සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරය හෙබවූ කාලයේදී සිදුවී තිබෙන නොමනා ක්‍රියා සොයා බැලීම සඳහා ආණ්ඩුව විසින් පත් කරන්නට යන තේරීම් කාරක සභාව විවාදයට හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්වී තිබේ. ඊට පළමුවෙන්ම අභියෝග කළ පුද්ගලයා වන්නේද සරත් නන්ද සිල්වාය. ඔහු කියන්නේ විශ්‍රාම ගොස් අවුරුදු දෙකක කාලයකට පසුව තේරීම් කාරක සභාවක් දැමීම තමන්ගෙන් පළිගැනීමේ අරමුණින් කරන්නට යන ක්‍රියාවක් බවය. එවැනි තේරීම් කාරක සභාවක් අධිකරණ නිදහස කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ හැකි බවද ඔහු කියයි. පළමු පෙළේ නීතිවේදියකු ලෙස සැලකිය හැකි එස්.එල්. ගුණසේකර ද අයිලන්ඩ් පුවත්පතට ඒ ගැන වන සිය මතය පළ කරන ලිපියක් ලියා තිබුණි. ඔහු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා බරපතළ වැරදි කරන ලද පුද්ගලයකු වශයෙන් මිස නිර්දෝෂී පුද්ගලයකු ලෙස සලකන්නේ නැත. ඔහු සරත් නන්ද සිල්වා විස්තර කොට ඇත්තේ අධිකරණ ත්‍රස්තවාදියකු ලෙසය. ඔහු කියන්නේ සිදුවූ වැරදි ගැන සොයා බැලීමක් කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යොදා ගන්නවා වෙනුවට කරුණු සොයා බැලීම සඳහා වන කොමිසමක් පත් කළ යුතුව තිබුණු බවය. ඔහුගේ මතය වන්නේද ආණ්ඩුව සරත් නන්ද සිල්වාගෙන් පළිගැනීමේ අරමුණින් ක්‍රියාකරන බවය. සරත් නන්ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට ආධාර නොකොට ජනාධිපති මහින්ද රාජපක්ෂට ආධාර කළේ නම් මේ කිසිවක් සිදු නොවන්නට ඉඩ තිබුණු බව ඔහුගේ මතය වී තිබේ.
සරත් නන්ද සිල්වාගේ කාලයේ සිදුවූ දේවල් ගැන සොයා බලන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ වුවමනාව තුළ දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණක් තිබිය හැකි වුවත් එසේ තිබියදීත් මා එම ක්‍රියාවට පක්ෂවන්නේ ඔහු අතින් විශාල පිරිසකට සිදුවී තිබෙන හානිය සලකාය. ඔහු අතින් හානි සිදුවී ඇති අයගේ ප්‍රමාණය පුංචි නැත. විශාලය. සමහරවිට අගතියට පත්ව ඇති අයගේ සංඛ්‍යාව දෙතුන් දාහක් පමණ විය හැකිය. ඔවුන් අතර නඩු නොඅසා හිරේ දැමූ පිරිසක් සිටින්නේය. ඔහු තම ගම් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ අයිතිය තමන්ට සම්බන්ධ එක පුද්ගලයකුට ලබාදී ඉන් පරිබාහිරව වැලි ගොඩ දමන්නට උසාවි අපහාස නීතිය යටතේ සිරදඬුවම් දුන්නේය. ඔවුන් හිරේ දමන ලද්දේ සාධාරණ නඩු විභාගයකට පවා මුහුණදීමට අවස්ථාවක් ලබාදීමෙන් තොරවය. නීතියට පටහැනි ලෙස, කෘෘර ලෙස සිය බලය පාවිච්චි කොට හිරේ දමන ලද අය අතර ටෝනි එම්මානුවෙල් ප්‍රධාන විය. ඔහුට සිරදඬුවම් පමුණුවනු ලැබුවා පමණක් නොව, සිරගෙට ගිය පසු එහි සිටි නිලධාරීන් අතින් ඔහු සාහසික පහරදීමකටද ලක්විය. එම සාහසික පහරදීම නිසා ඔහුට සිය දඬුවම් කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නට සිදුවූයේ බන්ධනාගාර රෝහලේය. ඉන්පසු දෙන ලද සිරදඬුවම නිමා කොට නිදහස් ලෝකයට පිවිසීමෙන් පසුත් ඔහු පැහැරගෙන යන්නට දරන ලද සාහසික උත්සාහයකින් පසුව ඔහු ජීවිතාරක්ෂාව පිණිස ශ්‍රී ලංකාවෙන් පලා ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය. එහෙත් ඔහු එහි ඉන්නේ සතුටින් නොව අතෘප්තියෙනි.
