ප්‍රභාකරන්ගේ විනාශය

May 24, 2009
Publication:
Prabhakaran's organisation was thought unbeatable and fell like a great tree. Ivan argues that had he accepted defeat as Hitler did — taking his own life to release his followers — the war could have ended without harm to the civilians, and that instead he made them his shield. Setting him beside Wijeweera, he finds two able men whom a particular political climate turned cruel, and asks what kind of country would not have done that to them.

ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය සැලකුණේ යුදමය වශයෙන් පරාජය කළ නොහැකි අපරාජිත බලවේගයක් වශයෙනි. එහෙත් අවසානයේ ආරක්ෂක හමුදා අතින් ඔවුන් පරාජය වූයේ මහා වෘක්ෂයක් කපා බිම හෙළන ආකාරයටය. තමන් පාලනය කළ භූමිය මුළුමනින් අහිමිවීමෙන් පසුත්, ප්‍රභාකරන් පරාජය පිළිගත්තේ නැත. ආධාර කණ්ඩායමේ සම සභාපතිවරුන් “යුද්ධය පරාජය වී ඇති බැවින් අවි බිම තබා යටත් වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදීවත් හිට්ලර් මෙන් සිය අනුගාමිකයන්ට යටත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා ප්‍රභාකරන් ඇතුළු කිහිපදෙනා සියදිවි හානිකර ගත්තේ නම්, සිවිල් ජනයාට හානියක් ඇතිවීමකින් තොරවම මෙම යුද්ධය අවසන් වන්නට ඉඩ තිබුණි. එහෙත් ප්‍රභාකරන් ඒ වෙනුවට සිවිල් ජනයා පළිහක් කරගනිමින් සිය පැවැත්ම රැකගැනීමට උත්සාහ කළේය. යුරෝපීය රටවලට දෙමළ ජනයා ලවා කරවන උද්ඝෝෂණ නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක් මගින් සිය පණ නළ රැකගැනීම ප්‍රභාකරන්ගේ ආරම්භක අපේක්ෂාව වූ අතර, පසුව ඉන්දියාවේ මැතිවරණයෙන් සිදුවන ආණ්ඩු පෙරළියක් මගින් සිය පැවැත්ම රැකගැනීමට හැකිවනු ඇතැ”යි විශ්වාස කළේය.

එහෙත් අවසානයේ ඔහු ඇති කරගත් අපේක්ෂා කිසිවක් ඉටු නොවූ අතර, තමන් වටලනු ලැබීමෙන් පසුව හෝ සිය ජීවිතය විනාශ කරගැනීමේ ආත්ම විශ්වාසයක්වත් ඔහු තුළ තිබී නැති බව පැහැදිලිවම පෙනී යයි. එල්ටීටීඊය ගැන අවබෝධයක් ඇති බොහෝ විචාරකයන්ගේ මතය වී තිබුණේ ප්‍රභාකරන් සිය අනුගාමිකයන් දහස් ගණනක් සමග සියදිවි හානි කරගන්නා පිළිවෙතක් මගින් ජයග්‍රාහකයාට ජයපැන් බීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයේ මහා මානුෂික ඛේදවාචකයක් ඇති කරනු බවය. එහෙත් ප්‍රභාකරන්ගේ හා එල්ටීටීඊයේ ඇද වැටීම සිදුවූයේ එවැනි සාධනීය රංගනයකින් නොවේ. 14 වැනිදා වන විට තමන් අවසානය කරා ළඟාවී ඇති බව ප්‍රභාකරන් හා ඔවුන්ගේ අනුගාමිකයෝ හොඳින් දැන සිටියෝය. ඩී.බී.එස්. ජෙයරාජ් වාර්තා කර තිබෙන ආකාරයට සටන් බිමේ ඉතිරි වී සිටි සමහර නායකයන් විදේශගතවී සිටින සිය ඥාතීන්ට දුරකථනයෙන් කතා කොට තමන් යටත් නොවී මැරෙන බවත්, එහෙත් ඔවුන්ගේ බිරියන්ට හා දරුවන්ට හමුදාවට යටත් වන ලෙසත් දැනුම් දුන්නේය.

