ත්රස්තවාදි අභියෝගය ඉදිරියේ ජනමාධ්යවල වගකීම කුමක් විය යුතුද යන ප්රශ්නය සාකච්ඡාවට ලක් කෙරෙන ජනමාධ්යවේදින්ගේ ජාත්යන්තර සමුළුවක් මැයි මස 1, 2 සහ 3 යන දිනවල පිලිපීනයේ මැනිලා නුවර පැවැත්විණි. මැයි 3 වැනිදාට යෙදි තිබුණු ලෝක ජනමාධ්ය නිදහස් දිනය වෙනුවෙන් මෙම ජාත්යන්තර සමුළුව සංවිධානය කොට තිබුණේ යුනෙස්කෝවය. එය ත්රස්තවාදි අභියෝග ඉදිරියේ ජනමාධ්යවල වගකීම ගැන සාකච්ඡා කිරීමට කැඳවන ලද සමුළුවක් වූවා සේම, ජනමාධ්ය නිදහස වෙනුවෙන් සටන් කළ වසරේ හොඳම ජනමාධ්යවේදියාට පිරිනමන “කානෝ” සම්මානය පිරීනැමීම පිණිස පවත්වන ලද සමුළුවක් ද විය.
මැයි 3 වැනිදා ලෝක ජනමාධ්ය නිදහස සමරන දිනය වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද්දේ 1993 දෙසැම්බර්වලදිය. එ. ජාතීන්ගේ සංවිධානය එම තීරණය ගනු ලැබුවේ යුනෙස්කෝවෙන් ඉදිරිපත්වූ ඉල්ලීමක් අනුවය. ජනමාධ්ය නිදහස සමරන ලෝක දිනයේදි ජනමාධ්ය නිදහස වෙනුවෙන් සටන් කළ හොඳම ජනමාධ්යවේදියාට විශේෂ සම්මානයක් පිරිනැමීමටත්, එම සම්මානය “කානෝ” සම්මානය නමින් නම් කිරීමටත් තීරණය කෙරුණේ 1996 මැයි 3 වැනි දින ලෝක ජනමාධ්ය නිදහස සැමරිම පිණිස ජිනීවාහි යුනෙස්කෝ මූලස්ථානයේදි පවත්වන ලද ජාත්යන්තර ජනමාධ්ය සමුළුවකදිය.
ගුයිලමෝ කානෝ (Guillermo Cano) යනු කොලොම්බියාවේ ක්රියාත්මක වන මත්ද්රව්ය මාෆියාවට එරෙහිව නිර්භීතව පෑන හැසිරවීමේ ප්රතිඵලයක් ලෙස එම මත්ද්රව්ය මාෆියාව අතින් ඝාතනයට ලක්වූ ප්රමුඛ ගණයේ පුවත්පත් කලාවේදියෙකි. අදත් කොලොම්බියාව සැලකෙනුයේ ජනමාධ්යවේදින්ට වැඩිම අවධානමක් ඇති රට වශයෙනි. ආනා මර්සිඩස් ගෝමස් (Ana-Mercedes Gomez) මැනිලා සම්මේලනයට ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව වසර 50ක් දක්වා දික්වෙන කොලොම්බියානු ආණ්ඩුවේ හමුදා හා ගරිල්ලා ව්යාපාර අතර පවත්නා අරගලයෙන් මෙතෙක් මියගොස් ඇති අයගේ ගණන දශ ලක්ෂයකට ආසන්නය. හැම මසකම කොලොම්බියාවේ පුද්ගලයන් 600ක් මරණයට පත්වන අතර ඉන් හතරෙන් තුනක්ම සිවිල් වැසියන් වේ. මේ දක්වා අනාථභාවයට පත්ව තිබෙන ගණන 20 ලක්ෂයක් වන අතර, ඔවුන්ගෙන් 64%ක්ම ළමුන්ගේ ගණයට අයත්ය.
මසකට සිදුවන සාමාන්ය පැහැර ගැනීම් සංඛ්යාව 259කි. ඉන් 12 දෙනකු කුඩා ළමුන් වනවිට 9ක් දේශපාලකයන් වේ. 2001 වසරේදි කොලොම්බියාවේ ඝාතනයට ලක්වූ ජනමාධ්යවේදින්ගේ සංඛ්යාව 11කි. එම වසර තුළ පැහැර ගැනීම්වලට ලක්වූ ජනමාධ්යවේදින් ගණන 10කි. මරණ තර්ජන හේතු කොටගෙන රටින් පිටවීමට සිදුවූ ජනමාධ්යවේදින් සංඛ්යාව 06කි. එම වසර තුළ බෝම්බ ප්රහාරයන්ට ලක්වූ ජනමාධ්ය ආයතන ගණන තුනකි.
