භාණ්ඩ මිල ජනයාට ඔරොත්තු නොදෙන තරමකින් ඉහළ යමින් පවතී. පළමු වටයේදි ගෑස්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහළ දැමුවේය. දැන් ජල සම්පත් මණ්ඩලයෙන් ජලය ලබාගන්නා පාරිභෝගිකයන් ජලය සඳහා ගෙවිය යුතු මිල 5% සිට 15% දක්වා මිලකින් ද, විදුලි ගාස්තුව 25%කින් ද ඉහළ දැමීමට නියමිත ය. බස් ගාස්තු සඳහා 15%ක මිල වැඩි කිරීමක් බාර ගැනීමට බස් රථ හිමියන් ප්රතික්ෂේප කර ඇති අතර, සාමාන්ය බස් ගාස්තු 33%කින්ද, සුඛෝපභෝගී බස් රථ සඳහා අය කෙරෙන ගාස්තු 25%කින් ද වැඩි කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ. මිල ඉහළ යාමේ චක්රය ඒ සියල්ලෙන් අවසන්වන්නේ නැත. ජී.එස්.ටී. බදු අය කෙරෙන වපසරිය පුළුල් කොට ඒ සඳහා අය කෙරෙන මිල ගණන් ද ඉහළ දැමීමට නියමිත ය. ඒ සමග නැවත සියලු භාණ්ඩ මිල ඊට සරිලන ප්රමාණයකින් ඉහළ යාම නොවැළැක්විය හැකිය.
රටේ ආර්ථික අර්බුදයක් ඇත්නම් මහජනයා පමණක් නොව, පාලකයන් ද පටි තද කරගත යුතු ය. පාලකයන්ගේ සුඛෝපභෝගී අවශ්යතාවන් සඳහා කෙරෙන වියදම් ඉහළ යමින් තිබෙනවා මිස ඒවා පාලනය කිරීමට කවර උනන්දුවක් වත් ඇති බවක් පෙනෙන්නට නැත. එක් ඇමතිවරයෙක් සාමාන්යයෙන් පරිහරණය කරන වාහන සංඛ්යාව 05කට වැඩි ය. අලුත් ආණ්ඩුව තේරි පත්වූ ආකාරයට ඇමතිවරුන් පැරණි ගෘහභාණ්ඩ, බුමුතුරුණු ඉවත් කරමින් වඩා සුඛෝපභෝගී අලුත් භාණ්ඩ මිලදි ගනිමින් සිටින බව ද මහජනතාව කෙසේ වෙතත්, රාජ්ය නිලධාරිහු හොඳින් දනිති. අත්යවශ්ය නොවන විදේශ සවාරි සඳහා ද විශාල වියදමක් දැරේ. ජනාධිපති, කතානායක වැනි අය සඳහා වඩා සුඛෝපභෝගී අලුත් මන්දිර ඉදිකිරීම සඳහා කෝටි ගණනක මුදල් වියදම් කෙරේ.
රටේ ආර්ථික අර්බුදයක් ඇත්නම් ඒ සියලු බර මහජනතාව මත පටවන්නට පෙර පාලකයන් සිය සුඛෝපභෝගී අවශ්යතාවන් සඳහා කරන නාස්තිකාර වියදම් කපා හැරිම මගින් ජනතාවට පළමු කොට ආදර්ශවත් විය යුතු ය. එහෙත් එසේ නොකොට සියලු බර ජනතාව මත පටවා පාලකයන් තමන්ගේ සුඛෝපභෝගී අවශ්යතාවන් සඳහා කරන වියදම් තවදුරටත් වර්ධනය කරන ප්රතිපත්තියක් අනුගමනය කරයි නම්, ජනතාව ඉවසීමෙන් සියල්ල විඳ දරාගනු ඇතැයි සිතිය නොහැකි ය.
රටේ වර්ධනය වන ආර්ථික අමාරුකම් කෙරෙහි පාලනය කළ නොහැකි පිටස්තර සාධක පමණක් නොව, දුර්වල හා වැරදි කළමනාකරණය ද බලපා ඇති බව තේරුම් ගැනීමට බැරි තරමට මහජනයා මෝඩ නැත.
ඒ අර්ථයෙන් ලැබූ මේ නව වසර ජනතාවට පමණක් නොව, දේශපාලනඥයන්ට ද තීරණාත්මක ය.