ජනමාධ්‍ය, ජනතාවට තොරතුරු සපයන ප්‍රධාන මාර්ගයකි. රටේ සිදුවන වැරදි හෙළිදරව් කරන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ ද ජනමාධ්‍යයි. රටේ සිටින හැම වැදගත් ප්‍රබල පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් ජනමාධ්‍යවල විවේචනයට ලක්වෙති. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ පෞද්ගලික අංශය යන හැම වැදගත් අංශයක්ම පරීක්ෂාවට ලක් කරන මුරපල්ලා වන්නේ ද ජනමාධ්‍යයි. තොරතුරු ගැන, තොරතුරු ලබාගැනීමේ අයිතිය ගැන ජනමාධ්‍යවලට ඇති උනන්දුව අතිවිශාලය. තොරතුරුවලට ඇති පූජනීයභාවය සලකා විකෘති කිරීමකින් තොරව මහජනතාව අතට තොරතුරු ලබාදීමේ වැදගත්කම ගැන වැඩියෙන්ම කතා කරන පිරිස වන්නේ ද ජනමාධ්‍යවේදීහුය. තොරතුරු විකෘති කරනවාට සේ ම තොරතුරු වසන් කරනවාට ද ජනමාධ්‍යවේදීන් තරයේම විරුද්ධය. මහජන වැදගත්කමක් ඇති කිසිවක් වසන් නොකළයුතු බවට ඔවුහු අදහති. රාජ්‍ය රහස්, පනත් වැනි තොරතුරු සඟවන නීතිවලට ඔවුන් තරයේ විරුද්ධය.
හැම වැදගත් පුද්ගලයෙකුම විවේචනය කිරීමේ හා වැරදි කරන පුද්ගලයන් හෙළිදරව් කිරීමේ අයිතිය භුක්ති විඳින ජනමාධ්‍යවේදීන් තමන්ට ලැබී තිබෙන එම අයිතිය දශමයකින් හෝ සීමා කරනවාට තරයේ විරුද්ධය. මේ සා විශාල බලයක් දරන සමාජ දේශපාලනයේ මුරපල්ලාගේ කාර්යය ඉටු කරන ජනමාධ්‍යවේදීන් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් ඇත්තේ නැත. තොරතුරු මහජනතාවට බෙදාහැරීම සඳහා යොදා ගැනෙන, වැරදි කරන පුද්ගලයන් හෙළිදරව් කිරීම සඳහා යොදා ගැනෙන, ප්‍රධාන වේදිකාව ලෙස සැලකිය හැකි මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය යන නාලිකාවන් ඇත්තේ ඔවුන් අත නිසා ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන්ට එල්ල වන විවේචනවලදී එම විවේචන යටපත් කිරීමේ හැකියාව ද ජනමාධ්‍යවලට හෝ ජනමාධ්‍යවේදීන්ට ලැබී ඇත්තේය.
රනිල් වික්‍රමසිංහ
ඉතා මෑතකදී එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජනමාධ්‍ය සදාචාරය පිළිබඳ වැදගත් විවේචනයක් රටට ඉදිරිපත් කළේය. ජනමාධ්‍යවේදියෙකු ඔහුගෙන් ප්‍රශ්න කරන විට රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කළේය. එය ජනමාධ්‍යවේදීන් තර්ජනයට ලක්කිරීමක් ලෙස සලකා ජනමාධ්‍ය සංවිධාන ඔහුගේ එම ක්‍රියාව හෙළා දකින නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයට පිළිතුරු දෙන ප්‍රතිනිවේදනයක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එම පක්ෂය නිකුත් කළ ද, එක්කෝ එම නිවේදන ජනමාධ්‍ය පළ නොකළේය. නැත්නම් එය පළකර තිබුණේ ඇතැම් කොටස් කපාහරිමින් එම නිවේදනය විකෘති කෙරෙන ආකාරයටය. එම කරුණු පදනම් කොටගෙන රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ජනමාධ්‍යවේදීන්ගේ හා ජනමාධ්‍ය සංවිධානවල හැසිරීම අළලා ප්‍රසිද්ධ විවේචනයක යෙදුණ ද එය ප්‍රමාණවත් තරම් සංවාදයකට ලක්වීමක් සිදු නොවීය.