මේ වසරේදි “කානෝ” සම්මානයෙන් පිදුම් ලැබුවේ සිම්බාබ්වේ “ඩේලි නිව්ස්” පුවත්පතේ කර්තෘ ජෙෆ්රි නරෝටා (Geoffery Nyarota) ය. නරෝටා 1983දි The Chornicle පුවත්පතේ වාර්තාකරුවකු ලෙස සේවය කරමින් සිටියදි කරන ලද හෙළිදරව්වක් හේතු කොටගෙන කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකුට සිය පදවි අත්හැරිමට සිදුවූ අතර, එහි ප්රතිඵලයක් වශයෙන් පුවත්පත් අයිතිකරුවන් ඒ නිසා පළුදු වූ ආණ්ඩුවේ ඇයි හොඳයිකම් වර්ධනය කරගැනීම සඳහා නරෝටාට එම පුවත්පතේ වැඩ කිරීම අත්හරින තත්ත්වයක් නිර්මාණය කළේය. ඉන්පසු ඔහු 1991දි Financial Gazette පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළත්, කර්තෘ මණ්ඩල ප්රතිපත්ති පාලනය කිරීමට හිමිකරුවන් දරන ලද උත්සාහයකට එරෙහිව විරෝධය පළකරමින් එම තනතුරෙන් ඉවත් වී කලක් ජනමාධ්ය විෂය උගන්වන ගුරුවරයෙකු ලෙස සේවය කළේය. 1998දි සිය කර්තෘත්වයෙන් “ඩේලි නිව්ස්” නමින් පුවත්පතක් ආරම්භ කරන ලද අතර, මුගාබේ පාලනයේ දූෂණ හෙළිදරව් කරන දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ඔහු පාලක පක්ෂයේ දැඩි වෛරයට හේතුවූ පුද්ගලයෙකු බවට පත්විය. ඒ නිසා ඔහු අවස්ථා ගණනාවකම අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුවත්පතේ වාර්තාකරුවන්ද අවස්ථා ගණනාවකදිම පහරදිම් වලට ලක්විය. නරෝටාට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු ගණනාවක්ම පවරන ලද අතර, ඒ කිසිවකින් ඔහු පාලනය කළ නොහැකි වූ කල පාලක පක්ෂය ඔහුගේ මුද්රණාලය පුපුරුවා විනාශයට පත් කළේය. ඉන් අධෛර්යයට පත් නොවූ ඔහු නොකඩවා සිය පුවත්පත විවිධ මාර්ගවලින් මුද්රණය කොට ජනතාව අතට පත් කරන ලද අතර, 2000 මැයි වලදි පැවති මැතිවරණයෙන් මුගාබේ ලැබූ පරාජය කෙරෙහි බලපෑ ප්රධාන පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද නරෝටාය. මැතිවරණයෙන් ලද පරාජයෙන් පසුත්, මුගාබේ පාලනය අත නොහැර බලහත්කාරි ආකාරයකින් පාලන බලයේ රැඳී සිටින තත්ත්වයක් තුළ ඔහුට එරෙහිව එල්ල වන පීඩනය වඩා තියුණු මුහුණුවරක් ගත්තත්, ඔහු තමන් ගෙන ගිය අරගලය අත්හැරියේ නැත. යුනෙස්කෝව ඔහු කානෝ සම්මානයෙන් පුදනු ලැබුවේ එම සමස්ත ක්රියාවලිය තුළ ඔහු කෙරෙන් ප්රකාශ වී තිබෙන ධෛර්යසම්පන්න භාවයට කරන උපහාරයක් වශයෙනි. සිම්බාබ්වේ රට ද ශ්රී ලංකාව මෙන් IPI සංවිධානය මුර ලැයිස්තුවට (Watch List) ඇතුළත් කර තිබෙන රටකි. එය ජනමාධ්ය විෂයයේදි ලැබිය හැකි නරකම තත්ත්වයකි.
මැනිලා හි පැවති තෙදින සමුළුවට ලෝකයේ විවිධ රටවලින් ආරාධිත ජනමාධ්යවේදින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ලෝක මට්ටමේ ජනමාධ්ය සංවිධාන ලෙස සැලකිය හැකි IPI (International Press Institute), IFJ (Internatiional Federation of Journalists), WAN (World Association of Newspapers), PINA (Pacicfic Island News Association) වැනි සංවිධාන ගණනාවක් ද, ජනමාධ්ය නිදහස වෙනුවෙන් ක්රියාකරන ආටිකල් 19, රිපෝටර්ස් සැන්ස් ෆ්රන්ටරිස්, හියුමන් රයිට්ස් වොච්, වර්ල්ඩ් පේරස් ෆ්රීඩම් ෆෝරම්, අයි ෆොක්ස් වැනි සංවිධාන ගණනාවක් ද තම නියෝජිතයන් සහභාගී කරවා තිබුණි.
