මහජන මුදල් සමග සෙල්ලම් කිරීම

January 14, 2001
Publication:
While development spending is cut, Lake House spent Rs. 5 million printing 290,200 copies of a photograph of the President and her children for free distribution with Silumina and the Sunday Observer during the parliamentary election. The editorial ridicules Chief Government Whip Reggie Ranatunga's claim in Parliament that the public had asked for it, and says the money would have been better spent on exercise books for poor schoolchildren.

රට ඉන්නේ බරපතල මූල්‍ය අර්බුදයකට මැදිව ය. එම අර්බුදයේ සියලු බර පටවා ඇත්තේ ද මහජනයාගේ කරපිට ය. රටේ තිබෙන මුදල් අමාරුකම් සලකා අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන වියදම් පවා කපා හැරෙමින් තිබුණත් පාලක පක්ෂය සිය නාස්තිකාර වියදම් කවර මට්ටමකින්වත් කපා හැර ඇති බවක් පෙනෙන්නට නැත.

රාජ්‍ය ආයතන මහජන දේපොළ මිස, පාලක පක්ෂය සතු පුද්ගලික බූදල් ලෙස සැලකිය නොහැකි ය. එහෙත් බලයට එන පාලකයන් රාජ්‍ය ආයතනවල සම්පත් පරිහරණය කෙරෙමින් තිබෙන්නේ මහජන දේපළ ලෙස සලකා නොව, තමන්ට අයත් පුද්ගලික බූදල ලෙස සලකා ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ දි ලේක්හවුස් පුවත්පත් සමාගම විසින් සිය පුවත්පත් සමග මහජනතාව අතර බෙදා හැර ඇති ජනාධිපතිනිය හා ඇගේ දරුවන් ඇතුළත් ඡායාරූපයක් වෙනුවෙන් පමණක් කර තිබෙන වියදමේ ප්‍රමාණය රුපියල් පනස් ලක්ෂයකි. ඒ ගැන ප්‍රශ්න කිරිමේදි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක රෙජී රණතුංග මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිනිය හා ඇගේ දරුවන් ඇතුළත් එම ඡායාරූපයෙන් පිටපත් 290200ක් මුද්‍රණය කර “සිළුමිණ” හා “සන්ඩේ ඔබ්සර්වර්” යන පුවත්පත් සමග නොමිලේ බෙදාහරින ලද්දේ ජනතාවගේ ඉල්ලීම අනුව බව ය.

එයින් රෙජී රණතුංග මහතා කියන්නට හදන්නේ එය ආණ්ඩුවේ හෝ ජනාධිපතිනියගේ වුවමනාව අනුව කරන ලද්දක් නොව, දස දහස් ගණනක් ජනතාව ලේක්හවුසියෙන් කරන ලද බලවත් ඉල්ලීමක් නිසා එසේ කරන ලද බව ය. කැබිනට් ඇමතිවරයකු වැනි වැදගත් තනතුරක් උසුලන්නෙකු ජනතාව අවිවට ලක් කරන මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුව වැනි වගකිවයුතු ආයතනයකදි කිරීම බලවත් වරදක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. මහජනයාට, බලයේ සිටින ආණ්ඩුවකින් ඉල්ලා සිටීමට බොහෝ දේ ඇතත්, රාජ්‍ය පාලිකාවගේ දරුවන් ඇතුළත් ඡායාරූප ඉල්ලා සිටීමට තරම් මේ රටේ මහජනතාව අින නොවන බව රෙජී රණතුංග මහතා දැනගත යුතු ය.

බහුතරයක් මෙරට මහජනතාව ඉන්නේ අත්‍යවශ්‍ය එදිනෙදා වියදම්වත් පියවා ගත නොහැකි දුෂ්කර තැනක ය. රුපියල් පනස් ලක්ෂයක මහජන වියදමින් ජනාධිපතිනියගේ ඡායාරූපයක් මුද්‍රණය කොට බෙදා හැරිමට වඩා එම මුදල් මගින් දුප්පත් පාසල් සිසුන්ට අභ්‍යාස පොත් බෙදා හැරියේ නම් වඩා ප්‍රයෝජනවත් ය. පනස් ලක්ෂයක වියදමින් බෙදා හරින ලද ජනාධිපතිනියගේ ඡායාරූපය මහජනයා රාමු කොට සිය නිවෙස්වල එල්ලා ගෙන සිටින බවක් පෙනෙන්නට නැත. ඒ ඡායාරූපය පත්තරවලින් බෙදාහරින එවැනි වෙනත් ඡායාරූප මෙන් යන්නට ඇත්තේ කුණු ගොඩටය. මහජන මුදල් සමග මේ ආකාරයෙන් සෙල්ලම් කරන්නට ඉඩ හැරිම භයානක ය.