එය එසේ වූයේ ඇත්තටම ඒ ගැන සංවාදයක් ඇති නොවූ නිසාද, නැතිනම් තමන්ගේ භාවිතය ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන සංවාදයකට ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඉඩ නොදුන් නිසාද යන්න පැහැදිලි නැත. සුනන්ද දේශප්‍රිය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අතර ඇතිවූ ආරාවුලේදී ද සුනන්දට එරෙහිව ආණ්ඩුවේ ජනමාධ්‍ය විවිධ දේ ප්‍රකාශ කළහ. එහිදී ඇත්තටම කුමක් සිදුවීද යන්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රටට විස්තර නොකළා සේ ම සුනන්ද දේශප්‍රිය ද ඒ ගැන රටට පැහැදිලි විස්තරයක් නොදුන්නේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කතා කළේ විස්තරවලින් තොර නොපැහැදිලි භාෂාවකිනි. සුනන්ද පිළිතුරු දුන්නේ ද විස්තර නැතිව සංකීර්ණ භාෂාවකිනි. මොකක් හෝ සිදුවී ඇති බවක් පෙනෙන්නට තිබුණ ද ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්ද යන්න පැහැදිලි නොවීය. දැන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ඊට සම්බන්ධ මාධ්‍ය සංවිධාන පහ තුළ පුපුරනසුලු තත්ත්වයක් ගොඩනැගී තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදුවී ඇතැ”යි කියන ගනුදෙනු ගණනාවක් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් පත් කර තිබුණු බව කියනු ලැබේ. ඒ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටුව රැස්වී පරීක්ෂණ කමිටුවේ පරීක්ෂණය අත්හිටුවා නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා මහා සභාවක් කැඳවීමට තීරණය කර තිබේ. එම තීන්දුව ගත් දිනයේ පැවති රැස්වීමේදී මෙම විවාදයට හේතුවී තිබෙන තොරතුරු ජනමාධ්‍යවල පළවීම වළකා ගැනීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක්වී තිබේ. මෙම ආරාවුලට හේතුවී තිබෙන තොරතුරු ජනමාධ්‍ය අතට පත්වීම වළකා ගතයුතු බවට ඇතැම් අය එහිදී අදහස් පළ කරන ලද බව ද කියනු ලැබේ. එයින් පෙනෙන්නේ තොරතුරුවල පූජනීයත්වය වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍යවේදීන්ටම මහජනතාවට තොරතුරු වසන් කිරීමට අවශ්‍ය වී තිබෙන බව නොවේද? රාජ්‍ය රහස් සුරකින නීතිවලට විරුද්ධ වන ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂා කරගැනීමට තරම් රහස් ඇති බව නොවේද? නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු වශයෙන් මෙම ආරාවුලට මැදිහත් වී තිබෙන ප්‍රශ්න බේරුමක් කර දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව මගෙන් ද ඉල්ලා සිටියහ.
මා ඔවුන් හැම කෙනෙකුටම කීවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉවත් වූ කෙනෙකු බැවින් මැදිහත්වීමේ හැකියාවක් මට නැති බවය. අනෙක් අතට අභ්‍යන්තරයේ බරපතළ වැරදි සිදුවී ඇත්නම්, ඒවා වසන් කරන ප්‍රතිපත්තියක් යහපත් නොවන බවය. එහෙත් මේ ප්‍රශ්නය ගැන මට කතා කළ කිහිපදෙනොගෙන් වැඩිදෙනාගේ මතය වූයේ මතුවී තිබෙන ප්‍රශ්න ප්‍රසිද්ධ කරළියට එන්නට ඉඩ නොදී අභ්‍යන්තරික වශයෙන් හා රහසේ විසඳා ගතයුතු බවය. ඉන් මට පෙනී ගියේ ඉතා නරක ජනමාධ්‍යවේදීන් පමණක් නොව, හොඳ ජනමාධ්‍යවේදීන් පවා තමන්ගේ වැරදි ප්‍රසිද්ධියට පත්වනවාට එකඟ නොවන බවය. ඔවුන් වැරදිවලදී අන් සියලුදෙනා සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය තමන් සම්බන්ධයෙන් පමණක් අනුගමනය කරන්නට සූදානම් නැති බවය.
ගෝල්ඩන් කී අර්බුදය
ගෝල්ඩන් කී අර්බුදය කරළියට ආවේ ජනමාධ්‍ය ව්‍යාපාරය තුළ මතුවී තිබුණු අර්බුදය හොර රහසේ සාකච්ඡාවට ලක්වෙමින් තිබුණු අවස්ථාවකදීය. පෞද්ගලික අංශයේ නාමධාරී පුද්ගලයන් දෙදෙනෙකු සමග ගෝල්ඩන් කී අර්බුදය ආශ්‍රයෙන් මතුවී තිබෙන තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට මට අවස්ථාවක් ලැබුණි. එහිදී මම ඔවුන්ට මෙසේ කීවෙමි. ““ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට රටේ දේශපාලනය ගැන, රට පාලනය කරන දේශපාලකයන් ගැන රුදුරු විවේචනයක් තිබේ. ඔවුහු අකාර්යක්ෂමය. දූෂිතය. සිත් පිත් නැති ලෙස සම්පත් කොල්ලකති. මහජනයාගේ බදු මුදල්වලින් රටේ ආර්ථික තත්ත්වයට නොගැලපෙන අධි සුඛෝපභෝගී ජීවිත ගත කරති. ඔවුහු නීතියට ගරු නොකරති. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නියමුවන්ගේ හැසිරීමත් එයම නොවේදැ”යි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. මගේ ප්‍රශ්න කිරීම ඔවුන් තුළ විමතියක් ඇති කරන්නට ඇතත්, මගේ නිරීක්ෂණය සමග ඔවුහු ද එකඟ වූහ.
