භයානක ප්‍රවණතාවක

January 11, 2009
Publication:
Amid the army's advances in the north, Ivan writes, what is heard in the south is terrifying. A Claymore mine was used against Sirasa's operations room on the 6th, detonated remotely — and only the security forces and the LTTE possess Claymores or know how to handle them. Two days later four men on two motorcycles stopped Lasantha Wickrematunge's car and shot him in the head. Journalists commonly believe both attacks, and two earlier assaults, were the work of the security forces, though they do not say so publicly. Ivan grants the forces their role and their sacrifice, and asks journalists to be sensitive in wartime — but argues that using power against critics earns no public respect, and that the government's decision to look away after Keith Noyahr and Namal Perera were attacked is now costing it dearly.

ආරක්ෂක හමුදා උතුරේ ලබන වැදගත් ජයග්‍රහණ මැද්දේ දකුණේ අසන්නට ලැබෙන කතා බිහිසුණුය. හයවැනිදා හිමිදිරියේ සිරස මෙහෙයුම් මැදිරියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන් දින දෙකකට පසු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී දෙපැත්තෙන් යතුරුපැදි දෙකකින් පැමිණි හතරදෙනෙක් ඔහු ගමන් ගනිමින් සිටි වාහනය නවතා ඔහුගේ හිසට වෙඩි තබා පලාගොස් තිබේ. ඉන් ලැබූ තුවාල හේතුවෙන් ලසන්ත මරණයට පත්විය. සිරසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මෙතෙක් කර තිබෙන පරීක්ෂණවලින් හෙළිවී තිබෙන කරුණු අනුව එහි සිදුකර තිබෙන පිපිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ක්ලේමෝ බෝම්බයකි. ඊට අනුව පිපිරීම කර තිබෙන්නේ දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමිනි. ක්ලේමෝ බෝම්බ සමග ගනුදෙනු කරන තාක්ෂණය දන්නේ ආරක්ෂක හමුදා හා එල්ටීටීඊය පමණය. ක්ලේමෝ බෝම්බ තිබෙන්නේ ද ඒ දෙපිරිස අත පමණය.

එමගින් රටට දෙන සංඥාව කුමක්ද? මෙම සිද්ධීන් දෙකට පෙර අවස්ථා දෙකකදී තිදෙනෙකු පහරදීම්වලට ලක්වූ අතර, ඉන් දෙදෙනෙකුම ජනමාධ්‍යවේදීන්ය. එම පහරදීම් දෙකම ආරක්ෂක හමුදා විසින් කරන ලද පහරදීම් බව ජනමාධ්‍යවේදීන්ගේ පොදු පිළිගැනීම වන අතර, එම අදහස් ප්‍රසිද්ධියේ පළ නොකළ ද සිරසට එල්ල වූ පහරදීම හා ලසන්ත වික්‍රමතුංගට එල්ල වූ පහරදීම ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද පහරදීම් යනු ජනමාධ්‍යවේදීන් අතර පවත්නා පොදු පිළිගැනීමයි. රටේ ආරක්ෂක හමුදා එල්ටීටීඊ ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවට විවාදයක් තිබිය නොහැකිය. ඔවුන් ඒ වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර, ඊළාම් විරෝධී යුද ඉතිහාසය තුළ මීට පෙර කවරදාවත් දිනාගැනීමට නොහැකි වූ තරම් වැදගත් ජයග්‍රහණ රැසක් ඔවුන් අත්පත් කරගෙන සිටින බවට ද සැකයක් තිබිය නොහැකිය.

ආරක්ෂක හමුදා සිය ජීවිත පරදුවට තබා ක්‍රියාකරමින් සිටින අවස්ථාවකදී ඔවුන් කරන කාර්යභාරය හෑල්ලුවට ලක් කරන ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන් කෙරෙහි ඔවුන්ගේ කෝපයක් ඇතිවිය හැකි වුවත්, ආරක්ෂක හමුදා තමන්ට තිබෙන බලය සිය විවේචකයන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නේ නම් එමගින් ඇති කරන ප්‍රතිඵල ඉතා බිහිසුණු විය හැකි බව අමුතුවෙන් කිවයුතු නැත. මෙවැනි යුද්ධයකදී ජනමාධ්‍යවේදීන් ආරක්ෂක හමුදා කෙරෙහි සංවේදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එහෙත් ජනමාධ්‍යවේදීන් එසේ ක්‍රියා නොකරන අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව බලය පාවිච්චි කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආරක්ෂක හමුදාවල ගෞරවයටහේතුවන්නේ නැත. ආරක්ෂක හමුදාවලට ද මහජන ගෞරවය හා විශ්වාසය අත්‍යවශ්‍යය. සටන් බිමේ තමන්ගේ සැබෑ සතුරන්ට එරෙහිව මිස යුක්තිසහගත නොවන ආකාරයකින් හෝ තමන් විවේචනයට ලක් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බලය පාවිච්චි කරන ප්‍රතිපත්තියක් මහජනයාගේ ගෞරවයට හේතුවන්නේ නැත.

කීත් නොයාර් හා නාමල් පෙරේරාට එරෙහිව බලය පාවිච්චි කරන ලද අවස්ථාවේදී ආණ්ඩුව යුද්ධයක් පවතින තත්ත්වයක් තුළ ආරක්ෂක හමුදාවට ලැබෙන වැදගත්කම සලකා අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ගොඩනැගෙමින් තිබුණ වැරදි ප්‍රවණතා ඒ මොහොතේ පාලනය නොකිරීම වෙනුවෙන් දැන් ආණ්ඩුවට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අතිවිශාලය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නොදී පාලනය කිරීම ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ සේ ම දේශපාලන නායකයන්ගේ ද වගකීමකි. ආරක්ෂක හමුදාවල සංවිධානාත්මක කුඩා කණ්ඩායමක් සිදුකරන ක්‍රියාවක වගකීම ආරක්ෂක හමුදා මත පැටවීම සාධාරණ නැතත්, මේ තත්ත්වය පාලනය නොකළහොත් එයින් ආරක්ෂක හමුදාවට සේ ම රජයට ද මුහුණ දෙන්නට සිදුවන අපකීර්තිය අතිවිශාල විය හැකිය. උතුරේ කෙරෙන යුද්ධයට හානියක් නොවන ලෙස මෙම තත්ත්වය මැඬ පැවැත්වීම ආරක්ෂක ප්‍රධානීන්ගේ ද දේශපාලන නායකයන්ගේ ද වගකීමකි.

Editor’s Note

Keith Noyahr, deputy editor of The Nation, was abducted and assaulted in May 2008; Namal Perera was attacked, together with an officer of the British High Commission, the following month.