විවිධ පුද්ගලයන් සතුටු කිරීම සඳහා ඔහු විසින් දෙන ලද නීතියට පටහැනි වැරදි තීන්දු නිසා අගතියට පත් අයගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. මහවැලි කලාපයේ ආණ්ඩුවට සුළු කොන්ත්‍රාත් වැඩ කිරීම මගින් ජීවත් වූ පුද්ගලයෙක් තමන්ට ලැබිය යුතු ගෙවීම් පැහැර හැරීම් නිසා එම ගෙවීම් ලබාගැනීම සඳහා පාලන අධිකාරියට එරෙහිව නඩු පැවරුවේය. දිසා අධිකරණය ඔහුට පක්ෂව දෙන ලද තීන්දුවට එරෙහිව පාලන අධිකාරිය අභියාචනයක් ඉදිරිපත් කළ ද, අභියාචනාධිකරණය ද එම තීන්දු අනුමත කළේය. ඉන්පසු පාලන අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. නඩුව විභාගයට ගැනුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. ඔහු මොනයම් හේතුවක් නිසා හෝ නීතියට පටහැනිව පාලන අධිකාරියට පක්ෂපාතව තීන්දුවක් දුන්නේය. ඒ නිසා ඒ අසරණ මිනිසාගේ මුළු ජීවිතයම කාලකණ්ණි වූයේය. ඔහු මෑත දිනකත් නඩු ලිපිගොනුව රැගෙන මා හමුවන්නට කාර්යාලයට පැමිණ සරත් නන්ද සිල්වා නීතියට පටහැනිව දෙන ලද අසාධාරණ නඩු තීන්දුව නිසා තමන්ගේ මුළු ජීවිතයම කාලකණ්ණි වී තිබෙන ආකාරය මට නැවත විස්තර කොට ඇති කරන්නට යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන්වත් තමන්ට සාධාරණය ඉටුකර ගන්නට හැකිවේදැ”යි මගෙන් ප්‍රශ්න කළේය.
යුද්ධය පැවති කාලයේ නඩු ලිපි ගොනුවක් සමග මා හමුවන්නට පැමිණි වැඩිහිටි පුද්ගලයකු කඳුළු සලන දෑසින් යුතුව මට කියන ලද කතාවක් මෙසේය. ඔහු තමන්ට අයිති වටිනා දේපළක් නිරවුල් කරගැනීම සඳහා පවරන ලද දේපොළ නඩුවකට එම දේපොළට මොනම අයිතිවාසිකමක්වත් නොතිබුණු පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ අයිතිවාසිකම් කීවේය. දේපළ හිමියා ඔහුගේ අයිතිවාසිකම් කීමට අභියෝග කළේය. දිසා අධිකරණය දේපළ හිමියාට පක්ෂපාත තීන්දුවක් ලබා දුන්නේය. ඉන්පසු ව්‍යාජ අයිතිවාසිකම් කියන්නා එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය ඉදිරියට ගියේය. අභියාචනාධිකරණය දිසා අධිකරණය දෙන ලද තීන්දුව අනුමත කළේය. ඉන්පසු ව්‍යාජ අයිතිවාසිකම් කියන්නා අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. නඩුව විභාගයට ගත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. ඔහු සාධාරණ කරුණු සොයා බැලීමකින් තොරව ව්‍යාජ ලෙස අයිතිවාසිකම් ඉදිරිපත් කළ පුද්ගලයාට පක්ෂපාතව තීන්දුවක් දුන්නේය. ඒ පුද්ගලයා කවුදැයි මා දේපළ හිමියාගෙන් විමසූ විට ඔහු කඳුළු සලමින් ප්‍රකාශ කළේ ඔහු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පවුලට සම්බන්ධයක් තිබෙන පුද්ගලයකු බවය. දැන් තමන්ට මේ අවනඩුව ඉදිරිපත් කරන්නට වෙනත් කිසිම තැනක් නැති බව ඔහු මා සමග කඳුළු සලමින් කීවේය. ඔහුගේ කාලයේ සිදුවී තිබෙන මෙවැනි අනීතික දේවල පරිමාව විශාල වන බව මගේ විශ්වාසයයි. එවැනි අයගේ සාධාරණ දුක්ගැනවිලි මුළුමනින් නොසලකා හරින ක්‍රමයක් සාධාරණ විය හැක්කේ කෙසේද?
