විමල් වීරවංශ ජවිපෙ සිය දෙවැනි කැරැල්ලෙන් පසුව ගොඩනගන ලොකුම දේශපාලන චරිතය ලෙස සැලකිය හැකිය. එක්තරා කාලයකදී කැපී පෙනෙන තැනක නොසිටි මෙම පුංචි මිනිසා ජවිපෙ තුළ දැවැන්ත චරිතයක් ලෙස ගොඩනැගෙමින් දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසුව නොවැදගත් හා බෙලහීන තත්ත්වයකට පත්ව තිබූ ජවිපෙ නැවත විශාල දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කිරීමට පුරෝගාමී විය. ඔහු ධෛර්යයවන්ත ලෙස හා සිය උත්සාහයෙන් සිය හැකියාවන් ඔපවත් කරගනිමින් නැගී සිටි නායකයකු ලෙස ද සැලකිය හැකිය. ඔහු සිය කථිකත්වය හා අංග චලනය පුහුණු කරගැනීම සඳහා කැපවූ ආකාරය පිළිබඳව ඔහුගේ සමකාලිකයන් අතර රසවත් කතා පවතී. ඔහු විජේවීරගේ පටිගත කරන කතාවලට සවන් දෙමින් විජේවීර කතා කළ ආකාරයෙන් ම කතා කිරීමට උත්සාහ කළ බව ද ඒ පුහුණුව ලබාගැනීම සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කළ බව ද කියනු ලැබේ. අවසානයේදී ඔහු දක්ෂ කථිකයකු බවටත්, අවවරප්රසාදිත ග්‍රාමීය සිංහල තරුණයන් අතර පරමාදර්ශී වීරයෙකු බවටත් පත්විය.
ඔහු කොණ්ඩය පීරන විලාශය, රැවුල, අනුකරණය කළ සිය ගණනක් තරුණයන් ජවිපෙ තුළ සිටි බව ද අසන්නට ලැබේ. ජවිපෙ දෘෂ්ටිය හා දේශපාලන භාවිතය පසුගාමී වුවත්, එය සිංහල සමාජයේ අවවරප්රසාදිත සමාජ කණ්ඩායම්වලට සෙවණ දෙන හා ගෞරවය ලබාදුන් පක්ෂය ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එය අවවරප්රසාදිත සමාජ කණ්ඩායම්වලට නායකයන් තනා දෙන පක්ෂය ලෙස ද සැලකිය හැකිය. එම පක්ෂය විසින් පහළම තත්ත්වයක සිට ඉහළම තත්ත්වයකට ඔසවනු ලැබූ නායකයන් අතරින් විමල් වීරවංශ හිමි කරගත් තැන අසමසම ලෙස ද සැලකිය හැකිය. සිංහල සමාජය තුළ සිංහලයන් වූ පමණක් සියලු සිංහලයන් එක සමාන නොවන්නා සේ ම දමිළ සමාජය තුළ ද දමිළයන් වූ පමණින් සියලු දෙනා එක සමාන වන්නේ නැත. මෙම වාර්ගික කණ්ඩායම් දෙක තුළ පවත්නා උස් පහත් භේදය කෙරෙහි පන්තියට වඩා බලපා තිබෙන්නේ කුලයයි. සිංහල සමාජයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සේ ම දෙමළ සමාජයේ පෙර පැවති ප්‍රධාන දේශපාලන පක්ෂ ද (දෙමළ කොංග්‍රසය, පෙඩරල් පක්ෂය වැනි) ගොවිගම හෝ වෙල්ලාල කුලයට බර තැබූ දේශපාලන පක්ෂ විය.