ජෙයරාජ් ප්‍රකාශ කර තිබෙන ආකාරයට ප්‍රභාකරන් තුවාල ලබා සිටින බව ආරක්ෂක හමුදා පළමුවෙන්ම දැනගත්තේ නාවික හමුදාවට භාරවූ සුසෙයිගේ බිරිඳ වන සත්‍යදේවිගෙනි. ඇය එල්ටීටීඊය වෙනුවෙන් දිවි දුන් ප්‍රථමයා වන ශංකර්ගේ සහෝදරියයි. එල්ටීටීඊයේ පළමු පෙළේ වීරයකු වන ශංකර් මියගියේ 1987 නොවැම්බර් 27 වැනිදාය. එල්ටීටීඊය මහා වීර දිනය ලෙස යොදා ගත්තේ ද ඔහු මියගිය දිනයයි. ජෙයරාජ්ට අනුව ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් හා සුසෙයි ආරක්ෂකයන් 300ක් පමණ පිරිවරාගෙන සිටින නිශ්චිත ස්ථානය ආරක්ෂක හමුදාවන්ට දැනගන්නට ලැබුණේ තුවාල ලැබූ ප්‍රභාකරන්ට ප්‍රතිකාර කළ තිලීපන් වෛද්‍ය ඒකකයේ සාමාජිකයෙකු මගිනි. ඔහු ආරක්ෂක හමුදාවන්ට භාරවූ පසු මෙම රහස හෙළි කළේය. ඒ සමග විශේෂ බලකාය හා කමාන්ඩෝ ඒකක එම ස්ථානය වට කළේය. ඇත්ත අවශ්‍යතාවක් තිබුණේ නම් ප්‍රධාන නායකයන් තිදෙනා ඇති කරගෙන තිබුණු දිවුරුමට අනුකූලව සිය දිවි හානිකර ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණු අතර, ඉන්පසු සිදුකළ යුතු දේවල් පිළිබඳව ඇති කරගෙන තිබු විධි විධාන අනුව එම සිරුරු ගිනි තබා විනාශ කිරීමේ හැකියාව ද තිබුණි.

එහෙත් ඒ කිසිවක් ඒ මොහොතේ සිදුනොවීමෙන් පෙනීයන්නේ ඊලමක් වෙනුවෙන් මැරෙන්නට සිය අනුගාමිකයන් පෙළඹ වූ මෙම නායකයන් ඒ ඉරණම තමන් අත්විඳින්නට කැමති නොවූ බව නොවේද? ප්‍රභාකරන්ගේ මළ සිරුර අත්පත් කරගැනීමට ආරක්ෂක හමුදාවන්ට කිසිවිටෙකත් ඉඩ නොලැබෙනු ඇති බව එල්ටීටීඊය ගැන කරුණු කාරණා දන්නා බොහෝ අයගේ මතය වී තිබුණි. ඩී.බී.එස්. ජෙයරාජ් ප්‍රකාශ කර තිබූ මතය වූයේද එයමය. එල්ටීටීඊයේ හෝ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ලෙස ක්‍රියාකරන පද්මනාදන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සිය නායකයා මිය නොගිය බව හා ඔහු ජීවතුන් අතර සිටින බව කියා සිටියේද ප්‍රභාකරන් දිවි නසාගැනීමෙන් පසු ඔහුගේ සිරුර ගිනි තිබා විනාශ කරන්නට ඇතැ”යි යන විශ්වාසය මත පිහිටා විය හැකිය. ප්‍රභාකරන්ගේ සිරුර ඔහු අපේක්ෂා කළ ආකාරයට ගිනි තබා විනාශ කර ඇත්නම් ප්‍රභාකරන්ට සිදුවූයේ කුමක්ද, ඔහු කොහේ හෝ ජීවතුන් අතර සිටීද යන ප්‍රශ්නය කුතුහලයට හේතුවන නොවිසඳුණු ප්‍රහේලිකාවක් ලෙස පවතිනු ඇති බව ජෙයරාජ්ගේ මතය වී තිබේ.

