පොදු පෙරමුණු ආණ්ඩුව නමැති දේශපාලන අට්ටාලය කඩා වැටෙන්නට ආසන්න තත්ත්වයකට පත්ව තිබෙන බව පෙනේ. ශ්රීලනිපයේ අභ්යන්තර කල්ලි ආරාවුල් උග්ර අතට හැරෙමින් තිබෙන අතර, පොදු පෙරමුණු ආණ්ඩුවේ දෙවැනි විශාල කොටස්කරුවා ලෙස සැලකිය හැකි මුස්ලිම් කොංග්රසයේ හා ජාතික සමගි පෙරමුණේ බහුතර පිරිසක් පොදු පෙරමුණ සමග පැවති දේශපාලන දිගය අත් හරීන තැනකට පැමිණ සිටී.
එස්.බී. දිසානායක ජනාධිපතිනිය සමග ඇති කරගෙන තිබෙන ගැටුම ද ආණ්ඩුව අභ්යන්තරයේ පවතින අවුල් සහගත තත්ත්වය තවත් උග්ර කිරීමට හේතුවී තිබේ. කලක් එස්.බී. දිසානායක ජනාධිපතිනියට සිටි කිට්ටුම දේශපාලන සගයන් දෙදෙනාගෙන් කෙනෙකු විය. එහෙත් දැන් ඇයට ශ්රීලනිප අභ්යන්තරයේ සිටින පාලනය කිරීමට අමාරුම පුද්ගලයා බවට පත්ව සිටින්නේ ද එස්.බී. ය. රටේ මූල්ය පාලනය අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන බව ප්රකාශ කරමින් මුදල් ඇමති ධුරය අත්හරින ලෙස එස්.බී. ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව අනියම් ලෙස පාලනය කිරීම සඳහා තමන් අත තිබෙන ලොකුම ආයුධය උදුරා ගැනීමට එස්.බී. දරන උත්සාහය ඇය දැක්කේ තමන් අස්ථාවර කිරීමට දරන කුහක ප්රයත්නයක් ලෙසය.
සුළු ජාතික පක්ෂ මත යැපීම අතහැර එජාප සමග එකගත්වයක් ඇති කරගනිමින් ඒකාධිපති පන්නයක ජාතික ආණ්ඩුවකට යා යුතුය යන අදහසක් එස්.බී. තුළ තිබුණේය. එහෙත් ඒ ගමන ජනාධිපතිනියගෙන් තොරව නව නායකත්වයකින් ඉදිරියට යායුතු බව එස්.බී. ගේ මතය විය. එස්.බී. මේ ක්රියාවලියේදි ජනප්රිය නායකයා ලෙස ඉදිරියට ගන්නට උත්සාහ කළේ අගමැති රත්නසිරි වික්රමනායකය. ජී.එල්. පිරිස් ද මේ වැඩපිළිවෙලේ කොටස්කරුවකු කරගැනීමට එස්.බී. සමත්ව තිබුණේය.
එහෙත් සුළු ජාතික පක්ෂවලින් තොරව ගොඩ නගන ජාතික ආණ්ඩුවක් පිළිබඳ එස්.බී. ගේ අදහස පොදු පෙරමුණේ කොටස්කරුවන් ලෙස ක්රියා කරන සුළු ජාතික පක්ෂ අතර පැවති අසහනකාරි හැගීම් උග්ර කිරීමට හේතුවිය. විශේෂයෙන්ම ජාතික ආණ්ඩු අදහස පොදු පෙරමුණ සමග මුස්ලිම් කොංග්රසයට තිබෙන මතභේද උග්ර කළේය. ජනාධිපතිනිය ෆේරියල් අෂ්රොෆ් මගින් රවුෆ් හකීම් මට්ටු කරන්නට දරන ප්රයත්නය ද මේ අවුල තව තවත් උග්ර කිරීමට හේතුවිය.
දි.මු. ජයරත්න, ඒ.එච්.එම් ෆවුසි, මහින්ද රාජපක්ෂ, ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ, මහින්ද විජේසේකර වැනි කැබිනට් ඇමතිවරුන් සිටින්නේ ද මහත් අසහනයකිනි. ආණ්ඩුවේ කිසිවකු තුළ ස්ථාවරභාවය පිළිබඳව කිසිදු විශ්වාසයක් ඇති බවක් පෙනෙන්නට නැත. දෝෂාභියෝග යෝජනාව ආණ්ඩුව තුළ තිබුණු මෙම අවුල උග්ර කළේය. දෝෂාභියෝගය ඉදිරියට ගෙනයාම වළකන වාරණය ජනාධිපතිනිය අධිකරණය මගින් පාර්ලිමේන්තුව පාලනය කිරීමට දරන ලද සියුම් උත්සාහයක් ලෙස දුටු පොදු පෙරමුණේම සමහර ඇමතිවරුන් ඊට එරෙහිව නැගී සිටින තත්ත්වයකට තල්ලුවී ගියේය. පොදු පෙරමුණ දැන් තිබෙන්නේ තමන්ට පාලනය කළ නොහැකි තැනක බව ජනාධිපතිනිය පළමු වරට බලවත් ලෙස තේරුම් ගත් අවස්ථාව ද එය විය හැකිය.
