වධ හිංසා පැමිණවීම් සහ අනෙකුත් අමානුෂික හා අවමන්සහගත සැලකීම්වලට එරෙහිව ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තියට ශ්රී ලංකාව අත්සන් තබන ලද්දේ 1994 ජනවාරිවලදිය. ඉන්පසු එම ජාත්යන්තර සම්මුතියේ එන විධි විධානයන් ප්රායෝගික කරනු පිණිස වධ හිංසාවට අදාළ විශේෂ පනතක් ද 1994 නොවැම්බර්වලදි පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේය. එම නීතිය අනුව වධ හිංසාවන්ට ලක්කිරීම අවුරුදු 07කට නොඅඩු අවුරුදු 10ට නොවැඩි සිරදඬුවමකට යටත් කළ හැකි බරපතල වරදක් ලෙස සැලකේ. මෙය ඉතාමත් ඉදිරිගාමී නීතියක් බවට සැකයක් නැත. එහෙත් එවැනි නීතියක් ඇත්තටම ඇති කරගන්නේ වධ හිංසාවන්ට නැවතීමේ තිතක් තැබීමේ අරමුණන්ද? එසේ නැත්නම් ජාත්යන්තර ප්රජාව සතුටු කිරිමේ අරමුණින් පමණක් ද?
පුද්ගලික ගණයෙහි ලා සැලකිය හැකි වධ හිංසා සේ ම දේශපාලන ගණයෙහි ලා සැලකිය හැකි වධ හිංසාවන් ද පවතී. මෙම විශිෂ්ට නීතිය ඇති කරගැනීමෙන් පසුව දේශපාලන ගණයෙහිලා සැලකිය හැකි වධ හිංසාවන්ගේ ප්රමාණය පහළ යනවා වෙනුවට ශීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන බව දැකිය හැකිය. එහෙත් පාලක පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන විරුද්ධවාදින්ට එරෙහිව ක්රියාත්මක වන වධ හිංසාවන්ට එරෙහිව මේ නීතිය ක්රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. මැතිවරණ කාලවලදි දේශපාලන විරුද්ධවාදින්ට එරෙහිව මහාපරිමාණයෙන් ක්රියාත්මක වන වධ හිංසා මොහොතකට අමතක කළත්, රූපලාවණ්ය ශිල්පිනී ඉවාන් ටර්නර් සිද්ධියේ දි ජේයෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්රමසිංහ සම්බන්ධයෙන් ක්රියාත්මක වූ ප්රතිපත්තිය ඇති කරගෙන තිබෙන ජාත්යන්තර ප්රඥපත්තියට සේ ම, ඒ ආශ්රයෙන් ඇති කරගෙන තිබෙන වධ හිංසා නීතියට ද පටහැනිය.
බන්දුල වික්රමසිංහ මේ කාන්තාව අත්අඩංගුවට ගන්නේ දියමන්ති මාලයක් නැතිවීමේ සිද්ධියකට අදාළව කෝටිපති කාන්තාවක් විසින් කරන පැමිණිල්ලකට අනුවය. මෙම රූපලාවණ්ය ශිල්පිනිය තමන් භාරයේ සිටි කාලයත්, අත්අඩංගුවේ තබාගැනීමට හැකිවනු පිණිස පොලිස් අධිකාරිවරයා ඇය කොටි සංවිධානයට සම්බන්ධ කාන්තාවක් බව ප්රකාශ කරමින් ඇය රඳවා තබාගැනීමේ නියෝගයක් ද අධිකරණයෙන් ලබාගනී. ඉන්පසුව සිදුවන්නේ අපරාධ පරික්ෂණයක යෙදෙනවා වෙනුවට ඇය නිරුවත් කොට, ඇය ඉතාමත් නින්දා සහගත ආකාරයකට වධ හිංසාවන්ට ලක් කරන විශේෂ ක්රීඩාවක යෙදිමය.
මෙම බිහිසුණු අත්දැකීමෙන් ඇය කොතරම් කම්පනයට පත්වී ද කියතොත් නිදහස් කළ වහාම ඇය රෝහලකට ගොස් ප්රතිකාර ලබා වහාම රට අත්හැර ස්වීඩනයට පළා යන්නීය.
ඇය ඒ සමග තමන්ට මුහුණ දෙන්නට සිදුවූ මෙම බිහිසුණු අත්දැකීම තානාපති අංශවලට සේ ම ජනාධිපතිනියගේ සමීප හිතවතකු මගින් ජනාධිපතිනියට දැනුම් දේ.
අවසානයේ ජනාධිපතිනිය විසින් බන්දුල වික්රමසිංහට දෙන ලද දඬුවම වූයේ ඔහු අපරාධ විමර්ශන ඒකකයෙන් පොලිස් මූලස්ථානයට මාරු කිරීමයි. නීති පොතේ මොනවා තිබුණත්, කාන්තාවක් දරුණු ලෙස වධ හිංසාවන්ට ලක් කිරීම ස්ථාන මාරුවකට වැඩි දඬුවමකට යටත් නොකළ යුතු සරල වරදක් ලෙස ආණ්ඩුව සලකන බව පෙනී යයි.