එහෙත් ප්‍රභාකරන්ගේ සිරුර හමුවීම නිසා එම ප්‍රහේලිකාව ද වහාම විසඳුණේය.

ප්‍රභාකරන්ට වැරදුණේ කොතැනද?

ප්‍රභාකරන්ගේ මරණය දෙමළ ජනතාව තුළ විස්මයක් හා කනගාටුවක් ඇති කළේ නම්, දකුණේ සිංහල ජනතාව අතර පමණක් නොව, නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර ද එය ඇති කරන ලද්දේ උද්දාමයකි. ඔවුහු ප්‍රීතිය පළකිරීම සඳහා රතිඤ්ඤා පත්තු කළෝය. පෙළපාලි ගියෝය. කිරිබත් කෑවෝය. සිංහලයන් අතර පමණක් නොව, දෙමළ නොවන වෙනත් සුළු ජාතිකයන් අතරද ප්‍රභාකරන්ට තිබුණේ ගෞරවයට හේතුවූ ප්‍රතිරූපයක් නොව, උදහසට හා වෛරයට හේතුවූ ප්‍රතිරූපයකි. එය ප්‍රභාකරන්ගේ දෙමළ වීම නිසා ඇතිවූ තත්ත්වයකට වඩා ඔහුගේ සාහසික ක්‍රියාකලාපය විසින් ඇති කරන ලද විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. දෙමළ නොවන වෙනත් වර්ගයාට ඔහු පෙනුණේ සිය වර්ගයාගේ අයිතිවාසිකම් සඳහා සටන් කළ සාධාරණ හා ගරු කටයුතු නායකයෙකු ලෙස නොව, ප්‍රතිපක්ෂයේ බෙල්ලට උල් පිහියක් තියා ගනුදෙනු කරන දයා විරහිත චෞර නායකයෙකු ලෙසය. එය ප්‍රභාකරන්ට වැරදුණු ලොකුම තැන ලෙස ද සැලකිය හැකිය.

මාටින් ලුතර් කිංගේ ඝාතනය ඇමරිකාවේ සුද්දන් උද්දාමයට පත් කළ සංසිද්ධියක් වූයේ නැත. එය කල්ලන් තරමට සුද්දන් ද ශෝකයට පත් කළේය. ඇමරිකාවේ සුද්දන් තුළ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කළ මාටින් ලුතර් කිං ගැන තිබුණේ ගෞරවයට හේතුවූ ප්‍රතිරූපයකි. එම ඝාතනය ඇමරිකාවේ කල්ලන්ගේ යහපත පිණිස දිගහැරෙමින් තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කොට වේගවත් කළේය. මහත්මා ගාන්ධි ඝාතනය ද වර්ග හා ආගම් අනුව බෙදී කුළල් කාගනිමින් සිටි ඉන්දීය ජනයා පොදුවේ මහත් ශෝකයට පත්කිරීමට හේතුවූ සංසිද්ධියක් ලෙස ක්‍රියාකළා මිස, කවර ජන කණ්ඩායමක්වත් උද්දාමයට පත් කරන සංසිද්ධියක් ලෙස ක්‍රියා නොකළේය. ඉන්දියානු ජනයා පමණක් නොව, පොදුවේ පාකිස්තානු ජනයා ද ගාන්ධිගේ මරණය ගැන අසා ශෝකයෙන් හඬා වැලපුණේය. ඔහුගේ මරණය ඉන්දියාවේ ඇවිලෙමින් තිබූ වර්ගවාදී, ආගම්වාදී ගිනිසිළු නිවා දැමීමට හේතුවිය.