මේ දේශපාලන පක්ෂ පීඩිත කුලවලට සාධාරණ නියෝජනයක් ලබාදී නැතැයි කියන දුක්ගැනවිල්ලක් හැමදාමත් පීඩිත කුල අතර තිබුණි. සිංහල සමාජය තුළ බිහිවන ජවිපෙ ද දෙමළ සමාජය තුළ බිහිවන කොටි සංවිධානය ද සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වෙනස්ව පීඩිත කුලවලට බර තැබූ දේශපාලන පක්ෂ ලෙස සැලකිය හැකිය. මෙම දේශපාලන ව්‍යාපාර දෙකේම මුදුණත සමන්විත වූයේ සිංහල හා දෙමළ කුල ධුරාවලියේ අතරමැද තත්ත්වයක් නියෝජනය කරන කරාව හෝ කරයාර් කුලයෙන් වුව ද ව්‍යාපාරයේ සාරය සමන්විත වූයේ පීඩිත කුලවල නියෝජිතයන්ගෙනි. ප්රභාකරන් කරයාර් කුලයට අයත් වන විට තමිල් චෙල්වම් අයත් වූයේ බාබර් කුලයටය. විජේවීර කරාව කුලයට අයත් වන විට ලයනල් බෝපගේ අයත් වූයේ කුඹල් කුලයටය. ලයනල් බෝපගේගෙන් පසු ඒ තැන හිමිකර ගන්නා උපතිස්ස ගමනායක අයත් වූයේ ඔලී කුලයටය. විමල් වීරවංශ අයත් වූයේ නැකති කුලයටය.
සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු 1956 තෙක්ම දේශපාලනය තුළ ක්‍රියාකාරී තත්ත්වයක් හිමි කරගෙන සිටි අය එක්කෝ වංශවතුන් හෝ අලුතෙන් ධනවත් වූ අය වූහ. පීඩිත තත්ත්වයක සිටි නවීන ධනේශ්වර ක්‍රමය තුළ ධනවත් වීමට ද එතරම් ඉඩ ප්රස්ථා නොතිබුණු පීඩිත කුල ජාතික දේශපාලනයට සක්‍රීය ලෙස සම්බන්ධ වන්නේ 1956න් පසුවය. ඊට පෙර ඔවුන්ගේ ජනප්‍රිය දේශපාලන පක්ෂය බවට පත්ව තිබුණේ දකුණේ සම්ප්‍රදායික වාමාංශික පක්ෂ හා උතුරේ යාපනයේ සංගමය වැනි දේශපාලන ව්‍යාපාරයන්ය. එහිදීත් ඔවුන් එවැනි ව්‍යාපාරවල හොඳ අනුගාමිකයන් වූවා මිස, ඒවාහි නායකයින් නොවීය. සමසමාජ හා කොමියුනිස්ට් යන පක්ෂ දෙක සිංහල ග්‍රාමීය සමාජයේ පැවති වැඩවසම් ක්‍රමයට හා කුල භේදයට එරෙහිව සටන් කරන විට යාපනේ දෙමළ සංගමය ග්‍රාමීය සමාජය තුළ පැවති වැඩවසම් ක්‍රමයට හා කුල භේදයට එරෙහිව සටන් කළේය. එහිදී දකුණේ වමේ පක්ෂවලට වඩා ඉදිරියට ගිය යාපනේ සංගමය කුල භේදය අහෝසි කිරීමේ ඉල්ලීම සිය දේශපාලන ඉල්ලීම් අතර ප්‍රධාන ඉල්ලීමක් බවට පත් කරගෙන තිබුණේය.
නැකති කුලයේ අපේක්ෂකයකු පළමුවරට පාර්ලිමේන්තු ආසනයකට තරග කරන්නේ 1956දීය. රක්වාන ආසනයට තරග කරන ටී.වී.ජී. කරුණාරත්නය. 1956 මැතිවරණයේදී එම අසුන ජයගැනීමට සමත් වන්නේය. එහෙත් ඔහු සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට එහා ගිය දේශපාලන භූමිකාවක් රඟ නොපෑවේය. ඉන්පසු එම කුලයෙන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු ආසනයකට තේරී පත්වන (ප්‍රේමදාස යුගයේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එම කුලයේ නියෝජිතයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේය.) ඊළඟ මන්ත්‍රීවරයා වන්නේ විමල් වීරවංශය. එහෙත් ඔහු ටී.වි.ජී. කරුණාරත්න මෙන් පුංචි භූමිකාවකට සීමාවූවෙක් නොවීය. කැපී පෙනෙන දැවැන්ත භූමිකාවක් රඟපෑමට ඔහු සමත් විය. නිසැක වශයෙන් ම ඔහු නැකති කුලය විසින් මෙතෙක් බිහිකර තිබෙන දැවැන්තම දේශපාලන නායකයා වශයෙන් සැලකිය හැකිය. පීඩිත කුලවලට ඔවුන්ගේ අයිතිවාසිකම් බලා ගැනීම සඳහා තමන්ගේම වන ශක්තිමත් දේශපාලන නායකයන් නැතිකම එම පීඩිත කුල මුහුණ දී තිබෙන අභියෝගයක් ලෙස සැලකිය හැකිය.
