පීඑස්ඩී අපරාධවලට ජනාධිපතිනිය වගකිවයුතු නැද්ද?

May 12, 2002
Publication:
Police inquiries are confirming what Ravaya long reported: that the Presidential Security Division was behind the attacks on the Leader editor and his home, the Rohana Kumara murder, the harassment of singers Rookantha and Chandraleka, the burning of actress Anoja Weerasinghe's house and body parts sent to Ravi Karunanayake. The editorial argues these crimes had political motives, that the President's role must be investigated, and that if involved she belongs in prison, not the presidential palace.

රටේ සිදුවී තිබෙන බිහිසුණු අපරාධ රාශියකට ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ධ බවට දැන් ඒ සිද්ධීන් පිළිබඳව කෙරෙමින් තිබෙන පොලිස් පරික්ෂණවලින් අනාවරණය වෙමින් පවතී. “ලීඩර්” කර්තෘ හා ඔහුගේ බිරිඳට පහරදිම, ඔහුගේ නිවසට පහරදිම, රෝහණ කුමාර ඝාතනය, රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළ හිංසාවට ලක් කිරීම, සිනමා නිළි අනෝජාගේ නිවස ගිනි තබා විනාශ කිරීම, රවි කරුණානායකගේ නිවසට මළ සිරුරක කොටස් යැවීම යන අපරාධ සිද්ධීන් පිටුපස සිටින්නේ ජනාධිපති ආරක්ෂක අංශය බව “රාවය” මීට පෙර බොහෝ කලක සිට දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණ. දැන් සිදුවෙමින් තිබෙන පරික්ෂණවලින් ඔප්පුවෙමින් තිබෙන්නේ ද එයයි.

මේ අපරාධවලට වගකිවයුතු ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීම පමණක් ප්‍රමාණවත් විය නො හැකි ය. මේ සාහසික අපරාධවලට රටේ ප්‍රධාන විධායිකාව වන ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සම්බන්ධයක් තිබුණේ ද, ඒ සාහසික සිද්ධීන් සිදුවී ඇත්තේ ඇගේ වුවමනාව මත ද යන්න සොය බැලිය යුතු ය.

මේ සියලු අපරාධ ඇගේ අවබෝධයකින් තොරව ජනාධිපති ආරක්ෂක අංශයේ අයගේ වුවමනාව මත සිදුවූවා යයි සිතිය නො හැකි ය. රෝහණ කුමාර වැනි පුද්ගලයකු ඝාතනය කිරිමේ, රූකාන්ත-චන්ද්‍රලේඛා ගායක යුවළ හිංසාවට ලක් කිරිමේ හෝ අනෝජා වීරසිංහගේ නිවස ගිනිබත් කිරිමේ වුවමනාවක් ජනාධිපති ආරක්ෂක අංශයට තිබුණේ යැයි සිතිය නො හැකි ය. ඒ සියලු අපරාධ පිටුපස දේශපාලන අභිලාෂයක් තිබෙන්නට ඇති බව පැහැදිලි ය.

බැද්දගානේ සංජීව කරමින් තිබූ අපරාධ අනාවරණය වෙමින් තිබියදිත්, රටේ විධායක නායිකාව ඔහු දිගින් දිගටම ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා ය. ඔහු වෙඩි තබා ඝාතනයට ලක් වීමෙන් පසුව ජනාධිපතිනිය ඔහුගේ නිවසට මල්කළඹක් ද යැව්වා ය.

ජනාධිපති ආරක්ෂක අංශය විසින් සිදුකර තිබෙන මෙම බිහිසුණු අපරාධවලට ජනාධිපතිනියගේ ද සම්බන්ධයක් ඇත්නම් ඇය එක මොහොතක්වත් රටේ රාජ්‍ය නායිකාව සේ තබාගත යුතු නැත. ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නායිකාව වශයෙන් ඇයට මුක්තිය පිළිබඳ අයිතියක් ලබා දි ඇත්තේ රටේ පළමු තනතුර දරන පුද්ගලයකු අතින් කවර මට්ටමකින්වත් එවැනි අපරාධකාරි වැරදි සිදු නොවේය යන උපකල්පනය මත පිහිටා ය. එහෙත් ඇය තමන්ට ලැබී ඇති මුක්තියේ බලය අපරාධකාරි කටයුතු සඳහා යොදාගෙන ඇත්නම්, ඇය සැලකිය යුත්තේ රටේ රාජ්‍ය නායිකාව ලෙස නොව, අපරාධකාරීයක් ලෙස ය. එවැන්නියක සිටිය යුත්තේ ද රජ ගෙදර නො ව හිරගෙදර ය.