ඇමරිකාව හා ශ්‍රී ලංකාව

May 8, 2011
Publication:
Bin Laden was a terrorist leader who had become a great threat to America, and America had the right to destroy him — we can be glad of it too. But America paid an enormous price for a partial victory: it overthrew the governments of two countries, and hundreds of thousands had to be killed to put down the unrest that followed.

බින් ලාඩන් ඇමරිකාවට ලොකු තර්ජනයක් වී තිබූ ත්‍රස්තවාදී නායකයෙකි. ඇමරිකාව විශ්වාස කරන ආකාරයට 2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා වොෂින්ටනයේ පෙන්ටගනයට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට වගකිවයුත්තා බින් ලාඩන්ය. එම ප්‍රහාරයෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව 3000කි. එවැනි දැවැන්ත විනාශයක් ඇති කළ බිහිසුණු ත්‍රස්තවාදියකු විනාශ කිරීමේ අයිතිය ඇමරිකාවට තිබුණි. ඒ ගැන අපටද සතුටු විය හැකිය.

එහෙත් ඇමරිකාවට තිබෙන ඒ අයිතිය මහා බලවතකු නොවූවද මේ පුංචි ශ්‍රී ලංකාවටද තිබිය යුතුය. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් ඇමරිකාවට වඩා බැට කෑ රටක් ලෙස සැලකිය හැකිය. ඇමරිකාව එය පළමුවරට අත්දකින ලද්දේ 2001දීය. ශ්‍රී ලංකාව එය අත්දැක්කේ ඊට බොහෝ කාලයකට පෙර සිටය. බින් ලාඩන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය බිලිගත් ඇමරිකානුවන් සංඛ්‍යාව මෙන් පහළොස් ගුණයකට වැඩි සංඛ්‍යාවක් ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් බිලි ගත්තේය. ඔහුගේ ව්‍යාපාරය මරා දමන ලද්දේ සිංහලයන් හා මුස්ලිමුන් පමණක් නොවේ. දෙමළ මිනිස්සු ද දහස් ගණනක් මරා දැම්මෝය. බිලියන ගණනක් වටිනා දේපළ විනාශ කළේය. ඔහුගේ ව්‍යාපාරය විසින් සමස්ත රාජ්‍යයේම පැවැත්ම අභියෝගයට ලක් කර තිබුණේය.

එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදා ඇමරිකාව මෙන් අර්ධ වශයෙන් නොව ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය පූර්ණ වශයෙන් විනාශ කිරීමට සමත් විය. ඇමරිකාවද බින් ලාඩන් මරා දමන ලද්දේ පොතේ නීතියට අනුව නොවේ. ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව සටන් කරන විට යොදා ගතයුතු යථාර්ථවාදී ප්‍රතිපත්ති මත පිහිටාය.

එහෙත් ඇමරිකාව තමන් ලැබූ අර්ධ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වන්දියක් ගෙව්වේය. රටවල් දෙකක බලයේ සිටි ආණ්ඩු පෙරළා දැම්මේය. ඒ නිසා ඇතිවන නොසන්සුන්තාවන් මැඬලන්නට ලක්ෂ ගණන් මිනිසුන් මරා දමන්නටද සිදුවූයේය.

ඒ අර්ථයෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කරන්නට ශ්‍රී ලංකාව ගෙවා තිබෙන්නේ පුංචි වන්දියකි. ඒ සඳහා කැරුණු යුද්ධය නිසා විපතට පත් පිරිසක් ඇතත්, ඒ අයගේ ප්‍රමාණය දැවැන්ත නැත. බින් ලාඩන්ට හිටියේ එක ප්‍රාණ ඇපකරුවකු පමණය. එහෙත් ප්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරයේ නායකයන්ට ප්‍රාණ ඇපකරුවන් ලක්ෂ තුනක් සිටියේය. ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබුණු අභියෝගය පරාජය කරන ලද්දේ එවැනි සංකීර්ණ වටාපිටාවක් තිබියදීය.

ඒ අර්ථයෙන් පුංචි ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයට මුහුණදී තිබෙන ආකාරය මහා බලවතා ලෙස සැලකිය හැකි ඇමරිකාව මුහුණ දී තිබෙන ආකාරයට වඩා ප්‍රශස්ත සේම ඵලදායකය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරනවා වෙනුවට ලැබෙමින් තිබෙන්නේ අවමන්සහගත සැලකිලිය. ඒ කුහක ප්‍රතිපත්තියෙන් බටහිර රටවල් දැන්වත් ඉවත් විය යුතුය.

යුද්ධය සිදුකැරුණු කාලයේ වැරදි සිදුවී ඇති නම් ඒවා අප සොයා බැලිය යුතුය. කළු පැල්ලම් නැති යුද්ධ තිබිය නොහැකිය. එහෙත් චිත්‍රයේ තිබෙන කළු පැල්ලම් කිහිපයක් නිසා සමස්ත ක්‍රියාවේ අගය අහෝසිවන්නේ නැත. ශ්‍රී ලංකාවට මහා බලවතකු විය නොහැකිය. පුංචි ශ්‍රී ලංකාවට තමන් ලබාගත් ජයග්‍රහණයන් ඔස්සේ තවදුරටත් ඉදිරියට යෑමට උදව් කරනවා විනා, අවහිර කරන ප්‍රතිපත්තියක් සාධාරණ වන්නේ නැත.