හෙජින් ගිවිසුම හා ඇමතිගේ කරුණු පැහැදිලි කිරීම

October 29, 2026
Publication:
The popular story and the real one are far apart. On the minister's account in parliament, the hedging agreement was recommended to the corporation and the cabinet by the governor of the central bank, reviewed by a committee of senior officials, and then disowned when it went wrong — and the chairman of the corporation became the scapegoat for all of it.

හෙජින් ගිවිසුම අළලා අසන්නට ලැබුණු ජනප්‍රිය කතා හා එහි ඇත්ත කතාව අතර මහා පරතරයක් තිබෙන බව පැහැදිලිය.

මුලදී අසන්නට ලැබුණු කතාව අනුව එය ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිගේ හිතුවක්කාරී ක්‍රියාවකි. එය මහ බැංකුවේ ද, නීතිපතිගේ ද, කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය නැතිව ඇති කරගත් දූෂිත ගිවිසුමකි. එහෙත් ෆවුසි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කර තිබෙන ප්‍රකාශය අනුව මෙවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව සංස්ථාවට හා ඇමති මණ්ඩලයට නිර්දේශ කළේ මහ බැංකු අධිපතිවරයාය. ඒ සඳහා බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන වාර්තාව සමාලෝචනය කිරීම පිණිස කැබිනට් මණ්ඩලය උසස් නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කළේය. එම නිලධාරි කමිටුව ද මහ බැංකු අධිපතිවරයාගේ නිර්දේශය අනුමත කළේය. ඉන්පසුව ඒ වෙනුවෙන් ෆවුසි ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පත්‍රිකාවට පළමුවෙන් කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේ නැතත්, පසුව කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය දුන්නේය.

වේගයෙන් ඉහළ යන ඉන්ධන මිල ගණන් තුළ රටේ විදේශ විනිමය සංචිතයට සිදුවන හානිය අවම කිරීම මෙම ගිවිසුමේ අරමුණ විය. ඒ අනුව 2008 මාර්තු සිට අගෝස්තු අතර හයමාසයක කාලය තුළ සංස්ථාවට ඩොලර් මිලියන 24 ක ලාභයක් ලැබුණේය.

එහෙත් අනපේක්ෂිත ආකාරයට තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යන තත්ත්වයක් තුළ සංස්ථාව අලාභ ලබන්නෙකුගේ තත්ත්වයට පත්විය. මිල ඉහළ යෑමකදී බැංකුවලට සිදුවන අලාභය වැළකීම සඳහා ගිවිසුමට ආරක්ෂක විධිවිධාන ඇතුළත්ව තිබුණ ද, මිල පහළ යෑමකදී සංස්ථාවට ආරක්ෂාව ලබාදෙන ආරක්ෂක විධිවිධාන ඇතුළත්ව නොතිබුණි. ගිවිසුමේ තිබෙන එකම වැරැද්ද ලෙස පෙනෙන්නේ එයයි.

ගිවිසුම වංක අරමුණකින් ඇතිකර ගන්නා ලද්දක් බව බැලූ බැල්මට පෙනෙන්නේ නැත. එහෙත් ගිවිසුම සකස් කිරීමේදී මිල පහළ යෑමකදී සංස්ථාවට ලැබිය යුතු ආරක්ෂාව පිළිබඳව නිසි අවබෝධයකින් ක්‍රියාකර ඇති බවක් පෙනෙන්නට නැත. එය වංචනික අරමුණකින් කරන ලද්දක් බව බැලූ බැල්මට පෙනෙන්නේ නැත.

මේ තත්ත්වයට වගකිවයුතු සියලුදෙනා අවශ්‍ය තරමට සැලකිල්ලෙන් ක්‍රියාකොට නැති බව පෙනීයයි. එම නොසැලකිල්ල රටට ඇති කරන පාඩුව විශාල නිසා එය නොසලකා සිටිය යුතු තරම් සරල වරදක් ලෙස ද සැලකිය නොහැකිය.

එහෙත් ෆවුසි මහතා කියන ආකාරයට මෙම ප්‍රශ්නය අධිකරණය ඉදිරියට යන්නට පෙරම සිදුවන්නට යන පාඩුව අවම කරගැනීම සඳහා ගිවිසුමට සම්බන්ධ බැංකු සමග සාකච්ඡා කරන තැනකට ගොස් තිබුණේය. ඊට එම බැංකුවලින් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේය.

මෙහි තිබෙන වරද ලෙස පෙනෙන්නේ මෙම ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබියදී ගිවිසුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොලද හිතුවක්කාරී ගිවිසුමක් ලෙස සැලකීමය. අධිකරණය පවා සිය අතුරු තහනම ලබාදී ඇත්තේ එම පදනමේ පිහිටාය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් අතින් ද වරදක් සිදුවී තිබෙන බව පෙනී යයි. ඔහු කැබිනට් තීන්දු දැනුම් දෙන සාකච්ඡාවේදී මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී නැති බව ප්‍රකාශ කළේය. කරුණු දැන හෝ නොදැන කරන ලද එම ප්‍රකාශය මෙම ආරවුල තව තවත් ව්‍යාකූල කිරීමට හේතුවිය.

අවසානයේ මෙම සමස්ත අර්බුදයේ ලොකුම බිල්ල බවට පත්වූයේ සංස්ථාවේ සභාපතිවරයාය. අසන්ත ද මෙල්ට මෙවැනි ධුරයක් ඉසිලීමට නිසි සුදුසුකම් තිබුණේද නැද්ද යන්න අපි නොදනිමු. රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ දේශපාලන පත්කිරීම් සඳහා හැමවිටම පත් කෙරෙන්නේ සුදුසුම පුද්ගලයන් නොවේ. එය මේ ආණ්ඩු පාලනය තුළ පමණක් නොව, හැම ආණ්ඩු පාලනයක් තුළම දක්නට ලැබුණු සාමාන්‍ය ලක්ෂණයක් විය. වැරැද්දක් සිදුවී ඇත්නම් වැරැද්දේ මුළු වගකීම සංස්ථා සභාපති වෙත පැවරීම සාධාරණ නැත.