රටේ පෞද්ගලික අංශයේ නියමුවෝ ද රටේ දේශපාලකයන් තරම්ම දූෂිත හා අත්තනෝමතිකව ක්‍රියාකරන්නන් පිරිසක් බව ඔවුහු පිළිගත්තෝය. අප කොයි කවුරුත් කැමති දේශපාලකයන් ගැන කතා කරන්නටය. සියලු වැරදි ඔවුන් පිට පටවන්නටය. සුදනන් මෙන් කතාකරන ඔවුන් හා අප අතර ගුණාත්මක වෙනසක් තිබේද? සියලුදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඉන්නේ එකම අසූචි වළකය. එල්මෝ පෙරේරා තරුණයෙකු නොව වියපත් පුද්ගලයෙකි. ඔහු යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මිනිසකු වශයෙන් තමන්ට කළ හැකි හැම දෙයක්මත් කළ පුද්ගලයෙකි. නීතිඥයෙකු ලෙස ක්‍රියාකිරීමට ඔහුට තිබුණු අයිතිය අධිකරණය විසින් සත් අවුරුදු කාලයක් සඳහා තහනම් කර තිබුණු අවස්ථාවක මේ රටේ වෘත්තීයවේදීහු ඔහු වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස තෝරා ගත්තෝය. මේ රටේ වෘත්තීයවේදීන් සිය යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම්, දේශපාලනඥයන්ට පිස්සු නටන්නට ඉඩ නොලැබෙනු ඇති බව ඔහුගේ විශ්වාසය විය.
ඔහුට වෘත්තීයවේදීන්ගේ සංගමය එම ප්‍රශ්නයේදී දැඩි ස්ථාවරයකට ගැනීමට අවශ්‍ය විය. වෘත්තීයවේදීන්ගේ සංගමයට අනුබද්ධ සංවිධාන වෙත වෘත්තීයවේදීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වන විට අදාළ සංවිධාන ඒවා විභාග නොකරන අවස්ථාවලදී එවැනි සංවිධානවලට එරෙහිව ක්‍රියා කරන තැනකට වෘත්තීයවේදීන්ගේ සංගමය ගැනීමට එල්මෝට අවශ්‍ය විය. එල්මෝ පෙරේරා තමන් දකින ලද එම සුන්දර සිහිනය සැබෑ කරගන්නට ගිය ආකාරයේ අඩුපාඩුකම් තිබුණා විය හැකිය. ඔහුට ඒ සඳහා හොඳ උපාය මාර්ගික වැඩපිළිවෙලක් නොතිබුණේය. එය වෙනම ප්‍රශ්නයකි. එහෙත් එම අහිංසක අභිලාසයේදී ඔහුට මුහුණ දෙන්නට සිදුවූ ඉරණම ඉතාමත්ම බිහිසුණුය. ඔහු කෙටි දින කිහිපයක් තුළ පිළිගත් සම්ප්‍රදායන්ට හා නීතියට පටහැනිව ඔහු හෙබවූ තනතුරින් පහ කරන ලදි. වෘත්තීයවේදීන්ගේ නිලවරණයේදී ඔහුට මහා ජයග්‍රහණයක් ලබා දුන් අය විසින්ම ඔහුගේ පැවැත්ම වාෂ්ප කළේය.
ඔහු වෙනුවෙන් කතා කරන්නට කිසිවකුත් නොසිටියේය. ඔහු දීර්ඝ කාලයක් නීතිඥයකු ලෙස ක්‍රියා කළේය. ඊට පෙර මිනුම්දෝරුවකු ලෙස හා මිනුම්පති ලෙස ක්‍රියා කළේය. ඔහු වෙනුවෙන් උසාවි යන්න නීතිඥයන් අතර එක නීතිඥයෙක් හෝ නොසිටියේය. මා හිතන අන්දමට ප්‍රභාකරන් රටේ පවතින ත්‍රස්තවාදයේ එක ස්වරූපයක් පමණය. තවත් ස්වරූප ගණනාවකින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයක් රටේ පවතී. එල්මෝ පෙරේරා එයින් එක් ත්‍රස්තවාදයක රුදුරු ගොදුරක් බවට පත්විය. ලංකාවේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එල්මෝ පෙරේරා සංසිද්ධිය වැදගත් සංසිද්ධියක් නොවීය. එල්මෝ පෙරේරා සිද්ධිය මට ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් හා ඔවුන්ගේ ව්‍යාපාර දූෂණයෙන් කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන එක් වැදගත් සිද්ධියක් විය. දැන් කුණාටුව මාරුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ගේ සුන්දර ලෝකය දෙසටය.
