සිරසේ සිරසට පහරදීම

January 11, 2009
Publication:
The Claymore detonated inside Sirasa's operations room symbolises the security forces, whoever ordered it: only the forces and the LTTE hold Claymores or know how to handle them, and if the forces did this the signal it sends is more frightening still. Ivan traces the campaign that preceded it — Wimal Weerawansa's JVP putting up posters nationwide calling Kili Maharaja and Sirasa a front for the LTTE after Sirasa depicted Weerawansa as a donkey, Mervyn Silva calling the channel a Tiger supporter, and public accusations over its coverage of the airbase attack on the day Kilinochchi fell. The attack was the logical outcome of that campaign. Naming political opponents as LTTE supporters, and rejoicing when they are killed by the LTTE, is an established habit here: SLFP supporters let off firecrackers when Premadasa was assassinated, and UNP supporters painted a pottu on Chandrika's posters in 1994.

සිරස මාධ්‍ය ජාලයේ මෙහෙයුම් මැදිරියට එල්ල කර තිබෙන සාහසික ප්‍රහාරය දෙන සංඥාව බියකරුය. දැනට සිදුකර තිබෙන පරීක්ෂණ අනුව එහි අභ්‍යන්තරයේ පුපුරුවා හැර තිබෙන බෝම්බය ක්ලේමෝ බෝම්බයකි. එම බෝම්බය පුපුරුවා හැර තිබෙන්නේ දුරස්ථ පාලක උපකරණයක් මගිනි. මොනයම් හේතුවක් නිසා හෝ පිපිරී ඇත්තේ ද අටවන ලද බෝම්බයෙන් එක්තරා කොටසක් පමණය. මෙම සාහසික ක්‍රියාව කරවන හා කරන ලද්දන් කවුරුන් වුවත්, ක්ලේමෝ බෝම්බය සංකේතවත් කරන්නේ ආරක්ෂක හමුදාවන්ය. ක්ලේමෝ බෝම්බ තිබෙන්නේ ආරක්ෂක හමුදාවන්ට හා එල්ටීටීඊයට පමණය. ක්ලේමෝ බෝම්බ සමග ගනුදෙනු කරන්න දන්නේ ද ඔවුන් පමණය. මෙම සාහසික ක්‍රියාව කර ඇත්තේ ආරක්ෂක හමුදාව නම් එමගින් දෙනු ලබන සංඥාව වඩාත්ම බියකරුය. සිරස මාධ්‍ය ජාලයට එල්ටීටීඊ හිතවාදී ලේබලය අලවන ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූයේ දැන් බොහෝ කලක සිටය.

විමල් වීරවංශ මහතා ජේවීපී ප්‍රධාන නායකයකුව සිටියදී ඒ මහතා හා සිරස මාධ්‍ය ජාලය අතර ඇතිවූ මතවාදී ගැටුමේදී සිරස රූපවාහිනිය සිය ප්‍රවෘත්ති ප්‍රචාරයේ විමල් වීරවංශ බූරුවකු ලෙස සංකේතවත් කරන විට ජවිපෙ කිලී මහරාජාගේ ඡායාරූපයක් සහිතව රට පුරා අලවන ලද පෝස්ටරයක් මගින් කිලී මහරාජා හා සිරස එල්ටීටීඊ අවතාර ව්‍යාපාරයක් ලෙස හැඳින්වීය. නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා හා සිරස අතර ඇතිවූ ගැටුමේදී ද මර්වින් සිල්වා සිරස හැඳින්වූයේ කොටි සංවිධානයට ආධාර කරන නාලිකාවක් වශයෙනි. කිලිනොච්චියේ ජයග්‍රහණය සමරන දිනයේදී කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව සිරස කරන ලද ප්‍රවෘත්ති ආවරණයේදී කිලිනොච්චියේ ලද ජයග්‍රහණයට ලැබෙන වැදගත්කම යටපත් කෙරෙන ආකාරයට හා කොළඹදී සිදුවූ පහරදීමට ලැබෙන වැදගත්කම ඉස්මතු කෙරෙන ආකාරයට ක්‍රියාකළ බවට සිරසට ප්‍රසිද්ධ චෝදනා එල්ල වූයේය.

