උගත් පාඩම් කොමිසම හා උගතයුතු පාඩම්

November 27, 2011
Publication:
The Lessons Learnt and Reconciliation Commission's report has been handed to the president, and what it finds and recommends is not yet clear. It is a commission that drew international attention: the British foreign secretary said Sri Lanka should show its honesty by making the report public, and the government says it will be put before parliament in December.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ. එහි තිබෙන සොයාගැනීම් හා ඊට ඇතුළත් නිර්දේශ මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. එය ජාත්‍යන්තර අවධානයට යොමුවූ කොමිසමක් ලෙස සැලකිය හැකිය. බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ ලේඛකයන් බවට පත්කිරීම මගින් ශ්‍රී ලංකාව සිය අවංකභාවය ප්‍රකාශ කළයුතු බවය. කොමිෂන් සභා වාර්තාව දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. එය යහපත් ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය.

ප්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍ය සමග ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය පරාජය කිරීම ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි වුවද ඒ මගින් සියලු ප්‍රශ්න අවසන් නොවන බවද අමතක නොකළ යුතුය. ආයුධ අතට ගෙන නැගී සිටියේ උතුරේ දෙමළ තරුණයන් පමණක් නොවේ. ඊට පෙර දකුණේ සිංහල තරුණයන්ද ආයුධ සන්නද්ධව නැගී සිටියේය. ප්‍රභාකරන් හා විජේවීර යන දෙදෙනාම ත්‍රස්තවාදී නායකයන් ලෙස සැලකිය හැකි වුවද විශාල අනුගාමික පිරිසක් සහිත එවැනි ව්‍යාපාර දෙකක් ඇතිවීම කෙරෙහි බලපෑ සමාජ ආර්ථික හා දේශපාලන හේතු තිබුණි. ඒවා මොනවාද යන්න සොයා බලා ඒවාට සුදුසු විසඳුම් ලබාදීමේ වගකීමක් රටට ඇත්තේය. ත්‍රස්තවාදීන් ලෙස මියගිය ඒ සියලුදෙනා මේ රටේ මිනිසුන් බවද අප අමතක නොකළ යුතුය.

ඒ කැරලි කෙරෙහි බලපෑ සමාජ-ආර්ථික හා දේශපාලන හේතු මොනවා වුවත් එකදිගට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ රටේ ඇතිවූ ප්‍රචණ්ඩ අරගල හා ඒවා මර්දනය කිරීම සඳහා දියත් කැරුණු යුද ව්‍යාපාර, ජන ජීවිතයේ හා දේශපාලන ජීවිතයේ විශාල විකෘතියක් ඇති කර තිබෙන බවද අපි අමතක නොකළ යුතුය. දීර්ඝ කාලයක් සමාජයට ජීවත්වන්නට සිදුවී තිබුණේ සාමාන්‍ය නොවන බිහිසුණු පරිසරයකය. දේශපාලන පරිසරය කෙරෙහිද එය බලපෑවේය. එම බිහිසුණු වටාපිටාව විශාල පිරිසකගේ ජීවිත නැති කරන විට නොමැරී ජීවත්වන සමාජයද රෝගී සමාජයක් බවට පත් කළේය. එම රෝගී සමාජය නැවත ප්‍රතිසංවිධානය ලක් නොකොට රටට යහපත් ඉදිරි ගමනකට පිවිසිය නොහැකිය.

එකුදු ලේ බිඳුවක්වත් නොසොල්වා, නිදහස ලබාගත් රටක්, නිදහස ලැබීමෙන් පසුව කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්වූයේ ඇයිද යන ප්‍රශ්නය බැ?රුම් ලෙස සලකා බලන තැනකට රට යොමුවිය යුතුය. 71 කැරැල්ල පරාජය කිරීමෙන් පසු එවැනි කැරැල්ලක් ඇතිවූයේ ඇයිද යන ප්‍රශ්නය බැ?රුම් ලෙස සලකා බලන තැනකට රට නොගියේය. එහි නොවැළැක්විය හැකි ඊළඟ ප්‍රතිඵලය වූයේ තවත් අවුරුදු 16කට පසු 71 කැරැල්ල මෙන් සියගුණයක් තරම් විශාල බිහිසුණු තරුණ කැරැල්ලක් නැවත දකුණේ ඇතිවීමය. 1958 ජාතිවාදී කෝලාහල ඇතිවූ පසුද ඒ තත්ත්වයට බලපෑ හේතු සොයා බලන තැනකට රට නොගියේය. ඉන් දශක තුනකට පසු කරළියට එන එල්ටීටීඊ කැරැල්ල ඒ නොසැලකිලිමත්කමට ලැබුණු දඬුවම ලෙස සැලකිය හැකිය. ජේවීපී දෙවැනි කැරැල්ල සේ ම එල්ටීටීඊ කැරැල්ලද පරාජය කැරුණේ පහසුවෙන් නොව ඉතා අමාරුවෙන් බවද, ඒ සඳහා අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවූ බවද අපි අමතක නොකළ යුතුය.

මොනම රටක්වත් ආයුධ සන්නද්ධ කැරැල්ලක් ඇතිවූ විට එය මර්දනය කිරීමෙන් වැළකී එයට ඉදිරියට යන්නට ඉඩ දෙන්නේ නැත. එහෙත් රටක් ප්‍රඥාවන්ත නම් කැරැල්ල මර්දනය කිරීමෙන් පසු එවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ හේතු සොයා බලා ඒවාට පිළියම් යොදන තැනකට යන්නේය. ඒ වරද නැවත නැවත කිරීමට තරම් අපි අඥාන වේ නම් අනාගතයේ ඇතිවිය හැකි විපත් වඩා විශාල හා බිහිසුණු විය හැකිය.