දැන් කාලයක් තිස්සේම මහා ගින්නක් ඇති කිරීමට හේතුවිය හැකි ගිනි පුපුරු අළු යට සැඟවී තිබුණි. පුංචියට වුවත් ගින්න ඇරඹුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙනි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඇතිවූ ගින්න නිවී ගිය ද එය නිවී ගියේ වෙනත් තැන්වල ගිනි ඇවිලෙන ආකාරයටය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පරීක්ෂණය පැවැත්වූයේ එක පුද්ගලයෙකුට එරෙහිව පමණය. ඉන්පසු එක් පුද්ගලයෙකු වෙනුවට ජනමාධ්‍ය සංවිධානවල ක්‍රියාකාරී පුද්ගලයන් රැසකට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඉන්පසු පුවත්පත් ආයතනය ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මම ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වෙමි. එහෙත් එම ආයතනය ගොඩනගන මුල් දිනවලම මට මතභේද තිබුණි. මතභේද ඇතිවූයේ ව්‍යවස්ථාව ගැනය. ව්‍යවස්ථාව සකස් කර තිබුණේ ඕනෑම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකුට එම සංවිධානයට ඇතුළුවීමට ඉඩ ලැබෙන ආකාරයට නොවේ. එහෙත් තෝරාගත් සුළු පිරිසකට පමණක් ඊට එකතුවිය හැකි ආකාරයකටය. ඒ නිසා ඇතිවනු ඇත්තේ පොදුවේ ජනමාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයක් නොව, එක්තරා කල්ලියකගේ ව්‍යාපාරයක් බවට මම අනතුරු ඇඟවූවෙමි. සියලු දෙනාට දොරටු විවෘත කරන ප්‍රතිපත්තියක් සංවිධානාත්මක පිරිසකට සංවිධානය අල්ලා ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇති බවට ඔවුහු තර්ක කළෝය. ඒ ගැන නගන තර්ක මගේ පිළිගැනීමට හේතු නොවූ නිසා කිසියම් දීර්ඝ කාලයක් මම එම ව්‍යාපාරයෙන් ඉවත්ව සිටියෙමි. චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ජනමාධ්‍යවලට අතිවිශාල මර්දනයක් එල්ල වන්නට වූ විට මතභේද අමතක කොට මර්දනයට මුහුණදීම සඳහා එකතු වන ලෙස සුනන්ද හා වරුණ මට ආරාධනා කළහ.
ඒ අනුව මම නැවත ඊට එකතු වූයෙමි. එකල එයට තමන්ගේම න්‍යාය පත්‍රයක් තිබුණි. අප වැඩ කළේ අපේ සාක්කුවල සල්ලිවලිනි. වාර්ෂිකව සංවිධානයට ලැබුණු ආදායම රුපියල් දස දහසක්වත් නොවීය. වැටුපට වැඩ කරන පිරිසක් ද එම සංවිධානය තුළ නොසිටියෝය. එකල අපට ද මරන තර්ජන එල්ල වුණ අවස්ථා තිබුණි. බෝම්බ ප්‍රහාර එල්ල වූ, ඇසිඩ් ප්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබුණි. ඒ සියලු දේට අප මුහුණ දුන්නේ අපේම ශක්තියෙනි. අපට සැඟවෙන්නට සුඛෝපභෝගී ආරක්ෂක නිවාස නොතිබුණි. තර්ජනයට ලක්වූවන්ට විශේෂ ගෙවීම් කරන ක්‍රමයක් ද නොතිබුණි. අපට තිබුණේ එක ව්‍යාපෘතියක් පමණය. එය ජනමාධ්‍ය නිදහසට අදාළ ව්‍යාපෘතිය පමණය. එය අපේම ශක්තියෙන් හා දාඩිය මහන්සියෙන් දුවන ව්‍යාපාරයක් විය. කාලයාගේ ඇවෑමෙන්, සංවිධානයේ ස්වරූපය ද ක්‍රමයෙන් වෙනස් විය. තමන්ගේ ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් වෙනුවට එය විදේශ ආධාරවල ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් බවට පත්විය.
විදේශ ආධාර ලබාගන්නවාට මා විරුද්ධ නැත. එහෙත් ඒවා අපේ ඇත්ත අවශ්‍යතාවන්ට ගැලපෙන ප්‍රමාණයකට විය යුතුය. ඒ නිසා අපේ න්‍යාය පත්‍රය හැසිරවීමේ අයිතිය ආධාර දෙන සංවිධානවල අයිතියක් බවට පත් නොකළ යුතුය. එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කෙළවරක් නැති තරමට විදේශ ව්‍යාපෘතිවල හිරවූ සංවිධානයක් බවට පත්විය. සල්ලි අවශ්‍යම නම් තමන්ට ගැලපෙන, තම සංවිධානයේ ආත්ම ගෞරවයට හානියක් ඇති නොකරන එක ව්‍යාපෘතියක් හෝ දෙකක් කළාට වරදක් නැත. ඒ වෙනුවට සිදුවූයේ කෙළවරක් නැති තරමට ව්‍යාපෘති බදා ගත්, එක ව්‍යාපෘතියක්වත් හරියට නොකරන, තමන්ගේ ව්‍යාපෘතිය අමතක කළ ව්‍යාපාරයක් බවට පත්වීමය. මම මාගේ අතෘප්තිය ප්‍රකාශ කොට නැවතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ආයුබෝවන් කීවෙමි. මගේ විවේචනය වූයේ අපට තිබෙන ඇත්ත ප්‍රශ්න කතා කරනවා හා ක්‍රියා කරනවා වෙනුවට තමන්ට ලැබෙන විදේශ ආධාර මත විදේශ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන සංවිධානයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පත්ව තිබෙන බවය.