සිරසට එල්ල කරන ලද ප්‍රහාරය කවුරුන් විසින් කළා විය හැකි වුවත් එය සිරසට එරෙහිව දියත්ව තිබූ මතවාද ව්‍යාපාරයේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. සිරසේ මාධ්‍ය භාවිතය හැමවිටම නිවැරදි තත්ත්වයක තිබුණේයැ”යි කිව නොහැකිය. විමල් වීරවංශ සමග ඇති කරගත් ගැටුමේදී ප්‍රවෘත්ති ප්‍රචාරයේදී විමල් වීරවංශ සීනුවක් කරේ එල්ලා ගත් බූරුවකු ලෙස සංකේතවත් කිරීම සිය සීමාව ඉක්මවා තමන්ට තිබෙන බලය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය. එහෙත් ඊට එරෙහිව ජවිපෙ ද දක්වන ලද ප්‍රතිචාරය ද ඉතාමත් සාහසිකය. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සදාචාරයට ආවේණික දුෂ්ට ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස නම් කිරීම සේම තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් එල්ටීටීඊ අතින් හෝ විනාශයට පත්වේ නම් සතුටට පත්වීම අපේ රටේ දේශපාලනයට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති ප්‍රේමදාස ඝාතනයට ලක්වූ අවස්ථාවේදී මැයි දින පෙළපාලියේ ගමන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් ප්‍රීතිය පළ කරනු පිණිස රතිඤ්ඤා පත්තු කළේය. 1994 ජනාධිපතිවරණයේදී එජාප ආධාරකරුවන් චන්ද්‍රිකාගේ පෝස්ටර්වල නළලේ මොට්ටුවක් තැබීමෙන් සංකේතවත් කළේ ද ඇය එල්ටීටීඊ ආධාරකරුවකු බව ජනතාවට හැඟවීමය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව ද රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද ඒ ප්‍රතිපත්තිය අනුගමනය කළේය. අද දක්වාම විවිධ ස්වරූපයන්ගෙන් මෙම සදාචාරය දේශපාලන තලය තුළ ක්‍රියාත්මක වේ. පොදු අර්බුදයකදී සියලු දේශපාලන නායකයන් එකට එකතු වී ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වුවත්, මේ රටේ ක්‍රියාත්මක වන දූෂිත දේශපාලන ක්‍රමය තුළ ඊට ඉඩක් නැත. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් හැර දෙමළ ප්‍රශ්නය කෙරෙහි අනුකම්පාවෙන් බලන අය එල්ටීටීඊ ආධාරකරුවන් ලෙස සලකා මර්දනය කරන පිළිවෙතක් සාධාරණ හෝ යුක්තිසහගතවන්නේ නැත.

එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයේදී ආරක්ෂක හමුදාව ඉතා වැදගත් ඓතිහාසික කාර්යභාරයක් සාර්ථක ලෙස ඉටුකරමින් තිබේ. ඔවුන් සටන් කරන්නේ දෙමළ ජනතාවට එරෙහිව නොව, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිවය. ජේවීපීය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කළ යුගයේදී එම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදා ඉටු කළ ඓතිහාසික කාර්යය භාරයට සමාන ඊටත් වැඩි වටිනාකමකින් යුතු ඓතිහාසික කාර්යභාරයක් ඔවුන් මේ මොහොතේ ඉටුකරමින් තිබේ. ඔවුහු සිය ජීවිත පරදුවට තබා ඉටු කරමින් තිබෙන එම කාර්යය භාරය ලඝු නොකළ යුතුය. නිලතල දරන්නන්ගේ සිට සාමාන්‍ය සෙබළුන් දක්වා වන ඒ සියලු දෙනාට ගෞරවය ද ප්‍රශංසාව ද හිමිවිය යුතුය. එහෙත් ඔවුන් එහිදී තමන් වෙත පැවරී තිබෙන කාර්යය භාරයෙන් ඔබ්බට සිය බලය පාවිච්චි කරන තැනකට නොයා යුතුය. ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් එල්ල වන සාධාරණ නොවන විවේචනවලදී පවා ඔවුන් විවේචකයන්ට එරෙහිව බලය පාවිච්චි කරන තැනකට නොයා යුතුය.

ඔවුන්ට පැවරී තිබෙන වගකීම වනුයේ රාජ්‍යයට බාහිර වශයෙන් හා අභ්‍යන්තරික වශයෙන් එල්ල වන ප්‍රචණ්ඩ ව්‍යාපාරයන් මැඬ පැවැත්වීමයි. ඒ සඳහා ලැබී තිබෙන බලය ඒ සීමාවෙන් ඔබ්බට පාවිච්චි කරන තැනකට ගියහොත් එය ඔවුන්ගේ ගෞරවයට සේ ම රටේ යහපතට ද හේතුවන්නේ නැත. බලය දරන්නන් තමන්ට පැවරී තිබෙන විෂය සීමාව තුළ සාධාරණ ලෙසත්, නීතියට අනුකූල ලෙසත් බලය පාවිච්චි කරන තත්ත්වයක් ඇති කරන්නේ කෙසේද යන්න දේශපාලන තලයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය.

Editor’s Note

Published in the same issue as the editorial on the killing of Lasantha Wickrematunge. The attack on Sirasa’s Depanama transmission facility took place on 6 January 2009. Kili Maharaja is Rayynor Silva’s business partner in the Capital Maharaja Organisation, which owns the Sirasa network; Ivan refers to him by the name in common use. The airbase attack referred to is the suicide attack on the Air Force headquarters in Colombo on 2 January 2009, the day the fall of Kilinochchi was announced.