පාතාල ලෝකයේ අපරාධකරුවකු ලෙස සැලකිය හැකි රෝහණ කුමාර සමග පවත්වාගෙන ගිය සම්බන්ධය ගැනද හොඳින් කරුණු සොයා බලන තැනකට යෑම ඉතා වැදගත්ය. ඔහු විනිශ්චයකාරවරුන් පුහුණු කරන ආයතනයේ වැඩ කරන පුද්ගලයකු බවට පත් කරගෙන තිබුණේ අගවිනිසුරුවරයාය. ඒ වනවිට ඔහු අපරාධ නඩු ගණනාවකට අධි චෝදනා ලැබූ පුද්ගලයෙක් විය. රෝහණ කුමාරගේ පුතා ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා පදිංචි නිවස ලෙස දක්වා තිබෙන්නේ විනිසුරුවරුන් පුහුණු කිරීම සඳහා පාවිච්චි කළ ආයතනයේ ලිපිනයයි. ඔහුගේ පුතා විද්‍යාලයට රෙකමදාරු කර තිබෙන්නේද අගවිනිසුරුවරයාය. රෝහණ කුමාර මේ කාලයේදී විනිසුරුවරුන් අතර පෙනී සිටියේද අගවිනිසුරුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසය. අගවිනිසුරු සමග තිබුණු සමීප සම්බන්ධය නිසා විනිසුරුවරුන් සමග ළඟ ඇසුරක් පවත්වාගෙන යෑමේ හැකියාව ඔහුට ලැබී තිබුණි. ඔහු මුදලට නඩු බේරුම් කර දෙන බේරුම්කාරයකු ලෙස ක්‍රියාකරන තත්ත්වයක් පවත්වාගෙන යෑම ආරම්භ කොට ඇත්තේද ඒ කාලයේදීය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිදුවූ ඝාතනයේ සැලසුම්කරුවා ලෙස ක්‍රියාකර තිබෙන්නේ රෝහණ කුමාරය. මෙම ඝාතනයට සම්බන්ධ කුසුමලතා රෝහණ කුමාර හමුවන්නේ කුසුමලතා හා ඇගේ සැමියා අතර පැවති දේපළ නඩුව විසඳා ගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහාය. රෝහණ කුමාර ඇගේ පළමු ස්වාමිපුරුෂයා ඝාතනය කරවා ඇය සිය බිරිඳ බවට පත්කර ගැනීම මගින් ඒ හෝටලයේ හිමිකරුවා බවට පත්විය. කුසුමලතා පොලීසියට දී තිබෙන කටඋත්තරයේ රෝහණ කුමාර හඳුන්වා ඇත්තේ අගවිනිසුරුගේ පුද්ගලික සහකාර ලෙසය. රෝහණ කුමාර පදිංචි ලිපිනය වශයෙන් එහි දක්වා තිබෙන්නේද විනිශ්චයකාරවරුන් පුහුණු කරන ආයතනයේ ලිපිනයයි. මල්වත්ත ඝාතනයට ඇති සම්බන්ධය හෙළිදරව්වීමෙන් පසු විවෘත වරෙන්තුවක් තිබියදී රෝහණ කුමාර සැඟවුණේය. එහි සැඟවී සිටියදී පිළියන්දල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී රෝහණ කුමාර පොලීසියට කියා ඇත්තේ තමන්ට සැඟවෙන ලෙස උපදෙස් දුන්නේ අගවිනිසුරු බවය. මෙම කාලය තුළ රෝහණ කුමාර අගවිනිසුරුටද අගවිනිසුරු රෝහණ කුමාරටද විටින් විට කතා කර තිබෙන බව දෙදෙනාගේ දුරකතන බිල්පත්වලින් මනා ලෙස තහවුරු වේ.