සංවිධානයෙන් ඉවත්වීමෙන් කලකට පසුව උවිඳු කුරුකුලසූරිය සමග කරන ලද ලිඛිත විවාදයකදී මට ඒ වන විට පෙනෙන්නට තිබුණු එක් වැදගත් ප්‍රවණතාවක් හඳුන්වාදීමට මම උත්සාහ කළෙමි. ජනමාධ්‍යවේදීන් අතර ජනමාධ්‍ය අද්වකාත්ලා පිරිසක් බිහිවී ඇති බවත්, මෙම ජනමාධ්‍ය අද්වකාත්වරුන් ජනමාධ්‍යවේදීන්ගේ න්‍යාය පත්‍රය තීරණය කරන්නන් බවට පත්ව ඇති බවත්, ජනමාධ්‍යවේදීන් හා මෙම අද්වකාත්ලා උපයන ආදායම් අතර විශාල පරතරයක් ඇති බවත්, මම එදා කීවෙමි. මෙම ආරාවුල යට ඇති තවමත් සඟවාගෙන ඇති තොරතුරුවලින් මා එදා කියන ලද අනාවැකිය හොඳින් සනාථ වී තිබෙන බව පෙනේ.
ජනමාධ්‍ය ආරක්ෂක අරමුදල
කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට අමානුෂිකව පහරදීමේ සිද්ධියේදී ඊට විරෝධය පළ කරන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස ජනමාධ්‍යවේදියෙක් මට දුරකතනයෙන් ආරාධනා කළේය. එවැනි පහරදීම්වලදී ඔවුන් වෙනුවෙන් ක්‍රියාකිරීමට නිල ආයතනයක් හා ගෙවීම් ලබන විශේෂ නිලධාරීන් පිරිසක් ඇති බැවින් දැන් වෙනදා මෙන් එවැනි සිද්ධීන්ට අප වැනි ස්වේච්ඡා සේවකයන් අවශ්‍ය නොවන බව මම කියා සිටියෙමි. එහිදී ඔහු විසින් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මා කියා සිටියේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියක් නොතිබුණු යුගයකදී සිදුවන අපරාධවලදී අපරාධකරුවන් මැඬලන්නට ස්වේච්ඡාවෙන් පුරවැසියන් ක්‍රියාකළ නමුත් නිල පොලිසියක් ඇති වූ පසු එම වගකීම පොලිසිය විසින් මිස පුරවැසියන් විසින් ඉටු නොකළ යුතු බවය. මට එහෙන් මෙහෙන් ලැබී තිබෙන තොරතුරු අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා දැන් වසර හතරක කාලයක් තිස්සේ මාසිකව වැටුප් ලබන නිලධාරීහු දෙදෙනෙක් සිටිති.
ඔවුන්ට වැටුප් දෙන්නේ ඉන්සි (INSI) නමැති ජාත්‍යන්තර ආයතනයයි. එක් පුද්ගලයෙකුට ගෙවන මාසික වැටුප යුරෝ 750 කි. 2007 යුරෝ එකක රුපියල් හුවමාරු අනුපාතිකය රුපියල් 160 කි. එවිට එක් පුද්ගලයෙකුගේ වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 1,20,000 කි. මීට අතිරේකව ඒ දෙදෙනාගේ ගමන් වියදම්, ඉන්ධන බිල, ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා යන වියදම, එම දුරකතන බිල, ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා යන වියදම, විද්‍යුත් තැපෑල සඳහා යන වියදම් ද දරනු ලැබේ. එවිට සමස්ත වැටුප් බිල රුපියල් ලක්ෂ 02 ක් පමණ විය හැකිය. එහෙත් මෙම ආදායම මෙම වැටුප් ලබන්නන් දෙදෙනාට තිබෙන එකම ආදායම නොවේ. තිබෙන ආදායම් මාර්ගවලින් එකක් පමණය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන වැටුප් ලබන ස්ථිර නිලධාරීන් දෙදෙනෙකු රටේ සිටිනවාට මා විරුද්ධ නැත. ඔවුන් කරන අතිවිශාල කාර්යභාරය සඳහා ඔවුන්ට දැවැන්ත වැටුපක් විදේශ ආයතනයකින් ගෙවනවාට ද මා විරුද්ධ නැත.
මට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ සියල්ල රහසේ සිදුවීමය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව භාර වැටුප් ලබන නිලධාරීන් දෙදෙනෙකු සිටින බව රටේ ජනමාධ්‍යවේදීන්වත් නොදනී. ජනමාධ්‍ය සංවිධාන පවා නොදනී. එවැනි පුද්ගලයන් දෙදෙනෙකු රටේ සිටින බව දන්නේ නම් ආරක්ෂාව අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඔවුන් සොයා ගොස් තමන්ට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටිය හැකිය. දැන් රටේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා පඩි ලබන ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන ආරක්ෂක අරමුදලක් ද තිබෙන්නේය. එම අරමුදල තිබෙන්නේ ජනමාධ්‍ය ආයතනය භාරයේය. අරමුදලේ ප්‍රමාණය පැහැදිලි නැත. ඒ අරමුදල තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පරිහරණය කිරීමේ අයිතිය ලබා දුන් අතුරු අරමුදලක් ඇත්තේය. එම අතුරු අරමුදලේ ප්‍රමාණය (එක් වසරක් සඳහා පමණක්) රුපියල් මිලියන 8.2 කි. එවිට ප්‍රධාන අරමුදලේ ප්‍රමාණය ගැන දළ අදහසක් ඇති කරගත හැකිය.
