ජීවන බර සැහැල්ලු කිරීමට ඉක්මන් පියවර ගත යුතුයි

May 5, 2002
Publication:
Fuel, telephone and electricity prices have risen, with food, bus fares and postal charges following. The editorial says the new UNF government, like its predecessors, blames the previous regime rather than acting, and that while business relief in the first budget is justified, business has been the main driver of price rises. A government must at least cushion the burden, and should not use the peace effort to cover popular discontent.

ජීවන වියදම ඉහළයාම පිළිබඳ පුවත් දිනපතාම වාගේ පුවත්පත්වල දක්නට ලැබෙයි. ඛනිජ තෙල්, දුරකතන, විදුලිය මිල ගණන් ප්‍රධාන වශයෙන් ඉහළ ගොස් ඇති අතර එම ඉහළ යෑම්වලට සමාන්තරව ආහාරද්‍රව්‍ය හා සේවා ගාස්තු ඉහළ යමින් පවතී. බස් ගාස්තු සියයට 15ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට පෞද්ගලික බස් ගාස්තු හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

මීට අමතරව තැපැල් ගාස්තු හා අනිකුත් සේවා ගාස්තු රැසක් අය-වැය මගින් ඉහළ නංවා තිබේ.

මේ සියලු ගාස්තු ඉහළ නැංවීමට පසුගිය පොදු පෙරමුණු පාලනය ආර්ථිකයට කරන ලද හානිය බෙහෙවින් බලපා ඇතැයි යන්න ආණ්ඩුවේ පොදු මතය වී තිබේ. රට දුප්පත්කමේ පත්ලටම කිඳ බැස්සවීමට ජන වාර්ගික ප්‍රශ්නය ඔඩු දුවා එය දරුණු සිවිල් යුද්ධයක් බවට පත් කිරිමේ පාපය ද පොදු පෙරමුණේ ගිණුමටම බැරකිරීමට ආණ්ඩුවේ ඇතැම් බලධාරිහු නිතරම උත්සාහ කරති. ඔවුන්ගේ 17 අවුරුදු පාලන සමයේදි ජනවාර්ගික ප්‍රශ්නය අරබයා අනුගමනය කැරුණු වැරදි සහගත මෙන්ම නිද්‍රාශීලී පිළිවෙත අමතක කිරීම ද මෙහිදි වෙසෙසින් කැපී පෙනෙයි.

කෙසේ වෙතත් නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ හැම පාලකයකු විසින්ම අනුගමනය කළ එකිනෙකාට ඇගිල්ල දිගු කිරිමෙන් සිය පව් සෝදා හරිනු ලැබීමේ අවාසනාවන්ත පිළිවෙත එලෙසින්ම හෝ අනියමින් අනුගමනය කිරීමට වත්මන් එ.ජා පෙරමුණු ආණ්ඩුව ද පසුබට නොවන බව පෙනී යයි. පසුගිය පාලනයේ වැරැදි පෙන්වා මහජන සුහ සාධන ප්‍රශ්නවලින් පලායෑම තමන්ගේ පිළිවෙත නොවන බව ආණ්ඩුවේ ඉහළම නායකයන් ප්‍රසිද්ධ වේදිකාවලදි ප්‍රකාශ කර සිටියද අනුන් පිට වරද පැටවීමේ ශ්‍රී ලාංකීය දේශපාලනඥයන්ගේ අනන්‍යතාවයෙන් මිදිමට බොහෝ අමාත්‍යවරු අසමත්ව සිටිති.

නමුත් මේ සියල්ලේ අවසාන හා අවාසනාවන්ත ඵලය වී ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ හිස මත ඔරොත්තු නොදෙන තරම් ජීවන බර පැටවීම ය. වර්තමාන ලෝක තත්ත්වයන් හමුවේ ජීවන බර අඩු කිරිමේ හැකියාවක් ආණ්ඩුවකට නොතිබීමට පුඑවන් වුවත් ජීවන වියදම ඉහළයෑම අවම කිරිමේ හා ජීවන බරින් ජනතාව සැහැල්ලු කිරිමේ හැකියාවක් හා වගකීමක් ආණ්ඩුව සතුව පවතී. මේ කිසිවක වගකීම බාර නොගන්නා පිරිසකට ආණ්ඩු බලය බාර ගැනීමේ සදාචාරාත්මක අයිතියක් ද නැත.

එමෙන්ම මෙහිදි එක්සත් ජාතික පෙරමුණු රජය සිය ප්‍රථම අය – වැය මගින් ව්‍යාපාරික ප්‍රජාවට සහන රැසක් ලබාදිම පිළිබඳව ද යමක් සඳහන් කළ යුතු ය. ආණ්ඩුවේ යටි අරමුණ කුමක් වුවත් ආර්ථික වශයෙන් බලවත් සේ අයෝබල වුණු රටක් ඉන් මිදවීමේ කර්තව්‍යයේ ප්‍රධාන කොටස්කරු ව්‍යාපාරීක ප්‍රජාව නිසාවෙන් ව්‍යාපාරිකයිනට සහන හා අනුබල සැපයීම වරදක් නොවන්නා සේ ම එය අත්‍යවශ්‍ය කාරණයක් ද වන්නේ ය. එහෙත් එම ව්‍යාපාරික ප්‍රජාව ඉන් අත්පත් කරගන්නා සමෘද්ධියෙන් කිසියම් ප්‍රමාණයක් ජන ජීවිතයේ සුභ සාධනය සඳහා අනිවාර්යයෙන් යොදා ගැනීමද ආණ්ඩුවේ වගකීමකි. නමුත් මේ දක්වා ආණ්ඩු පාර්ශ්වයෙන් ඊට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබී ඇතිවාක් මෙන්ම ද්‍රව්‍ය මිල හා සේවා ගාස්තු ඉහළ නැංවීමේ ප්‍රධාන කොටස්කරුවී සිටින්නේ ද මෙම ව්‍යාපාරික ප්‍රජාවමය. ගෑස් සමාගමට, දුරකතන සමාගම් ඇතුඑ සමාගම් රැසකට ඒවා පෞද්ගලික අයිතිකරුවන් යටතේ යළි බිහිවීමේ සිට මේ දක්වා රාජ්‍ය අංශයෙන් ලැබී ඇත්තේ ද නොමසුරු සහායකි.

එමෙන්ම අධික ජීවන බර නිසා ජනතාව කෙරෙන් මතුවී ඇති අසහනය ආණ්ඩුවේ සාම ප්‍රයත්නයේ සාධනීය ලක්ෂණවලින් වසා දැමීමට උත්සාහ නො කළ යුතු ය. යුද්ධය හිගන්නාගේ තුවාලය ලෙස හැඳින්වූ පිරිසක් සාමය හිගන්නාගේ තුවාලය ලෙස තබා ගත හොත් එයම පාරාවළල්ලක් වී අවසානයේ රැවටෙනු ඇත්තේ පාලකයන් මය.