විජේවීර ඝාතනය කෙරුණු අවස්ථාවේදී පාරේ රතිඤ්ඤා පත්තු කළ හැකි වටාපිටාවක් රටේ නොතිබුණද, ඔහුගේ මරණය ගැන ප්‍රීතිවූ සැලකිය යුතු පිරිසක් රටේ සිටියේය. ඊට හේතුව ඔහුගේ කැරැල්ල නිසා ඇතිව තිබූ ද්වන්ද්ව පාලනය දකුණේ මහජනතාව කෙරෙහි අතිවිශාල පීඩාවක් ඇති කිරීමට හේතුවී තිබූ නිසාය. විජේවීර දෙවැනි කැරැල්ලේදී සිය අනුගාමිකයන් ලවා සිය ප්‍රතිපාක්ෂිකයන් මරවන ලද්දේ ඉතාමත් කෘෘර ආකාරයකටය. එහෙත් ඔහු තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී දරුවන්ගේ හා බිරිඳගේ ආරක්ෂාව ගැන කතා කළේය. කොළඹට ගෙනා පසු සිය ජීවිත ආරක්ෂාව සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග කතා කරන්නට උත්සාහ කළේය. තම සතුරන්ගේ ඝාතන ඉදිරියේ මහත් උද්දාමයට පත් ඔහු තමන්ගේ මරණය ඉදිරියේ ජීවිත දානය සඳහා හඬා වැලපුණේය. අවසානයේ ඔහුගේ ක්‍රියාකාරකම්වලට ගැළපෙන නින්දාසහගත මරණයක් ඉතිහාසය ඔහුට හිමිකර දුන්නේය.

එම විෂයේදී ප්‍රභාකරන්ගේ ක්‍රියාකලාපය විජේවීරගේ ක්‍රියාකලාපයටත් වඩා කුරිරු හා දුර්දාන්ත විය. මහජනයා බියගැන්වීම සඳහා කිරි බොන වයසේ දරුවන් පවා ඔහු මැරෙව්වේය. පූජා භූමිවල හා දේවස්ථානවල වන්දනාමාන කරන බැතිමතුන් පවා තොග ගණනින් ඝාතනය කෙරෙව්වේය. තමන්ගේ දේශපාලන අනුගාමිකයන් මිනිස් බෝම්බ බවට පත් කළේය. එම මිනිස් බෝම්බ ඉලක්ක වෙත යවන්නට පෙර ප්‍රභාකරන් ඔහු හෝ ඇය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ගත්තේය. එහෙත් මෙම අනුකම්පා විරහිත කුරිරු මිනිසා පවා තමන් ඉදිරියට මරණය ආ කල හැසිරී තිබෙන්නේ නිවට බියගුල්ලෙකු ලෙසය. අවසානයේදී ඔහුට ද ඔහුගේ ක්‍රියාකාරකම්වලට ගැළපෙන නින්දාසහගත මරණයක් ඉතිහාසය උරුම කර දුන්නේය. එල්ටීටීඊ විනාශය හා ප්‍රභාකරන්ගේ මරණය මේ මොහොතේ දෙමළ ජනතාවගේ සංතෝෂයට හේතුවී තිබෙන කරුණක් වී නැතත්, ඒ මගින් දෙමළ ජනතාවට හිමිවන නිදහසේ පරිමාව සුවිශාලය.

ඔහුගේ සිත් පිත් නැති කෘෘර ක්‍රියාකලාපය බලපෑවේ සිංහල හා මුස්ලිම් ජනතාව කෙරෙහි පමණක් නොවේ. එම සාධකය වැඩියෙන්ම බලපෑවේ ඔහු නියෝජනය කළ දෙමළ ජනතාව කෙරෙහිය. ඔහු සිය මනෝරාජික ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙමළ ජන ජීවිතය විනාශ කළේය. සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කළේය. සිය චෞර පාලනය නඩත්තු කිරීම සඳහා ඔවුන්ගෙන් කප්පම් ගත්තේය. ඔවුන්ගේ දූ දරුවන් සිය චෞර හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගත්තේය. තමන් දෙන අණ නොපිළිපදින මිනිසුන්ට අනුකම්පා විරහිතව දඬුවම් කළේය. දෙමළ ජනයා නියෝජනය කරන එකම නායකයා වීමේ අරමුණ සපුරා ගැනීම සඳහා දෙමළ ජනතාවගේ ගෞරවයට හේතුවූ සියලු දෙමළ නායකයන් මරා දැම්මේය. අවසානයේ ඔහු දෙමළ නොවන මිනිසුන් මරා දමන තරමටම වාගේ දෙමළ මිනිසුන් ද මරා දැම්මේය. ප්‍රභාකරන් ගොඩනගමින් තිබූ චෞර රාජ්‍යය දෙමළ ජනතාවගේ පවා විශ්වාසය හා ගෞරවයට හේතුවී තිබුණේ නැත.