දෙමළ විරෝධී දැඩි මතධාරියෙකු වුවත්, සිරිල් මැතිව් වහුම්පුර කුලයෙන් බිහිවූ ශක්තිමත් නායකයකු විය. ඔහු එක්තරා දුරකට හෝ වහුම්පුර කුලයේ අයිතිවාසිකම් බලා ගත්තේය. ඔහුගෙන් පසු ඒ හිඩස වෙනත් කෙනෙකු මගින් පිරවීමක් සිදු නොවීය. තමන් අතර සිටින දක්ෂ මිනිසුන්ට ඉදිරියට එන්නට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉඩ නොදෙන්නේ යැයි කියන මතයක් පීඩිත කුල අතර පවතී. ඔවුන් කියන්නේ තමන් අතර සිටින දක්ෂ මිනිසුන් වෙනුවට එම දේශපාලන පක්ෂ දුර්වල අය තෝරා ගන්නා බවය. ඒ මගින් ඔවුන් අනියම් ආකාරයකට කුලභේදය තවදුරටත් පවත්වාගෙන යන බවය. ජාතික දේශපාලනයේ තනතුරු ප්‍රධානයේදී ද ජාතික දේශපාලන නායකයන් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුන්ගේ මතය වී තිබේ. දේශීය හා විදේශීය සමාජ විද්‍යාඥයන් කර තිබෙන අධ්‍යයන ගණනාවකින් තහවුරු වී තිබෙන කරුණක් වන්නේ රටේ දුප්පත්කම වඩාත්ම බලපා තිබෙන්නේ පීඩිත කුලවලට අයත් ජනයා කෙරෙහි බවය.
ග්‍රාමීය සමාජයේ ඉඩම් නැතිකමේ ප්රශ්නය වඩාත්ම බලපා තිබෙන්නේ ඔවුන් කෙරෙහිය. නූගත්කම හා විරැකියා ප්රශ්නය වඩාත්ම බලපා තිබෙන්නේ ද ඔවුන් කෙරෙහිය. මැදපෙරදිග රටවල ගෘහ සේවය, ඇඟලුම් සේවය හා හමුදා සේවය වර්තමානයේ ඔවුන්ගේ ජනප්‍රිය රැකියා මාර්ග බවට පත්ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, කොටි සංවිධානය වැනි ව්‍යාපාර පීඩිත ජනයාගේ ආකර්ශනය දිනාගැනීමට සමත් වී ඇතත්, පීඩිත කුලවලින් බිහිවන විශිෂ්ට ගණයේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට යොමු කරවා මරණයේ අන්ධකාරයට තල්ලු කිරීමට මිස, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනාදීමට එම ව්‍යාපාර සමත් වී නැති බව ද කණගාටුවෙන් වුව ද කිව යුතුය. මෙම පක්ෂ දෙක විසින් පීඩිත කුලවලට අයත් දීප්තිමත් තරුණ තරුණියන් ප්රචණ්ඩ අරගල මාවතට තල්ලු කිරීම නිසා එවැනි අය අතරින් මරණයට පත්ව ඇති අයගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය.
