නව ආණ්ඩුව ඉදිරියේ ඇති ගමන් මාර්ගය ඉතාමත් දුෂ්කර චෙස් ගැටලුවකට සමානය.
එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන රටේ අභ්යන්තර පාලන බලය හිමි කරගෙන ඇතත්, රාජ්ය බලයේ සුක්කානම ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති බලය ඇත්තේ විරුද්ධ පක්ෂය බවට පත්ව සිටින පොදු පෙරමුණ අතේය.
සියල්ල අධි නිශ්චය කරන ප්රශ්නය බවට පත්ව ඇත්තේ ජනවාර්ගික අර්බුදයයි. එය ජයගත හැකි නම් අන් සියලු ගැටලු ද ජයගත හැකිය. එහෙත් තිබෙන සියලු ප්රශ්න අතර විසඳීමට අමාරුම ගැටලුව වනුයේ ද එයයි.
දේශපාලනය ද චෙස් ක්රීඩාව තරම්ම සංකීර්ණය. දේශපාලනයේ මෙන් නොව, චෙස් ක්රීඩාවේදි පිළිගත් ආරම්භයන් රාශියක් පවතී. සමහර ආරම්භයන් ක්රමානුකූල වර්ධනයකට ඉඩ ලබා දෙන අතර, තවත් සමහර ආරම්භයන් සිය ඉත්තන් පරදුවට තබා ඉදිරියට යන ආක්රමණශීලී ගමන් මාර්ගයකට ඉඩ ලබා දෙයි. ලාස්කර් වැනි ඉතාමත් දුලබ හා විශිෂ්ට ගණයේ චෙස් ශූරයින් ක්රමානුකූලව සිය බලය වර්ධනය කරගනිමින් ඉදිරියට යන ක්රීඩාවක් වෙනුවට ආරම්භයේදිම ප්රතිවාදි රජු ඉලක්ක කරගනිමින් සිය සෙබළ ඉත්තන් පමණක් නොව, නිලධර ඉත්තන් ද පරදුවට තබා වේගවත් ලෙස හා ඉතාමත් ආක්රමණශීලී ලෙස ඉදිරියට යන ක්රීඩාවක් වෙනුවෙන් පෙනී සිට ඇතත්, එය චෙස් ශූරයින්ගේ සාමාන්ය ගමන් මග ලෙස සැලකිය නොහැකිය. ලෝක චෙස් ශූරයින් වැඩි පිරිසක් ගමන් කොට ඇත්තේ ක්රමානුකූලව කේන්ද්රයේ බලය තහවුරු කරගනිමින් පියවරෙන් පියවර ඉලක්කය කරා යන මාර්ගයකි.
දේශපාලනයේදි නව අගමැතිවරයා ගමන් ගනිමින් සිටින්නේ ද ලාස්කර් ගමන් ගත් මාර්ගයේය. කේන්ද්රයේ බලය තහවුරු කරගැනීමේ අවශ්යතාව නොසලකා සිය ඉලක්කය කරා වේගයෙන් ඉදිරියට යන මාර්ගයකි. කේන්ද්රය නොසලකා ඉතාමත් වේගවත් හා ආක්රමණශීලී ආකාරයකින් ඉලක්කය කරා යා හැකි නම්, එය ඉතාමත් ප්රශස්ථය. එහෙත් දේශපාලනයේදි පමණක් නොව, චෙස් ක්රීඩාවේදි ද එය සැලකෙන්නේ ඉතාමත් අවදානම් සහගත ක්රියාමාර්ගයක් ලෙසය. චෙස් ක්රීඩාවේදි නම් එවැනි ආරම්භක ගමනකට යොමුවන්නේ ඉදිරි ඇදිම් සිය ගණනක් එකවිට ගණන් බැලීමේ හැකියාව ඇති පුද්ගලයෙකු පමණය.
චෙස් ක්රීඩාව හා දේශපාලනය අතර සමානකම් ඇතත්, දේශපාලනය චෙස් ක්රීඩාවට වඩා සංකීර්ණය. චෙස් ක්රීඩාව තරගකරුවන් දෙදෙනෙකු අතර පමණක් කෙරෙන ක්රීඩාවකි. ඉත්තන්ගේ ස්වභාවය හා බලතල විවිධ වුවත්, පිලේ ඉත්තන් ගමන් කරන්නේ ඒ පිල මෙහෙයවන ක්රීඩකයාගේ අභිලාෂයන්ට අනුකූලවය. ඒ අර්ථයෙන් එක් පිලකට අයත් ලෑල්ලේ සිටින සියලු ඉත්තන් ඒ පිල මෙහෙයවන නායකයාගේ රූකඩ ලෙස ක්රියා කරයි.