අවසානයේදී එහි ජීවත් වූයේ යුරෝපයට තබා කොළඹටවත් පැනගන්නට බැරිතරම් අමාරු තත්ත්වයක සිටි අසරණ ජනතාවය. රටේ දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් ජීවත් වූයේ ප්‍රභාකරන්ගේ චෞර රාජ්‍යයෙන් පිටස්තර ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලය. තමන් ජීවත් වන ප්‍රදේශ අතහැර ප්‍රභාකරන්ගේ රාජ්‍යයට එකතුවීමට ඔවුන් තුළ උනන්දුවක් හෝ කැමැත්තක් තිබුණේ නැත. මින් මතු ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමේ නිදහස ලැබෙනු ඇත්තේය. කප්පම් ගෙවීමකින් තොරව, තම දූ දරුවන් බලහත්කාරයෙන් එල්ටීටීඊ යුද සේවයට බඳවා ගැනීමේ තර්ජනයන්ගෙන් තොරව සිය ජීවිත පවත්වාගෙන යෑමේ නිදහස ඔවුන්ට ලැබෙනු ඇත්තේය. ප්‍රභාකරන්ගේ පැවැත්ම දෙමළ ජන සමාජයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබුණේය. ඔවුන්ට හිතට එකඟව වාද විවාද කිරීමේ හෝ අදහස් පළකිරීමේ නිදහසක් නොතිබුණි. එම තත්ත්වය දෙමළ ජනතාවගේ නිදහස් චින්තනය මොට කිරීමට හේතුවී තිබුණි.

වරද කාගේද?

මේ සියල්ල මෙසේ තිබියදීත් ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය ප්‍රභාකරන්ගේ නිර්මාණයක් නොවන බවත්, ප්‍රභාකරන් වාර්ගික අර්බුදයේ නිර්මාණයක් බවත් අප තේරුම් ගත යුතුය. වෙනම රාජ්‍යයක් පිළිබඳ මනෝරාජික විනාශකාරී අදහස කෙරෙහි දෙමළ ජනතාවට වෙනස්කම් කිරීමක් සිදු නොවූ කාලයේ පවා සමහර දෙමළ උගතුන් අතර තිබුණි. එහෙත් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් ලැබීම ආරම්භ වූයේ සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත් සමගය. අඩුම වශයෙන් සිංහල රාජ්‍ය භාෂාව කරන අතර, දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩදෙනු ලබන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් හා එම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කිරීමට සමත් වී නම්, මෙම ප්‍රශ්නය මෙතරම් දුර දිග ගිය මහා අවුලක් බවට පත් නොවන්නට ඉඩ තිබුණි. පසුකලක මෙම වරද ව්‍යවස්ථාමය වශයෙන් නිවැරදි කරනු ලැබුවත්, එම විධිවිධාන අද දක්වා ප්‍රමාණවත් තරමින් ක්‍රියාත්මක වන තත්ත්වයක් නොපවතී.