එජාප මුස්ලිම් කොංග්රසයේ රවුෆ් හකීම් පිල සමග එකගතාවක් ඇතිකර ගැනීමට සමත් වී තිබේ. මහීපාල හේරත්ට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව පොදු පෙරමුණේ තත්ත්වය වඩාත් දුර්වල කරනු ඇති අතර, එය විශ්වාසභංගයක් මගින් ආණ්ඩුව පරාජය කිරීමට තිබෙන ඉඩ පුළුල් කරනු ඇත.
මේ ඇතිවී තිබෙන අවුලේදි රටට වඩා වැදගත් වනු ඇත්තේ ආණ්ඩුව ඇද වැටී, ඊළගට බලයට එන්නේ කවුරුන්ද යන ප්රශ්නයට වඩා ඇතිවී තිබෙන මෙම අර්බුදයේ ප්රතිඵලයක් වශයෙන් රටට අවශ්ය ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ නීතිගත කිරීම හා ක්රියාවට නැංවීම සඳහා වන වැඩපිළිවෙළක් ක්රියාත්මක වේද නැද්ද යන ප්රශ්නයයි.
රටට අවශ්ය ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ ක්රියාවට නැංවීම සඳහා මේ මතුවෙමින් තිබෙන අවස්ථාවට වඩා හොඳ අවස්ථාවක් එළඹෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ඒ අරමුණ සපුරා ගත හැක්කේ ඒ අරමුණ වෙනුවෙන් ම ක්රියා කරන සර්වපාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට හැකිවේ නම් පමණය.
විශ්වාසභංගයේදි ආණ්ඩුව පරාජයට පත් වුවත්, පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුද්දක් යන තෙක් එය විසුරුවා හැරිමේ බලයක් ජනාධිපතිනියට නැත. ඉන්පසුව වුවත්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ උනන්දුවක් කිසිම පක්ෂයක් තුළ නැත.
විධායක ජනාධිපති ක්රමය අධිකරණයට හා පාර්ලිමේන්තුවට වගකියන ආකාරයට ප්රතිසංස්කරණය කිරීම, අධිකරණ සේවය, රාජ්ය සේවය, පොලිස් සේවය, මැතිවරණ කටයුතු හා රාජ්ය ජනමාධ්ය සඳහා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කිරීම සඳහා අවශ්ය ව්යවස්ථා සභාවක් ඇති කිරීම, ජනවාර්ගික අර්බුදයට සාකච්ඡාමය ක්රියාමාර්ගයක් මගින් විසඳුමක් ඇතිකර ගැනීම යන ප්රතිසංස්කරණ අරමුණු දිනාගැනීම වෙනුවෙන් පමණක් සියලුම පක්ෂ හා කණ්ඩායම්වලට සහභාගි විය හැකි සියලු දෙනාගේ ගෞරවයට හා අනන්යතාවට ඉඩ දෙන රාමුවක සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට හැකි වේ නම්, එය ඇතිවී තිබෙන මේ අර්බුදයේ දි සමාජයට ලබාගත හැකි අතිවිශාල ජයග්රහණයක් වනු නොඅනුමානය.
විශ්වාසභංගයේ දි ආණ්ඩුව පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුවේ ප්රධාන දේශපාලන කණ්ඩායම බවට පත්වනු ඇත්තේ එජාපයයි. එහිදී එක්සත් ජාතික පක්ෂය රටට අවශ්ය වී තිබෙන ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ නොසලකා ඒ වෙනුවෙන් වන සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගන ක්රියාමාර්ගයක් වෙනුවට එජාපයට බර තබන ආණ්ඩුවක් ඇති කරගැනීම වෙනුවෙන් ක්රියාකරන්නට ගියහොත් සමහරවිට මතුවී තිබෙන අවුල අරාජිකත්වයක් දක්වා දුරදිග යා හැකිය. වෙනස් දේශපාලන ආකල්ප ඇති අනෙකුත් පක්ෂවලට ද හිරිකිතයකින් තොරව එක්විය හැකි ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් හා එය ගොඩ නගන තාවකාලික ආණ්ඩුව තුළ වෙනස් දේශපාලන අදහස් දරන පක්ෂවලට ගෞරවයෙන් ක්රියාකිරීමට ඉඩ ලැබෙන ආකාරයේ රාමුවක් ඇතිකර ගැනීමට සමත් වේ නම්, පාර්ලිමේන්තුවේ විශාල බහුතර පිරිසක් ඒකරාශී කරගනිමින් සමහරවිට ශ්රී ලංකාවේ ගමන් මගෙහි නව වෙනසක් ඇතිකර ගැනීමට හේතුවන ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ ක්රියාමාර්ගයක් ක්රියාවට නැගීමට හැකිවිය හැකිය.