ප්‍රචණ්ඩත්වය වන්දනාමාන කිරීම

April 6, 2008
Publication:
The JVP rose twice in arms and the LTTE is still fighting; between them more than a hundred thousand are dead, and both movements commemorate their own dead without distinction as heroes. Ivan says the JVP's transformation into a parliamentary party is good and incomplete: it has not yet given up honouring its own violence, and among the heroes it commemorates are people who killed without reason.

ජවිපෙ අවස්ථා දෙකකදී රාජ්‍ය බලය අල්ලා ගැනීම පිණිස ආයුධ සන්නද්ධව නැගී සිටියේ ය. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ද වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් තාමත් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වී සිටින්නේ ය. ජවිපෙ සන්නද්ධ නැගිටීම් දෙක වෙනුවෙන් හා ප්‍රභාකරන්ගේ ඊළාම් අරගලය වෙනුවෙන් මරණයට පත් අයගේ සංඛ්‍යාව ලක්ෂයකට වැඩි ය. මෙසේ මියගියවුන් අතර අහිංසකයන් ද විශාල සංඛ්‍යාවක් සිටිය හැකි වුවත්, ඔවුන් අතර දේශපාලන අරමුණු වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනවල යෙදුණු විශාල පිරිසක් ද සිටින්නේ ය. ජනතා විමුක්ති පෙරමුණ භේදයකින් තොරව එම කැරලි දෙකේ දී තමන් වෙනුවෙන් මියගිය සියලු දෙනා වීරයින් ලෙස සමරන විට කොටි සංවිධානය ද ඊළාම් අරගලයේ දී තමන් වෙනුවෙන් මියගිය සියලු දෙනා වීරයින් ලෙස සමරති. අපි ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයක් තුළ හිරවී සිටින ජාතියක් බවට පත්ව සිටිමු.

දේශපාලනයේ දී ප්‍රචණ්ඩත්වයෙන් ගනුදෙනු බේරා ගන්නා ක්‍රමයක් නූතන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකිය හැක්කේ රෝහණ විජේවීර ය. ඒ අර්ථයෙන් ප්‍රභාකරන් ද විජේවීරගේ ශූර අනුගාමිකයෙකු ලෙස සැලකිය හැකි ය. 71 කැරැල්ලෙන් ආරම්භ වන ලේ හැලිල්ලේ අවසානයක් දැකීමට අද දක්වා අසමත් ව සිටිමු. ජවිපෙ දෙවැනි කැරැල්ලේ දී කිසිම සාධාරණ හේතුවක් හෝ තේරුමක් නැතිව දහස් ගණනක් මිනිසුන් ඝාතනය කළේ ය. ජීවතුන් අතර සිටිය යුත්තේ කව්ද නොසිටිය යුත්තේ කව්ද යන්න තීරණය කිරීමේ බලය ඔවුන් තමන් අතට ගෙන තිබුණි. කොටි සංවිධානය අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය ද ඊට දෙවැනි නැත. රාජ්‍යය ද මෙම අරගලවල දී බිහිසුණු හා කුරිරු භූමිකාවක් අනුගමනය කළේ ය. ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රචණ්ඩත්වය අතහැර තමන් බෝම්බ ගසා විනාශ කරන්නට හැදූ පාර්ලිමේන්තුවේ ගාම්භීර ලෙස අසුන්ගෙන සිටින්නේ ය.

පළාත් සභාවලට තරග කළ අපේක්ෂකයන් පමණක් නො ව, ඡන්දය පාවිච්චි කරන්නට ගිය ඡන්දදායකයන් ද ඝාතනය කළ එම පක්ෂය දැන් පළාත් සභාවල ද අසුන් ගෙන සිටින්නේ ය. එම පරිවර්තනය හොඳ ය. එහෙත් ඔවුන් තමන්ගේ අතීත ප්‍රචණ්ඩත්වය වීරත්වයෙන් සැලකීම තවමත් අත්හැර නැත. ඔවුන් තමන්ගේ වීරයන් ලෙස සමරන පුද්ගලයන් අතර අනුකම්පා විරහිතව කිසිම තේරුමක් නැතිව මනුෂ්‍යයන් ඝාතනය කළ පුද්ගලයන් ද සිටින්නේ ය. ඔවුන් දෙවැනි කැරැල්ලේ ලාබාළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සඳහා උපරිම ලෙස පාවිච්චි කළේ ය. ප්‍රචණ්ඩත්වය වීරත්වයෙන් සලකන ව්‍යාපාරයකට පාසල් ගුරුවරුන් ද එකතු වී සිටිති. එවැනි අය තමන් අධ්‍යාපනය ලබාදෙන මතු පරපුරට උගන්වන්නේ මොනවා ද? එවැනි ගුරුවරුන් මතු පරපුරට දෙන ආදර්ශය කුමක් ද? සමන් පියසිරි ප්‍රනාන්දු, රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වැනි පුද්ගලයන් වීරයන් ලෙස සලකන ලෙස ඔවුන් තමන් උගන්වන මතු පරපුරෙන් ඉල්ලා සිටින්නේ ද? අප්‍රේල් කැරැල්ල වැනි සිදුවීම් දෙස බැලිය යුත්තේ වීරත්වයෙන් නොව සමාජයේ සිදුවූ ඛේදවාචකයක් ලෙස ය.