යුනෙස්කෝව මෙම සම්මේලනය පැවැත්විය යුතු රට ලෙස පිලිපීනය තෝරාගෙන තිබුණේ ද, එම කලාපය තුළ වැඩිම ජනමාධ්ය නිදහසක් භුක්ති විඳින රට ලෙස සලකාය. එය එක්තරා ආකාරයකට පිලිපීනයට දක්වන උපහාරයක් වූවා සේ ම, පිලිපීනය ද එය තම රටට දක්වන ලද උපහාරයක් ලෙස සලකා ඉතා උණුසුම් ආකාරයකින් පිළිගත් බවක් ද පෙනෙන්නට තිබුණි. පිලිපීනය තුළ ජනමාධ්යවේදින්ට රාජ්ය මට්ටමෙන් එල්ල වන බලපෑම් අවම තත්ත්වයක තිබුණත්, අයි.පී.අයි. සංවිධානය 2000 වසර සඳහා පිලිපීනය ජනමාධ්යවේදින්ට වැඩිම අවදානමක් තිබෙන රටවල් ලැයිස්තුවට ඇතුළත් කොට තිබුණි. එම වසර තුළ පිලිපීනය තුළ ඝාතනයට ලක්වූ ජනමාධ්යවේදින් ගණන 03කි. බෝම්බ ප්රහාරයන්ට ලක්වූ ජනමාධ්ය ආයතන ගණන ද 03කි. පිලිපීනයේ මින්දනාවෝ දූපත මූල කඳවුරක් කොටගෙන ක්රියා කරන අබු සයියාෆ් (Abu Sayyaf) ගරිල්ලා ව්යාපාරය විසින් එම වසර තුළ පැහැර ගනු ලැබූ විදේශීය ජනමාධ්යවේදින් සංඛ්යාව 24ක් වන අතර, දේශීය ජනමාධ්යවේදින් සංඛ්යාව 02කි. 2001 වසරේදි පිලිපීනයේ ජනමාධ්යවේදින් තුන්දෙනෙකු ඝාතනයට ලක්ව තිබූ අතර, ඉන් දෙදෙනෙක් අබු සයියාෆ් ව්යාපාරයේ නායකයාගේ සම්මුඛ සාකච්ඡාවක් ප්රකාශයට පත්කිරීම හේතු කොටගෙන පොලිසිය හෝ ආණ්ඩුවේ හමුදා විසින් කරනු ලැබූ ඝාතන ලෙස සැලකේ. 1985 සිට 2002 වසර දක්වා පිලිපීනය තුළ ඝාතනයට ලක්ව තිබෙන ජනමාධ්යවේදින් සංඛ්යාව 35කි.
සම්මේලනය ත්රස්තවාදය හා ජනමාධ්ය යන මාතෘකාව සිය තේමාව කොට ගෙන තිබුණේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් නගරයට එල්ල වූ දැවැන්ත ප්රහාරය නිසා ඇමරිකා එක්සත් ජනපදය විසින් ත්රස්තවාදි ව්යාපාරවලට එරෙහිවත්, ත්රස්තවාදි ව්යාපාරවලට ආධාර කරන රටවලට එරෙහිවත් යුද්ධ ප්රකාශ කර තිබූ තත්ත්වයක් යටතේය.
පළමු සැසියට පිලිපීන ජනමාධ්ය විචාරකයකු, පිලිපීන ත්රස්තවාදය හා පිලිපීන ජනමාධ්යවල හැසිරිම පිළිබඳ විග්රහයක් ඉදිරිපත් කළේය. ඔහු එහිදි සිය විචාරය සඳහා පදනම් කොට ගන්නා ලද්දේ අබු සයියාෆ් ගරිල්ලා සංවිධානය මැලේසියානු සංචාරක නිකේතනයක සිටියදි පැහැර ගන්නා ලද සංචාරක කණ්ඩායමක් ආශ්රයෙන් පැන නැගුණු තත්ත්වය ජනමාධ්ය මගින් ආවරණය කෙරුණු ආකාරයයි. පිලිපීනය කෙරෙහි ලෝක ජනමාධ්යවල අවධානය යොමු කර ගැනීමට හේතු වූ මෙම පැහැර ගැනීමේ සිද්ධිය සිදුවූයේ 2000 අප්රේල් 21 වැනිදාය. පැහැර ගන්නා ලද සංචාරක කණ්ඩායමට මැලේසියානු ජාතිකයන් 8 දෙනකු ද ජර්මන් ජාතිකයන් තිදෙනකු ද, ප්රංශ, දකුණු අප්රිකානු හා පින්ලන්ත ජාතිකයන් දෙදෙනකු බැගින් ද, එක් ලෙබනන් ජාතිකයෙකු ද, පිලිපීන ජාතිකයන් දෙදෙනකු ද අයත් විය. පැහැර ගැනීම සිදුවූයේ දකුණු පිලිපීනයේ ජෝලෝ (Jolo) දූපතේදිය.