මෙම අතුරු අරමුදලේ අරමුදල් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරිහරණය කර තිබෙන ආකාරය ප්‍රශ්නගත දෙයක් බවට පත්ව තිබෙන අතර, ඒ නිසා පුවත්පත් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කොට අතුරු අරමුදලේ මුදල් පරිහරණය තාවකාලික ලෙස අත්හිටුවා තිබේ. දැන් වෙනදා මෙන් නොව, තර්ජන ගර්ජනවලට ලක්වන මාධ්‍යවේදීන්ට මෙම අරමුදලෙන් වන්දි ලබාගත හැකිය. අරමුදල ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකුගේ පවුල් පහක් සඳහා මසකට රුපියල් 5000 ක මුදලක් ලබාදෙන බව කියනු ලැබේ. එය යහපත් ක්‍රියාවකි. එහෙත් තර්ජනයන්ට ලක්වූවේයැ”යි කියන පුද්ගලයන්ට ගෙවන මිල ඝාතනයට ලක්වූවන්ට ගෙවන මිලට වඩා වැඩිය. ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට ආරක්ෂාව සඳහා කුලියට නිවාස ලබාදී තිබෙන අතර, එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 2,30,000 ක කුලියක් ද, අනෙක් පුද්ගලයා සඳහා රු. 1,78,000 ක මුදලක් ද ලබාදී තිබේ. ඊට අතිරේකව තර්ජනයට ලක්වූවන්ට ආරක්ෂිතව ගමන් බිමන් යෑම සඳහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ගෙවනු ලැබේ.
එවැනි දීමනා ලබන අයගේ ගණන 05 කි.
පුහුණු වැඩමුළු
හැමදාමත් මට ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ගැන විවේචනයක් තිබුණි. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රමාණය අතිවිශාලය. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම ඉතා වැදගත් වුවත්, ඒ සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් වැඩි හරියක් ගුණාත්මක අගයෙන් තොර, කොත්තු රොටි හදන්නාක් වැනි, හරයක් නැති වැඩසටහන් වේය යන්න මගේ විශ්වාසයයි. පුවත්පත් ආයතනය විද්‍යුත් මාධ්‍ය සඳහා පවත්වාගෙන යන පුහුණු කිරීමේ වැඩසටහන් හොඳ තත්ත්වයක පවතී. එහෙත් මුද්‍රිත ජනමාධ්‍ය සඳහා පවත්වාගෙන යන වැඩසටහන් ගුණාත්මක වශයෙන් උසස් තත්ත්වයක නොපවතීය යන්න මගේ අදහසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තවත් එවැනි ව්‍යාපාර පුහුණු කිරීම සඳහා පවත්වාගෙන යන දින දෙකේ වැඩමුළු ක්‍රමය ජනමාධ්‍යවේදීන් රැවටීමකට වැඩි දෙයක් නොවේයැ”යි මම විශ්වාස කරමි.
කෙටිකාලීන පුහුණු කිරීම් වැඩසටහන් සඳහා වුවද විධිමත් විෂය නිර්දේශයක් තිබිය යුතුය. සුදුසු පුහුණුකරුවන් සිටිය යුතුය. කරනු ලබන පුහුණු කිරීම් පිළිබඳව පසු විපරමක් තිබිය යුතුය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළුව සංවිධාන පහේ එකතුව මහජන සේවා ජනමාධ්‍ය, මානව හිමිකම්, වංචා හෝ දූෂණ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යන තේමා යටතේ දැවැන්ත පුහුණු කිරීම් ව්‍යාපෘති හතරක් පවත්වාගෙන යයි. (ඒ සියලු ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයන් කොතරම්ද යන්න මම නොදනිමි. එහෙත් යුරෝපා සංගමය මානව හිමිකම් ව්‍යාපෘතිය සඳහා වසර දෙකක කාලයක් සඳහා යුරෝ 199,000 ක් වෙන්කර ඇති බව මම අසා ඇත්තෙමි. රුපියල් වටිනාකම රුපියල් මිලියන 15 කට වැඩිය.) පුදුමයකට මෙන් මෙම විෂය හතරට අදාළ පුහුණුකිරීම් වැඩසටහන්වල පුහුණුකරුවන් ලෙස ක්‍රියාකරන්නේ එකම පිරිසකි. නැවත වැඩසටහන් පළාත් මට්ටමෙන් සම්බන්ධීකාරකයන් ලෙස ක්‍රියා කරන්නේ ද මෙම පුහුණුකරුවන්ය.