රෝහණ කුමාර මල්වත්ත ඝාතන නඩුවේ වගඋත්තරකරුවකුව සිටියදීත් ඔහු අගවිනිසුරු සමග පවත්වාගෙන ගිය සම්බන්ධය නොකඩවා පවත්වාගෙන ගියේය. ඔහු නීති උපදේශක ආයතනයක් ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයේ පවත්වාගෙන ගිය අතර ඒ සඳහා පවත්වාගෙන ගිය වෙබ් අඩවියේ රෝහණ කුමාරගේ නම සඳහන්වන්නේ ආචාර්ය රෝහණ කුමාර වශයෙනි. එම වෙබ් අඩවියේ එන තොරතුරුවලට අනුව එම නීති උපදේශක ආයතනයේ නීති අධ්යක්ෂ ලෙස ක්‍රියාකර ඇත්තේද විනිසුරුවරයකුගේ නීතිඥ සහෝදරයෙකි. මෙම ආයතනය, නීති විරෝධී ලෙස නඩු කටයුතු සඳහා මැදිහත්වීමට පවත්වාගෙන ගිය ආයතනයක් බව පැහැදිලිව දැකිය හැකිය.
මේ සියලු දේවල් කරන අතර අපරාධ කටයුතු මගින් මුදල් ඉපැයීමේ වැඩපිළිවෙළද ඔහු ඉදිරියට ගෙන ගියේය. මල්වත්ත ඝාතනයෙන් පසුව කරන ලද ලොකුම අපරාධය ලෙස සැලකිය හැක්කේ ප්‍රධාන පෙළේ සීිනි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙය යුද්ධය පැවති කාලයේ සිදුකරන ලද්දක් වන අතර පැහැර ගැනීම සිදුකර තිබෙන්නේද ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව පොලීසිය කරන ලද පැහැර ගැනීමක් ලෙස පෙනෙන ලෙසය. මෙම පැහැර ගැනීම හා ඝාතනය සඳහා යොදාගෙන තිබෙන්නේද මල්වත්ත ඝාතනය සඳහා යොදාගත් ඕ.ඒ. අශෝකාමය. රෝහණ කුමාර කර තිබෙන බිහිසුණු අපරාධවලට අගවිනිසුරුවරයා කුමන ආකාරයක හෝ ආවරණයක් ලබාදී තිබේද යන්න සොයා බැලිය යුතුය.
සහන ලැබිය යුතුව තිබෙන අය අතර අගවිනිසුරු දියවන්නා ඔය අසල අඩනිරුවතින් කරන රඟපාන ලද නාට්‍ය රංගනය පොලිස් පරීක්ෂාවට ලක් කිරීමේ වරදට දඬුවම් ලබා සිටින පොලිස් තොරතුරු කාර්යාලයේ ප්‍රධාන පරීක්ෂකවරයාද ප්‍රධාන තැනක් ගනී. ඔහු සිය රාජකාරි සේවාව අකුරටම ඉටුකර තිබෙනවා මිස නීති විරෝධී කිසිවක් කර නැත. එහෙත් ඒ නිසා ඔහු අද ඉන්නේ සියලු උසස්වීම් අත්හිටුවා තිබෙන තත්ත්වයකය. ඔහුටද සාධාරණය ඉටුවිය යුතුය.
අධිකරණ සේවයෙන් ඉවත් කොට තිබෙන විනිශ්චයකාරවරුන් ගැනද සොයා බැලිය යුතුය. සාධාරණ හේතු නැතිව පළිගැනීමේ අරමුණින් පිටමං කර තිබෙන සියලුදෙනා නැවත සේවයේ පිහිටුවීම වැදගත්ය. මේ සියල්ලට අතිරේකව අප නොදන්නා තවත් බොහෝ දේ ද තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වනු ඇතැ”යි සිතිය හැකිය.
මෙම තේරීම් කාරක සභාව නිසා මහා ලොකු දේවල් සිදු නොවූවත් ඔහු අතින් අසාධාරණයක් සිදුවී ඇති අයට සාධාරණය ඉටුවන්නේ නම් එය යහපත් දෙයක් ලෙස සැලකිය හැකිය.