එහෙත් දේශපාලනයේදි සියලු ඉත්තන් සජීවය. පිල මෙහෙයවන නායකයාට සිය පිලේ ඉත්තන් මෙහෙයවීමේ එක්තරා බලයක් ඇතත්, නායකයාගේ අණ නොසලකා සිය සිතැගියාවන්ට අනුව හැසිරෙන අවස්ථා ද තිබිය හැකිය.
මෙම තරගය දෙපිලක් අතර කෙරෙන තරගයක් වුවත්, දේශපාලන තරගය එක විට පිල් ගණනාවක් අතර කෙරෙන වඩා සංකීර්ණ තරගයකි. එහිදි සතුරු පිල් ගැන සැලකිලිමත් වන තරමට ම සිය පිල ගැන ද සැලකිලිමත් විය යුතුය. නිලධර ඉත්තන් හා පාද සෙබලුන් ගැන සේ ම ඉන් පිටස්තරව ඡන්දෙන් පමණක් ක්රීඩාවට සම්බන්ධ වන මහජනයා ගැන ද සැලකිලිමත් විය යුතුය. මේ සියලු දෙනා එක සමාන නොවෙතත්, ඒ සියලු දෙනා නායකත්වය විසින් තෘප්තිමත් තත්ත්වයක තබා ගත යුතුය. එහිදි විධායක බලය ඇති ජනාධිපතිනිය, ඇගේ නායකත්වය යටතේ තිබෙන පොදු පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, සිංහල සමාජය, ප්රභාකරන්, දෙමළ සන්ධානය, දෙමළ සමාජය, රවුෆ් හකීම්, මුස්ලිම් සමාජය, තොණ්ඩමන්, වතුකරයේ දෙමළ සමාජය, අධිකරණය, යුද්ධ හමුදාව, කොටි හමුදාව වැනි සාධක වැදගත් සාධක ලෙස සැලකිය යුතු අතර, මේ ඕනෑම සාධකයක් විශේෂ අවස්ථාවක තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකිය. මේ ක්රීඩාව ජය ගැනීමට නම් සිය කණ්ඩායම, පක්ෂය හා පක්ෂයට ඡන්දය දුන් ජනතාව අතර විශ්වාසයක් පවත්වාගෙන යනවාට අතිරේකව ඉන් පිටස්තර සියලු දෙනා අතර ගෞරවයට හේතුවන නායකයකු ලෙස ක්රියා කළ යුතුය.
මැන්ඩෙලා කල්ලන් අතර වීරයෙකු වන විට, ප්රතිවාදි සුද්දන් අතර ද ගෞරවයට හේතු වූ නායකයකු වූයේය. එහෙත් ඔහු සුද්දන්ගේ ගෞරවය දිනාගැනීම සඳහා කල්ලන්ගේ අයිතිවාසිකම් පාවා දෙන තත්ත්වයකින් ක්රියා නොකළේය. වර්ගභේදවාදි පාලන යුගය තුළ කල්ලන්ට සිදුවූ අතවර ගැන සොයා බැලීමේ අවශ්යතාව වෙනුවෙන් ඔහු නොකඩවා පෙනී සිටියේය. සුද්දන් අතින් සිදුවූ සැහැසිකම් ගැන සොයා බැලීමට සත්ය කොමිසමක් ඇති කළ පසු “ඇයි සුද්දන් ගැන පමණක්” කල්ලන් අතින් සිදුවූ සැහැසිකම් සැහැසිකම් ලෙස නොසලකන්නේ යන ප්රශ්නයක් මතුවූ අවස්ථාවේදි සත්ය කොමිෂමේ විෂය පථයට ද කල්ලන් අතින් සිදුවූවේ යයි කියන සැහසිකම් සොයා බැලීමේ වගකීම ද ඇතුළත් කරමින් තමන් නියෝජනය කළ කල්ලන් අතින් සිදුවූ සැහැසිකම් සොයා බැලීමේ ක්රියාවලිය වේගවත් කොට ඔවුන් අතින් සිදුවී ඇති සැහැසිකම් විධිමත් ලෙස ප්රකාශනයට පත් කිරිමෙන් නොනැවතී කල්ලන් අතින් සිදුවී ඇති ඒ සියලු සැහසිකම් වෙනුවෙන් මුළු ජාතියෙන්ම සමාව ගත්තේය.