මෙම පරස්පර ලක්ෂණය එක ක්ෂේත්රයකට ආවේණික වූ දෙයක් නොව, පොදුවේ හැම ක්ෂේත්රයකටම ආවේණික ලක්ෂණයකි. වරද බරපතලකමේ අඩුවැඩිකම තීරණය කරන සාධකය වී ඇත්තේ පුද්ගලයාගේ දේශපාලන පක්ෂපාතභාවයේ ප්රමාණයයි. මෙය මේ ආණ්ඩුවට පමණක් ආවේණික විෂම ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකි අතර, පසුගිය යූඑන්පී ආණ්ඩුවට ද ආවේණිකව තිබූ පොදු ලක්ෂණයකි. රටේ පවත්නා මේ තත්ත්වය කැටි කොට පෙන්වීම සඳහා ෆ්රෑන්ක් මාර්කස් රදගුරුතුමා “නපුරු පාලනය” යන විශේෂණ පදය යොදා ගනී. එම පදය රටේ පවතින සමස්ත යථාර්ථය හොඳින් කැටි කොට දක්වයි.
අපි නපුරු පාලක පාලිකාවන්ටද, නපුරු පාලකයන්ට ද මැදිවූ සමාජයක් බවට පත්ව සිටිමු. මේ නපුරු ක්රමය තුළ මූලික අයිතිවාසිකම් ඇත්තේ පාලක පක්ෂයට සම්බන්ධ පාක්ෂිකයන්ට පමණය. රක්ෂා ලැබෙන්නේ ද සහනාධාර ලැබෙන්නේ ද ඔවුන්ටය. නිදහසේ ඡන්දය පාවිච්චි කිරිමේ අයිතිය ලැබී ඇත්තේ ද ඔවුන්ටය. පොලිසිය පමණක් නොව, යුක්තිය පසිඳලන ආයතනවල රැකවරණය ලැබෙන්නේ ද ඔවුන්ටය. අන් සියලු දෙනා දෙවැනි පෙළේ පුරවැසියන් ලෙස සැලකේ.
සිංහල ජනයා ප්රභාකරන් දකින්නේ නපුරු නායකයකු ලෙසය. පොදු පෙරමුණේ නොවන ජනයා චන්ද්රිකා දකින්නේ ද නපුරු පාලිකාවක් ලෙසටය. ඊට පෙර එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන යුගයේදි එජාප නොවන ජනයා ජේ.ආර්. ජයවර්ධන සේ ම ආර්. ප්රේමදාස දැක්කේ ද නපුරු පාලකයන් දෙපළක් ලෙසය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මුහුණේ සිනහවකින් තොරව නපුරු ලෙස රට පාලනය කළේය. ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මුහුණේ ලස්සන සිනාවකින් යුතුව නපුරු ලෙස රට පාලනය කරයි. මහජන වරමකින් තොරව ක්රියාකරන කැරලිකාර නායකයකුගේ නපුරු බවට වඩා, මහජන වරමකින් බලයට පැමිණ රට පාලනය කරන පාලකයා හෝ පාලිකාවගේ නපුරු බව රටට විසකුරුය.
අපි අපේ නපුරු බව අත්නොහරීමින් ප්රභාකරන්ගේ නපුරු බව කතා කරන්නෙමු. අප ප්රභාකරන්ගේ නපුරු බව දකින විට, ප්රභාකරන් ද අපේ නපුරු බව දකියි. තමන්ගේම ජනතාවකට නිදහසේ ඡන්දය පාවිච්චි කිරිමේ අයිතියවත් දෙන්නට සූදානම් නැති ආණ්ඩුවක් වඩා බරපතල අපේ ප්රශ්න විසඳන්නේ කෙසේදැයි ඔහු වීර දින කතාවේදි ප්රශ්න කළේය. ඔහු නපුරු නායකයකු විය හැකි වුවත්, ඔහුගේ එම විවේචනය බොරු කළ නොහැකිය. පැරිස් ආධාර කණ්ඩායම් සාකච්ඡාවේදි ඔවුන්ගේ ඇගිල්ල දිගු කෙරුණේ ද, ප්රභාකරන් ඇගිල්ල දිගු කළ තැනටමය.
නපුරු පාලකයකුට හෝ පාලනයකට ඉඩක් නැති සමස්ත දේශපාලන ක්රමය ම ප්රජාතන්ත්රකරණයට යොමු කිරිමෙන් තොරව එකම අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනක රට හිරවී තිබෙන බව ඉන් පෙන්නුම් කරයි. නාමමාත්රික දෙයක් බවට පත්ව ඇති ජනතා පරමාධිපත්යය ස්ථාපිත කරන්නේ කෙසේද, ඒකාධිපති රාජාණ්ඩු ක්රමයක රජකුගේ අඳුරු සෙවණැල්ලක් ලෙස ක්රියා කරන රාජ්ය නායකයා අධිකරණයට, පාර්ලිමේන්තුවට හා මහජනතාවට වගකියන තැනකට ගෙනඑන්නේ කෙසේද. දැඩි දේශපාලනකරණයකට ලක්ව ඇති අධිකරණය, රාජ්ය සේවය හා පොලිස් සේවය නිර් දේශපාලනකරණයකට ලක් කරන්නේ කෙසේද, මහජනතාවට නිදහසේ හා සාධාරණව සිය පාලක පක්ෂය තෝරා ගැනීමට ඉඩ ලැබෙන ඡන්ද ක්රමයක් ඇති කරන්නේ කෙසේද යන මූලික ගැටලුවලට විසඳුමක් ලබාදෙන ප්රතිසංස්කරණ ක්රියාවලියකට දේශපාලන ක්රමයකට යොමු කිරීමක් මිස, රටේ පවතින මේ නපුරු තත්ත්වය රටට ජයගත නොහැකිය. මේ රටේ ජනතාව වාර්ගික ගැටලුව ප්රජාතන්ත්රවාදී කෝණයකින් දකින තැනකට යනවා ඇත්තේ ද එවැනි ප්රතිසංස්කරණ ක්රියාමාර්ගයක් ඔස්සේ පමණය.