මේ සිද්ධියට ආවේණික විශේෂ ස්වරූපය නිසාම විදේශීය ජනමාධ්යවේදින් විශාල පිරිසක් පිලිපීනයට ගලා එන්නට වූ අතර, තම අත්අඩංගුවේ සිටින කණ්ඩායම හමුවීමට විදේශීය ජනමාධ්යවේදින්ට අවස්ථාවක් දෙන්නට යන මුවාවෙන් එසේ පිලිපීනයට පැමිණි සිටි විදේශීය ජනමාධ්යවේදින් කණ්ඩායමක් ජෝලෝ දූපතට ගෙන්වා ගනිමින් අබු සයියාෆ් සංවිධානය ඔවුන් වෙත එසේ පැමිණි විදේශීය ජනමාධ්යවේදින් 9 දෙනකු ද පැහැර ගනිමින් සිය අත්අඩංගුවේ තබා ගත්තේය. පැහැර ගන්නා ලද නවදෙනාගෙන් 8 දෙනකු ප්රංශ ජාතිකයන් වූ අතර, එක් අයෙක් නෝර්වේජියානු ජාතිකයකු විය. පැහැර ගන්නා ලද මේ සියලු දෙනා පැය 24කට වැඩි කාලයක් සිය භාරයේ තබාගනිමින් ඔවුන් අත තිබූ භාණ්ඩ හා මුදල් පැහැර ගනිමින් ඔවුන් නිදහස් කළේය.
ඉන්පසු ජූලිවලදි තවත් විදේශීය ජනමාධ්යවේදින් 12 දෙනකු පැහැර ගනිමින් පැය 10කට වැඩි කාලයක් ඔවුන් අත්අඩංගුවේ තබාගනිමින් ඔවුන් නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් ඩොලර් 25,000 බැගින් වන කප්පමක් ලබාගන්නා ප්රතිපත්තියක් අනුගමනය කළේය.
ඉන්පසු එම මාසය තුළ අත්අඩංගුවේ සිටි සංචාරක කණ්ඩායම ගැන තොරතුරු වාර්තා කරන්නට ගිය ජර්මන් වාර්තාකරුවකු ද, ඉන්පසුව ප්රංශ රූපවාහිනී කණ්ඩායමකට අයත් මාධ්යවේදින් තිදෙනෙකු ද, ඉන්පසු ජූලි අවසානයේදි පිලිපීනයේ විශාලතම රූපවාහිනී ජාලය වන ABS-CBN රූපවාහිනී සේවාවට අයත් පිලිපීන මාධ්යවේදින් දෙදෙනෙකු ද පැහැර ගන්නා ලදි.
මේ පැහැර ගැනීම් නිසා කිසිවකු ඝාතනයට ලක්වීමක් සිදු නොවූවත්, අබු සයියාෆ් ව්යාපාරයට ඒ නිසා ලෝක මට්ටමෙන් විශාල මාධ්ය ආවරණයක් ලැබුණි. විශේෂ ලෝක අවධානයක් දිනාගැනීමට හේතුවූ මේ සිද්ධි දාමයේදි සමහර පිලිපීන ජනමාධ්යවේදින් විදේශීය ජනමාධ්යවේදින්ගේ මගපෙන්වන්නන් ලෙස ක්රියාකරමින් අනියම් ලෙස හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආධාර කළේ යැයි කියන චෝදනාවක් ද පවතී. එය දැනුවත්ව කරන ලද්දක් නම් එය ඉතා බරපතල වරදක් වන බවට සැකයක් තිබිය නොහැකිය. එය ඔවුන්ගේ දැනුවත්භාවයෙන් තොරව සිදුවීමේ හැකියාවක් ද පවතී. විදේශීය ජනමාධ්යවේදියකු අවදානම්සහගත ප්රදේශයකට යනවිට බොහෝ විට සිය මගපෙන්වන්නා බවට පත්කර ගන්නේ දේශීය ජනමාධ්යවේදියෙකි. එවැනි අවස්ථාවකදි සිදුවන පැහැර ගැනීමක් මගපෙන්වන්නා දැනුවත්ව සේ ම, නොදැනුවත්වම ද සිදුවිය හැකිය. එහෙත් මේ සිද්ධි දාමයේදි පැහැර ගැනීමේ ක්රියාවලිය එක පැහැර ගැනීමකට සීමා නොවීම හේතු කොට ගෙන අතරමැදියන් වශයෙන් ක්රියා කරන ජනමාධ්යවේදින් වැඩි පරිස්සමකින් හා වගකීමකින් ක්රියා කළ යුතුව තිබුණි.
පිලිපීන විචාරකයා කෙරෙන් ප්රකාශ වූ එක් විවේචනයක් වූයේ මේ සිද්ධි දාමයේදි පිලිපීන ජනමාධ්යවේදින් ගරිල්ලා ව්යාපාරයේ නායකයාගේ සම්මුඛ සාකච්ඡා ප්රසිද්ධ කරන ප්රතිපත්තියක් මගින් ඔවුන්ට නැති ශක්තියක් ලබාදිමට හේතුවූ බවය.