ඊළඟට මෙම විෂයන්ට අදාළ රචනා තරග සංවිධානය කරන්නේ ද නැවත එම රචනා හා තරගවල විනිශ්චයකරුවන් ලෙස ක්‍රියාකරන්නේ ද පුහුණුකරුවන් ලෙස ක්‍රියාකරන එකම පිරිසකි. දින දෙකක පුහුණු කිරීම් වැඩමුළුවක් වෙනුවෙන් පුහුණුකරුවකුට ගෙවන මිල රුපියල් 20,000 සිට රුපියල් 38,400 දක්වා වෙනස් වේ. පළාත් සම්බන්ධීකාරකයෙකුට රුපියල් 20,000 සිට 30,000 දක්වා මුදලක් ගෙවනු ලබයි. තරග විනිශ්චයක් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ත් රුපියල් 35,000 ත් අතර මිලක් ගෙවනු ලබයි.
ව්‍යාපෘති ආදායම්
ජනමාධ්‍යවේදීන් සිව්දෙනෙකුට පසුගිය නොවැම්බර් මාසයේ මෙම ව්‍යාපෘතිවලින් ලැබී තිබෙන ගෙවීම් සමහරක් මෙසේය.
1. නොවැ. 07 මාතර ගමන් දීමනා රු. 1500 නොවැ. 10 විනිශ්චය දීමනා රු. 15,000 නොවැ. 24 මාතර වැඩමුළුව සඳහා රු. 38,400 පුහුණු කිරීමේ දීමනාව රු. 54,900
2. නොවැ. 11 තරග විනිශ්චය දීමනා රු. 35,000 නොවැ. 17 ප්‍රාදේශීය සම්බන්ධීකාරක දීමනාව රු. 20,000 නොවැ. 24 අම්පාර පුහුණු කිරීම් දීමනාව රු. 38,400 නොවැ. 24 කළුතර පුහුණු කිරීම් දීමනාව රු. 10,500 රු. 1,03,900
3. නොවැ. 07 ගමන් දීමනා මාතර වැඩමුළුව රු. 1500 නොවැ. 11 විනිශ්චය දීමනා රු. 35,000 නොවැ. 24 මාතර වැඩමුළුව පුහුණු කිරීම් දීමනා රු. 38400 නොවැ. 24 කළුතර වැඩමුළුව පුහුණු කිරීමේ දීමනා රු. 10,500 රු. 125400
4. නොවැ. 07 ගමන් වියදම් මාතර වැඩමුළුව රු. 1500 නොවැ. 24 මාතර වැඩමුළුව පුහුණුකරු දීමනාව රු. 38400 නොවැ. 24 අම්පාර වැඩමුළුව පුහුණුකරු දීමනාව රු. 38400 නොවැ. 24 කළුතර වැඩමුළු දීමනාව රු. 31500 රු. 109800
මෙහි සඳහන් පළමුවැන්නා වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 60,000 ක් පමණ විය හැකිය. ඊට අතිරේකව ඔහු මෙම ව්‍යාපෘතිවල පළාත් සම්බන්ධීකාරකයෙකි. ඒ සඳහා ලැබෙන දීමනාව රුපියල් 25,000 කි. එවිට රැකියාව හා මෙම ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 139,000 කි. මෙහි සඳහන් දෙවැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ වැටුප රුපියල් 40,000 ත් 50,000ත් අතර විය හැකිය. ව්‍යාපෘති පළාත් සම්බන්ධීකාරක වශයෙන් ලබන දීමනාව රුපියල් 20,000 කි. ඔහුට ආරක්ෂක අරමුදලෙන් ගෙවල් කුලී ගෙවයි. ගෙවන ගෙවල් කුලිය මසකට රු. 17,500 කි. ඊට අතිරේකව ආරක්ෂාකාරීව ගමන් බිමන් සඳහා රුපියල් 10,000 ක් ගමන් වියදම් දීමනාවක් ද ගෙවයි. ආයතනයෙන් ලබන වැටුප රුපියල් 50,000 ක් ලෙස සලකතොත් එය හා මෙම ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 200,500 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ආරක්ෂක අරමුදලෙන් ඔහුට නිවසක් ලැබී තිබෙන අතර, එහි මාසික කුලිය රුපියල් 19,000 කි. ඊට අතිරේකව ආරක්ෂක ගමන් වියදම් සඳහා ද රුපියල් 10,000 ක මාසික දීමනාවක් හිමිය. ලැබෙන වැටුප රුපියල් 50,000 ක් ලෙස සලකතොත් වැටුප හා ව්‍යාපෘතිවලින් උපයා තිබෙන මාසික ආදායම රුපියල් 204,400 කි. මෙහි සඳහන් තුන්වැන්නා ද මසකට යුරෝ 750 ක වැටුපක් ලබා ගනී. යුරෝ එකක හුවමාරු අනුපාතිකය රු. 155 ක් ලෙස සලකතොත්, ලැබෙන වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 116,250 කි. ඊට අතිරේකව දේශීය වැටුප රුපියල් 70,000 කි. ඊට අතිරේකව ඉන්සි (INSI) අරමුදලෙන් එම මාසයේ ලබාගෙන ඇති දීමනා මෙසේය. පෙට්‍රල් සඳහා රුපියල් 6650 කි. ගමන් වියදම් සඳහා රුපියල් 10,900 කි. දුරකතන වියදම් සඳහා රුපියල් 12,930 කි.