ප්‍රභාකරන් විනාශ කිරීමෙන් පමණක් බෙදුම්වාදය අවසන් කළ නොහැකිය. දෙමළ නායකයන් ඉල්ලා සිටින හැමදෙයක්ම නොව, දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ඇත්ත දුක්ගැනවිලිවලට ප්‍රමාද නොකර විසඳුමක් ලබාදිය යුතුය. අප කාගෙත් අවධානයට යොමුවිය යුතු මොන මොන හේතු නිසා හෝ දේශපාලන විචාරකයන් පමණක් නොව, සමාජ විද්‍යාඥයන් පවා කතා කිරීමට කැමති නැති ප්‍රශ්නයක් ප්‍රභාකරන්ගේ උතුරේ තරුණ දෙමළ කැරැල්ල කෙරෙහි පමණක් නොව විජේවීරගේ දකුණේ තරුණ සිංහල කැරැල්ල කෙරෙහි ද අඩු වැඩි වශයෙන් බලපෑවේය. ප්‍රභාකරන්ගේ අරගලය එකවිට සිංහල ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක් වනවාට අතිරේකව දෙමළ සමාජයේ වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක් විය. විජේවීරගේ අරගලය ද එකවිට ධනපති විරෝධී හා සිංහල සමාජයේ ගොවිගම ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගලයක් විය. තරුණ අසහන කොමිසම එම සාධකය පළමුවරට පිළිගත්තේය.

විජේවීර හා ප්‍රභාකරන් යන දෙදෙනාගේම කුල පසුබිම එක සමානය. මෙම ව්‍යාපාර දෙකේම ඊළඟ නායකත්වය බොහෝදුරට සමන්විතව තිබුණේ ආන්තික කුල පසුබිමක් ඇති අයගෙනි. මෙම ප්‍රධාන ධාරාවේ පක්ෂවල දකින්නට නැති විශේෂ ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකිය. එහි තේරුම අසමානතාව පිළිබඳ අසහනය ජනවාර්ග අතර පමණක් නොව, ජනවර්ග තුළ ද තිබෙන බවය. සමාන ජනවර්ගයකට අයත් වුවත්, සියලු සිංහලයන් එක සමාන නොවන්නා සේ ම සියලු දමිළයන් ද එක සමාන නැත. ගෞරවනීය ශ්‍රී ලංකාවක් ගොඩනගා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී ජනවර්ග අතර තිබෙන අසමානභාව පිළිබඳ ප්‍රශ්නය සේ ම ජනවර්ග තුළ පවත්නා අසමානතාව පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නයට ද විසඳුමක් සොයාගත යුතුය. මහජනයාගේ ගෞරවයට හේතු නොවන සාහසික අරගලයක යෙදුණු ප්‍රභාකරන් සේ ම විජේවීර ද ඔවුන්ගේ දෘෂ්ටිවාදයන්ට ආවේණික බරපතල සීමාසහිතකම් තිබියදීත් නිශ්චිත අරමුණක් වෙනුවෙන් දැඩි ඇප කැපවීමකින් හා නිර්මාණශීලීව ක්‍රියා කළ ඉතාමත් විශේෂ දක්ෂතා තිබුණු පුරවැසියන් දෙදෙනෙකු වන බව ද අප අමතක නොකළ යුතුය.

ඔවුන් දෙදෙනා සාහසික දේශපාලනයකට තල්ලු කරන දේශපාලන වටාපිටාවක් නොතිබුණේ නම් ඔවුන් කෘෘර හා සාහසික පුද්ගලයන් නොවී රටේ යහපත පිණිස ප්‍රයෝජනවත් හා නිර්මාණශීලී දායකත්වයක් ලබාදෙන පුද්ගලයන් වන්නට ඉඩ තිබුණු බව ද අප අමතක නොකළ යුතුය. මෙවැනි දක්ෂ මිනිසුන් සාහසික මාවතකට තල්ලු කිරීමට හේතු නොවන සමාජ වටාපිටාවක් සහිත ගෞරවනීය ශ්‍රී ලංකාවක් ඇති කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය විජේවීරගේ මරණයෙන් පසු දැන් නැවත ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුවද තියුණු ලෙස මතු කරයි. විවිධ වෙනස්කම් තිබියදීත් ඒ සියලුදෙනාට ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්විය හැකි ගෞරවනීය ශ්‍රී ලංකාවක් ඇති කරගන්නේ කෙසේද? කවදාද? ඒ ප්‍රශ්නයට දෙන්නට හරි උත්තරයක් අප ළඟ තිබේද?