මේ සිද්ධි දාමය දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්රියා කරන ගරිල්ලා ව්යාපාරයක් අතින් සිදු නොවී, දේශපාලන අරමුණකින් තොරව කප්පම් ලබාගැනීමේ අරමුණින් පමණක් ක්රියාකරන කණ්ඩායමක් අතින් සිදුවුවත්, පැහැර ගන්නා ලද සංචාරක කණ්ඩායම රටවල් ගණනාවකට අයත් වීම හේතු කොට ගෙන ඊට අතිවිශාල මාධ්ය ආවරණයක් ලැබීමත්, ඒ හේතු කොටගෙන එය ලෝක අවධානය දිනාගන්නා සිද්ධියක් වෙමින් එය ආවරණය කිරීම සඳහා විවිධ රටවලින් ජනමාධ්යවේදින් ඒ රටට පැමිණීමත්, නැවත එසේ පැමිණෙන ජනමාධ්යවේදින් පැහැර ගන්නා පිළිවෙතක් තුළ නැවත එම සිද්ධි දාමයට ලැබෙන මාධ්ය ආවරණයේ ප්රමාණය ද විශාල වීමත් නොවැළැක්විය හැකිය. එවැනි අවස්ථාවක පැහැර ගැනීම සිදු කරන ලද අයගේ අදහස් මහජනතාවට දැනගන්නට සැලැස්වීම ද වැරදි නැත. එහිදි ලබාදෙන මාධ්ය ආවරණයේදි එම නීති විරෝධී හා සාහසික ක්රියාපිළිවෙත ක්රියාවට නගන්නන් කෙරෙහි වීරත්වයක් ආරෝපණය කෙරෙන ආකාරයට කරුණු වාර්තා කළේ නම් පමණක් එය බරපතල වරදකි.
ගෝතමාලාවේ අත්දැකීම් විෂය කොට ගනිමින් සමුළුව වෙත ඉදිරිපත් වූ විග්රහයෙන් අවසන් වශයෙන් ගම්ය වූයේ ද ජනමාධ්යවේදින්ගේ වගකීමෙන් තොර වාර්තාකරණ ක්රියාකලාපය ත්රස්තවාදි ව්යාපාර ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන බවය. ඇය ස්පාඤ්ඤ මහාචාර්යවරයෙකු උපුටා දක්වමින් ත්රස්තවාදය හා තොරතුරු අතර අන්තර් සම්බන්ධයක් ඇති බවත්, ත්රස්තවාදි ක්රියාකාරකම් වාර්තා කිරීමත්, ත්රස්තවාදින් ඒ මගින් අපේක්ෂා කරන දේ සම්පූර්ණ කෙරෙන බවත් ප්රකාශ කළාය. ඇය වැඩිදුරටත් මාග්රට් තැචර් උපුටා දක්වමින් කීවේ මාධ්ය, ත්රස්තවාදින්ට නොමිලේ දැන්වීම් පළ කරන ආයතන ලෙස ක්රියාකරමින් ත්රස්තවාදයේ පැවැත්මට අවශ්ය ඔක්සිජන් ලබාදෙන ආයතන විශේෂයක් ලෙස ක්රියා කරන බවයි. ලින්කන් ඝාතනය ගැන මහජනතාවට දැනගන්නට ලැබුණේ එවේලේම නොව සමහරවිට සතියකට පමණ පසුව බවත්, එහෙත් ජෝන් කෙනඩි ඝාතනය ඉන් පැය භාගයකට පසුව එය සිදුවූ ආකාරයටම දැකගැනීමට මහජනයාට හැකිවූ බවත්, නිව්යෝර්ක් හි ලෝක වෙළෙඳ පොළ මධ්යස්ථානයට එල්ල වූ ප්රහාරයේදි පළමු කුළුණට එල්ල වූ ප්රහාරයෙන් පසුව එය බිඳ වැටෙන ආකාරය ඒ මොහොතේම දෑකගන්නට හැකි වුවත්, ප්රහාරය එල්ල වූ ආකාරය දැකගන්නට නොලැබුණත්, ඉන් ස්වල්ප වේලාවකට පසුව දෙවැනි කුළුණට පහර එල්ල කෙරෙන ආකාරය මහජනයාට දැකගන්නට ලැබුණු බවත්, ත්රස්තවාදි ක්රියාකාරකම් ආවරණය කෙරෙන වේගවත් ආකාරය ත්රස්තවාදි ක්රියාකාරකම්වල වේගවත් වර්ධනයට හේතුවක් වී තිබෙන බවත් ප්රකාශ කළාය.
මට පෙනුණු ආකාරයට සමුළුවේ කටයුතු සිදුවෙමින් තිබුණේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් නගරයට එල්ල වූ ප්රහාරයෙන් පසුව එක්සත් ජනපදය ත්රස්තවාදයට එරෙහිව ප්රකාශිත ප්රතිපත්තියට අනුකූලව නැටවෙමින් තිබෙන සමුළුවක් ලෙසය.
