උසස් තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම

June 17, 2001
Publication:
The Sarath N. Silva crisis shows the need for a system that prevents unsuitable appointments to posts such as Chief Justice. The editorial contrasts US Senate scrutiny of judicial nominees and South Africa's constitutional body that shortlists three names, says the President appointed a man about to be disbarred in order to control the courts, and calls for his removal and for the proposed independent judicial commission to be enacted.

සරත් එන්. සිල්වා මහතා ආශ්‍රයෙන් අධිකරණයේත්, රටේත් මතුවී තිබෙන අර්බුදය රටට කියාදෙන එක් වැදගත් පාඩමක් වනුයේ අගවිනිසුරු ධුරය වැනි ගරු කටයුතු හා උසස් තනතුරු සඳහා පුද්ගලයන් තෝරාපත් කිරිමේදි නුසුදුසු පුද්ගලයන් පත්කළ නොහැකි ක්‍රමයක ඇති අවශ්‍යතාවයි. නැත්නම් ජනාධිපතිට ඒ සඳහා ලැබී තිබෙන අසීමිත බලය හිතුවක්කාරී ලෙස පාවිච්චි කිරීමට ඉඩක් නොලැබෙන ක්‍රමයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයි.

ශිෂ්ටසම්පන්න බොහෝ රටවල් ඒ සඳහා විවිධ ක්‍රම යොදා ගෙන ඇත්තේ ය. ඇමරිකාවේ නම් උසස් අධිකරණය සඳහා ජනාධිපතිවරයා කරන සෑම නම් කිරීමක් ම සෙනට් සභාවේ සියුම් පරික්ෂණයට ලක්වේ. පුද්ගලයාගේ චරිතවත් බව සේ ම, අනෙකුත් වැදගත් සියලු කරුණු එහිදී දැඩි ප්‍රශ්න කිරීමකට ලක්වේ. එම පරික්ෂණයෙන් අසමත් වන්නන්ගේ සංඛ්‍යාව කුඩා නොවන අතර, පරික්ෂණයෙන් අසමත් වන කිසිවකුට උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වීමේ හැකියාවක් ද නොපවතී.

දකුණු අප්‍රිකාව ඒ සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩල ක්‍රමයක් යොදා ගනී. දැඩි පරික්ෂණයකට ලක් කිරිමෙන් පසු ව්‍යවස්ථාදායක මණ්ඩලය සුදුසු පුද්ගලයන් තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කරන අතර, ජනාධිපතිවරයාට කළ හැක්කේ එම පුද්ගලයන් තිදෙනා අතරින් සුදුසු පුද්ගලයෙකු පත් කිරීම පමණ ය.

අගවිනිසුරු ධුරය වැනි ඉතා බලවත් උසස් හා ගරු කටයුතු තනතුරකට සරත් සිල්වා මහතා වැනි නුසුදුසු හා නොගැලපෙන පුද්ගලයකු පත්වූයේ උසස් අධිකරණය සඳහා සුදුසු ම පුද්ගලයන් තෝරා පත් කරන ක්‍රමයක් අපේ රටේ නැති නිසා ය. ජනාධිපතිනියට සිය දේශපාලන අභිලාෂයන්ට අනුකූලව අධිකරණය පාලනය කරන තත්ත්වයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූ අතර, ඒ අරමුණ සඳහා ම නීතිඥ කබාය ගැලවෙන්නට ඔන්න මෙන්න කියන තැනක සිටි දූෂිත පුද්ගලයෙකු එම තනතුරට පත් කළාය. ඒ නිසා අධිකරණය කෙරෙහි ඇතිවූ විනාශය අතිවිශාල ය. අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වී එය එක්තරා විශාල ප්‍රමාණයකට දේශපාලන පක්ෂයක ශාඛාවක තත්ත්වයකට පත්වූවේ ය.

අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය සඳහා සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වනවා සේ ම, එවැනි උසස් හා ගරු කටයුතු තනතුරුවලට සුදුසු ම පුද්ගලයන් තෝරා පත් කරන ක්‍රමයක් වහා ම ඇති කරගැනීම ද අත්‍යවශ්‍ය ය.

දැනට යෝජනා වී ඇති ස්වාධීන අධිකරණ කොමිසම ඊට පිළියමක් වනු ඇතත්, එය ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ යෝජනා නීතිගත කරවා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයක් ද ඉතිරිවී පවතී.