ශක්තිමත් ආර්ථික හා අධ්‍යාපනික වටපිටාවක් ඇති සමාජ කණ්ඩායම්වලට උගත් තරුණ පරපුරක් බිහි කිරීම අමාරු නැතත්, එවැනි ආර්ථික හෝ අධ්‍යාපනික වටපිටාවක් නැති පීඩිත කුලවලට එවැනි උගත් තරුණ පරපුරක් බිහි කිරීම සරල ක්‍රියාවක් වන්නේ නැත. එහෙත් අවාසනාවකට මෙන් ප්රචණ්ඩ අරගල තුළ වැනසෙන පිරිස වූවෝ ද ඔවුන්ය. තමන් නියෝජනය කරන පීඩිත ප්රජාවන්ගේ අයිතිවාසිකම් බලාගත යුතු උගත් තරුණයන් ප්රචණ්ඩ අරගලවලට මැදිවී අකාලයේ වැනසෙන විට ඒ හිඩස පුරවන්නේ කවුද? ඒ හිඩස පුරවන්නට එවැනි තවත් පරපුරක් බිහිකරන්නට ගතවන කාලය කොතරම් විශාලද? ප්රචණ්ඩ අරගල තුළ මියගිය පීඩිත කුලවලට අයත් දහස් ගණනක් උගත් තරුණ තරුණියන් ප්රචණ්ඩ අරගල මාවතට යොමු නොවී අද දක්වා ජීවත්වීමට සමත් වී නම්, දුෂ්කරතා කෙණහිලිකම් මධ්‍යයේ වුවත්, ඔවුන් හිමිකර ගන්නා දියුණුව සමඟ ඔවුන් නියෝජනය කළ පීඩිත සමාජ කණ්ඩායම් ද වඩා දියුණු තත්ත්වයක් හිමිකර ගන්නට ඉඩ තිබුණේය.
ඒ අර්ථයෙන් මෙම විප්ලවකාරී පක්ෂ පීඩිත ජනයාගේ ආකර්ශණයට හේතු වුවත් ඒවා ඓතිහාසික අර්ථයෙන් පෙරළා ඔවුන් කෙරෙහි ඇති කර තිබෙන බලපෑම විනාශකාරී සේ ම පසුගාමීය. කලක් විමල් වීරවංශ විජේවීර හැරුණු විට ජවිපෙ අනුගාමිකයන්ට සිටි ලොකුම වීරයා විය. එහෙත් දැන් එම ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ඔහු ද්‍රෝහියෙකු ලෙස බෞතිස්ම කර ඇත. එම පක්ෂය එක විට වීරයන් ද, ද්‍රෝහීන් ද තනන කම්හලක් ලෙස ක්‍රියා කරයි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට එකතු වන පළමු පුද්ගලයා නොවනවා සේ ම, අවසාන පුද්ගලයා ද නොවනු ඇත්තේය. විජේවීර සිය කැමිලෝ ලෙස හඳුන්වන ලැබූ ලොකු අතුල ද (ඔහු වහුම්පුර කුලයෙන් පැමිණි කෙනෙකු විය.) විජේවීර කලක් ජවි පෙරමුණේ අම්මා ලෙස හඳුන්වනු ලැබූ ජේ.වී.ටී. ධනපාල ද (ඔහු බත්ගම කුලයෙන් පැමිණි කෙනෙකු විය.) විජේවීරගේ සමීපතම හා ප්‍රියතම සගයා වී සිටි ලයනල් බෝපගේ ද අවසානයේ ද්‍රෝහීන් ලෙස බෞතිස්ම කරනු ලැබීය.
මේ පෙරහැරේ අලුතෙන්ම එම බෞතිස්මය ලබන්නා වී සිටිනුයේ විමල් වීරවංශය. ගෞරවයෙන් පක්ෂයට ඇතුළත් වන පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය අවස්ථාවකදී එම පක්ෂයෙන් පිටවී යන්නට ඉඩක් නැතිකම මෙම ව්‍යාපාර දෙකටම (ජනතා විමුක්ති පෙරමුණට හා දෙමළ කොටි සංවිධානයට) ආවේණික විශේෂිත ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එය ප්රචණ්ඩ මාවත තෝරා ගත් ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකිය. ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ට්රොස්කිට, කමනෙව්ට, සිනොවියෙව් හා බුකාරින්ට හිමිවූ ඉරණම දැන් විමල් වීරවංශට හිමිවන්නට යන ඉරණමට සමානය. විමල් වීරවංශ ද්‍රෝහියෙකු ලෙස අභිෂේක කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා පවත්වන ලද රැස්වීමේදී (අප්‍රේල් විරුවන් සමරණ රැස්වීමේදී) පක්ෂ නායකයා කතා කර තිබූ උද්ධච්ච ස්වරය ස්ටාලින්ගේ උද්ධච්ච ස්වරයට වෙනස් නැත. පක්ෂ අභ්‍යන්තර සතුරන්ට දඬුවම් කිරීමේදී බාහිර සතුරන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහු කියා තිබුණි.