තෙවැනි සැසි වාරයේදි සමුළුව අමතා කතා කරන්නට මට ලැබුණු අවස්ථාවේදි සමුළුවේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය මම විවේචනය කළෙමි. මා වර්තමානයේ දේශපාලන අභිමතාර්ථ සාධනයෙහිලා හිංසාව අවියක් කොට ගන්නා කිසිම පිළිවෙතක් අනුමත නොකරන පුද්ගලයෙකු වුවත්, මම ද ජනමාධ්ය ක්ෂේත්රයට එකතු වී සිටින හිටපු ත්රස්තවාදියෙකු බවත්, මා 60 දශකයේ අවසානයේදි ප්රචණ්ඩ අරගලයක් මගින් රාජ්ය බලය අල්ලා ගැනීමට ක්රියාත්මක වූ දේශපාලන ව්යාපාරයක උද්යෝගීමත් ක්රියාකරුවකු වූ බවත්, ඒ නිසා මට අවුරුදු 07කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින්නට සිදුවූ බවත්, මා බන්ධනාගාරයෙන් එළියට ආවේ සියලු ප්රචණ්ඩ දේශපාලන න්යායයන් ප්රතික්ෂේප කළ හා ප්රජාතන්ත්රවාදි මූලධර්ම පිළිගන්නා පුද්ගලයෙකු වශයෙන් වුවත්, ත්රස්තවාදය අහසින් කඩා වැටුණු දෙයක් ලෙස සැලකිය නොහැකි බවත්, ත්රස්තවාදය හා සමාජ ආර්ථික ගැටලු අතර පරස්පර සම්බන්ධයක් ඇති බවත් ප්රකාශ කළෙමි. 88-90 කාලය තුළ හිංසාව අවියක් කොට ගනිමින් බිහිසුණු කැරැල්ලකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ පසුකලකදි ප්රධාන ප්රවාහයට එකතු වූ බවත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ආසන 10ක් හිමිකර ගැනීමට ඔවුන් සමත්වීම මගින් පමණක් වුවත්, ඔවුන් දරන අදහස් කුමක් වුවත්, ඔවුන් එක්තරා සමාජ තීරුවක් නියෝජනය කරන බව සනාථ කරන බවත්, සිංහල ජවිපෙය සේ දෙමළ කොටි සංවිධානය ද ප්රධාන ප්රවාහයට එකතු වුවහොත් ඔවුන්ට ද ඊට සමාන හෝ ඊට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවනු ඇති බවත්, එයින් ද පෙන්නුම් කෙරෙන්නේ ත්රස්තවාදි ව්යාපාරයක් දරන අදහස කුමක් වුවත් කිසියම් සමාජ තීරුවක නියෝජනයක් ඔවුන්ට ඇති බවත් ප්රකාශ කළෙමි.
ත්රස්තවාදය ආරම්භවන්නේ සැප්තැම්බර් 11 වැනිදා නොවන බවත්, එම ඛේදජනක සිද්ධිය ඇතිවන්නට දශක ගණනාවකට පෙර සිට ලෝකය පීඩාවට පත් කළ ත්රස්තවාදයක් ලෝකයේ තිබූ බවත්, ත්රස්තවාදි ව්යාපාර ඇතිවීමට සමාජ ආර්ථික හේතු තිබියදි, එම ත්රස්තවාදි සංවිධාන පවතින දේශපාලන ක්රමයට අභියෝගයක් වන ආකාරයට එම සංවිධාන ශක්තිමත් වූයේ ලෝක බල අරගලය තුළ මහ බලවතුන්ගෙන් ලැබුණු සහාය නිසා බවත්, ඔවුන්ගේ විනාශකාරි ක්රියාකාරකම් සඳහා අවශ්ය නවීන තාක්ෂණික දැනුම, නවීන ආයුධ යනාදිය ඔවුන්ට ලැබුණේ ඒ බලවත් රටවලින් බවත්, වර්තමානයේ එක්සත් ජනපදයට හිසරදයක් වී සිටින බින් ලාඩන් එක්සත් ජනපදයේ නිර්මාණයක් වන බවත්, සදාම් හුසේන් සෝවියට් නිර්මාණයක් බවත්, පොල්පොට් පාලනය දශ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කරද්දිත් චීනය කැමරුජ් ව්යාපාරයට ආධාර කළ බවත්, ශ්රී ලංකාවේ කොටි සංවිධානය ලෝකයේ ප්රබලතම ගරීල්ලා ව්යාපාරය බවට වර්ධනය වූයේ ඉන්දියාවෙන් ලැබුණු ආධාර නිසා බවත්, මේ කරුණු නොසලකා ත්රස්තවාදය ගැන කතා කිරීම අර්ථ විරහිත බවත් ප්රකාශ කළෙමි. ත්රස්තවාදය පරාජය කිරිමේ අවශ්යතාව මා ද පිළිගන්නා බවත්, එහෙත් ඒ සඳහා අනුගමනය කරන්නට යන්නේ පිළිගත් ප්රජාතන්ත්රවාදි මූලධර්මවලට පටහැනි ප්රති ත්රස්තවාදි පිළිවෙතක් නම් ඒ නිසා ඇතිවිය හැකි විනාශකාරි පිළිවෙත සමස්ත ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය බිඳ දැමීමට තරම් හේතුවිය හැකි බව ද ප්රකාශ කළෙමි.
මාගේ එම ප්රවේශයට සභාවෙන් උණුසුම් ප්රතිචාරයක් ලැබුණ. ඒ සමග සමහර අංශ එතෙක් පවත්වාගෙන යමින් තිබූ ස්වයං වාරණ ප්රතිපත්තියෙන් බැහැර වී වඩා පුළුල් ලෙසත්, අවංක ලෙසත් කරුණු සලකා බලන තත්ත්වයකට සමුළුව යොමුවූ බවක් ද පෙනෙන්නට තිබුණ.
