වයක් පවා ඇති විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට හා එහි ජනතාවට ගෙවන්නට සිදුවන වන්දිය වඩා විශාල විය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙන තීන්දුවක් ශ්‍රී ලංකාවට වලංගු වුවත් අන්තර්ජාතික බැංකු ජාලයකට අදාළ ආරවුලක් විසඳා ගැනීමට තිබෙන හරි තැන ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි අපට ඇති බැඳීම ඔවුන්ට නැත. ඔවුන්ගේ එකඟත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගයක් මත ඔවුන්ට කළ යුතු ගෙවීම් අප අත්හරී නම් ගිවිසුමට අවශ්‍ය ආරක්ෂක සහතිකය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව වන නිසා අන්තර්ජාතික බැංකු තලයේ ශ්‍රී ලංකාවට ලබා දෙන පහසුකම් අත්හිටුවීමේ හා සීමා කිරීමේ බලය ඔවුන් සතුය. එම තත්ත්වය රටක් වශයෙන් අපට ඇති කරන ප්‍රශ්න වඩා විශාල විය හැකිය.

මෙම අර්බුදයට විසඳුමක් ඇති කර ගැනීමෙන් තොරව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමෙන් ඇති වී තිබෙන වාසිය ජනතාවට ලබාදීමේ හැකියාවක් මොනම ආයතනයක්ටවත් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය කරනු ලබන නියම කිරීමක් අනුව ලෝක වෙළෙඳපොළේ අඩුවී තිබෙන තෙල් මිලට සමාන මිලකට තෙල් අලෙවි කිරීමට සංස්ථාවට සිදුවුවහොත් ඒ නිසා සංස්ථාව ලබන අලාභය පියවීමේ බර නැවත විවිධ ආකාරවලින් පැටවෙනු ඇත්තේද මහජනයාගේ කර පිටය. එවිට විචාරවත්ව කරුණු සලකාබැලීමෙන් තොරව හැඟීම්බරව හා උද්දාමයෙන් ක්‍රියාකරන මහජනතාවට සිදුවනු ඇත්තේ එකක් කඩතොලු වසාගන්නට ගොස් දෙකක් කඩතොලු සාදාගත් ඉඳුරුවේ ආචාරියාට සිදු වූ දේය.

රටක ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකි දේවල් තිබෙනවා සේම කළ නොහැකි දේවල් ද ඇත්තේය. විදුලි බිල පාවිච්චි කෙරුණ සූත්‍රය සංශෝධනය කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය ප්‍රශස්තය. ඒ නිසා යොදා ගැනුණු අගතිගාමී පදනම අහෝසි වී සාධාරණ පදනමක් මත ක්‍රියාකරන තත්ත්වයක් ඇති විය. එහෙත් පළමු වැනි වසරට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී හා විභාග ප්‍රශ්න පත්‍ර වර්ජනයට අදාළ ප්‍රශ්නයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම යහපත් ප්‍රතිඵල ඇති කිරීමට හේතු වූයේ නැත. ලංකා මැරයින් නඩු තීන්දුව අනාගතයේ බොහෝ විවාදයන්ට හේතු විය හැකිය. වෝටර්ස් එජ් නඩු තීන්දුවේ ප්‍රවේශය ඉතාමත් ජනහිතකාමි වුවත් ව්‍යාපාර විරෝධී ස්වරූපයක් ඒ තුළ පවතී. එය දූෂිත ගනුදෙනුවක් වුවත් ඒ නිසා හොඳින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් ගොඩනැගී තිබුණි. එම ව්‍යාපාරයේ පුද්ගලයින් 600 ක් පමණ සේවය කළ අතර රුපියල් 250,000ක සාමාජිකයෝ 2500 ක් පමණ එයට සිටියහ. එක ඉඩම් කට්ටියක් රුපියල් මිලියන 10කට වැඩි මිලක් ගෙවා ඉඩම් කට්ටි මිලදී ගත් 100 කට වැඩි පිරිසක් ද සිටියහ. ඒ සමග මෙම ආරවුල තුළ ඉඩම්වලට හිමිකම් කියන මුල් අයිතිකරුවෝ පිරිසක්ද සිටියහ. ඒ සියලු දෙනාට යුක්තිය හා ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන අතර මෙම දූෂිත ගනුදෙනුවට සම්බන්ධ අයට දඬුවම් කරන ප්‍රතිපත්තියකට ගියේ නම් එම තීන්දුවට ලැබෙන වටිනාකම දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබුණි. සෑම සාර්ථක ව්‍යාපාරයක්ම ආරක්ෂා කර ගත යුතුය. එවැනි සාර්ථක ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වක පැවැත්ම රටේ ආර්ථිකය කෙරෙහි බලපායි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු ආකාරය ඉතාමත් දූෂිත වුවත් එහි සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගී තිබුණි. මෙම නඩු තීන්දුව නිසා එම ව්‍යාපාරය මුළුමනින් වසා දැමිය යුතු තත්ත්වයක් ඇති වේ නම් එය රටේ යහපතට හේතුවන්නේ නැත.

අනෙක් අතට සාධාරණ නඩු විභාගයකින් තොරව පුද්ගලයින්ට දඬුවම් කරන හෝ පුද්ගලයන් දූෂිතයින් ලෙස අධිකරණයෙන් නම් කරන පිළිවෙතක් සාධාරණ පිළිවෙතක් ලෙස සැලකිය නොහැකිය. සෑම නඩු විභාගයකදීම චූදිතයකුට සාක්ෂි දීමේ අයිතිය, සාක්ෂිකරුවන් කැඳවීමේ අයිතිය, සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය, නීතිඥයන් මගින් පෙනී සිටීමේ අයිතිය හා තමන්ට අදාළව දෙන තීන්දුවකට එරෙහිව අභියාචනා කිරීමේ අයිතියද හිමි විය යුතුය. කොතරම් වැරදි කළ පුද්ගලයෙකුට වුවත් එම මූලික අයිතිය අහිමි කොට දඬුවම් කරන ප්‍රතිපත්තියක් සාධාරණ වන්නේ නැත.