මිනිසුන් බිය ගන්වා ඔවුන් පාලනය කරන කලාව සෝමවංශ අමරසිංහ සිය නායකයාගෙන් හොඳින් ඉගෙන ගෙන තිබෙන බව පෙනේ. ඔහු සිය කතාවේදී වාස් තිලකරත්න ගැන ද කතා කර තිබුණි. වාස් තිලකරත්න පක්ෂයෙන් ඉවත්වීමෙන් පසු ඔහු මොනරාගල ප්‍රදේශයේදී මගී බස් රථයක ගමන් ගනිමින් සිටියදී පිස්තෝලකරුවකු යොදා ඔහු වෙඩි තබා මරා දමන්නට දරන ලද උත්සාහයකින් ඔහු සිය දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ ඔහු බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලද අතර, මධ්‍යම රාත්රියේදී එහි පැමිණි පුද්ගලයෙක් ඔහුට පිහියෙන් ඇණ මරා දැමීමට දරන ලද සාහසික උත්සාහයකින් ද සිය ජීවිතය බේරා ගැනීමට ඔහු සමත් විය. ඔහු ආත්ම ආරක්ෂාව සඳහා පසුදිනම කොළඹ මහ රෝහලට එවීමට බදුල්ල රෝහලේ පාලනාධිකාරියට සිදුවිය. ලයනල් බෝපගේ දෙවැනි කැරැල්ල ආරම්භවීමත් සමග රට අතහැර පළා ගියේය. දෙවැනි කැරැල්ලේදී ජවිපෙ ද්‍රෝහීන් ලෙස අභිෂේක කරනු ලැබ සිටි විශාල පිරිසක් සාහසික ලෙස ඝාතනය කරනු ලැබීය.
ඔවුන් අතින් මැරුම් කෑ අය අතර විමුක්ති ගී සංදර්ශනයේ නිර්මාතෘ නන්දන මාරසිංහ ද විය. පක්ෂ අභ්‍යන්තර සතුරන්ට දැඩි දඬුවම් පමුණුවන බවට කරන ඇඟවීමෙන් ඔහු අනියම් ලෙස අපට මතක් කර දෙනුයේ එම සාහසික ඉතිහාසයයි. ඔහු අනියම් ලෙස විමල් වීරවංශගෙන් ඉල්ලා සිටින්නේ ජීවත් වීමට අවශ්‍ය නම් සුනිල් හඳුන්නෙත්ති මෙන් පක්ෂ තීන්දුව බාරගෙන කට වසාගෙන සිටින ලෙසය. ඔහු එම කතාවේදී සුනිල් හඳුන්නෙත්ති ගැන ද අනියම් ලෙස කතා කර තිබුණි. පක්ෂයෙන් පලා යන අයට ඇණ ගසන ක්‍රමයක් ගැන ඔහු කතා කර තිබුණි. නන්දන ගුණතිලක පක්ෂයෙන් ඉවත්වීමෙන් පසුත් බොහෝ කාලයක් යන තෙක් කතා කිරීමෙන් වැළකී සිටියේ මරණ බිය නිසා නොවේද? පක්ෂ අතහැර විදේශ ගතවීමට උත්සාහ කළ සුනිල් හඳුන්නෙත්ති තවදුරටත් පක්ෂය තුළ රූකඩයක් ලෙස ජීවත් වන්නේ මරණ බිය නිසා නොවේද? පක්ෂය අතහැර යන සාමාජිකයන් තුළ මරණ බිය ඇති කරන පක්ෂයක් ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? සෝමවංශ අමරසිංහ රටට දෙන සංඥාව බිහිසුණුය.
ඔවුන් පුනරුත්ථාපනය වී ඇත්තේ මුළුමණින් නොව භාගයකටය. මනස තවමත් ත්රස්තවාදීය. ප්රජාතන්ත්රවාදී වී ඇත්තේ කකුල් දෙක පමණය.