ඉන්පසු වඩාත්ම උණුසුම් ආකාරයකින් සාකච්ඡාවලට ලක්වූ කාරණය වූයේ ත්රස්තවාදි ව්යාපාරවලට එරෙහිවත්, ත්රස්තවාදි සංවිධානවලට ආධාර කරන රාජ්යයන්ට එරෙහිවත් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධ ප්රකාශ කරන තත්ත්වයක් ඉදිරියේ එක්සත් ජනපදය වෙතින් ද, වෙනත් රාජ්ය වෙතින් ද මාධ්ය නිදහස සීමා කිරීමට හේතුවන ලෙසට අලුතෙන් ක්රියාත්මක කරමින් තිබෙන විධි විධාන නිසා ජනමාධ්ය නිදහසට අලුතෙන් එල්ල වී තිබෙන අභියෝග ගැනය. හ්යුමන් රයිට්ස් වොච් සංවිධානය වෙනුවෙන් සමුළුව ඇමතූ ජීන් පෝල් මාතොස් :වැ්බ ඡ්මක ඵ්රඑයද“) 11 වැනිදා ප්රහාරයෙන් පසුව ඒ ආශ්රයෙන් ලෝකයේ විවිධ රටවල ඇති කර තිබෙන වෙනස්කම් ගැන විග්රහයක් ඉදිරිපත් කළේය.
නිව්යෝර්ක් ප්රහාරයෙන් පසුව Voice of America සේවාව බින් ලාඩන්ගේ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීමට දරන ලද උත්සාහයන් වැළැක්වීමට ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව මැදිහත් විය. සැප්තැම්බර් 21 වැනිදා ඇමරිකානු විකාශන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයන්ට කතා කොට බින් ලාඩන්ගේ සම්මුඛ සාකච්ඡාව වොයිස් ඔෆ් ඇමරිකා විකාශයෙන් විකාශය කිරීම වළකන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් VOA සේවාව ඒ සඳහා කරන ලද අණකිරිම් නොසලකා සැප්තැම්බර් 25 වැනිදා බින් ලාඩන්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කළේය. ඒ ගැන රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයා කියා සිටියේ මේ ආයතනය පවත්වාගෙන යන්නේ ඇමරිකානු බදු ගෙවන්නන්ගේ බදු මුදල්වලින් බවත්, මෙම ආයතනය තලෙයිබාන්වරුන්ගේ මුදලින් පවත්වාගෙන යන ආයතනයක් නොවන බවත්ය.
ඉන්පසු රාජ්ය දෙපාර්තමේන්තුව ABC, CBS, NBC, CNN සහ FOX යන රූපවාහිනි මාධ්ය ආයතනවල ප්රධානීන්ට කතා කොට ඉදිරියේදි බින් ලාඩන්ගේ ප්රකාශ විකාශ කිරිමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඒ ඉල්ලීම නොසලකා එම රූපවාහිනී ආයතන පහ ද ඇෆ්ගනිස්ථානයට බෝම්බ දෑමීම ආරම්භ කළ ඔක්තෝබර් 7 වැනිදා බින් ලාඩන්ගේ පටිගත කළ නිවේදනයක් විකාශය කළේය. බින් ලාඩන්ගේ මෙවැනි නිවේදන තුළ රහස් සංකේත මගින් ලොව පුරා සිය සගයන්ට පණවුඩ දෙන ක්රමයක් තිබිය හැකි බැවින්, අඩුම වශයෙන් එවැනි නිවේදන පළ කරන විට සම්පූර්ණ නිවේදනය පළකිරිමෙන් වැළකී සිටින ලෙස සියලු පුවත්පත් ආයතනවලින් ප්රසිද්ධියේ ඉල්ලීමක් කිරීමට ඇමරිකන් රාජ්ය ආයතනයට සිදුවිය.
තොරතුරු ගලායාමේ ක්රියාවලියේදි බිහිසුණුම අත පෙවීම කරන ලද්දේ අන්තර් ජාල පද්ධතියට අදාළවය. අන්තර්ජාලය මගින් කෙරෙන තොරතුරු හුවමාරුවලදි ඒවා හොරෙන් නිරික්ෂණය කෙරෙන ක්රමයක් එක්සත් ජනපදය විසින් ක්රියාවට නගන ලද අතර, අරාබි ලෝකයට අදාළ වෙබ් අඩවි පන්සියයකට ආසන්න සංඛ්යාවක් ක්රියාවිරහිත කරන තත්ත්වයක් ද ඇති කළේය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව කෙරුණු ප්රහාරයේදි තමන් පෙරා දෙන තොරතුරු හැර වෙනත් කිසිවකුට චන්ද්රිකා තාක්ෂණය මගින් තොරතුරු ලබාගත නොහැකි අධිතාක්ෂණක ක්රමයක් ද භාවිතා කළේය. තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය සීමා කරමින් තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදෙන විට සැලකිලිමත් වීමේ වගකීම අවධාරණය කරන චක්රලේඛයක් නීතිපති විසින් සියලු දෙපාර්තමේන්තු ප්රධානීන් වෙත නිකුත් කරන ලද අතර, ඒ නිසා අවශ්ය තොරතුරු වෙනුවට බලධාරින්ගේ මනාපය අනුව තොරතුරු පෙරා දෙන ක්රමයක් ඇති කිරීමට හේතුවිය.