එහෙත් අගමැති රනිල් වික්රමසිංහ ක්ලාර්ක් කෙනෙකු වශයෙන් හෝ කොටි සංවිධානයේ නායක ප්රභාකරන් මැන්ඩෙලා කෙනෙකු වශයෙන් හෝ සැලකිය නොහැකිය. එහෙත් සාමය සඳහා විවර වී තිබෙන අවකාශය දකුණු අප්රිකාවේ විවර වී තිබූ අවකාශයට සමානය. දෙපාර්ශ්වයටම සාමකාමී විසඳුමක් ඇති කර ගැනීම සඳහා ජාත්යන්තර මට්ටමෙන් විශාල පීඩනයක් එල්ලවෙමින් පවතී. ඉන්දියාවේ ආකල්පවල ද වාසිදායක වෙනසක් ඇතිවී තිබේ. යුද වැදි සිටි දෙපාර්ශ්වයම සිටින්නේ එකිනෙකා අවසාන වශයෙන් ජයගැනීමට අමාරු හති වැටුණු හා හිරවුණු තැනකය. සාමකාමී විසර්මකින් තොරව තමන්ට අනාගතයක් නැතැයි සිතන තැනකට ව්යාපාරික ප්රජාව ද පැමිණ සිටින්නේය. එය මීට පෙර කවදාවත් නොතිබූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
එහෙත් කේන්ද්රීය ගැටලුව ඇත්තේ වෙනත් තැනකය. එජා. පෙරමුණට රටේ අභ්යන්තර පාලන බලය ලැබී ඇතත්, රාජ්ය බලය නමැති ඔටුන්නේ චූඩාමාණක්යය ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති බලය ඇත්තේ ආණ්ඩු පක්ෂයට නොව, විරුද්ධ පක්ෂයටය. පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵලය ජනාධිපතිනියට ද එරෙහිව ප්රකාශ වූ ජනමතයක් වුවත්, ඇය තනතුර අතහැර ගියේවත්, ඒ අවකාශය ප්රයෝජනයට ගනිමින් ජයග්රාහී පිල ජනාධිපතිනිය බලරහිත කළේවත් නැත. අගවිනිසුරු, පොලිස්පති වැනි අය ද එය ආදර්ශයට ගනිමින් බලය අත්හැර නොයන පිළිවෙතක් අනුගමනය කළේය. දැන් නව අගමැතිවරයාට ප්රභාකරන් සමග ගනුදෙනු කරන්නට සිදුවී ඇත්තේ රාජ්ය බලයේ ප්රධාන සුක්කානම තමන් අත නැති තත්ත්වයක් යටතේය.
යුද්ධය කෙරුණේ ප්රභාකරන්ගේ කැරලිකාර හමුදාවත්, ආණ්ඩුවේ හමුදාවත් අතරය. සාමය සඳහා කරන ගනුදෙනුවේදි සියලු තීන්දු ගැනීමේ බලය සේ ම, සිය හමුදාවන්ට නියෝග දිමේ බලය ද ප්රභාකරන් සතුය. එහෙත් සිය පාර්ශ්වයේ හමුදාවන්ට අණදිමේ බලයක් අගමැතිවරයාට නැත. ඒ බලය ඇත්තේ විරුද්ධ පක්ෂය නියෝජනය කරන ජනාධිපතිනියටය. පසුගිය මැතිවරණයේදි තවදුරටත් පාර්ලිමේන්තු බලය තමන් අත තබාගැනීම සඳහා ශිෂ්ටත්වයේ සියලු මායිම් නොසලකා ඉතාමත් සාහසිකව ක්රියා කළ නායිකාවක් මේ විශේෂ හා තීරණාත්මක මොහොතේදි සිය ප්රතිපක්ෂ නායකයාට බලය තහවුරු කරගැනීමට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඒ අර්ථයෙන් රනිල් වික්රමසිංහ මහතාට දැලි පිහියෙන් කිරි කන්නට සිදුවී තිබෙන්නේ ද සිය අත්වලින් නොව, ප්රතිපක්ෂ නායිකාවගේ අත්වලිනි. කොහොමටත් දැලි පිහියෙන් කිරි කන්නට යාම අවදානම් සහගතය. ඊටත් වඩා දැලි පිහියෙන් කිරි කන්න යන්නේ විරුද්ධවාදියෙකුගේ අත්වලින් නම් ලැබෙන ප්රතිඵලය ඉතාමත් භයානක විය හැකිය.