එවිට මාසයේ මුළු ලැබීම්වල මුළු වටිනාකම මසකට රුපියල් 326,530 කි.
ආපසු හැරී බලමු
පසුගිය සතියේ රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වෙනත් පුවත්පතකට ගියේය. ඔහුට උපහාර දැක්වීම සඳහා පැවති රැස්වීමකදී වැඩි වැටුපක් සඳහා රාවය අත්හැර යන කිසිවකු මා කවදාවත් අධෛර්යමත් කර නැති බවත්, ඒ ගැන සිරිතක් වශයෙන් ඔවුන්ට චෝදනා නොකරන බවත් මා කියා සිටි විට කර්තෘ මණ්ඩල සාමාජිකයකු කතා කරමින් කීවේ ආර්ථික දුෂ්කරතා නිසා රාවය අතහැර යන තත්ත්වයක් ඇති නොවීමට ආයතනය වගබලා ගන්නේ නම්, වඩා යහපත් බවය. මා ඔහුට දුන් පිළිතුර වූයේ අප වැනි ජනමාධ්‍ය ආයතනයකට විශාල වැටුප් ගෙවිය නොහැකි බවත්, විශාල වැටුප් ගෙවන බොහෝ ජනමාධ්‍ය ආයතන වැටුප් ගෙවන්නේ තමන් උපයන ආදායම් මාර්ගවලින් නොව, එම ආයතනවල අයිතිකරුවන් වෙනත් ව්‍යාපාරවලින් උපයන ආදායම්වලින් බවත්ය. රාවයේ වැඩ කරනවාට වඩා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩ කිරීමෙන් වඩා හොඳ වැටුප් ලබාගත හැකි බව ද මම කියා සිටියෙමි.
ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන අද තිබෙන්නේ 1940-48 කාලවකවානුවේදී ඇමරිකාවේ හෝ යුරෝපයේ ජනමාධ්‍ය වැටී තිබුණු ශෝකජනක තත්ත්වයට සමාන තත්ත්වයකටය. සමාජයේ ඉමහත් අගෞරවයට හා අවිශ්වාසයට හේතුවී තිබුණු ඇමරිකානු ජනමාධ්‍ය එම නින්දාසහගත තත්ත්වයෙන් ගොඩ ආවේ සිය කටයුතු ප්‍රසිද්ධියේ ආපසු විවේචනාත්මකව බලන තැනකට යෑමෙනි. එවැනි නිර්භීත තැනකට යන්නට අපේ රටේ ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන්ට ධෛර්යයක් තිබේද?
Editor’s Note
Published on 11 January 2009, three days after the murder of Sunday Leader editor Lasantha Wickrematunge and nine days before the Free Media Movement’s special general meeting of 20 January 2009, at which its accounts for 2007/2008 were disputed and an investigation agreed.
Sunanda Deshapriya was a founding member of the Movement for Inter Racial Justice and Equality (1979) and the Movement for the Defence of Democratic Rights (1981), a participant in the 1971 insurrection, a founding member of the Free Media Movement (1991) and its convenor from 2000, and editor of the weekly Yukthiya until its closure in 2000. Uvindu Kurukulasuriya, referred to here, became head of the Free Media Movement in 2008; he went into exile in London later in 2009 and founded Colombo Telegraph. Elmore Perera, named by Ivan as Elmo Perera, was a former Surveyor General and a lawyer known for public-interest litigation, who in 2006 faced proceedings to remove him from the roll following a fundamental rights application concerning the Judicial Service Commission — proceedings the Asian Human Rights Commission described as an attempt to silence critical voices within the profession. Keith Noyahr, deputy editor of The Nation, was abducted and assaulted in May 2008.
The financial allegations Ivan sets out here were subsequently investigated by two external auditors appointed by the Free Media Movement, and Deshapriya was dismissed from the Centre for Policy Alternatives two years later. He has consistently denied wrongdoing, rejecting reports of a forty-million-rupee fraud and stating that the 2008 accounts were withheld over a formality the audit firm considered unnecessary. The matter remained publicly contested for years and no finding is recorded here as settled.
Separately, and later: in May 2009, after addressing the UN Human Rights Council’s Special Session on Sri Lanka, Deshapriya was threatened and left the country. In 2011 the Observatory for the Protection of Human Rights Defenders — a joint programme of FIDH and OMCT — described allegations then being published against him by state-controlled and government-aligned Sri Lankan media as false, documented death threats made against him, and characterised the campaign as retaliation for his human rights work. That campaign is distinct from the internal dispute described in this article and should not be read as continuous with it.
Ivan publishes itemised payments to four journalists whom he does not name, together with details of an INSI-funded safety programme and a journalists’ protection fund. The figures and the account of internal discussions are his own and drawn from unnamed sources; those concerned are not quoted in reply. He writes as a founding member of the Free Media Movement who had twice withdrawn from it. In the itemised payments, group 3 lists four amounts totalling 85,400 rupees against a printed total of 125,400.