තොරතුරු දැනගැනීමේ අයිතියට හා අදහස් ප්රකාශ කිරිමේ නිදහසට අදාළ මේ සීමා කිරිම් එක්සත් ජනපදයට පමණක් සීමාවූ දෙයක් වූයේ නැත. ත්රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ආරම්භ කරන ලද යුද්ධයට සම්බන්ධ බලවත් රාජ්යයන් සේම, සිවිල් අයිතිවාසිකම් නොඉවසූ රාජ්යයන් ද ප්රජාතන්ත්රවාදි නිදහස සීමා කිරීමට මේ තත්ත්වය අවස්ථාවක් කරගත්තේය. බ්රිතාන්ය තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කරන අණපනත් නීතිගත කිරීම 2004 වසර දක්වා අත්හිටවූයේය. කැනඩාව සම්මත කරගත් නව ත්රස්ත විරෝධී අණපනත් තුළ තොරතුරු ලබාගැනීමේ අයිතිය සීමා කෙරෙන විධි විධාන සේ ම අදහස් පළකිරිමේ නිදහස සීමා කෙරෙන විධි විධාන ද ඇතුළත්ය. ඉන්දියාව විසින් අලුතෙන් සම්මත කරගන්නා ලද ත්රස්තවාදි ආරක්ෂක අණ පනත් තුළ ද මේ සීමා කිරිම් දැකිය හැකිය. සිම්බාබ්වේ පාලනයත් ලෝකයේ ඇතිවී තිබෙන මේ නව ප්රවණතාව ප්රයෝජනයට ගනිමින් නිදහස සීමා කරන නව අණ පනත් ඇති කරගත්තේ ප්රජාතන්ත්රවාදි ක්රමයේ ආදර්ශ ලෙස සැලකෙන රටවල් වන බටහිර රටවලට ජාතික ආරක්ෂාව සඳහා අදහස් පළ කිරිමේ හා තොරතුරු ලබාගැනීමේ නිදහස සීමා කිරීම හොඳ නම්, අපට පමණක් එය නරක විය නොහැකි බව ප්රකාශ කරමිනි. සාම කතාවක සිටින රටක් වශයෙන් මේ ප්රවනතාව තවමත් ශ්රී ලංකාව කෙරෙහි බලපා නැතත්, සාම කතා අසාර්ථක වී නැවත යුද්ධ කරන තත්ත්වයක් ඇතිවුවහොත් එම තත්ත්වය ශ්රී ලංකාව කෙරෙහි ද බලපෑ හැකිය.
සමුළුව අවසානයේදි මෙම විෂයට අදාළ ඉතා වැදගත් නිගමන ගණනාවක් සඳහා පොදු එකගතාවක් ඇති කරගනිමින් එම නිගමන පොදු ප්රකාශයක් ලෙස ප්රකාශයට පත් කළේය.
මහජනතාවට තොරතුරු දෑනගැනීමට ඇති අයිතිය අවධාරණය කරමින් ත්රස්තවාදයට අදාළ කරුණු ද ඊට ඇතුළත් බව ප්රකාශ කළේය.
සැප්තැම්බර් 11 වැනිදා ඇතිවූ පහරදිම් හේතුවක් කරගනිමින් තොරතුරු දෑනගැනීමට ඇති අයිතිය සීමා කෙරෙන ආකාරයට අලුතෙන් අණ පනත් ඇති කරගැනීමට සමහර රාජ්යයන් දක්වන උනන්දුව හෙළා දැක්කේය.
ත්රස්තවාදයට අවසාන විසඳුමක් ඇති කරගැනීමේදි තොරතුරු නිදහසේ ගලායෑමට ඉඩදිම සේ ම, ප්රසිද්ධ වාද විවාද අත්යවශ්ය බව ද අවධාරණය කළේය.
ත්රස්තවාදය ජයගැනීම පිණිස ක්රියාවට නගන ඕනෑම උපාය මාර්ගයක්, තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය හා අදහස් පළකිරීමට තිබෙන අයිතිය තවදුරටත් ආරක්ෂා කරන ආකාරයෙන් සිදුවිය යුතු බව ද ප්රකාශ කළේය.
ත්රස්තවාදයෙන් එල්ල වී තිබෙන අභියෝගය ජයගැනීම පිණිස ක්රියාකිරිමේදි කවර මට්ටමකින්වත් කතා කිරිමේ නිදහස, තොරතුරු ලැබෙන මාර්ගවල රහස්යභාවය ආරක්ෂා කිරීමට තිබෙන අයිතිය, පොදු ආයතනවලින් තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය හෝ නිදහසේ තමන් දරන මතයක් වෙනුවෙන් ක්රියා කිරිමේ නිදහස සීමා නොකළ යුතු බව ද ප්රකාශ කළේය.